මෛත්‍රී කැමති අලුගෝසුවා මහින්දද?

ලංකාවේ දේශපාලනය ‘ගේම්’ එකක් බවට පත්වූයේ 2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා නොව 2015 ජනවාරි 08 වැනිදාය. මේ ගෙවුණු සිකුරාදා වූයේ ඒ ගේම් එකේ කූඨප්‍රාප්තියය. ඔක්තෝබර් 26 වැනිදා සිදුවූයේ කුමන්ත්‍රණයක් නම් ජනවාරි 08 වැනිදා සිදුවූයේද කුමන්ත්‍රණයක්මය. කුමන්ත්‍රණ කුමන්ත්‍රණවලින්ම කෙළවර වන්නා සේ ම ගේම්කාරයෝ ‘ගේම්’ එකෙන්ම පිළිතුරු සපයන්නෝය. මේ සිදුවූයේ එයමය.

2015 ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය අස්බැන්දුමකි. පොදු අපේක්ෂකයා යන්න විගඩමකි. තරගයක් නම් තරගකරුවා මුල සිටම නම් විය යුතුය. එය නියම තරගයක් වන්නේ එවිටය. සැඟවුණු අමුත්තකු අවසාන මොහොතේ තරගයට දමා විජ්ජා පෙන්වීම තාවකාලික බව මේ වනවිට පැහැදිලිය. 2015 ජනවාරි 08 සිදුවූයේ කුමන්ත්‍රණයක් බව අප කීවේ අන් කිසිවක් නිසා නොව ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියාම කැපූ නිසාය. එනම් මහින්ද රාජපක්ෂ පරද්දනට ගෙනාවේ කවුද? ඔහුගේම පක්ෂයේ ඔහු යටතේ අතකොලුවක් වූ මහ ලේකම්ය. මහින්දට අනුව තරගකරුවා ඇඹිටිල්ලෙකි. එහෙත් ඔහු ඔසවාගෙන සිටි අය නැත. මේ යෝධයෙක් බව පෙන්වීය. ඔප්පු කළේය. පොළොන්නරුවේ මෛත්‍රී යෝධයකු වී රටේ නායකයා වූයේ එක්තරා ආකාරයකට බලහත්කාරයෙනි. එහෙත් ජාතිකත්වය කතා කරන, සරම අඳින පොළොන්නරුවේ සිරිසේනට කලිසම්කාර රනිල් ඉදිරියේ රූකඩයක් වන්නට සිදුවූයේ මහින්ද ළඟ සිටි නිකමාට වඩා වැඩි වේගයෙනි.

මහින්ද පැරදවීම
මහින්ද රාජපක්ෂ පරාජය කිරීම 2014 ජාතික අවශ්‍යතාවක් බවට පත්විය. ඒ වෙනුවෙන් සැවොම අහුමුළුවල ඒකරාශී විය. මේ සඳහා විවිධ කණ්ඩායම් එක්විය. පක්ෂ පෙළ ගැසුණේය. අවසානයේ එකම සතුරා මහින්ද වී බහුතරය මිතුරු වූහ. එහෙත් පොරයට දැමිය යුත්තේ එකෙකි. තරගය විවෘතය. ඒ වන විට සැවොම රනිල් යනු දුර්වලම තරගකරුවෙක් බව අවබෝධ කරගෙන සිටියහ. රනිල් වුව එය ටක්කෙටම දන්නේය. එසේ නම් මහින්ද සමග සටනට දැමිය යුත්තේ කවුද? සැමට රහසක් වූ එය අවසාන මොහොතේ එළිබැස්සේ මෛත්‍රීපාල සිරිසේන ලෙසය. රනිල් නොවී කවුරු වුව කම් නැති එකමුතුවක සිරිසේන ඔසවා ගත්තේ හරිම සැහැල්ලුවටය. ඒ තරමටම සිරිසේන බරක් ඇත්තකුද නොවීය. මහින්ද පරාජය කිරීමට හේතු මන්දැයි ඒ මොහොතේ ඒකරාශි වූ සැමට හේතු කප්පරක් තිබිය හැකිය. එහෙත් අවකංව හිතුවහොත් සිරිසේනට ඒ වෙනුවෙන් තිබූ හේතු මොනවාද? මහින්ද රාජපක්ෂ ඔහු අගමැති නොකිරීමය. ආණ්ඩුව තුළ ඔහු නොසලකා හැරීමය. ඊට එහා රාජපක්ෂ ආණ්ඩුවේදී සිරිසේන සටන්කරුවෙක් වීද? විවේචකයෙක් වීද? ඔහුද කළේ රාජපක්ෂ කරන හැම අනුමත කිරීමය. රාජපක්ෂ පාලනය දූෂිත නම් එහි ලේකම්වරයා පරම පියුමක්ද? කිසිදු අවබෝධයක් අවංක වුවමනාවක් නැත්තකු ඒ පුටුවේ ඉන්දවීමේ යටි අරමුණු ගොඩක් ඔහු ගෙනා අයට විය. ඒ පිරිසේ මහ මොළකාරයා රනිල්ය. රනිල් බැලුවේ තමන්ට බැරි දේ වෙනකකු ලවා කරගන්නටය. රනිල් දැක්කේ මහින්ද එලවා ගත් පසු සියල්ල තමන් අතේ බවය. තව අයගේ පිහිටෙන් රජවීම යනු ලෝක ඛේදවාචකයක් බව සිරිසේනට තේරුම් ගන්නට වසර තුනහමාරක් ගතවිය.

