රටේ පැවැත්ම සමග සෙල්ලම් කිරීම

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සමහර විචාරකයන් උද්දාමයෙන් කතා කරමින් සිටි කාලවකවානුවකදී පුනරුද ව්‍යාපාරය ස්ථිරසාර ස්වරයකින් කියා සිටියේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ විශේෂ ස්වභාවය අනුව ඇතිවිය හැකි සමහර සිදුවීම් ලංකාව අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවිය හැකි බවය. ඒ නිසා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය මුළුමනින් හිරවන හෝ කඩා වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, එම තත්ත්වය ලංකාවේ දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම මුළුමනින් නැතිභංග කිරීමට හේතුවිය හැකි බවත්ය. මේ වන විට පුනරුද ව්‍යාපාරය පළ කරන ලද එම පුරෝකථයෙන් අඩක් හොඳින් සනාථ වී තිබෙන අතර එහි ඉතිරි අඩද සනාථවෙමින් තිබෙන්නේ යැයි කිව හැකිය.

දැන් ඇතිවී තිබෙන අර්බුදයෙහි ලොකුම හානිය ඇතිකර ගැනීමට නියමිත නායකයා ලෙස සැලකිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විරෝධී බලවේගයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කරන්නට පෙර ඔහු දේශපාලන තලයේ කැපී පෙනෙන තාරකාවක් වී සිටියේ නැත. පොදු අපේක්ෂකයකු නැතිව මහින්ද පරාජය කළ නොහැකිය කියන මතවාදය සමාජ ගතකර තිබුණේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ගොඩනගා ගෙන තිබුණ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසිනි. එම ව්‍යාපාරයේ ප්‍රධාන නායකයා ලෙස සැලකුණේ සෝභිත හිමියන් වුවත්, එම ව්‍යාපාරයේ සුක්කානම අනියම් ලෙස හසුරුවන්නන් බවට පත්ව සිටියේ රනිල් විරෝධීන්ය. පොදු අපේක්ෂකයකු නැතිව මහින්ද පරාජය කළ නොහැකි යැයි කියන සූත්‍රය කරළියට ගෙනා අයගේ අභිප්‍රායන් අතර එජාපයේ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති වන්නට ඉඩ නොදීමද වැදගත් අභිප්‍රායක් වී යැයි කිව හැකිය. ඒ වන විට එජාපය තිබුණේද ඒකාග්‍ර තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. රනිල්ට මහින්ද සමග තරග කරන්නට අවශ්‍ය ආත්ම ශක්තියද නොතිබුණි. ඒ නිසා පොදු අපේක්ෂකයා පිළිබඳ වැඩසටහනට ඉදිරියට යන්නට ඉඩදී බලා සිටින්නට ඔහුට සිදුවිය.

මේ වනවිට චන්ද්‍රිකා කුමාරතුංගද මෙම බලපොරයට එකතුවී සිටි අතර ඇගේ අපේක්ෂාව වූයේ කලක් තම පවුලේ වටිනා බූදලයක් ලෙස තිබී රාජපක්ෂවරුන් විසින් අල්ලා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත තමන් වෙත හිමිකර ගැනීමය. ඒ වන විට මෛත්‍රිපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ සමග ඇති කරගෙන තිබූ මතභේද නිසා රාජපක්ෂ ආණ්ඩුව සමග ලොකු කලකිරීමක් ඇති කරගෙන තිබූ අතර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට මෛත්‍රීපාල කැමති කරගත් ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැක්කේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා එම ඉත්තා අදින ලද්දේ රනිල්ගේද පූර්ණ එකඟතාව ඇතිවය. පොළොන්නරුවේ බයියකු ලෙස ඔවුන් සලකන ලද මෛත්‍රීපාල සිරිසේන වලව්වක වැඩ කරන දාසයකු ලෙස හැසිරවීමට තමන්ට හැකිවනු ඇතැයි ඒ දෙදෙනාගේම කල්පනාව වූ බව පෙනේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ තෝරාගත් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිණිස තම පක්ෂයට තිබූ මහජන බලය, සංවිධානාත්මක බලය හා ධන බලය උපරිම ලෙස පාවිච්චි කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහින්ද විරෝධී පිලේ පොදු අපේක්ෂකයා ලෙස තරග කරන අවස්ථාවේදී ශ්‍රීලනිපයට හිතවත් ජනයාට ඔහු පෙනුණේ අංක එකේ ද්‍රෝහියකු ලෙසය. ඒ අවස්ථාවේ එජාපයට හිතවත් හා රාජපක්ෂ විරෝධීන්ට ඔහු පෙනුණේ රාජපක්ෂ ආධිපත්‍යයෙන් ලංකාව ගලවා ගැනීමට පහළ වූ වීරයකු ලෙසය.

