කාලායි නගර වැසියෝ ‘The Burghers of Calais’

එරික් ඉලයප්ආරච්චි

 

දේශපාලනය හා කලාව අතර පැවතිය යුතු ප්‍රගතිශීලී සම්බන්ධතාව ලෙස වොල්ටර් බෙන්ජමින් පැහැදිලි කරන්නේ දේශපාලනය කලාත්මක කිරීම වෙනුවට කලාව දේශපාලනික කිරීම බව අපි නිවැරදිව දනිමු. මේ අනගි වොල්ටර් බෙන්ජමියානු පාඩම අපි නගරය හා දේශපාලනය අතර පැවතිය යුතු ප්‍රගතිශීලී සම්බන්ධතාව විභාග කරනු පිණිස යොදා ගනිතොත් අපි මෙසේ කියමු. දේශපාලනය නාගරික කරනු වෙනුවට නගරය හා නාගරීකත්වය දේශපාලනික කරනු! ඉංග්‍රීසි ඕඩයේ ප්‍රංශ තොටුපළක් වූ කාලායි නගරය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඔගස්ටේ රොඩෑන්ගේ මේ සුප්‍රකට මූර්තියේ ඥානනමය හා කලාත්මක වටිනාකම රැඳී තිබෙන්නේ එමගින් එකී වරාය නගරය හා එහි දිග හැරෙන ප්‍රංශ නාගරිකත්වය කලාත්මක කරන ප්‍රමාණයට නොව දේශපාලනික කරන ප්‍රමාණයට ය. නගරය හා එහි පරිසමාප්තිය වූ මෙට්‍රොපොලිටනය වූ කලී අර්චනයක් (fetish) හෙවත් වන්දනීය ආගමික වස්තුවක් හා පූජනීය වන්දනා ධාතුවක් බවට රූපාන්තරණය වූ පාරිභෝගික භාණ්ඩයාගේ එළිදැකීමයි. නගරය කලාත්මක කිරීම යනු පාරිභෝගික භාණ්ඩයාගේ අර්චනය කලාත්මක කිරීමෙන් එය තව තවත් උද්දීප්ත කිරීමයි. එය දේශපාලනය කිරීම යනු නගරයාගේ හෝ මෙට්‍රපොලිටනයාගේ හෝ පාරිභෝගික අර්චනය විවරණය හා විසංයෝජනය කිරීමෙන් එය වෙනස් කිරීමේ ශක්‍යතාව හා අනිවාර්යතාව ගවේෂණය කිරීම යි. මහජන කලාව (Public Art) එම අභිලාෂය පිළිබිඹු කරයි. එයින් සිදු වන්නේ නගරය කලාත්මක කිරීම වෙනුවට එය දේශපාලනික කිරීමයි. නගරය හා මෙට්‍රපොලිටනය කලාත්මක කිරීම වෙනුවට දේශපාලනික කරනු සඳහා මූර්ති කලාව හැකි තරම් විශාල කොට, කලාගාරයෙන් එළිමහනට ගෙන පදික වේදිකාව, මංසන්ධිය, චතුරස්‍රය වැනි නාගරික අවකාශයක රැඳවීමක් එයින් සිදු වේ. බැන්ස්කිගේ බිත්ති හා තාප්ප සිතුවම්වලින් ද අද මේ කාර්යය සිදු වේ.

මොස්කව් සහ බර්ලින් නගරද්වය පිළිබඳව සංචාරාඛ්‍යාන රචනා කරන වෝල්ටර් බෙන්ජමින් සඳහන් කරන්නේ ලෝකය සමග ආපෝහක සාමය දිනා ගත් තැනැත්තා (he who made his dialectical peace with the world can grasp the concrete) පමණක් නගරයේ වෛෂයිකත්වය අවබෝධ කර ගන්නා බවයි. එවැනි ද්වන්ධාත්මක තැන්පත් මානසික කෞශල්‍යයකින් තොර මෂ්තිස්ක ප්‍රාණියා දකින්නේ සුපිරි නගරයක් නම් එහි සැරිසරා ගෙදර ඇවිත් තමා දුටු නගරය ගැන මෙසේ සිතයි. මොනතරම් සුන්දර නගරයක් ද? පාරේ ටොෆි කොළයක්වත් නෑ. හිඟන්නෝ නෑ. පදික වේදිකා අනර්ඝයි. වෙලාවට බස් එක එනවා. දුටුවේ අපිරිසිදු නගරයක් නම් ඔහු මෙසේ සිතයි. අප්පේ ගිය මෝඩකම. ජරා නගරයක්. හැම තැනම කුණු කඳු. කසිකබල් බස්. දඩාවතේ යන බල්ලෝ පාරේ.

