ජනපති ගියේ මර උගුලකට

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

 

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කිරීම රට අනපේක්ෂිත දේශපාලන අර්බුදයකට ඇද දැමීමට හේතු වී තිබේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ හරි වැරැද්ද පිළිබඳව වන වාද විවාද සංවාද සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කොට ගත් තාක්ෂණික කරුණු කාරණා පදනම්ව පමණක් ගොඩනැඟෙන බවක්ද දැකගත හැකිය. ඉන් බැහැරව අගමැති මාරුව පිළිබඳව ජනමත විශ්ලේෂකයෙක් සමග කරන ලද සාකච්ඡාවකි, මේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, නව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා හදිසියේ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ අනපේක්ෂිත දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොයි විදිහටද?
මම හිතන විදිහට මේ හදිසි සේ පෙනෙන දේශපාලන අර්බුදය පිටුපස දේශපාලන – සමාජ ගතිකයන් දෙකක් ප්‍රමුඛව ක්‍රියාත්මක වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව ඇතිකර ගැනීමෙන් පසු නායකත්ව දෙපළ අතර එක් පොදු ජාතික විපර්යකාරක න්‍යාය පත්‍රයක් නිර්මාණය නොවීම හා ඔවුන් අතර ඒකාබද්ධ වැඩපිළිවෙළකට අව්‍යාජ හොඳ සම්බන්ධීකරණයක් නොවීම කියන ගතිකයන් දෙක. දෙන්නා දෙපැත්තක තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් තමයි මේ විදිහට ප්‍රකාශයට පත්ව තිබෙන්නේ.

