උතුරේ දේශපාලනයේ බරපතළ බෙදීමක්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

 

උතුර පළාත් හිටපු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් ‘දෙමළ ජනතා සංධානය’ නමින් නව පක්ෂයක් පිහිටුවීමත් උතුරු පළාත් හිටපු ඇමතිනි ආනන්දි ශෂිදරන් ‘ඊළාම් දෙමළ ස්වාධීන සංවිධානය’ නම් නව පක්ෂයක් පිහිටුවීමත් එම පක්ෂය සහ තවත් පක්ෂය හා සංවිධාන ගණනාවක් එක්ව, දෙමළ ජාතික සන්ධානයට (ටී එන් ඒ) එරෙහි උතුරේ මහ ඇමති අපේක්ෂකයා ලෙස විග්නේන්වරන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමඟ උතුර දේශපාලන වශයෙන් බරපතළ බෙදිමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සංධානයට එරෙහි මෙම නව පෙරමුණට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයද, වී ආනන්ද සංගරීගේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙන්ම ඊ පී ආර් එල් එෆ් සංවිධානයද සහය දක්වන බව දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමේදී ටී එන් ඒ පා. ම. එම්. ඒ සුමන්දිරම් පැවසුවේ විග්නේෂ්වරන් මහතා දේශපාලන වශයෙන් වෙනත් මාර්ගයක ගමන් ගන්නා බවත් ඔහු ටී එන් ඒ මහ ඇමති අපේක්ෂකයා වීමේ අවස්ථාව නොමැති බවත් තමා පෞද්ගලිකව සිතන බවය.

මේ පිළිබඳ රාවය කරන ලද විමසුමට ප්‍රතිචාර දක්වමින් විග්නේෂ්වරන් මහතා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම ගැන තමන් පුදුමයට පත් නොවන බවත් උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කළ දේශපාලන විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මධ්‍යස්ථ මතධාරී ජනතාව අන්තවාදී ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව පෙනෙන බවත් ජාතික ඒකාබද්ධ සංහිඳියා සහ භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

උතුරේ අලුත් දෙමළ ජාතික පක්ෂය බිහි වීම සුළු කොට තැකිය නොහැකි බවත් උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කළ දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදු කෙරෙන බවක් නොපෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අලුත් පක්ෂයක් ආරම්භ කළ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු සහ පුනරුත්තාපනය පිළිබඳ හිටපු ඇමතිනි ආනන්දි ශෂිදරන් රාවයට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා උතුරේ ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට ප්‍රබල හඬක් ගොඩ නැඟිය හැකි නායකයෙක් බවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකවරයා ලෙස ඔහු ඉදිරපත් වන බවත් පැවසුවාය.

ඉදිරි මැතිවරණ වලදී විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය සමඟ එකමුතු වී යුද්ධයේ වින්දිතයන්ට සහ අතුරුදන් වූවන්ගේ පවුල් වල අයට යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමින් කටයුතු කරන බවත් දෙමළ ජනතා සංධානය දෙමළ ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රායෝගික ලෙස කටයුතු නොකරන බවත් ඇය සඳහන් කළාය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී අදහස් දක්වමින් දෙමළ ජාතික සංධානය උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටින බවත් උතුරේ ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා විග්නේෂ්වරන් මහතා විසින් අලුත් පක්ෂයක් පිහිටුවීම අගය කරන බවත් පැවසීය. ■