උතුරු ප්‍රංශයේ එංගලන්තයට මුහුණලා සයුරු තෙර පිහිටි මේ තොටුපළ මධ්‍යකාලීන වරායක් විය. මිනිස් රූප සයකින් යුතු මේ මූර්තියෙන් පිළිබිඹු කරන්නේ කාලායි නගරයේ ඓතිහාසික වීරත්වය සනාථ කරන ආකාරයේ සත්‍ය සිද්ධියකි. ක්‍රි.ව. 1346 දී එංගලන්තයේ තුන්වැනි එඞ්වඞ් රජු මේ නගරය වැටලූ අතර කවර විනාශයක් මධ්‍යයේ වූව ද යටත් නොවන ලෙස ප්‍රංශයේ සයවැනි පිල්ප් රජු නාගරික පුරවැසි ප්‍රජාව වෙත දැනුම් දුන්නේ ය. වැටලීම පරාජය කරන්නට පිල්ප් රජු අසමත් විය. නගර වැසියෝ සාගතයට මුහුණ දුන්හ. යටත්වීම හැර අනෙක් විකල්පයක් නගරයට නැති විය. ඉංග්‍රීසි රජු මෙසේ දැනුම් දුනි. නගරයේ නායකයින් සයදෙනෙක් මරණය බලාපොරොත්තුවෙන් යටත් වන්නේ නම් නගරයේ පදිංචි සෙසු පුරවැසියන්ට අභයදානය ලැබෙන්නේ ය. ඊට කැමැති නම් ඒ නායකයින් සය කට්ටුව බෙල්ලට දමා ගත් යදම් සහිතව පැමිණිය යුතු අතර ඔවුන් නගරයේ සහ මාලිගාවේ යතුරු ද ගෙනා යුතුය. නගරයේ ප්‍රධාන ධනවතකු වූ යූස්ටාකි ඩි සෙන් පියේර් ප්‍රථමයෙන් ඉදිරිපත් විය. තවත් නාගරිකයෝ පස්දෙනෙක් ඔහුගේ ආදර්ශය අනුගමනය කළෝ ය.
මාරාන්තික පරාජයේ, වීරෝධාර ආත්ම පරිත්‍යාගයේ, අත්‍යාසන්න මරණයට ස්වේච්ඡාවෙන් මුහුණදීමේ වේදනාව, නාගරිකත්වය දේශපාලනික කිරීමේ ලාලසාව (passion) හා නාගරික ශිෂ්ටත්වයේ බරපැන පළ කරන එම ඔපෙරාත්මක දේශපාලනික නිමේෂය නිරූපිත මූර්තිමය ජවනිකාවකි මේ! සන්නාහ සන්නද්ධ අයුරින් සාම්ප්‍රදායික වීරත්වය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මේ මහා කෘතිය විවේචනයට පාත්‍ර විය. ජාතික වීරයින් වෙනුවට මෙහි සිටින්නේ යාචක පෙනුම ඇති සිරකාරයින් හා යදම් ලූ වහලුන් සයදෙනෙකි. එය නගරයේ ධීරවීර ඉතිහාසයට කැළලකි.