ජනවාරි 8 දේශපාලන වෙනසේදී මේ දෙදෙනා එක්වෙන්නේ එකම ජනතා න්‍යාය පත්‍රයක් වෙනුවෙන්. එසේ තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ කෙසේද?
එතනදී, ඉතිහාසයේ කවරදාකවත් මේ රටේ දේශපාලන නායකයෙක් ඉදිරියේ නොතිබුණ, සැබෑ ජනතා නායකයෙක් වශයෙන් ඉදිරියට යන්නට තිබුණ, මහා ඉඩකඩ ජනාධිපතිවරයා තමාම නිෂ්ප්‍රභ කරගත්තා. තමන්ගේ සැබෑ ජන වරමට අනුව අතික්‍රමණය කළ යුතුව තිබුණ පටු, පක්ෂ දේශපාලන සංස්කෘතියේ තමාම ඉල්ලාගෙන හිරවුණා. නිර්පාක්ෂික නායකයෙක් ලෙස අර මා කියන අසංවිධිත නමුත් විපර්යකාරක ශක්තිය දරන මිලියනයක් හෝ ඊට වැඩි විසිරී සිටින ප්‍රබුද්ධ ජන තීරුවට ආමන්ත්‍රණය කරමින්, ඔවුන්ට සංවිධානය වීමට, ජාලගතවී ක්‍රියාත්මකවීමට නායකත්වය දිය හැකිව තිබුණා. එවැනි තත්ත්වයක් ඇතිවුණා නම්, රාජපක්ෂ හා රනිල් බල කඳවුරු දෙකේ පහළ කොටස් හෙළවෙනවා. ගැලවෙනවා. එම පක්ෂවල සංස්කෘතිය පවා ගැඹුරු ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බලපෑමක් කළ හැක්කේ පක්ෂවලින් ඉහළට එසවුණු නායකයකුට හා දේශපාලන බලවේගයකට පමණයි. එහෙත් ඒ කටයුත්ත ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නෑ. කොටින්ම ජනාධිපතිවරයා පසුගිය වසර තුනේ ගමන් කරමින් හිටියේ ස්වයං-ඝාතක ප්‍රපාතයක් කරායි. තිබුණ එකම නිවැරදි විකල්පය අහිමි කරගත්තාම, ඉදිරි දේශපාලන පැවැත්ම සහතික කරගැනීම සඳහා යන්නට තියෙන එකම උගුලට ඔහු ගියා. මා හිතන්නේ එය පුද්ගලිකව පවා මර උගුලක්.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතු දක්වමින් ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී කියවුණේ වික්‍රමසිංහ මහතාගේ බලවත් දෝෂ නිසා මේ වෙනස කරන්නට තමන්ට සිදුවූ බව. ඒ පිළිබඳ ඔබගේ නිරීක්ෂණ කෙබඳුද?
එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ නායකත්ව අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන පක්ෂයක්. ඒ අතර ඒ පක්ෂයත් මේ රටේ පවතින දේශපාලන පක්ෂ සංස්කෘතියේ නරක ලකුණු උපන් ගෙයිම හිමිකරගත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර යාන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. දැඩි, ධූරාවලිගත හා අත්තනෝමතික ලක්ෂණවලින් පිරිලා. ඒ වගේම ප්‍රධාන කාරණය, සංවර්ධන දැක්මේ පවතින දැඩි ගැටලුසහගත බව. මුළුමනින්ම නැතත් ජනාධිපතිවරයාගේ චෝදනාවල අඩු තරමින් කොටසක් හරි සාධාරණ වෙන්නේ ඒ නිසා. රටේ යහපත් දේශපාලන වෙනසක් අපේක්ෂා කළ ප්‍රබුද්ධ ජන තීරුව විශේෂයෙන්ම අකමැති වෙන්නේ මේ කාරණයට. ඊළඟට පොදුවේ යහපාලන වරමට සපුරා එරෙහිව යන මහජන දේපළ මංකොල්ලකෑමේ තත්ත්වය අඩුවක් නැතිව ඉදිරියට යෑම. මහා පරිමාණයේ කොමිස් ගැහිල්ල නම් ලිබරල් ආර්ථික ක්‍රියාවලීන් සමග ඓන්ද්‍රීයව බැඳුණු සංසිද්ධියක්. එකක් පාලනය නොකර අනික පාලනය කිරීම අසීරුයි. මේ කරුණු එකතු කළාම පේන්නේ යහපාලන වරම විසින් අනුදත් මාර්ගයේ ගමන් කිරීම විශාල විපර්යකාරක තෙරපුමක් නැතිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තනිව නම් කරන්න බැරි බවයි. ඒක කරන්න පුළුවන්කම තිබුණේ අපේ රටේ පවතින තත්ත්වයන් තුළ ප්‍රබුද්ධ ජන බලයකින් සන්නද්ධව ක්‍රියාත්මක වන නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි. අන්න එවැන්නෙක් අපට හිටියේ නැහැ.

‘ජනවාරි 8’ වෙනසින් පසු සිදු වූ දේ පිළිබඳව හවුල්කාර දෙපාර්ශ්වය එකිනෙකාගේ දෝෂ හුවා දක්වමින් සිටියත් ජනතාව මේ දෙපාර්ශ්වයේම දෝෂ දකිනවා. ‘ජනවාරි 8’ වෙනසේදී දකින්නට ලැබුණු දායකත්වය මේ දේශපාලන අර්බුදය අවස්ථාවේ පුරවැසියන් වෙතින් ප්‍රකට නොවන්නේ ඇයි?
මේ ගැන යම් අදහසක් කෙටියෙන් හෝ කියන්න 2015 වනවිට අපේ රටේ සමාජ -දේශපාලන-සංස්කෘතික සන්දර්භයට අයත් එක් පැත්තක් ගැන මුලින් කියන්න ඕන. මගේ ගණනයේ හැටියට 2015 දේශපාලන බල මාරුව වනවිට අපේ සමාජය තුළ රටේ පවතින ප්‍රධාන දේශපාලන පක්ෂ කඳවුරු දෙක ගැන මෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය ගැනත් තදින් කලකිරී සිටින, යම්තාක් දුරට හෝ ලිබරල් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය ගැන තවදුරටත් විශ්වාස නොකරන නමුත් පුරවැසියන් ලෙස සක්‍රීය අඩුතරමින් මිලියනයකට නොඅඩු සමාජ තීරුවක් වර්ධනය වෙලා හිටියා. ගම්-බිම් මට්ටමින්, නාගරිකව හා ඉහළ සිට පහළට යම් රාජ්‍ය නිලධාරින් පිරිසක් ද ඊට ඇතුළත් වුණා. 2015 බලමාරුව හුදෙක් කොළඹ කේන්ද්‍රීය, සහ ජන මාධ්‍යයට අතපොවන්නට හැකි සිවිල් සමාජයේ හෝ දේශපාලන නායකයන්ගේම වික්‍රමයක් නොවෙයි. එය මහජන විඥානයේ එක්තරා මෝරා යාමක් පෙන්වන අර තීරක ස්කන්ධය වැඩට බැසීමටත් සම්බන්ධයි. මෙයින් ඇතැම් කොටසක් වසර ගණනක් තිස්සේ මැතිවරණවලදී සිය ඡන්දය පාවිච්චි කළේ නැහැ. 2015 දී ඒගොල්ලො ඔක්කොම ඡන්ද පොළට ගියා. ලංකාවේ අනාගත යහපත් පෙරළියකට සක්‍රියව සහභාගිවීමට කැමති මේ පුරවැසි ජනකාය යහපාලන ආණ්ඩුව ගැන ඉක්මනින්ම කලකිරීමට පත්වුණා.

