හිතලා ගත්තු තීරණ වැරදිලා තියෙනවා

නාට්‍යවේදී රාජිත දිසානායක

‘හිතලා ගත්තු තීරණයක්’ රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යයයි. එය නොවැම්බර් මස 9 සහ 10 යන දිනයන්හි සවස 7ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකාගතවේ. මේ එම නාට්‍ය නිමිති කොටගෙන රාජිත සමග කැරුණු කෙටි සාකච්ඡාවකි.

‘හිතලා ගත්තු තීරණයක්’ නාට්‍ය හරහා ඔබට කියන්න වුවමනා වෙලා තියෙන්නේ මොකක්ද?
අපේ ජීවිතවල අපි හිතලා ගත්තු සමහර තීරණ වැරදිලා තියෙනවා. ඒත් අපි ඒවා වැරදියි කියලා හිතන්න කැමති නෑ. මොකද හිතලා ගත්තු තීරණ නිසා. අපි දෙයක් හිතලා කළහම ආයේමත් ඒවයේ නිරවද්‍යතාව පරීක්ෂා කරන්නෙ නැහැ. මොකද අපි හොඳට හිතලනේ තීරණය ගත්තෙ. ඒ නිසා ඒක වැරදුණත් අපි ඒ ගැන හිතන්නෙ නැහැ.

ඒ වගේම අපි හිතලා ගත්තු තීරණයක් වැරදියි කියලා හිතුණට පස්සේ අපි කරන දේවල් කොයිතරම් නිවැරදිද කියන ගැටලුවත් අපේ ජීවිතවල තියෙනවා. මට මේ නාට්‍ය හරහා ඕන අන්න ඒ විදිහට අපි හිතලා ගන්න තීරණ ගැන නැවත හිතා බලන්නට ඉඩ හදන එකයි. ඒ උත්සාහය තමයි මම වේදිකාව තුළ ගන්න හදන්නෙ. ඒක හිතලා ගත්තු තීරණයක්.

ඔබගේ නාට්‍ය මානව සබඳතා සමග ඉදිරියට යන්නක්. මේ නාට්‍යයත් එහිම දිගුවක්ද?
ඔව්! මේ නාට්‍යයත් මානව සම්බන්ධතා විෂයෙහි තමයි මූලිකව ගමන් කරන්නේ. ඒ ඔස්සේ තමයි අපිට නිමිත්ත සපයන්නෙ එතැනින් එහා තත්ත්වයන් ගැන හිතා බලන්න. ඔබ කිව්ව පරිදි මේ නාට්‍යයෙත් මූලික යොමුව මානව සම්බන්ධතා තමයි. මානව සම්බන්ධතා කියන විෂය විශාලයි, සංකීර්ණයි, විවිධයි. ඒ විවිධ වූ සංකීර්ණ වූ මානව සම්බන්ධතාවල එක් ස්වභාවයක් තමයි මේ හරහා මූලිකව පරීක්ෂාවට ලක්වෙන්නේ. ඉතින් මම හිතනවා මේ නාට්‍යයත් අපේ මීට පෙර කරපු ඇතැම් නාට්‍යවලත් දිගුවක් කියලා. ඒක මම මානව සම්බන්ධතාවල වර්ධනීය දිගුවක් විදිහට දකින්න කැමතියි. ඒ සඳහා ගත්තු උත්සාහය තමයි මේ තියෙන්නේ. මීට පෙර කතා කළාට වඩා ගැඹුරක් හොයන්න මම මේ නාට්‍ය හරහා උත්සාහ කරනවා. ඒක සාර්ථකද, අසාර්ථකද යන්න මනින මිනුම ප්‍රේක්ෂකයා සතුයි.