මූර්ති කලා ප්‍රතිභාවේ බලාගාරයක් (powerhouse of sculptural talent) වූ රොඩෑන් කලාත්මක අලසභාවය, ඊනියා ධ්‍යානගත කල්මැරීම හා කලාත්මක නිෂ්පාදනය රහසිගත දෘෂ්ටිවාදී න්‍යාය පත්‍රයකට යට කිරීම සපුරා ප්‍රතික්ෂේප කරමින් බර අදින අශ්වයකු මෙන් නොකඩවා වැඩ කළ අතර ඔහු ඇලීගැලී සිටි මූලධර්මයක් වූයේ තමාට අවශ්‍ය සෑම මූර්තිධර රේඛාවක්ම සිය නිර්මාණය තුළ අන්තර්ගත කිරීම ය. මූර්තිය නිර්මාණය කිරීමේ දී තමා ඉදිරියේ පෙනී සිටින්නාගේ මුහුණේ හා ශරීරයේ රැඳෙන අනුපාදාන හැඟීම වෙනුවට භාවමය ප්‍රකාශිතයන්ගේ සජීවීකරණය (animated expression) පෙන්වීම ඔහුගේ වුවමනා විය. සාහිත්‍ය කෘතියක තිබිය යුතු සාහිත්‍යමය උපාදාන (sense of literature) මෙන් මූර්තියක ගැප් විය යුතු මූර්තිමය උපාදාන හෙවත් මූර්තිය විෂයෙහි දැඩි සේ ගැනීම (sense of sculpture) ඔහුගේ කලාත්මක අභිප්‍රාය හා කලාත්මක ලාලසාව විය.

කාලායි නගරයේ පුරපති හා සභිකයින් කල්පනා කළේ දහහතරවැනි ශතවර්ෂයේ ජීවත් වුණු තම පැරැන්නන් සිය ජීවිත පරිත්‍යාගයෙන් නගරයේ ආරක්ෂාව සහතික කරන්නට ඉදිරිපත් වීම ස්මාරකයකින් සැමරීම තරම් උතුම් නාගරික සේවාවක් නැති බව ය. පුරපති සමග හුවමාරු කරගන්නා ලද ලියුම් රාශියකින් හා ඒ කාරණය පිළිබඳ තම සිතිවිල්ලේ බල දිශානතිය පැහැදිලි කර ගැනීමෙන් පසු නිර්මාණය ආරම්භ කළ මූර්ති ශිල්පියා, එම ඓතිහාසික සිද්ධිය සිදු වුණු දහහතරවැනි ශතවර්ෂය ද ඇතුළත් කරගන්නා මධ්‍යකාලීන ප්‍රතිමා කලා සම්ප්‍රදායන් කෙරෙහි ඇති තම කලාත්මක ඥාතීත්වය හා තම සමකාලීනයන් කාටත් වඩා ආධ්‍යාත්මික සම්ප්‍රදායන්ගේ මානුෂිකත්වය ග්‍රහණය කර ගන්නට තමා සතු අදීන හැකියාව මැනවින් තහවුරු කළ හැකි අසාමාන්‍ය මූර්තිකරණයක නිරත විය. ඔහු පුරපතිවරයාට දැන්වූයේ තම සංකල්පයේ වැදගත්කම හා අපූර්වත්වය වඩාත් තහවුරු කරන්නට හේතු වන්නේ සෑම නගරයකම එකම ආකාරයේ වීර ප්‍රතිමා තිබීම බවයි. ඔහුගේ සිතුවිලි ධාරාවෙන් බැහැරව කල්පනා කරතහොත් අපට පැහැදිලි වන්නේ එකිනෙක පුරවැසියාගේ දේහ විලාසය නිරූපණය කිරීමේ දී පමණක් නොව සය දෙනකුගේ පිරිසක් එකට ගොනු කිරීමේ දී සාමුහිකත්වය හා කණ්ඩායම් ගතිකත්වය නිරූපණය කරන්නට සමත් වීමේ දී ද රොඩෑන් සුධීමතකු වී සිටින බවයි. මේ මූර්ති කලා වික්‍රමයේ අතිඅනර්ඝත්වය පිළිබඳව අපට ගෙනහැර දැක්විය හැකි පූර්වාදර්ශයක් වන්නේ මිනිසුන් කණ්ඩායමක් සමග කතා කරමින් සිටින්නකු නිරූපණය කිරීම හා වෙනත් මිනිස් පර්ෂද නිරූපණය කිරීම පිළිබඳව ලියනාර්ඩෝ ඩා වින්චි විසින් සිය සටහන් පොත්වල තබා ඇති උපදේශාත්මක සටහන් ය.