මහා පරිමාණයේ දූෂණය
මෙම බල තරගය පැවති කාලයේදී සේ ම ඊට පෙරද මහින්ද රාජ්‍ය විරෝධී ව්‍යාපාර සමාජගත කෙරෙමින් තිබූ සමහර මතවාද සත්‍යගරුක හෝ යථාර්ථවාදී නොවීය. ඔවුන්ට අනුව මහා පරිමාණයේ දූෂණ සිදුවීම ආරම්භ වන්නේ රාජපක්ෂ පාලන කාලයේදීය. එම අර්ථකථනය නිවැරදි නොවූවද මහින්ද විරෝධී වැඩසටහනකට ගතික ශක්තියක් ලබාදීමට එවැනි අර්ථකථනයක් අවශ්‍ය වේ යැයි එම මතවාදය කරළියට ගෙනා න්‍යායවාදීන් කල්පනා කළා විය යුතුයි. මහජන ආකර්ෂණය පිණිස මහින්ද පරාජය කිරීමේ අවශ්‍යතාව විස්තර කෙරුණේ දූෂණයෙන් හා භීෂයෙන් තොර යහපාලනයක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන සටනක් වශයෙනි. ඒ මගින්ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට කළු පෙනුමක්ද මහින්ද විරෝධී පාර්ශ්වයට සුදු පෙනුමක්ද ලබාදෙන ලදි. ඒ නිසා මහා පරිමාණයෙන් සිදුවන දූෂණය ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ කාලයේදීය කියන බොරුව මහා පරිමාණයෙන් සමාජ ගතකිරීමක් සිදුවිය. ඒ නිසා සටන පවතින්නේ දූෂිත හා දූෂණ විරෝධී බලවේගයන් දෙකක් අතර වේය කියන හැඟීම ජනතාව තුළ ඇති කිරීමට හේතුවිය. මෙය දැන හෝ නොදැන මහජනයාට කරන ලද ලොකු වංචාවක් වී යැයි කිව හැකිය. ඒ ගැන මා මීට පෙරද ලියා ඇතිමුත්, නැවත ඒ ගැන කෙටියෙන් සලකා බලන්නේ ලංකාවේ රාජ්‍යය පාලනය තුළ සිදුවන වස්තු කොල්ලයේ ගතික ලක්ෂණ තේරුම් ගැනීමට ලැබෙන ආලෝකය සලකාය.