සිරිසේන ජනපති වූ සැණින් රනිල් බලය සියතට ගත්තේය. ඔහු එතැන් සිට අපි ගෙනා සේවකයා අපට වුවමනා විදිහට සිටිය යුතුය යන ස්ථාවරයේ දැඩිව සිටියේය. එය රනිල් පමණක් නොව විකාර සිවිල් සංවිධානවලද අදහස විය. එකකුට වුවමනා විදිහට සිටිය හැකිය. එහෙත් හැම එකාටම වුවමනා විදිහට ඉඳීම ලේසි පහසු නැත. ඒ අතරත් සිරිසේන මෙතෙක් කල් හෝ එසේ සිටීම අගය කළ යුතුය. තම තමන්ට කරගන්නට බැරි සියල්ල එකකු ලවා කර ගැනීමට මාන බැලීම හැමවිටම කළහැකි දෙයක් නොවේ. සිරිසේන මහින්ද යටතේ මීට වඩා නිදහසක් එදා භුක්ති විඳි බව පැහැදිලිය. සැවොම මහින්ද පරද්දන්නට පිඹුරු හැදූ මුත් ඒ සඳහා ඉත්තකුද සොයාගත මුත් මහින්ද පරාජය වූ පසු යන පිළිවෙළ ගැන නිසි අවබෝධයක් නොවීය. බලය ඇල්ලීම මිස බලය ක්‍රියාත්මක කරන ආකාරය ගැන නිසි දැක්මක් නොවීය. රනිල් යනු හැමදාම පන්නයේම විකාරයක් බව තහවුරු විය.

රනිල්ගේ සූත්තර
එජාපය මුලින්ම කළ යුතුව තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමය. එහෙත් එය නොකළේ ඊට වඩා ලේසි ක්‍රම අත්හදා බැලිය යුතු නිසාය. 19 වැනි සංශෝධනය එවැන්නකි. රනිල්ට වුවමනා වූයේ බලය තමන් සතු කර ගැනීමය. ජයම්පතිගේ සංශෝධන යනු රනිල් බලයට ගෙන ඒමේ වැඩ මිස රට ගැන හිතන වැඩ නොවේ. අද ඔහු හුදෙකලා සටන්කරුවා වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව, තමන් තරම් ඒ විෂය දන්නා කෙනකු ලොවෙත් නැත යන අධිමානය නිසාය. ඊට තව කිසිවකු ළංකර ගන්නට ඔහු කැමති නැත. තවත් විද්වතුන් සමග කතා කොට සාමූහිකව මේ වෙනස්කම් කළේ නම් මේවා තුළ රිංගා යන ගුල් නොතිබෙන්නට ඉඩ තිබුණි. රනිල් පන්නයේම හිතුවක්කාරයකු වන ජයම්පති තමා එකම කෙරුමා වී යහපාලනයට කරුමයක පැටලුවේය. ජයම්පතිගේ විජ්ජාවෙන් රනිල්ට යම් බලයක් ආ අතර එය ජනපති බලයටත් වඩා බලසම්පන්න ලෙස රනිල් ක්‍රියාත්මක කළේය. එක දෙයක් සහතිකය. රනිල් සිරිසේනව ගණන් ගන්නේම නැත. ඔහු ජනපති බව හෝ නොතැකූ ගාණය. රනිල් බලය ලද හැමවිට උමතුවන්නේය. පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම හිරිකිත විය. කතා කළොත් එය විහිළුවක් විය. මහා උගතා බුද්ධිමතා යැයි ඊට පෙර තිබූ හංවඩුව ඇස් පනා පිටම වැඩකට නැති විකාරකාරයකු බව ඔප්පු කළේය. ඔහුගේ සූත්තර සියල්ල අද ඔහුව අරලියගහ මන්දිරයට හිර කොට අවසන් වී ඇත. පිරිත් කියා ඒවා පලවා හැරිය හැකි යැයි නොසිතේ.