ඔබගේ නාට්‍යවල නම් හිතට අල්ලන මතකයේ රැඳෙන නම්. ඔබ නාට්‍ය තරමටම නම ගැනත් උනන්දුද?
අනිවාර්යයෙන්ම. හිතට අල්ලන නළුවා, නිළිය හොයා ගන්න එක තරම්ම එයත් සුවිශේෂී දෙයක් විදිහට මම සලකනවා. මගේ සමහර නාට්‍යවලට යෙදූ නම් එතරම් අපසුතාවක් නැතිව යොදලා තියෙනවා වුණත් ඒ වගේම සමහර නම් එක්ක මම සෑහෙන හෙම්බත් වෙලා තියෙනවා. ‘බකමූණා වීදි බසී’ අපහසුතාවකින් තොරව දාපු නමක්. ඒත් ‘වීරයා මැරිලා’ කියන නම දාන්න මාත් එක්ක සෑහෙන වෙහෙසුණා. මේ වෙලාවට මම කරන එක දෙයක් තමයි මගේ සමීපතමයන් සමග ‘නම’ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. ඒ අයගේ ප්‍රතිචාර මට වැදගත්. ‘හිතලා ගත්තු තීරණයක්’ කියන අලුත් නාට්‍යයේ නමත් එක්කත් මම සෑහෙන හෙට්ටු වුණා. ඒ ගැන කල්පනා කළා. කතා කළා. මගේ මිත්‍ර ලියනගේ අමරකීර්ති එක්ක කතා කළා. මේ නාට්‍යයේ පිටපත ඔහු කියෙව්වා වුණත් අපි වැඩිපුර කතා කළේ පිටපත එහි චරිත හෝ ගැන නෙමෙයි. නාට්‍යයේ නම ගැන කිව්වොත් හරි. ඉතින් මේකේ නමත් හොඳට හිතලා දාපු නමක් තමයි. මට නම කියන දේ විශේෂයි. ඒ ගැන විශේෂ උනන්දුවක් මට තියෙනවා.

මම හිතුවා ඔබ තනි අලියෙක් වගේ ගමනක් යන කෙනෙක් කියලා. එහෙම නෙමෙයි ඔබ ඇහුම්කන් දෙන්නෙක්. බෙදා ගන්නෙක්.
සත්තකින්ම. ඒක අද ඊයේ නෙවෙයි මගේ මුල් කාලේ ඉඳලා තිබුණ ලක්ෂණයක්. ගුණයක්. මම තරම් සමීප හිතවතුන් අතර නිර්මාණය බෙදා ගන්න සාකච්ඡා කරන කෙනෙක් නැද්ද කියලත් මට හිතෙනවා. ඒක තමයි මට පන්නරය ගේන්නෙ. මේ අය එක්ක බෙදා ගැනීම හරහා මම උකහා ගන්න දේ වර්ධනය කරගන්න දේ අතිවිශාලයි. මගේ තනි ගමනක් නෑ. මම යන්නේ මේ සමූහයත් එක්ක. ඒ නිසා මම තනි නෑ. මම පිටපත ලියලා ඉවර වුණහම මගේ හිතවත්ම අයට දෙනවා. ලියනගේ අමරකීර්ති ඉන් ප්‍රධාන කෙනෙක්. මේ ලබාදීමටත් මට හේතු තියෙනවා. ඒක දිගුකාලීන තෝරා ගැනීමක්. අමරකීර්ති මගේ හැම නාට්‍යයක්ම බලලා මාත් එක්ක බෙදාගන්න දේ මාව තව වැඩකට සූදානම් කරනවා. ඔහුගේ අදහස් මට කවදත් වටිනවා. මොකද ඔහු අවංකව, විවෘතව ඒ දේවල් කියනවා. මම නිතරම ඒ බුද්ධිමය දායකත්වය ලබන්න සැදී පැහැදී ඉන්නවා. ඒ පෝෂණය ලබන්න මම බොහොම නිහතමානි. සුනිල් විජේසිරිවර්ධනත් තව කෙනෙක්. ප්‍රභාත් ජයසිංහත් එවැනි නිරන්තර ඉන්න කෙනෙක්. මේ ඇසුර මට රචකයෙක් විදිහට පෝෂණය වන්න වර්ධනය වන්න ඉතාම වැදගත්. මේ අතර මගේ නාට්‍ය බලන ප්‍රේක්ෂකයොත් ඉන්නවා. ඔවුන් ලබාදෙන අදහස් මගේ ඊළඟ වැඬේට ඔළුව ඇතුළේ තැන්පත් වෙලා තියෙනවා. නැතිව බැරි මිනිස්සු අපේ ජීවිතවල ඕනතරම් ඉන්නවා. අපිට ගොඩනැගෙන්න ගොඩක් අය දායක වෙලා තියෙනවා. ඒක ඕනම තැනක ඕනම වෙලාවක කියන්න මම නිහතමානියි.

