මෛත්‍රී – රනිල් අළුයට ගිනි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

 

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එජාපයේ සහ ශ්‍රීලනිපයේ ඉහළ පෙළේ නියෝජිතයන් දෙපිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවති තදබල ගැටුම තරමක් දුරට යටපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු රාවයට පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සිය ඉන්දීය සංචාරයෙන් පසුව එම සංචාරයේ කරුණු දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු අතර අනතුරුව දෙපාර්ශ්වයේ ඉහළ පෙළේ සාකච්ඡාව පවත්වා තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම එජාප ඇමතිවරයකු යටතේ තිබෙන රාජ්‍ය බැංකු දෙකක (මහජන බැංකුව, ලංකා බැංකුව) අධ්‍යක්ෂමණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයා, ඉන්දියාව සමග විරසක කිරීමට එජාපය උත්සාහ දරන්නේ යැයි යන චෝදනා යන කරුණු පිළිබඳ මෙම බරපතළ බෙදීම හටගෙන තිබිණි.

කෙසේ වෙතත් මහජන හා ලංකා බැංකුවල නව සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් ලෙස ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම නම් යෝජනා කර ඇති බවත්, දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී අවසාන තීරණ ගනු ඇති බවත් බ්‍රහස්පතින්දා වාර්තා විය.

තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු රාවයට පැවසුවේ අර්බුදය යටපත් වුවත් මෙම ආරාවුල් කෙළවර වන ආකාරයක් නොපෙනෙන බවය. ■