රනිල් ඉවත් කර මහින්ද පත්කිරීම ව්‍යවස්ථාවට එකඟද?

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ මහතා, අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලය පිළිබඳ මෙන්ම දේශපාලන බලය පිළිබඳවද ව්‍යාකූලත්වයක් රට තුළ හටගෙන තිබේ. සිදුවූ ක්‍රියාදාමය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද? ඒ සම්බන්ධයෙන් නීති විශාරදයන් වන ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග රාවය සංවාදයක නිරත විය.

ව්‍යවස්ථා විරෝධියි
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද?
ජනාධිපතිවරයාට 19 වන සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ 47 වන වගන්තිය යටතේ අගමැතිවරයා, අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු ඉවත් කිරීමට පැහැදිලි සහ ප්‍රකාශිත බලතල තිබුණා. ඒ බලතල සියල්ල 19 වන සංශෝධනයෙන් ඉවත් කළා. අද 19 වැනි සංශෝධනයෙන් පසු අගමැතිවරයාගේ ධුර කාලය පිළිබඳ වගන්තිය වන්නේ 46 (2) වගන්තියයි. ඒ අනුව අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ ඔහුගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි වුවහොත් මිස අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් ඔහු ධුරය දරයි. අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකෙන්නේ කුමන අවස්ථාවකදී දැයි 48 (2) වගන්තියේ තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී පරාජය වුවහොත්, නැතහොක් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකින් ජය ලැබීම යන තුන් අවස්ථාවලදී පමණක් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙසට සලකනවා. ඒ හැරෙන්නට අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල ලැබෙන කිසිම ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන්නේ නැහැ. අද 19 වන සංශෝධනයෙන් පසු අගමැතිවරයාගේ උපදෙස් නොමැතිව අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු ඉවත් කිරීමට ජනාධිපතිට නොහැකියි. එසේ අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු ඉවත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් මත සිදුවිය යුතු බව 4G (3) වගන්තියේ දැක්වෙනවා.

ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 48 (1) වගන්තිය අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවට තර්කයක් ගොඩනගලා තිබෙනවා. එම වගන්තියේ ඉංග්‍රීසි පිටපතට අනුව මරණය, ඉල්ලා අස්වීම හෝ අන්‍ය ආකාරයකින් අගමැති ධුරය දැරීම අවසන් වූ විට නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිට හැකිවේ යැයි කියා තිබෙනවා. සිංහල පිටපත තරමක් වෙනස්. එහි කියැවෙන්නේ නැහැ මරණය පිළිබඳව. එහි සඳහන් වන්නේ ඉල්ලා අස්වීම, ඉවත් කිරීම හෝ අන්‍ය ආකාරයකින් ධුරය අවසන්වීම පිළිබඳවයි. එහෙත් අගමැතිවරයාගේ ධුර කාලය පිළිබඳව තිබෙන එකම වගන්තිය වන 46 (2) හි සිංහල සහ ඉංග්‍රීසි පිටපත් සම්පූර්ණයෙන්ම සමානයි. 48 (1) වගන්තියේ ‘ඉවත් කිරීම’ යන වචනය තිබුණත් ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ හැකි බවක් හෝ කුමන අවස්ථාවකදී එසේ කළ හැකිද යන්න දැක්වෙන්නේ නැහැ.

ඒ අනුව 48 (1) වගන්තියේ ‘ඉවත් කිරීම’ ලෙස සැලකිය යුතු වන්නේ පාර්ලිමේන්තුව විසින් කෙරෙන ඉවත් කිරීමක් පමණයි. එය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ අයවැය ලේඛනය පරාජය වීම හෝ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ජය ලබන විට, යන තුන් ආකාරයේ එකකින් අමාත්‍ය මණ්ඩලය සමග ඇමතිවරයාද ඉවත්වීමයි.

ව්‍යවස්ථාවට අර්ථ නිරූපණයක් කරන විට සමස්ත ව්‍යවස්ථාව දෙස බැලිය යුතුයි. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම වැනි ඉතා වැදගත් කාරණයක් පිළිබඳව පැහැදිලි සහ ප්‍රකාශිත විධිවිධාන තිබිය යුතුයි.

