රනිල්ගේ සැප දුක් බලන්න අරලියගහ මැදුරට යමුද?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම පිළිබඳව විවිධ පිරිස් විවිධ කෝණවලින් විවිධ අර්ථකතන ලබාදෙමින් සිටිති. පිරිසක් පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බවකි. තවත් පිරිසක් පවසන්නේ එම පත්වීම ව්‍යවස්ථානුකූල බවකි. මේ තර්ක දෙකම එක් එක් පක්ෂ නිල හා නොනිල ලෙස නියෝජනය කරන ව්‍යවස්ථා විශේෂඥයින් විසින් පවසන හෙයින් මහජනතාවට මේ පත්වීම පිළිබඳව නිවැරදි ස්ථාවරයකට පැමිණීම ගැටලුසහගත කාරණාවක් බවට පත්වී ඇත. කෙසේ හෝ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමේ ආචාර්ය ධාර්මික ගැටලුවක් ඇති බව බැලූ බැල්මට පෙනේ. හවුල් ආණ්ඩුවක් නියෝජනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය තනි කැමැත්ත මත අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සදාචාරාත්මකව නිවැරදි නොවන්නේ යැයි ඇතමකුට තර්ක කළ හැකිය. දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය යම් තරමකට කප්පාදු කළ ද ඔහුට විධායක බලය හිමිය. ඒ අනුව ඔහුට ව්‍යවස්ථාවෙන්ම තනි කැමැත්තට කටයුතු කිරීමේ බලය හිමි බව තවකෙකුට තර්ක කළ හැකිය.

වෙනසක් නැත
කෙසේ හෝ මේ වන විට නව රජයක් හා අග්‍රාමාත්‍යවරයකු පත් වී අවසන්ය. ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව රට කරගෙන යනු ඇත. කෙසේ නමුදු පෙර පැවති යහපාලන රජය හා ඊට පෙර පැවති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව එකිනෙක සන්සන්දනය කරන විට යහපාලන රජයේ සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබූ බව පැහැදිලිය. යහපාලන රජය යටතේ මාධ්‍යවේදීන් පැහැර ගත්තේ ද, මරා දැමුණේ ද, පවුල් පාලනයෙන් රට අරාජික වූවේද නැත. එහෙත් යහපාලන රජය කාලයේ මහ බැංකුව කොල්ලකෑවේය, ගේනවා යැයි කියා බලයට පත් වූ යහපාලනය ගෙන ආවේද නැත, නිදහස් කරනවා යැයි කියූ දේශපාලන සිරකරුවන් නිදහස් කළේ ද නැත, දෙනවා යැයි කියූ රටේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නේද නැත, කොටින්ම ඔවුන් ගෙවුණු අවුරුදු තුනක කාලය තුළ රටට ද ජනතාවට ද සිදු කළ දෙයක් නැත. ඔවුන් සිදු කළේ මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව මෙන් සිය මඩි තරකර ගැනීම පමණි. එනිසා පහුගිය සමයේ මහින්ද රනිල් කියා ලොකු වෙනසක් පෙනුණේ නැත.

මෛත්‍රීගේ විහිළුව
යහපාලනයෙන් ගැලවී ගිය මෛත්‍රී දැන් කියන්නේ රනිල්ලා ප්‍රමුඛ නඩය තමන්ට වැඩ කිරීමට අවස්ථාව නොදුන් බවයි. තමගේ කකුලෙන් ඇද්ද බවයි. තමන්ට බාධා කළ බවයි. ඒ ඔහු මෙතෙක් කියූ විසුලු කතාවලම දිගුවකි. විධායක බලය හිමි ජනාධිපතිවරයකු රටේ නීතිය, සාමය හා සාධාරණත්වය රජකරවන්නට යැයි කියා බලයට පැමිණ ඒ සඳහා කවුරුන් හෝ හරස් කැපුවේ යැයි පැවසීම ඔහුගේ නිවට නියාලු බව නොවේද? මෛත්‍රීගේ මේ කතාව කිතුලට ගිය මිනිහාටත් හේතුවක් තිබූ බව මතක් කර දෙයි. සැබෑවටම රනිල්ලා මෛත්‍රීට බාධා කළා යැයි සිතමු. එහෙත් මෛත්‍රී ජනතාව ඉදිරියට පැමිණ කීවේ මොනවාද? ඔහු යහපාලන ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, මහින්ද ප්‍රමුඛ නඩය විවේචනය කළේය. එතැනින්ද නොනැවතුණු මෛත්‍රී රට හැම තැනට ගොස් කීවේ මේ කපේට මහින්දලාට ආණ්ඩුවක් හැදීමට නොදෙන බවකි.