රාජ්‍ය පාලනයේදී මහා පරිමාණයෙන් කෙරෙන දූෂණයට වාන් දොරටු විවෘත කරන ලද්දේ 1977දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඔහුගේ පාලන කාලයේදීය. එතැන් සිට වර්තමානය දක්වා ඒ මහා පරිමාණයෙන් ගලා යන දෙයක් වූ අතර එතැන් සිට රාජ්‍ය බලය සඳහා කෙරෙන බලපොරය පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය පිණිස කොල්ලකාර කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් අතර කෙරෙන පොරයක් බවට පත්වී යැයි කිව හැකිය. රාජපක්ෂ පාලන කාලයේ එම කොල්ලය උපරිම තත්ත්වයක් දක්වා වර්ධනය වූයේ යැයි කීමේ හැකියාවක් ඇතත්, රාජ්‍ය පාලනයේදී මහා පරිමාණයෙන් සිදු කෙරෙන වස්තු කොල්ලය ආරම්භ වූයේ රාජපක්ෂ පාලන කාලයේදී යැයි කියන මතය නිවැරදි වන්නේ නැත.
දූෂණයේ අත්තිවාරම්
දේශපාලන බල කණ්ඩායම් අතින් ලංකාවේ සිදුවන වස්තු කොල්ලය විමර්ශනයට ලක් කිරීමේදී එහි තිබෙන පන්ති ස්වරූපයද සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වේ යැයි මම සිතමි. ධනවත් පාලකයකුට නීති විරෝධී ආකාරයකින් ගලා එන ධනය මහජනයාට පහසුවෙන් පෙනෙන්නේ නැත. එහෙත් ධනවත් නොවන පාලකයකු වෙත නීති විරෝධී ආකාරයකින් ගලා එන ධනය මහජනයාට පහසුවෙන් පෙනෙන්නේය. කන බොන, අඳින පළඳින හා ගෙවල් දොරවල්වල ඇතිවන වෙනස්කම් ආශ්‍රයෙන් ඔහුගේ දූෂිත බව මහජනයාට පහසුවෙන් පෙනෙන්නේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූෂණය මහජනයාට හොඳින් පෙනුණේ ඔවුන්ගේ මුල් පසුබිම ධනවත් නොවූ නිසාය. ධනවත් ජනාධිපතිවරුද රටේ වස්තුව කොල්ල කෑහ. ඔවුන්ගේ ධනවත් පසුබිම නිසා ඔවුන් කරන ලද කොල්ලය මහජනයාට හොඳින් නොපෙනුණේය.

ලංකාවේ පාලක පක්ෂ රටේ වස්තුව කොල්ලකන කොල්ලකරුවන් බවට පත්කිරීමට හේතුවූයේ මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් සඳහා එතෙක් ලංකාවේ පවත්වාගෙන ගිය (ප්‍රජාතන්ත්‍රවාදී සියලු රටවලද පවත්වාගෙන යන) දැඩි නීති 1977දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ක්‍රියාවිරහිත තත්ත්වයකට පත් කිරීම නිසාය. ඒ කාලයේදී පැවති නීති අනුව මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ ආදායම් උපයන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීම සපුරා තහනම් විය. රජයේ දේපළ මිලදී ගැනීම හා රජයට තමන්ගේ දේපළ විකිණීමද සපුරා තහනම් විය. මන්ත්‍රීවරයකුට සිය වගකීම් ඉටුකිරීම සඳහා දෙනු ලබන කිසිවක් විකිණීමද සපුරා තහනම් විය. මන්ත්‍රී ධුරය අහිමි කිරීම එවැනි වරදක් කරන ලද කෙනකුට දෙන ලද දඬුවම විය. 1977 මැතිවරණයෙන් ගාලු ආසනයට එජාපයෙන් තේරී පත්වූ ඇල්බට් ද සිල්වාට සිය අසුන අහිමි වූයේ භූමිතෙල් බලපත්‍රයක් හිමිකරගෙන සිටීම නිසාය. මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් සඳහා ලංකාවේ එකල පැවති එම නීති වර්තමානය දක්වා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම පවත්නා සියලු රටවල් මහජන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති ලෙස සැලකිය හැකිය. ලංකාවේ දේශපාලනඥයන්ට රටේ වස්තුව කොල්ලකන්න පුළුවන්කම ලැබුණේ මහජන මන්ත්‍රීවරුන් සඳහා බලපෑ එම නීති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ක්‍රියාවිරහිත තත්ත්වයකට පත් කිරීම නිසාය.

