රනිල් හරහා ඉන්දියාවෙන් මෛත්‍රීට අවවාදයක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මෙන්ම අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා – ඉන්දියා දේශපාලනය පිළිබඳ බරපතළ අවවාදාත්මක පණිවුඩයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව පිළිබඳව මෙන්ම දෙරට අතර ඇති ගිවිසුම් හා එකඟතා පිළිබඳ සිහිකැඳවීමක් සිදුකර ඇතැයිද වාර්තා වේ. දෙරට අතර “නැති ප්‍රශ්න ඇතිකර නොගන්නා” ලෙස කළ අවවාදයක් ලෙස එය සැලකිය හැකි අතර අග්‍රාමාත්‍යවරයා, දිවයිනට පැමිණි විගසම ජනාධිපතිවරයා හමුවී දැනුම් දුන්නේ මෙම අවවාදය බවද දැනගන්නට තිබේ.

රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, එසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදුකරන සත්කාර්යයන් ගැන ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පැවසූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයකද දැක්විණි.

තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම් නොපැකිළව සාකච්ඡා කරන ලෙසද මෝදි මහතා ඉල්ලා සිටි බව එහි සඳහන් වේ.
මේ අතර කොළඹ වරාය පර්යන්තය ඉන්දියාව විසින් මෙහෙයවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර බෙදීමක් පවතින බව ද හින්දු (The Hindu) පුවත්පත අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට පෙර වාර්තා කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාගැනීම කෙරෙහි බලපෑමක් ඉන්දියාවෙන් එල්ල නොවූ බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ රාවයට පැවසීය.
ඔක්තෝබර් මස 30 වැනි අඟහරුවාදා නැගෙනහිර පර්යන්තය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය ලබා දෙනු ඇතැයිද ඊට පෙර මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ පෙර ගිවිසුම අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් 45%ක් ජපානය මෙහෙයවන නිසා ඉන්දියාවට හිමිවන්නේ 20%ක් පමණක් බවය. ■