‘හිතලා ගත්තු තීරණය’ අසාර්ථක වුණොත් මොකද කරන්නේ?
හොඳ ප්‍රශ්නයක්. හැබැයි කියන්නම ඕන දේ තමයි මම නිර්මාණකරුවෙක් විදිහට අසමත්වෙන්න අසාර්ථක වෙන්න බය නැහැ. මොකද අපි කරන හැම නිර්මාණයක්ම හොඳ වෙන්නෙ නැහැනේ. බර්ග්මාන් චිත්‍රපට හැටක් විතර කළාට මතකයේ තියෙන්නේ අටක් විතරනේ. ඒ නිසා ඕනම කෙනෙක් කරන නිර්මාණයක් එක හා සමානව පරිපූර්ණව සාර්ථක වෙන්නෙ නෑ. ඒක මටත් පොදුයි.

හැබැයි එහෙම කියලා මම ඒ මොහොතේ මට කරන්න හිතෙන ප්‍රකාශනයට එළියට දාන්න මැලිවෙන්නේ නෑ. ඒක ඒ මොහොතෙම නොපැකිළව මම එළියට දානවා. කරන හැම නිර්මාණයම පරිපූර්ණ කරන්න, සාර්ථක කරන්න උපරිම වෙහෙස දරනවා. හැමදේම කරන්නේ සමත් වෙන්න තමයි. හැබැයි ඒකෙන් අසමත් වෙන්න පුළුවන්. මම අසමත් වෙන්න බය නෑ. හැබැයි අපි හැමවිටම හොඳම නාට්‍ය කරන්න තමයි උත්සාහ කරන්නේ. අන්න ඒ නිසයි අසමත් වුණත් බය නැත්තේ. ව්‍යාපාරයකදී ලාභය වගේම අලාභයත් අපේක්ෂා කරන්න ඕන. ඒ වගේම ජීවිතය තුළ වුවත් සාර්ථකත්වය වගේම අසාර්ථකත්වයත් වැදගත්.

ඔබගේ නිර්මාණම පසුකාලීනව එසේ නොවී මෙසේ වුණා නම් කියලා ඔබට හිතිලා නැද්ද?
මගේ නාට්‍ය වේදිකාගත වුණාට පස්සේ මගේ ළඟ ඉන්නේ රචකයාවත්, අධ්‍යක්ෂවත් නෙමෙයි, ප්‍රේක්ෂකයා. මම මගේ නාට්‍යයක් බලන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහටයි. රචකයා අත ඇරිලා රසිකයා වුණහම මගේම නිර්මාණ තුළත් එහෙම සීමාවන් ඕනතරම් මා හඳුනාගෙන තියෙනවා. නැත්තේ නැහැ.

නාට්‍යයක් කරන්න විශාල ශ්‍රමයක් කැප කරන්න වෙනවා. ඔබට ඒ කැප කිරීම කරන්න බැරිවුණ කාලයට කළ යුතු දේ හිතලා තියෙනවද?
ඔව්! ඔබ කිව්වා වගේම නාට්‍යයක් කරගෙන යන්න විශාල ශ්‍රමයක් ඕන වෙනවා. මට මේ ශක්තිය හැමදාම යොදන්න බෑ. මම දැනටත් ආසයි පිටපත් රචකයෙක් විදිහට ඉන්න තියෙනව නම්. ඒ වගේම ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනව නම් මම දැඩිව ආශා කරනවා. යම් දවසක මගේ නිර්මාණ තරුණ නිර්මාණශීලී අධ්‍යක්ෂවරු කරනව නම්. ඒ කරන දිහා පැත්තකට වෙලා බලා ඉන්න මම කැමතියි.