විවිධ භාෂාමය පිටපත්වල යම් වෙනස්කම් තිබීම බොහෝ විට සිදුවෙනවා. මක්නිසාදයත් මේවා කෙටුම්පත් කරනු ලබන්නේ මනුෂ්‍යයන් විසින් නිසා. එවැනි අවස්ථාවක මුළු ව්‍යවස්ථාව දෙස බැලිය යුතු අතර විශේෂයෙන් සංශෝධනයක් කළ අවස්ථාවකදී කුමන වගන්ති සංශෝධනය කළේද යන්න සලකා බැලිය යුතුයි. අගමැතිවරයා, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඉවත් කිරීමට ප්‍රකාශිතවම ජනාධිපතිවරයාට බලය දුන් 47 වගන්තිය සම්පූර්ණයෙන්ම 19 වැනි සංශෝධනය මගින් අයින් කළා. එසේ තිබියදී නව අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීමට බලය දෙන වගන්තියේ සිංහල පිටපතේ එක් වචනයක් අල්ලාගෙන තර්ක කිරීම විහිළුවක්.

නියෝජ්‍ය අමාත්‍යවරයකු ඉවත් කිරීමට වුවද අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අවශ්‍ය නම් අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිට බලතල තිබී ඇතැයි තර්ක කළ හැකිද?

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ව්‍යාකූලභාවයක් රට තුළ ගොඩනැගී තිබෙනවා. මෙම ව්‍යාකූලභාවය නැති කිරීම සඳහා ගතහැකි ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග මොනවාද?
මෙය අවසාන වශයෙන් පාර්ලිමේන්තුව තුළ විසඳා ගතයුතු ප්‍රශ්නයක්. මූලික ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සහාය කාටද තිබෙන්නේ යන්නයි. එම නිසා කළයුත්තේ තීන්දුව ගැනීම ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට භාරදීමයි. එය සිදු නොකර නොයෙකුත් ආකාරයෙන් මන්ත්‍රීවරු බාගන්නට පාර්ලිමේන්තුව කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී යැයි සලකන්නේ නම් 2015දී. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමද නීති විරෝධී බව හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
රනිල් වික්‍රමසිංහ පත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දැම්මේ නැහැ. පාර්ලිමේන්තුව දිගටම පැවතුණා. පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි ඡන්දයකින් 19 වන ව්‍යවස්ථාව සංශෝධනය පවා සම්මත කළා. එම පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබුණා. පාර්ලිමේන්තුව එසේ කළේ නැහැ. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේද අග්‍රාමාත්‍යවරයායි. එයද ඉතා වැදගත්.

2015 ජනවාරි මස 29 වැනිදා එවකට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අතුරු අයවැය ලේඛනය පවා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා. එයද වැදගත් වෙනවා.

යම් හෙයකින් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුව තුළ බහුතරයක් පෙන්වමින් 113 දෙනකුගේ නියෝජිතයන් තමන්ට තිබෙන බව සනාථ කරනු ලැබුවහොත් වර්තමානයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව තුළ සිදුවන තත්ත්වය ව්‍යවස්ථානුකූලව කෙබඳු ආකාරයක් ගනීද?
පළමුව කිවයුත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙසයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වා සිටීමෙන්ම රාජපක්ෂට ධුරය දැරීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් නැතිවී යනවා.

යම් ලෙසකින් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමක් සිදුකර නැවත අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ ලබා ගතහොත් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් තිබේද?
දෝෂාභියෝගයක් ගෙන ආ හැකියි. මොකද මෙය පැහැදිලි ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීමක්.

 

ව්‍යවස්ථාවට එකඟයි
ආචාර්ය ජයතිස්ස ද කොස්තා

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම ධුරයට මහින්ද රාජපක්ෂ පත්කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද?
එම සිද්ධිය දෙයාකාරයකින් විග්‍රහ කළ හැකියි. හුදෙක් නීතිමය අංශය පමණක් විග්‍රහ කිරීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වැදගත් වෙනවා. එහි කියැවෙන ජනපතිගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේය.

මෙය මෙසේ විග්‍රහ කළ හැකියි: (i) ජනාධිපතිගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති කෙනා කවුරුන්ද යන්න වෙන වෙනම බැලිය යුතුයි. (ii) පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ නායකයා පත් කළ යුතු බවද ව්‍යවස්ථාවේ කියලා නැහැ. ඒ අනුව ජනාධිපතිගේ මතය පිළිබඳවද ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ජනාධිපතිගේ මතය පරීක්ෂාවට ලක් කිරීමට අධිකරණයට හෝ වෙනත් ආයතනයකට ප්‍රශ්න කළ නොහැකියි. ඔහුට අභිමතයක් තිබෙනවා. ඔහුගේ මතය සාදා ගන්නේ කෙසේද? එය එක් එක් අවස්ථා අනුව තීරණය වෙන්නේ.