19 වැනි සංශෝධනය
මේ පහුගිය කාලයේ කාගෙත් කටගැස්මය. එකාවන්ව සැම විචාරකයාම කියන්නට වූවේ ජනපති බලය ඉවර බවය. ඔහු පඹයකු බවය. 2020 පඹයකු වීම වෙනම වැඩකි. එහෙත් එය දැනටත් අදාළද යන්න සිරිසේන දිවා රාත්‍රී කල්පනා කරන්නට ඇත. 2020 පඹයකු වන ජනපතිතුමාද? එය එසේ නම් තමා දැනටමත් පඹයකු නොවේද යන්න ඔහු දන්නා අයගෙන් විමසන්නට වුව ඇත. 19 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයකම රනිල්ට එතරම් කෙරුමෙක් විය හැකි නම් තමන්ට 78 ලද බලපරාක්‍රමයත් සමග කුමක් කළ හැකිද යන්න ඔහුට එකවර ඔළුවට එන්නට ඇත. හදිසියේ ඇහැරුණු ඔහු නැවත නිදා නොගෙන කළේ බලය ක්‍රියාත්මක කිරීමය. මහින්ද ගෙන ඒම සිදුවන්නේ ඒ අනුවය.

හරි වැරැද්ද?
සිරිසේන මහින්දව ගෙන ඒම හරිද වැරදිද කතා කිරීම තේරුමක් නැති වාදයකි. සිරිසේන කර ඇත්තේ ඔහුට කැමති දේ කිරීමය. ඔහුට කැමති දේ කිරීමටවත් ඔහුට බලයක් නැත්නම් ඒ විධායක ජනපතිකමෙන් ඇති ඵලය කුමක්ද? දැන් ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයක් බව පිරිසක් කියති. ප්‍රශ්නය එහි දෙපැත්තටම තර්ක ඉදිරිපත්වීමය. පිරිසක් මෙය නීත්‍යනුකූල නැතැයි කියන විට තව පිරිසක් එය නීත්‍යනුකූල යැයි කියති. ඇත්ත යනුවෙන් මත දෙකක් තිබිය හැකිද? ලංකාවේ නීතියම එකිනෙකා විවිධ ලෙස අර්ථ දක්වන බව පැහැදිලිය. අර්ථ දැක්වීමේ තර්ක ගොඩනැගීමේ සාර්ථකත්වය මත එය සත්‍ය වන බව පෙනේ. මෙය විසඳීම අධිකරණය දක්වා ගියද අවසානයේ ඔවුන්ද දෙපැත්ත කිරා වැඩි බරට අනුමැතිය දෙනු ඇත. එය නීති තර්ක මතද? දේශපාලන බර මතද විය හැකිය. එසේ නම් මේ කවර කතාද? නීතිය, ව්‍යවස්ථාව යන සියල්ල බහුබූත වී නැත්ද? පක්ෂ අනුව නීති විශාරදයන් අනුව ව්‍යවස්ථාවට විවිධ අරුත් සැපයිය හැකිද? කෙසේ වෙතත් සෑම තර්කයකටම දෙපැත්තක් ඇත. ඒ නිසා ඇත්ත කුමක්ද කියා එක තැනකට එන තෙක් ඒ ගැන වැඩිය කතා නොකර හිඳීම වටී. ඒ ගැන කතා කරන විශාරදයන්ටම එය භාරදී කරබාගෙන සිටීම වටී. අගමැති රනිල්ද, මහින්දද යන්න නොවැම්බර් 16 වැනිදා තීරණය වනු ඇත. පාර්ලිමේන්තු බහුතරය තමන් සතු යැයි කියන දෙපිරිසම වැට උඩ බව පැහැදිලිය. එහෙත් වැඩි බර මහින්දට බවද පෙනෙන දේය. මන්ද මෙය දේශපාලන ගේම් එකක් බැවිනි. මහින්ද අගමැති කළේ පිරිස එකතු කරගෙන ගොඩ වැඩි කරගන්නට හැකි නිසාම බව සිරිසේන හොඳාකාරවම දනී. රනිල් කතා කරනුයේ තමන්ට දැන් ඇති දේ ගැනය. එහෙත් මේ මොහොතේ තමන්ට ඇති දේ රැක ගත හැකිදැයි යන්න දැඩිව සිතා බැලිය යුත්තේද රනිල්ය. මන්ද රනිල් ළඟ සිටින ඕනෑම කෙනෙක් හෙට මහින්ද ළඟ සිටිය හැකි බැවිනි. රනිල් හැර එජාපයේ ඕනෑම කෙනෙක් මහින්ද ළඟට ගියද පුදුමයක් අපට නැත. හෙට රනිල් – මහින්ද එකතු වුවද පුදුමයක් නැත. සමහරු එසේද සිතති. එනම් මේ දෙදෙනා එකතු වී සිරිසේන පන්නා දමාවිද යන්නය. එවැන්නක් දැනට සිදු නොවන බව කිව යුතුය. සිරිසේන රනිල්ට නොගැළපෙන්නා සේ ම මහින්දද රනිල්ට නොගැළපේ. එහෙත් සිරිසේන සහ මහින්ද යනු නියමෙට ගැළපෙන ජෝඩුවකි.