අගමැති මාරුවට අදාළව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන නීති තර්ක විතර්ක ගැන ඔබ මොකද හිතන්නේ?
ඔය මට්ටමේ තර්ක විතර්ක ගැන මගේ ඒ තරම් උනන්දුවක් නැහැ. නීති තර්කවලින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මේ ගැටලුව විසඳාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව සියලුදෙනාම පාහේ ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාට බහුතර විශ්වාසය දිනාගත හැකි වුවහොත් බලාපොරොත්තු විය හැක්කේ කවර තත්ත්වයක්ද?
එකක් පැහැදිලියි, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවත් මේ වෙලාවේ රාජපක්ෂ කඳවුරට ස්ථාවර ආණ්ඩුවක් හැදීම කරන්න බැහැ. ඒක පෙන්නන්න වෙන්නේ අතිශය නිර්ලජ්ජි ක්‍රමයකට. ඉන් පස්සේ සිය අස්ථාවරත්වය මගහැරගන්න දරන වෑයමේදී ඒ කඳවුරේ විශේෂ නරක ලක්ෂණ එළියට එමින් දැඩි මර්දනකාරී හා අත්තනෝමතික වාතාවරණයක් මතුවීමට හුඟක් ඉඩකඩ තිබෙනවා. ප්‍රාදේශීය හා පළාත් සභා සහ ඊට බිම් මට්ටමේ පවා අවරගණයේ සංස්කෘතියක් පෙන්වන මැර බලය මුදා හැරෙන්නට ඉඩක් තිබෙනවා. 2015ට වඩා අත්දැකීම්වලින් ඉදිරියට ගිය සමාජයක් දැන් තියෙන්නේ. ඒ සමාජය අර වගේ අත්තනෝමතික බලයක් ඉදිරියේ ඉඳගන්නවාට වඩා හිටගන්න ඉඩ තියෙනවා. මානව හිමිකම් ප්‍රශ්න ඔඩු දුවනවිට ජාත්‍යන්තරව පවා එවැනි රජයක් ස්ථාවර වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ බුරුමයේ වගේ අන්තවාදී ‘අනන්‍යතා’ දේශපාලනයක් හා බැඳුණු ‘බටහිර-අධිරාජ්‍ය විරෝධී’ කියන ව්‍යාජ මතවාදයක් පෙරදැරි කරගත් ලෝකයෙන් වැහුණු රටක් නිර්මාණය වීම. එතනදි අනවශ්‍ය පරිමාණයෙන් චීන මැදිහත්වීමකට ඉඩ ඇරෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් විසින් අපව ශතවර්ෂයක් පස්සට විසිකරන්න ඉඩ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පළකෙරුණොත් උද්ගතවෙමින් පවතින දේශපාලන අර්බුදය විසඳෙනු ඇතිද?
එහෙම වුණත් එක්සත් ජාතික පක්ෂ රජයකටත් රටේ ස්ථාවර තත්ත්වයක් හදන්න බැහැනේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ රැකගැනීම සඳහා අවශ්‍ය සැබෑ බහුජන, බහුපක්ෂ පෙරමුණක් නිර්මාණය කිරීමට රනිල්ට දැක්මක් හෝ ශක්තියක් නැහැ. වෙනත් අතකින් කිව්වොත් පැන නැඟුණු දේශපාලන අර්බුදය ඉදිරි මාස දෙක තුන තුළ මෝරන ලකුණු මිසක් සමනය වන ලකුණු පෙනෙන්නට නැහැ. එය දේශපාලන අර්බුදයකට සීමාවෙන්නේ නැහැ, මුළු ජන ජීවිතය අඩාල කරන සාධක ගණනාවක්ම මතුවීමට ඉඩ ඇති බවයි මට නම් පෙනෙන්නේ. එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ නැවත තහවුරු වුණොත් එන මුල්ම ප්‍රශ්නය ජනාධිපතිවරයා පිළිබඳ ගැටලුව. ඒක තවත් හදිසි ගැටලු ගණනාවක්ම නිර්මාණය කරනවා. සරලව බැලුවාම පේන්නේ සාමකාමි නොවන මැතිවරණ කාලපරිච්ඡේදයක් ද ඉක්මනින් එන බවයි.