එසේම මෛත්‍රී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සමයේ පැවසුවේ මහින්ද ප්‍රමුඛ නඩය තමන්ව අඩි හයක් පොළොව යටට යවන්නට උත්සාහ කළ බවයි. එහෙම කියූ ඔහු දැන් එකතු වී සිටින්නේ තමන්ව අඩි හයක් පොළොව යටට යවන්නට සිටි පිරිස සමඟිනි. එසේ ගොස් ඔහු කියන්නේ රනිල් ප්‍රමුඛ පිරිස තමන් මරන්නට උත්සාහ කළ බවයි. කන්නට ඕනෙ උනහම කබරගොයාද තලගොයා කරගැනීමේ න්‍යාය අපූරුවට මෛත්‍රී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්නේ තමන්ව බලයට ගෙන ආ හැට දෙලක්ෂයට සිය පශ්චාත් බාගය පෙන්වමිනි.

එජාපයේ උවමනාව
මේ වන විට එජාපය මහජනයාට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීමට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි. අරලියගහ මන්දිරයට ගියා කියා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ කෙසේදැයි ගැටලුවක් පවතී. ඒ පහුගිය සමයේ ආරක්ෂා නොවුණු ප්‍රජාත්‍රන්තවාදය එක දවසින් ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය බිඳෙන සුළු භාණ්ඩයක් නොවන බැවිනි. කෙසේ වෙතත් ජනතාව අරලියගහ මන්දිරයට ගියහොත් ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් එජාපයේ අවස්ථාවාදී දේශනා අසා ආ හැකිය.

එසේම එජාපයට ප්‍රජාතන්ත්‍රවාදය මතක්වූ අවස්ථාව විශේෂය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වන්නේ තමන්ට කෙළවුණු විටය. රටේ මිනිසුන් යහපාලන ආණ්ඩුවට බහුතර බලය දුන්නේ රාජපක්ෂ හොරු රැල අල්ලා දඬුවම දීමටය, වංචාව හා දූෂණය නාස්තිය අවම කිරීමටය. එහෙත් ඊයේ පෙරේදා වන තෙක් එජාපය සිදු කළේ මහින්ද ඇතුළු සොර නඩය සුරතල් කිරීමත් වංචාව හා දූෂණය ඉහ වහා ගිය තත්ත්වයකට ගෙන ඒමත්ය. ඒ නිසා එජාපයට මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිතාවක් නොව ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උවමනාවකි, භාවිතාවකි.

එජාපය මහජනතාවට අරලියගහ මැදුරට ආරාධනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත බව උදෙසා නොව තමන්ට අහිමිව යන රාජ්‍ය බලය රැක ගැනීම උදෙසා බව පැහැදිලිය. ඔවුන්ට උවමනා තමන් වෙත බලය කේන්ද්‍රගත කර ගැනීමය. ඒ වෙනුවෙන් කවර ආකාරයක පියවරක් ගැනීමට ඔවුනුත් පසුබට වන්නේ නැත. එය මේ මොහොතේ ඔප්පු කරමින් සිටී. සිය පක්ෂයට හිමිව තිබූ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් වෙලේ මංගල සමරවීරගේ හැසිරීම, හරීන් ප්‍රනාන්දුගේ හැසිරීම දෙස බලන විට එය පැහැදිලිව ගම්‍ය වේ. මංගලලාට, හරීන්ලාට, අජිත්ලාට සේම රනිල්ලාට ද මේ මොහොතේ අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔවුන්ට මේ මොහොතේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය යනු නැතිවී යමින් තිබෙන බලය අත්පත් කරගැනීමය.

ඒ නිසා අරලියගහ මැදුරට රැස්වූවා කියා රැකෙන, ආරක්ෂා වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. අරලිගහ මන්දිරයේ ඔළුගෙඩි කීයක් තිබුණද රාජපක්ෂලා සිය න්‍යාය පත්‍ර වෙනස් කරන්නේ නැත. මෛත්‍රී සිහින දකින නින්දෙන් අවදිවන්නේ ද නැත. මෛත්‍රී ඇහැරෙන්නේ මහින්දලාගේ චණ්ඩි න්‍යායන් මතු වූ දිනෙක තරු විසිවීය. එවිට මෛත්‍රීට සිදුවන්නේ මුල්ලකට වී තමන්ට තරු කීයක් විසිවුණාදැයි ගණන් කිරීමටය.

මහජනතාව මේ දේශපාලන අවස්ථාව පිළිබඳව සවිඥානික විය යුතුය. එයට අරලියගහ මැදුරට යා යුතු නැත. අරලියගහ මන්දිරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැත. එහි ඇත්තේ මහින්ද සේ ම බලය ඩැහැ ගැනීම උදෙසා සිදු කරන බලලෝභී අරගලයක වර්ණ විපර්යාසයක් පමණි.