එසේ විය හැකිය
ඉදිරියේදී සිදුවන දේ අද කිව නොහැකි වුවත් අනුමාන කළ හැකිය. ඒවා එසේ වියද හැකිය. එසේ විය නොහැකිය. දෙකටම ඉඩ ඇත්තේ මෙරට දේශපාලනය පුද්ගල හිතුමතාර්ථ මත වන බැවිනි. සිරිසේන මහින්ද හැර ඕනෑම කෙනෙක් පත්කර ගත්තා නම් කමක් නැතැයි කියන අය සිටිති. රනිල් ඉවත් කර කවුරු අගමැති කළද එය ඔවුනොවුන් අතර සම්මුතිය බිඳ දැමීමකි. එතැන මහින්ද වෙනුවට චමල් සිටියද සජිත් සිටියද මේ අවුල මෙසේමය. එහෙත් මහින්ද නම දැකිීම හරහා අවුල බරපතළය. ඒ විරුද්ධ බහුතරය නොපතන මිනිසා නිසාය. මෙතැනට ගෝඨාභය පත් කළේ නම් මේ අය ඔහු නැතිව මහින්ද දැම්මද අප එකඟ යැයි කියති. මේ එවැනි පන්නයේ මිනිසුන්ය. අනෙක් අතට මහින්ද නැතිව වෙන කෙනෙක් ආදේශ කිරීමෙන්ම පැහැදිලි දෙයක් ඇත. එනම් රනිල් සුදුසුම යැයිද සිටිය යුතුම යැයිද කියන අය නැත. ඒ තරමට රනිල් තම භූමිකාව විනාශ කරගෙන හමාරය.
මුදල් මත හෝ කුමන වරප්‍රසාද මත හෝ මහින්ද බහුතරය හදාගනු නියතය. ඒ අනුව රනිල් භූමිකාව අවහිර වී අද රනිල් බේරාගන්නට ආ අයම රනිල් එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි යන පරණ සටනට බහිනු ඇත. ඉදිරියේදී සිදුවිය හැකි දේ එයය. රනිල් වුව අනික් සියල්ලෙන් පරාජය වුවද පක්ෂ නායකකම රැකගන්නා සටනෙන් නම් ජයගතහැකිය. ඔහුගේ සියලු සූත්තර ඇත්තේ එය රැක ගැනීමටය.

