රාජ්‍ය මාධ්‍ය කණපිට ගැසීම

ආණ්ඩුවක් මාරු වන විට සාමාන්‍යයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලද ලොක්කෝ පසුදා සිට වැඩට නොඑති. එසේ වැඩට නොඑන අය යම් දවසක තමා ඇඟෑලුම් කම් දැක්වූ ආණ්ඩුව යළි බලයට පත් වූ සැණින් තම තමන් හිටපු මාධ්‍ය ආයතන වලට රිංගති. එවිට ඒ දක්වා ඒ තනතුරු වල සිටියෝ ගෙදර නතර වෙති. මේ තත්ත්වය ඉකුත් ඔක්. 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේදීත් දක්නට ලැබිණි. මෙය අතිශයින් සාමාන්‍යයක් වුවද දැන් දැන් එම ක්‍රියාවලිය ගුජුප්සාව දනවන ආකාරයකින් සිදු වන බව පෙනේ.

ඔක්තෝබර් 26 වැනිදා සිදුවූයේ ඔක්තෝබර් විප්ලවයක් නොවේ. එහෙත් නව අගමැතිවරයා දිව්රුම් දුන් සැණින් ජාතික රූපවාහිනියේ රාජපක්ෂ හිතවාදී වෘත්තීය සමිති නියෝජිතයෝ එහි ප්‍රවෘත්ති අංශය ආක්‍රමණය කළහ. ස්වාධීන රූපවාහිනි ආයතනයේත් තත්ත්වය එබඳුම විය. දේශපාලන බලයෙන් උද්දාම වූ පිරිස පළමුව සිදුකර ඇත්තේ ආයතන දෙකෙහිම සවිකර තිබුණු අගමැති රනිල්ගේ සහ ඇමති මංගලගේ ඡායාරූප ගලවා දැමීමය. අයි.ටී.එන්. ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය ප්‍රධානියකු රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් ප්‍රවෘත්තිය විකාශයට සලස්වා ආයතනයෙන් පිටතට යාමේදී පිරිසක් ඔහුට පහර දීමට තැත් කර තර්ජනය කර තිබුණේ දැන් තොපේ වැඩ අවසන් බව කියමිනි. 2015 ජනවාරි 09 වැනිදා රාජ්‍ය මාධ්‍ය ආයතන තුළින් මෙවැනි දේවල් අසන්නට නොලැබුණු බව අන්තිම අකාර්යක්ෂම කණ්ඩායමක් වුවත් යහපාලනයේ නියෝජිතයන්ට ගෞරව පිණිස සටහන් කළ යුතුව ඇත. ඔවුන් හිටපු ජනපතිගේ ඡායාරූප ගැලෙව්වේ නැත. ප්‍රවෘත්ති හා වැඩසටහන් මර්මස්ථානවල රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් දිගු කාලයක් වැඩ කරන අයුරුද නිරීක්ෂණය කළ හැකි විය.

27 වැනිදා වන විට ස්වාධීන රූපවාහිනියේ නිල ලාංඡනය වෙනස් කර, අයි.ටී.එන්. එෆ්.එම් රේඩියෝව යළි ලක්හඬ ලෙස නම් කර තිබුණි. මේවා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව වෙනස් කළ යුතු වුවත් දේශපාලන තීන්දු මත එම පියවරයන්ට ගොස් තිබේ. රාජපක්ෂ සමයේ අයි.ටී.එන්. ප්‍රධානියකු ලෙස සේවය කළ දැනට වරෙන්තුකරුවකු වන පුද්ගලයකු එදින සවස වැඩසටහන් අංශයේ සේවකයකු ප්‍රවෘත්ති අංශයේ වැඩ බැලීම සඳහා පත්කර තිබිණි. මෙම ආයතන දෙකෙහිම පෙර සේවයේ සිට විනය විරෝධි ක්‍රියා හා වෙනත් අවභාවිතයන් නිසා වැඩ තහනමට ලක් වූවන් දේශපාලන හයිය අතට ගෙන බොහෝ තැන්වල සාමාන්‍ය පැවැත්ම හදිසියේ වෙනස් කර ඇති බවක් දක්නට ලැබේ.

මහත්ම නින්දාසහගත සිද්ධිය දක්නට ලැබුණේ ලේක්හවුසියේය. එහි ප්‍රධාන පුවත්පතේ බලය අල්ලා ගත් වෘත්තිය සමිති නියෝජිතයෝ මුද්‍රණයට සූදානම් කර තිබූ මුල් පුවත වෙනස් කර අගමැතිවරයා දිව්රුම් දෙන ඡායාරූපය හා ප්‍රවෘත්තිය පළ කළහ. එහි කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් වෘත්තිය සමිති නායකයකු මහින්ද අගමැති වීම සැමරීමට රතිඤ්ඤා පත්තු කරන ආකාරය දැක්වෙන සේයාරුවක්ද එම කැප්ෂනය සහිතව මුල් පිටුවේ පළ කර ගත්තේය. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා බලයට පැමිණි අවධිවල එවැනි නිල්ලජ්ජිත ක්‍රියාවන් සිදු වී නැත. අගමැති දිවුරුම් දීම වැනි වැදගත් කාරණයක් ඇති දවසක එය හැරුණු විට මුල් පිටුවක බොහෝ විට පළ කරනුයේ අත්‍යවශ්‍ය ප්‍රවෘත්තිමය සේයාරුවකි. අමු දේශපාලන හෙන්චයියකු රතිඤ්ඤා පත්තු කරන ඡායාරූපයක් ප්‍රධාන රාජ්‍ය මුද්‍රිත මාධ්‍යයක මුල් පිටුවේ පළ කිරීම තනිකරම අගමැතිට අවමන් කිරීමකි. එවැනි දුෂ්මාධ්‍ය ක්‍රියාකාරකම් ගැන නව ලේක්හවුස් සභාපතිවරයා විනය පරීක්ෂණයක් කළ යුතුව ඇත.

මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රබුද්ධ කතුවරුන් තනතුරු හෙබවූ ශත දහයේ විශ්වවිiාලය යන වැදගත් නාමය දැරූ පුවත්පතකට වර්තමාන දේශපාලන සොකඩයින් කරන හානිය සුළුපටු නොවේ.

මෙම සිද්ධි වලින් ප්‍රකට වන රාජ්‍ය මාධ්‍ය මුහුණ දෙන අර්බුදය නම් එය තනිකරම හැම කලෙකම දේශපාලන අන්තේවාසිකයන් විසින් මෙහෙය වන දෙයක් බවට පත් වීමය. එවැනි තත්ත්වයක් තුළ කිසිම රජයකට ස්වාධීන ජනමාධ්‍යක් ගැන කතා කළ නොහැකිය. කතා කිරීමහිද අර්ථයක් නැත. මන්ද තමන් යටතේ තිබෙන රාජ්‍ය මාධ්‍ය ගඳ ගහන මට්ටමට කුණු වී ඇති බැවිනි. මේ ගැන සිතන දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් ඉදිරියේදී හෝ බිහිවනු ඇත්දැයි සැක සහිතය.