ඔබට කිව්වොත් තරුණ නාට්‍යකරුවන්ට පණිවුඩයක් දෙන්න කියලා.
මෙහෙමයි. මම ඒකට මෙහෙම උත්තර දෙන්නම්. තවමත් අපේ රටේ වේදිකා නාට්‍ය සඳහා ඇල්මක් දක්වන උනන්දුවක් දක්වන තරුණ පිරිසක් ඉන්නවා. ඒක සතුටට කරුණක්. හැබැයි ඒ අය වැඩි දෙකේ දීර්ඝ ආධුනික කාලයක් ගත කරන්න සූදානම්ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද තමන්ගේ පළමු නිර්මාණයෙන් හෝ දෙවැනි නිර්මාණයෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත්තේ නැත්නම් විචාර අවධානයට ලක්වුණේ නැත්නම් සම්මාන ලැබුණේ නැත්නම් ගොඩක් අය තමන්ගේ අභ්‍යාසය අත්හරිනවා. සාර්ථක අසාර්ථකත්වය කෙසේ වෙතත් මේ තරුණ පිරිස් අඛණ්ඩව තම අභ්‍යාසයේ නිරත වෙන්න ඕන. ඒකට ලොකු ඉවසීමක් කැපවීමක් ඕන. එහෙම අය අපිට මේ මොහොතේ දකින්න බෑ. ඒ අයව දකින්නත් වෙන්නේ තව අවුරුදු දහයකින් විතර. ආධුනික කාලය දීර්ඝවෙන තරමට ප්‍රවීණකම ළඟයි. ඒක තමයි කියන්න තියෙන්නේ.

රාජිතත් ප්‍රේක්ෂක පිරිසක් ග්‍රහණය කරගෙන තියෙනවා නේද?
ඒක දීර්ඝ කාලයක් තිස්සේ කළ කැපවීමක ප්‍රතිඵලයක්. ඒක වැඩ කිරීම ඇතුළෙම සිද්ධ වන දෙයක්. නිර්මාණ කෙරෙහි ඇතිවූ විශ්වාසය නිසා මගේ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ප්‍රේක්ෂකයාගේ විශ්වාසයට අපි වගකියන ප්‍රමාණය මත තමයි ඔවුන් අපි එක්ක ඉන්නෙ. ඒක ප්‍රශ්නයකට වඩා ලොකු බැඳීමක්. විශ්වාසය මත ගොඩනැගුණු බැඳීමක්.

සමාජ ප්‍රශ්න, දේශපාලන ගැටලු රාජිත කතා කරන්නේ නිර්මාණ හරහා විතරයි කියලා චෝදනාවක් තියෙනවා.
ඔව්! සමහර කාරණා එක්ක බලන කොට මම හුඟක් පිටස්තරයි. මොකද එහෙම පිටස්තරව ගතවෙන ජීවිතයක් මගේ තියෙනවා. මම හුඟක් ක්‍රියාකාරකම් එක්ක සක්‍රියව නෑ. හැබැයි මම ඒවා ගැන සවිඥානිකයි. මම කියන්න ඕන දේ තමයි මම නිර්මාණ හරහා කරන්නේ. ඒකත් මගේ ප්‍රකාශනයට තමයි. සමහරවිට අනෙක් අයටත් වඩා විවෘතව එම අදහස් ප්‍රකාශ කරනවා. ඒ හැබැයි ඒ නිර්මාණය හරහායි. නිර්මාණයෙන් පස්සේ මම නිශ්ශබ්දයි. ඊළඟ දේ කියන්න මට විවේකය, ඒකට අවශ්‍ය කාලය ඕන. මම මට අවශ්‍ය දේ කියන්නේ වේදිකාව තුළ. ඒ මගේ හැටි. ඔබ කියන චෝදනාව සමහරු මට කරනවා. මම ඒ ගැන දන්නවා. කොටින්ම මම ඒ ගැන හිතනවා.

ඔබ සම්බන්ධයෙන් මම මෙහෙම අහන්නම්. ‘හිතලා ගත්තු තීරණ’ වැඩිපුර හරි ගියාද? වැරදුණාද?
ජීවිතයේ වැඩිය හිතන්නේ නැතිව ගත්තු තීරණ තමයි වැඩිපුරම හරි ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් හිතලා ගත්තු සමහර තීරණ ඕනතරම් වැරදිලා තියෙනවා.