අර්ජුන, දුමින්ද සිල්වා සහ වීරවංශගේ හෙළුව

මහින්දද, අගමැතිද, රනිල්ද කියන කාරණය පැත්තකින් තැබූ කල රටේ හැම දේශපාලන ප්‍රශ්නයකටම කොහේ හෝ පුද්ගලයකු ජීවිතයෙන් වන්දි ගෙවීම මෝස්තරයක් වී ඇත. මේ නර බිලි නැතිව මෙරට දේශපාලනය ගමනක් යා නොහැකිද?

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තත්ත්වයේ පසුවේ. සියල්ල සිදුවන්නේ දේශපාලනයේ නාමයෙනි. මියගිය පුද්ගලයා විවාහකයෙකි. පියෙකි. ඔහුගේ මියයෑමත් සමග ඒ පවුල අසරණ වන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මේ මිය යනුයේ අහම්බයෙන් නොව අනවශ්‍ය මැදිහත්වීම් නිසාය. ප්‍රශ්නය එයය. රටේ අගමැති රනිල් වීම හෝ මහින්ද වීම මිනී මරාගන්නට තරම් කරුණක්ද? අර්ජුන රණතුංග තෙල් සංස්ථාව භාර ඇමතිවරයාය. අගමැති ලෙස මහින්ද දිවුරුම් දුන්නේ සීමිත පිරිසකගේ දැනුම මත රටට හොර රහසේය. එතැන් සිට හිටපු ඇමතිවරු බවට එජාප පිරිස පමණක් පත්වී ඇත. ජනපතිගේ වප් මඟුලට සහභාගි වූ මහින්ද අමරවීරව හිටපු ඇමති ලෙස හඳුන්වා දුන්නා යැයි විස්සෝප වූ ජනපති ඒ මොහොතේම කීවේ මහින්ද අමරවීර තවමත් ඇමති බවය. එසේ නම් මහින්ද අමරවීරට එක විදිහකුත් අර්ජුනට තව විදිහකටත් සැලකීම හරිද?

ඔක්තෝබර් 26 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීමත් සමග අර්ජුන රණතුංග ඔක්තෝබර් 28 වැනිදා තෙල් සංස්ථාවට යනුයේ තමන් සතු බඩු භාණ්ඩ රැගෙන ඒමටය. එවැනි අයිතියක් ඔහුට නැද්ද? එය රාජ්‍ය කුමන්ත්‍රණයක්ද? ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ඔහු පැය තුනක් සිර කරගෙන සරම ගලවා ගන්නා තරමට අර්ජුන සමග ඇතිවන තරහ කුමක්ද? මේ මහින්ද චින්තනයේ ළාමක දේශපාලනය නොවේද? මහින්දලා එදා දේශපාලන හිතවත්කම් මත මේවාට දැමූ වන්දිභට්ටයන් මෙලෙස හැසිරෙනවා නොවේද?

ජනපති මෛත්‍රීපාල සිරිසේනත් කතා කළොත් හක්කේ බුදු රැස්ය. මහින්ද රාජපක්ෂත් දැක්කොත් සිටිනුයේ පන්සලකය. එහෙත් ඔවුන් තුළ ඉවර නොවන ගින්න වෛරයය. අර්ජුන යනු අවුරුදු තුනහමාරක් බැණ බැණ හෝ ආණ්ඩු කළ යහපාලනයේ ඇමතිවරයෙකි. මෛත්‍රීපාල සිරිසේනගෙන්ම පත්වීම් ලද්දෙකි. එසේ නම් මෛත්‍රී ජනපති දරන මේ මොහොතෙත් අර්ජුනට තම කාර්යාලයට පැමිණ තම බඩු බාහිරාදිය රැගෙන යා නොහැකි නම් මෛත්‍රී කතා කරන හරුපවල තේරුම කුමක්ද? මියගිය පුද්ගලයා සම්බන්ධව අපට කනගාටුවක් ඇත. මන්ද මෙවැනි දෑ නොවිය යුතු බැවිනි. එහෙත් ඔහුට අර්ජුන සමග ඇති ගැටුම කුමක්ද? අර්ජුන ඔහුගේද ඇමතිය. ඇමතිකම නැතිවූ සැණින් ඔහු ද්‍රෝහියකු වන්නේ කෙසේද? ඔහු කාමරයක හිරකර ප්‍රශ්න කරන්නට තරම් මේ සේවකයන්ට ඇති බලය කුමක්ද? මෙරට නොව විදෙස් රටවල පවා අර්ජුනගේ ඇඳිවත ගලවා ගත්තා යැයි ප්‍රසිද්ධ වී ඇත. මේ ළාමක මානසිකත්වය කුමක්ද? කොටින්ම අර්ජුන මෙහිදී කළ වරද කුමක්ද?

වීරවංශගේ කැත

තම නිවසේ මියගිය තරුණයාගේ මරණය ගැන මුනිවත රැක්ක වීරවංශ හිරු නාලිකාවට පැමිණ අර්ජුනගේ සිද්ධිය මොහොතේ ආරක්ෂකයා එල්ල කළ වෙඩි පහරත්, දුමින්ද සිල්වාගේ සිද්ධියත් සමාන කරන්නට යත්න දැරීය. අර්ජුනට ඇප දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන්නට විය. හොර අයිඩෙන්ටි කාඞ්, පාස්පෝර්ට් හදා අදටත් යෙහෙන් වැජඹෙන විමල් එසේ ඉන්නේ කෙසේද යන්න මුලින් ඇසිය යුතුය.