ඒ වැරැද්ද ඉන්පසු බලයට පැමිණි කවර පක්ෂයකට අයත් ආණ්ඩුවක් විසින් හෝ නිවැරදි කළේ නැත. බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද එම බරපතළ වරද නිවැරදි නොකළේය. ජනාධිපතිවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා මහජන ඡන්දයෙන් තේරී පත්වූවන්ගේ දේපළ හා ධනය ගැන විමර්ශනයක් කළහොත් විශාල පිරිසක් ආණ්ඩුවේ වටිනා ඉඩම් ඉතා අඩු මුදලකට මිලදී ගෙන හෝ දීර්ඝකාලීනව බදු ගෙන වතු හිමි වැවිලිකරුවන් බවට පත්ව තිබෙන ආකාරය හඳුනාගත හැකිය. ඔවුන් අතර සිටින තැබෑරුම්කරුවන්ගේ, වැලි, දැව වැනි ආදායම් උපයන බලපත්‍රලාභීන්ගේ හා රජයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංඛ්‍යාවද අතිවිශාලය. මේ සියලුදෙනා මන්ත්‍රී ධුරවලින් පහකළ යුතු පිරිසක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිවරුන්ගේ සිට මන්ත්‍රීවරුන් දක්වා වන මහජන නියෝජිතයන්ට පොදු වස්තුව අයථා ලෙස හිමිකර ගැනීමට ලැබී තිබෙන ඉඩ අහිමි කරන නීති සම්පාදනයක අවශ්‍යතාව ගැන ආණ්ඩු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි කිසිවෙක් මෙතෙක් කතා කර නැත. 19 වැනි සංශෝධන කතිකාවේ ඒ ගැන කිසිවක් සඳහන් වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයේද ඒ ගැන කිසිවක් සඳහන්වන්නේ නැත. සියලු ප්‍රතිසංස්කරණවාදීන් එම මුඛ්‍ය කාරණය නොසලකා හැර තිබෙන්නේ ඇයි? නිසි අවබෝධයක් නැතිකම නිසාද, නැතිනම් මහජන නියෝජිතයන් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලබාදී තිබෙන අයිතිය ආරක්ෂා කර දිය යුතුයැයි කල්පනා කරන නිසාද?
දැන් අපට නැවත පොදු අපේක්ෂකයා පිළිබඳ විෂයට යා හැකිය. පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි න්‍යායවාදීන් අර්ථකථනය කර තිබුණු ආකාරයට සටන තිබුණේ දූෂිත බලවේගයන් හා දූෂණ විරෝධී බලවේගයන් දෙකක් අතර නොව දූෂිත බලවේග දෙකක් අතරය. රාජපක්ෂ පාර්ශ්වයට නායකත්වය දෙන අයට පමණක් නොව, රාජපක්ෂ විරෝධී පාර්ශ්වයට නායකත්වය දෙන පාර්ශ්වයටද දූෂණය පිළිබඳ විෂයේදී තිබුණේ කීර්තිමත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි.

යහපාලන ආණ්ඩුව
යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ප්‍රමුඛයින්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට වස්තුව කොල්ලකෑමේ අයිතිය තමන් වෙත හිමිකර ගැනීමට මිස සමාජය හා රාජ්‍යයේ ගැඹුරු විපර්යාසයක් ඇති කිරීම නොවේ.

ලංකාව නිදහසේ සිටම ගමන් කළේ අයාලේ යන ගමනකය. ජාතික සමගිය හා ඒකාග්‍රතාව යහපත් ඉදිරි ගමනක් සඳහා ඕනෑම රටකට නැතුවම බැරි කොන්දේසියකි. ඒ අරමුණ ජයගැනීම සඳහා සමාජයේ ගැටුම් ඇති කිරීමට හේතුවන ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකි වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව රටේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ නූතන ජාතිය ගොඩනගා ගත යුතුව තිබුණි. ඒ ගැන ගැඹුරු අවබෝධයක් අපේ ජාතික නායකයන්ට නොතිබුණු අතර එම නායකයන්ගේ වර්ගවාදී, කුලවාදී හා ආගම්වාදී ක්‍රියාකාරීත්වයද රටේ පැවති වර්ග, කුල හා ආගම් භේද කිරීමට හේතුවිය. මුල් කාලයේදී කෝලාහලයද ඉන්පසුව දීර්ඝකාලීන වශයෙන් ඇතිවන මහා ලේ වැගිරීම් නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා ඇතිවූ විනාශකාරී ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