සිරිසේන කළ දේ
ජනපති සිරිසේන රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම මගින් ලකුණු වන ප්‍රධාන කරුණ නම් මෙරටට මැතිවරණ අනවශ්‍යම බවය. මහින්ද අපිව පරාජය කළා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් හඬා වැටෙද්දී ජනපති සිරිසේන කළේ කුමක්ද? ජනමතය අහකට කොට ඔවුන්ට නැවත මන්ත්‍රීකම් ලබාදී ඇමතිවරු කිරීමය. අද මහින්ද අගමැති කිරීමේ කුමන්ත්‍රණය ගෙන යන්නේ ඔවුන්ය. එයින් පැහැදිලි වන්නේ ජනපති සිරිසේන සතු බල තණ්හාව ඒ අයටත් එලෙසම ඇති බවය. මේ අයට දිනන්න නම් මේ දෙපිරිසම එකතු විය යුතුය. පොහොට්ටුව නැතිව ශ්‍රී ලංකා එකට ගමනක් නැති බව ජනපති සිරිසේනටද මනාව ඒත්තු ගියේය. රනිල් සමග ගමන අහවරය. ලබන වසරේ රනිල් සමග මේ විදිහටම තරග කළද ඇපත් නැතිවෙන බව සිරිසේන පමණක් නොව රනිල්ද දනිති. ඒ නිසා සිරිසේන කළේ ගිලෙන නැවෙන් පැන රාජපක්ෂගේ බෝට්ටුවට නැගීමය. එය රනිල්ගේ නැවට වඩා ආරක්ෂිතය. පොහොට්ටුව සමග එකතුවන්නේ නම් කොන්දේසියම මහින්ද අගමැතිවීමය. මහින්ද වුව ගෝඨාභයගේ මතුවීමට බයේ සිටියේය. සිරිසේන සමග එකතු නොවූයේ නම් මහින්ද පොහොට්ටුවට බැසිල් හෝ ගෝඨා ජනපති අපේක්ෂකයා කළ යුතුය. එය සිරිසේන සමග එකතුවීමට වඩා භයංකාර වැඩකි. ඒ අනුව බලන කල සිරිසේන පමණක් නොව, මහින්ද ගැහැව්වේද ගේමකි. සිරිසේන රනිල්ට ගහන විට මහින්ද ගැහැව්වේ ගෝඨාභයටය. හෙට රනිල්ට ගෝඨාභය ගත හැකි නම් නියම පොදු අපේක්ෂකයාය.

එජාප මුලාව
එජාපය සහ ඊට අන්ධ වූ සැම තවම ජීවත්වන්නේ 2015 ජනවාරි 08 ජනවරම මතය. එයින්ම යහපාලන චින්තනය එදායින් එහාට ගමන් නොකළ බව පැහැදිලිය. 2015 ජනවාරි 08 ජනතා කැමැත්ත යහපාලනයෙන් ඈත්වී බොහෝ දුර ගොස්ය. එය තේරුම් ගත හැකි සමීපතම උදාහරණය පසුගිය පළාත් පාලන මැතිවරණයය. එහිදී එජාපය හිතුවේ පොහොට්ටු ශ්‍රී ලංකා අවුලෙන් තමන් තනි අලියා සේ ඉදිරියට ඇදෙනු ඇති බවය. එහෙත් මේ දෙපිරිසම පරදා පොහොට්ටුව ජයගත්තේ හැට දෙලක්ෂය යහපාලනය අතහැර ඇති බවට කැට තියමිනි. මහින්ද ප්‍රතික්ෂේප කළ මිනිස්සුම නැවත මහින්ද වැළඳ ගනියි නම් සිරිසේන මහින්ද වැළඳ ගැනීම අරුමයක්ද? කොතරම් බියකරු පාලනයක් වුවත් ජනතාව වැළඳ ගනියි නම් එය අත්හැරිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන යහපාලනය ඡන්දයට බයවූයේ ඇයි? ඒ තමන් ඉවර බව ජනතාව කියනවාට බයෙනි. යහපාලනයේදී බයවූ සිරිසේන දැන් මහින්ද ආ විගස ඡන්ද කරන්න අඬගසනුයේ ඇයි? ජනතාව ෂුවර් බව ඒත්තු ගැන්වී ඇති නිසාය. පරණ ආතල්ම සමරමින් තමාට බලය ඇතැයි කියන රනිල් පෙන්විය යුත්තේ ලබන වසරේ ඡන්දද ජයගත හැකිද යන්නය.

දේශපාලනයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී වුව අනතුරක් සිදුවිය හැකි බව අමුතුවෙන් සිතිය යුතු නැත. එහෙත් ඊට සූදානම අවැසිමය. රනිල්ලාගේ ඒ සූදානම කුමක්ද? එක නිමේෂයෙන් රජය යන සියල්ලට කඩා පනින විට ඔවුන් වසර තුනහමාරක් කළේ කුමක්ද? මෙච්චර ප්‍රශ්න බලන් රනිල් ඉන්න සැහැල්ලුව බලන්න යැයි එජාපය ආතල් ගනිති. එජාපයට කෙළ වුණේද? ඒ සැහැල්ලුවමය. එනම් රනිල්ට ජනතාවත් පක්ෂයත් වැදගත් නැත. අවැසි ඔහුගේ සුරක්ෂිතකමය. එය රැකේ නම් එපමණය.

සම්බන්දන්
මේ මොහොතේ තීරණාත්මක තුරුම්පුව සම්බන්දන්ය. ඔහුට ඇති ඡන්ද 16ය. දෙපැත්තටම වීරත්වය ගෙන එනු නියතය. එහෙත් එය තමන්ගේ යැයි සිතා සිටින එජාපය සිහි කැඳවා ගත යුත්තේ මෙවර එය මහින්දට නොව කාටත් නැති ස්වාධීන තැනකට තල්ලු විය හැකි බවය. මන්ද ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ආ සම්බන්දන් ඡන්දය දිය යුත්තේ කාටද අහන්න ඉන්දියාවේ ගියේය. සම්බන්දන්ලා පාර්ලිමේන්තු එව්වේ ඉන්දියාවද? උතුරේ ජනතාව නොවේද? සම්බන්දන්ද රනිල් පන්නයේම නායකයෙකි. ඔහුට ජනතාව වැදගත් නැත. ඉන්දියාවට රනිල්ට වඩා මහින්ද විශ්වාසය. සිරිසේන අවුල් වුවත් මහින්ද විශ්වාසය. ඒ නිසා සම්බන්දන්ලාගේ ඡන්ද මේ මොහොතේ කාටවත් පාවිච්චි නොවිය හැකිය. ස්වාධීන විය හැකිය. සියල්ල සිංහල ඡන්දවලින්ම ගේම අහවර කර ගත යුතුය. ඒ අතර බදියුදීන් වඩා වාසි පැත්ත ගනු ඇත. මේ මොහොතේ සහතික, ශපථ කිරීම් අදාළ මොහොතේදී වෙනස් විය හැකිය.

සියල්ල එසේ සිදුවෙද්දී නැවත මේ අය කළේ හරි දේද වැරදි දේද යන්න තීන්දු කිරීම ලබන වසරේ ස්ථිරම ජනතාවට ලැබෙනු ඇත. එහිදී සිරිසේන රනිල් හැරයාම හරිද? වැරදිද යන්නත් තීන්දු වනු ඇත. ඒ නිසා මහින්ද ආවා, ආයේ රටේ ඉඳලා ඉවරයි කියමින් කෑමොර දීමෙන් පළක් නැත. නායකයන් බිහිවන්නේ රටේ හැටියටය. මේ නායකයන් යනු අපේ රටේ ජනතාවගේ හැටියට බිහිවන අයය. තවකකුගේ හදවත ඉල්ලාගෙන තමන්ගේ ඔළුව පාවිච්චි කිරීම රනිල් නතර කළ යුතුය.

2015 ජනවාරි 08 වැනිදා මහින්ද දින්නා නම් තමා අඩි හයක් පොළොව යට කී සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනිදා රනිල් තමාව මරන්න හදනෝ කියමින් රාජපක්ෂගේ සහය පැතීය. රාජපක්ෂ ළංකර ගත්තේය. ඒ අනුව සිරිසේන රනිල්ගෙන් මැරුම් කනවාට වඩා මහින්දගෙන් මැරුම් කන්නට කැමතිය. එසේ නම් රනිල් කළ යුත්තේ මහින්දගෙන් සිරිසේන ඇනගන්නා තෙක්බලා නොඉඳ ලබන වර ඡන්දයේදී බොරු පොදු අපේක්ෂකයෙක් නොගෙන තරග කොට මහින්ද – මෛත්‍රී පරාජය කර පෙන්වීමය. රනිල්ට ඒ හැර විකල්පයක් නැත. රනිල්ගේ අගමැති භූමිකාව නම් ඉවර වෙන බව සහතිකය.