හිරු නාලිකාවටත් විමල්ගේ කතාව මසුරන්ය. විමල්ද ඒ කතාව කීවේ නාලිකාව හිරු නිසාමය. අර්ජුනගේ සිද්ධියත් දුමින්දගේ සිද්ධියත් එකක් නොව දෙකකි. එහෙත් තක්කඩි දේශපාලනයක නියැලෙන විමල් වීරවංශට මේ දෙකම එකකි.

ඇමතිවරුන්ට ආරක්ෂකයන් දෙන්නේ බිරිඳගේ ඇඳුම් හෝදන්න, ගෙදර වළං හෝදන්නට නොව ඒ පුද්ගලයා ආරක්ෂා කරන්නටය. එහිදී අර්ජුන රැක ගැනීම ආරක්ෂකයන්ගේ රාජකාරියකි. විමල් කියනුයේ අර්ජුන වෙඩි තියන්න කියූ බවය. දුමින්ද එසේ කියූ බවක් නැති බැවින් අර්ජුන දුමින්දටත් වඩා නරක බව ඔහු ඒත්තු ගන්වන්නට වලි කයි. දේශපාලනය කුමක් වුවත් විමල් වීරවංශලාගේ හිරිකිත දේශපාලනය අවසන් විය යුතුය. මහින්ද රාජපක්ෂට වැළඳුණේද විමල්ලාගේ මේ සුනඛ දේශපාලනය බව කිව යුතුමය. මහින්ද මේ තරම් අවුල් චරිතයක් වූයේ නම් එයට මේ වීරවංශලා වගකිව යුතුය.

රනිල් වික්‍රමසිංහ අරලියගහ මැදුරෙන් නොයන්නේ නම් එළියට ඇද දමන බව කියන වීරවංශ ගැන එජාප අය කියනුයේ එයාගේ කේස් වහපු රනිල්ට ඔහොම වෙලා මදි යන්නය.

කිරිබත් කෑම

කිරිබත් යනු මෙරට සංස්කෘතික වටිනාකමක් ඇති අහරක් වුවත්, දැන් එය වෛරයේ දිව බොජුන බවට පත්වී ඇත. ප්‍රභාකරන්ගේ මළගමින් ඇරඹි කිරිබත් කෑම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේදීද කෑහ. දැන් මහින්ද රාජපක්ෂ අගමැති වූ මොහොතේ සිට නගරයක් නගරයක් පාසා මහින්දගේ හෙංචයියෝ කිරිබත් කති. මේ මෝඩ චූන් එක ආයේ පටන් ගැනීමේ ප්‍රීතියය. පූස් පැටව් මෙන් එෆ්සීඅයිඩී එකට ගිය නාමල් තාත්තා අගමැති වූ සැණින් කොට කලිසමක් ඇඳ යන තැනට වීරයකු වී ඇත. පරණ පුරුදු ඩබල් ටි්‍රබල් වී ඉදිරියට ආ හැකිය.

අද මහින්ද රාජපක්ෂගේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මුව ඇත්තේ වෛරී දේශපාලනය පරාද කරන බවය. ඒ වෛරයෙන්මද යන පැනය ඉතිරිව ඇත. එක අත්තේ වහනුයේ එක සමාන කුරුල්ලන්ය. මහින්ද වටා ඇත්තේද මෝඩ රැළකි. ඔහුට කැමති ජනතාව වුව මෝඩයන්මය. නගරවල මහින්දට සුබ පතන බැනර්වල ඇත්තේ ඡන්දය දුන් සැමට ස්තුති යන්නය. ඔහු ඡන්දයෙන් අගමැති වුණාදැයි අපි නොදනිමු.

මහින්දලාට වුව නැවත හැදෙන්නට බැරි නැත. එහෙත් හැදෙන පාටක් පෙනෙන්නට නැත. වෛරය ඇත්තේ කා තුළවත් නොව රාජපක්ෂලා තුළය. රාජපක්ෂට ගෑවුණු හැම එකාම තුළය. මහින්ද ආ සැණින් මහින්දගේ පූස් පැටව් කොටි පැටව් වී සිටිති. ආයතනවල තමන් සමග එකට බත් පත කෑ එකාට ගහන මට්ටමට පත්වී ඇත. රූපවාහිනියට රිංගන රොජර් සෙනෙවිරත්න සහ යකඩ හොරා අමුතු චණ්ඩි බවට පත්වූහ. මේ සියලු රංගන රාජපක්ෂ අගමැති වීම නිසාය. අර්ජුනගේ සිද්ධියත් එහිම ප්‍රතිඵලයකි. අර්ජුනට තම පාඩුවේ ඔහුගේ ලිපි ද්‍රව්‍ය රැගෙන යන්නට දුන්නේ නම් මොකද?

ඔහු හොර ටෙන්ඩර් ගනුදෙනු ෆයිල් රැගෙන ගියායැයි මහින්ද ළඟ සිටින ලෝක හොරෙක් මාධ්‍යයට කීවේය. ඒ ඔවුන්ගේ අත්දැකීම් විය යුතුය. ඉතා නිවැරදිව කියනුයේ එබැවිනි. සැබැවින්ම වචනයට නොව ක්‍රියාවට මුල්තැනදී වෛරී දේශපාලනය දැන්වත් නතර කළ යුතුය. එය රාජපක්ෂලාට කළ හැකිය. මන්ද වෛරී දේශපාලනය කරන්නේද ඔවුන්ම බැවිනි.