හරි හෝ වැරදි හෝ මහින්ද අගමැති ධුරයට පත් කර තිබෙනවා. මෙම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ බලපැවැත්වෙන තාක් අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. කතානායකට හෝ අධිකරණයකට එය සිදු කළ නොහැකියි.

යම් හෙයකින් මෙම ප්‍රශ්නය අධිකරණයක් හමුවේ තැබුවහොත් හෝ වෙනත් ආකාරයකින් අර්ථ නිරූපණය කිරීමට මෙම විෂය අරබයා උත්සාහ කළහොත් එහිදී එකී විනිශ්චය අධිකාරිය අර්ථ නිරූපණය කළයුත්තේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙයි. ඊට දිය හැකි පිළිතුර වන්නේ අර්ථකථනය පිළිබඳ ‘බින්ද්‍රා’ නමැති ශාස්ත්‍රීය ලේඛකයකු වන නීතිවේදියා විසින් ලියන ලද Interpretation of Statutes කෘතියේ 871 පිටුවේ මෙසේ දැක්වෙනවා. ‘ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත්ම පටු අන්දමින් අර්ථ නිරූපණය කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (යම් ව්‍යවස්ථාවක්) අර්ථ නිරූපණය කළ යුත්තේ එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය පදනම් කරගෙනය.”

එසේ නම් ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ මොනවාද? යන්න සලකා බැලිය යුතුය. එහිදී එම ව්‍යවස්ථාවේම 4 ව්‍යවස්ථාවේ (ආ) යන්නෙහි ‘ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළයුත්තේ යයි’ පවසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් මූලික ව්‍යුහයක් වනුයේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවය. මේ බව පවසා ඇත්තේ ඉන්දියානු නඩු තීන්දුවක් වන ශ්‍රීරාම් ඉන්ඩස්ටී්‍රස් එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් එදිරිව යූනියන් ඔෆ් ඉන්ඩියා කම්පනි 1995දී තීන්දු වූ නඩු තීන්දුවකදීය.

ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදයට අදාළ 42 ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් සියලු ව්‍යවස්ථා අර්ථ නිරූපණය කළ යුත්තේ එකී මූලධර්මය අනුසාරයෙනි. එවිට, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට ඔහුට බලය ඇති බව පෙන්වා දිය හැකිය. මෙහිදී මහින්ද රාජපක්ෂ නොවන වෙනත් පුද්ගලයකු පත් නොකළේ ඇයිද යන ප්‍රශ්නය නැගිය හැකිය. එහිදී පැවසිය හැක්කේ එම අවස්ථා තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අතරින් පක්ෂ හෝ කණ්ඩායම්වල සංයුතිය, මෑත කාලයේ ලබා ගත් ජනවරම, මන්ත්‍රීවරුන් අතර සහ අනෙකුත් පාර්ශ්වයන් අතර ඇති සාපේක්ෂ ජනප්‍රියතාව සහ පිළිගැනීම වැනි කරුණු රාශියක් සලකා බලා ජනාධිපතිවරයාට තම මතය ප්‍රකාශ කළ හැකි බවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වඩා ආසන සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බැවින් එහි නායකයා පත් නොකළේ ඇයිද යන ප්‍රශ්නයද යමකුට නැගිය හැකිය. ඊට දිය හැකි උත්තරය නම් මෙම පාර්ලිමේන්තුව තේරී පත්වූ අවස්ථාවේ පටන් මේ දක්වා කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ පූර්ණ බහුතරයක් නොතිබීමත්, ඔවුන් ලබාගත් ආසන 106 තුළ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ ගණනාවකින් සමන්විත එකක්වීමක්ය. මෙම අදහස ප්‍රකාශ කරන අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂයද පෙරමුණෙන් ඉවත් වී ඇත. එමෙන්ම දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිරිසේන – රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ ඒ අනුවද ජනාධිපතිවරයා අගමැති තෝරාගත් ආකාරය යුක්තිමත් කළ හැකි බවය.

මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවූයේ කුමන හේතුවක් නිසාද යන්න සලකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 46 (5) දක්වා ඇති අන්දමට ජාතික ආණ්ඩුවක් 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පැවතුන බැව් වටහාගත යුතුය. එය අවසන් වූ වහාම නීතිය ක්‍රියාත්මකවීමෙන් තවදුරටත් මෙහි තිබූ ජාතික ආණ්ඩුව අවසන් විය. එය සිදුවූයේ මෙම වසරේ ඔක්තෝබර් 26 වැනිදාය. ඒ අනුව ජාතික ආණ්ඩුවක් අවසන් වූයේ නැත යැයි යමකු තර්ක කළහොත් ඊට දිය හැකි පිළිතුරවන්නේ ජාතික ආණ්ඩුවක් නොවන සාමාන්‍ය ආණ්ඩුවක් නම් කැබිනට් ඇමති ධුර සාපේක්ෂ 30 නොඉක්මවිය යුතු බවයි. ඒ අනුව 2015 සැප්තැම්බර් 3 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවක් අනුව පිහිටුවනු ලැබු ජාතික ආණ්ඩුව කැබිනට් ඇමතිවරුන් 48ක් සහ කැබිනට් නොවන ඇමතිවරුන් 45කින් සමන්විත විය. එසේ නම් ඉතා පැහැදිලි ලෙස ජාතික ආණ්ඩුවත් සමග එහි කැබිනට් මණ්ඩලය අවසන් විය. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ නායකයා වන ජනාධිපතිවරයා හැරෙන්නට සියලුම ඇමතිවරුන්ගේ ධුර කාල එදින අවසන් විණ. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) අනුව අගමැති ධුරය පුරප්පාඩු වූ නිසා කැබිනට් මණ්ඩලයද විසුරුවා ඇති බැවින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අගමැතිවරයාගේද ධුර කාලය අවසන් වී ඇත. එකී 48 (1) අනුව එවැනි අවස්ථාවකදී ජනපති විසින් අගමැතිවරයකු පත් කළ යුතුය.

අගමැතිවරයාගේ ධුර කාලය කොතෙක් කල් පවතීද යන ප්‍රශ්නයට දියහැකි පිළිතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) හි සඳහන් වෙයි. එහි (ආ) අනු ව්‍යවස්ථාවට පසු ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් අගමැතිවරයා ධුරය දරන්නේය.”

ඉහත කී කරුණු අනුව;

1. කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇත.
2. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු වී ඇත.
3. එහිදී ජනපති බලතල අනුව අලුත් අගමැතිවරයකු සහ ඇමති මණ්ඩලය දැන් පත්කර ඇත.
4. එහිදී ජනාධිපතිවරයා අගමැති තෝරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ප්‍රතිපාදනවලට අනුකූලවය.
අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් උපයෝගී කරගත හැකි වෙනත් නීතිමය ප්‍රතිපාදනයන්ද ඇත. එනම්: ශ්‍රී ලංකාවේ අර්ථ නිරූපණ ආඥා පනතේ 14 (F) වගන්තිය යටතේ ඇති මූලධර්මය එනම් යම්කිසි ධුරයකට යම් පුද්ගලයකුව පත් කළ බලධාරියාට එම පුද්ගලයා එම තනතුරින් ඉවත් කිරීමේ බලය ඇති බවය. මෙම මූලධර්මය සාමාන්‍ය ආඥා පනතක් යටතේ ඇති එකක් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථනිරූපණය කිරීමේදී උපයෝගී කරගත නොහැකියැයි යමකුට තර්කකළ හැකිය. එයට දිය යුතු පිළිතුර දෙවැදෑරුම්ය:

1. කලින් සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේදී එය පටු ලෙස නොකළ යුතු යන්නයි.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් වශයෙන් සලකා බැලීමේදී එහි මූලික මූලධර්මයක් අනුව සලකා බැලූ විට පවා ජනාධිපතිවරයාට අගමැති ධුරයට පත්කිරීමට මෙන්ම එයින් ඉවත් කිරීමේ බලයද ඇත.

මෙම සිද්ධියට සමාන සිද්ධියක් මෙන්ම එහිදී ජනාධිපතිවරයාගේ බලතල යෙදිය යුතු අන්දම සම්බන්ධයෙන් කදිම පූර්වාදර්ශයක් ඇත. එනම් 2015 ජනවාරි 8 වැනි දින ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ආසන 162ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිමු ජයරත්න ඉවත් කොට, ආසන අතළොස්සක් පමණක් අයත්ව තිබූ එක්සත් ජාතික පාක්ෂික රනිල් වික්‍රමසිංහ අගමැති ධුයට පත් කිරීමය.