මේ ගැටුම් හමුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමෙන් රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට තැබූ බලාපොරොත්තුවත් අතහැර ගන්නට හැට දෙලක්ෂයට සිදුවෙනවා නොවේද?
ව්‍යවස්ථාව වගේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන මේ තරම් මහන්සිවෙන එක මෝඩකමක්. ව්‍යවස්ථාව මාරුකළාට මිනිස්සු මාරුවෙන්නේ නැහැ. ඒ කිව්වේ දීර්ඝකාලීන ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ එතනින් නෙමේ. යහපත් ශිෂ්ට සමාජයකට අවශ්‍ය සාමුහික විඥානය හා සාමුහික පරිකල්පනය සකස් වෙන්නේ කෙසේද කියන ප්‍රශ්නයට පිළිතුරු විකල්ප දේශපාලන බලවේග සතුව නැත්නම්, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඒ ප්‍රකාශනය ඇතුල් කරගෙන නැත්නම්, අපිට වෙන්නෙ තව අවුරුදු හැටක් එක තැන කැරකෙන්න. අර මම කියන මිලියනයක් වන ප්‍රබුද්ධ පුරවැසි කොටස් අපේ සාමුහික විඥානය මානුෂීකරණ හා නවීකරණ ව්‍යාපෘතිය සඳහා තීරක ස්කන්ධය බවට පෙරළා ගැනීමයි අභියෝගය.

අභියෝගයට ලක්වී තිබෙන්නේ ‘ජනවාරි 8’ ජනතා ජයග්‍රහණයයි. එයට මුහුණ දීමට මේ අවස්ථාවේදි පුරවැසියන්ට කළ හැකි යමක් තිබේද?
ලැබෙන ඉතා කෙටි කාලයක් තුළ ප්‍රධාන බල කඳවුරු දෙක ප්‍රමාණවත් ලෙස අතික්‍රමණය කරන විපර්ය කාරක ශක්තියක් අපගේ සමාජයට උත්පාදනය කරගන්න පුළුවන් වේවිද කියා සැකයි. ඒත් අපට විකල්ප පුරවැසි බලවේග හෝ විකල්ප ආරම්භයන් කිහිපයකුත් දක්නට තියෙනවා. ඒකාබද්ධ වෘත්තීයවේදීනේ ව්‍යාපාරය (UPM), වික්ටර් අයිවන් මහත්තයා කේන්ද්‍රයේ ඉන්න පුනරුද ව්‍යාපාරය සහ තවත් ඊට අඩු මට්ටමේ ව්‍යාප්තියක් ඇති ව්‍යාපාර මතුව තිබෙනවා. ඒවයේ දේශපාලන දැක්මේ, උපායමාර්ගවල හා සංවිධාන ක්‍රමවල හොඳ දේත් තියෙනවා, මට අනුව බරපතළ සීමාත් තියෙනවා. ඒ වගේම ඉතා වැදගත් කාරණාවක් නම් රට පුරාම කුඩා පුරවැසි කණ්ඩායම් මතුවෙමින් පැවතීමයි. තරුණ පරම්පරාවේ නව ප්‍රබුද්ධ තීරුවක් කුඩා කණ්ඩායම් වශයෙන් රට පුරාම තියනවා. ඒවා බොහෝ විට කලා සංස්කෘතික කටයුතුවල යෙදෙන, නමුත් දියුණු පුරවැසි මනසක් ඇති මිනිස්සුන්ගෙන් සමන්විත වෙනවා. අමතරව කොළඹ කේන්ද්‍රීය සිවිල් ව්‍යාපාර, හා නායකයන් ඉන්නවා. ඒත් මෙම පුරවැසි බලවේග මෝරායන්නට අවශ්‍ය කාලය හා අවස්ථාවන් කොපමණ තියෙනවාද කියන එක ප්‍රශ්නයක්.

එසේ නම් මේ අර්බුදය ජය ගන්නේ කොහොමද?
මට පෙනෙන්නේ අප ගිලී ඉන්න ශිෂ්ටාචාර අර්බුදයක් ලෙස මට පෙනෙන මේ අර්බුදය ඉක්මනින් ජය ගන්න හැකියාවක් අපට නැහැ. මේක ඇතුළේ උතුරට ආවේණික ගැටලු ඔඩු දුවමින් තිබෙනවා. දෙමළ හා මුස්ලිම් ජනතාවන් තුළ ඒකාබද්ධ රටක්ගැන තියෙන බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳවැටෙමින් තියෙන්නේ. ඒ අතර අපි සමාජයක් ලෙස හුඟක් දුර්වල නිසා වඩ වඩා ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙමින් පවතින භූ -දේශපාලන අභියෝගත් තියෙනවා. කෙසේ වුවත් අපිට කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒවා නොකර බැරි තැනකට අපි ඇවිත් ඉන්නේ. ඉක්මනින් කළ යුතු දේත්, දීර්ඝකාලීන ව සැලසුම් කොට සිදු කළ යුතු දේත් තියෙනවා. ස්ථාවර සාමකාමී සමාජයක් ගොඩ නඟා ගන්න නම් දියුණු ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් අපට ඕන. ඒ වැඬේ එක එක විෂය මුල් කොටගෙන හිතලා පමණක් නිර්මාණය කරන්න බැහැ. අපේ චින්තා ක්‍රමයේ සීමාවට අපි ඇවිත් ඉන්නේ. නූතනවාදී දැක්මේ සීමාවට ලෝකේම ඇවිත් ඉවරයි. වෙනත් සමහර රටවල මේ වනවිට නූතනවාදී යාන්ත්‍රික දැක්මේ සීමාව කඩාගෙන යන නව සහශ්‍රයට අයිති නව චින්තාමාර්ග බිහිවෙලා වැඩකරන්න පටන් අරන් ඉවරයි. එම සාකල්‍යවාදී ප්‍රවේශවල මූලික ලක්ෂණ ගැනවත් මේ වගේ මට්ටමින් සාකච්ඡා කරන්න අමාරුයි. ඒක වෙනම ගන්න වෙනවා. නව විපර්යකාරක නායකත්වයක් උඩින් එයි කියලා බලාගෙන ඉන්න බැහැ. මුළු රටම සංවාද සමාජයක් බවට පෙරළා ගැනීම මේ ගැන හිතන සියලු ප්‍රබුද්ධ පුරවැසියන්ගේ වගකීමක්.