රටේ දීර්ඝකාලීනව ඇතිවූ ලේ වැගිරීම් ආශ්‍රයෙන් ඇතිවූ බිහිසුණු අශීලාචාර සමාජ දේශපාලන වටපිටාව සමාජය රෝගී කොට විකෘති කළේය. රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයද උපරිම මට්ටමකට අකාර්යක්ෂම කොට දූෂිත කිරීමට හේතුවිය. අභ්‍යන්තර යුද්ධය අවසන් කරන තෙක් ව්‍යුහමය ප්‍රතිසංස්කරණ සඳහා නිසි අවකාශයක් නොතිබුණු අතර අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු සමාජයේ හා රාජ්‍යයේ ඇතිවී තිබුණ පිරිහීම් හා කුණුවීම් ගැන කරුණු සොයා බලන තැනකට යමින් එම තත්ත්වය ජයගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරියට ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිදහසේ සිට වර්ධනයවෙමින් පැවති අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ අතර, එහිම ප්‍රතිඵලයක් වශයෙන් අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට ජනාධිපති තනතුර අතහැර ගෙදර යන්නට සිදුවිය.

ඉන්පසු බලයට පත්වන යහපාලන ආණ්ඩුවේ නායකයන්ටද බලය ලබාගැනීමේ කෑදරකමක් තිබුණා මිස ලොකු අර්බුදයකට යමින් තිබූ රට ඉන් ගොඩගැනීමේ අවංක අභිලාෂයක් නොතිබුණි. ඇති කරන ලද ප්‍රතිසංස්කරණ රට මුහුණ දී තිබුණ අර්බුදයේ විශාලත්වයට නොගැළපෙන පුංචි ප්‍රතිසංස්කරණ ලෙස සැලකිය හැකි අතර ඒවාද ආත්මාර්ථකාමී අභිලාෂයන්ගෙන් කිළිටි වූ ඒවා ලෙසද සැලකිය හැකිය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රටේ අර්බුදය උපරිම මට්ටමකට උග්‍ර වී රට අරාජක තත්ත්වයකට තල්ලුවීමය.

ජනාධිපතිවරයාගේ තටු කැපීම
ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ හා පොදු අපේක්ෂකයා ලෙස තරග කරන්නට තෝරා ගත් මෛත්‍රීපාල සිරිසේන අතර ඇති කරගත් ශක්තිමත් එකඟතාව අවස්ථාවාදී එකඟතාවක් වශයෙන් මිස හොඳින් සාකච්ඡා කොට ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කරගත් ශක්තිමත් එකඟතාවක් ලෙස සැලකිය නොහැකිය. රනිල් ජයග්‍රාහී ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කළේ කීකරු දාසයකුගේ භූමිකාවකි. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහගේ රබර් මුද්‍රාවක් ලෙස ක්‍රියාකරන්නට ජනාධිපතිවරයා ආරම්භයේ සිටම කැමති නොවීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයගත්තේ තමන්ගේ ශක්තියෙන් නොව එජාපයේ ශක්තියෙනි. බලයට පත්වූයේ තම සේනාවේ ශක්තියෙන් නොව, අනුන්ගේ සේනාවේ ශක්තියෙනි. එම තත්ත්වය ඔහු සේනාවක් නැති සේනාධිපතිවරයකුගේ අසරණ තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබුණි. ඔහු සේනාවක් නැතිකමේ අඩුව සපුරා ගැනීමට උත්සාහ කළේ රනිල් විරෝධීන් තමන් වෙත ළංකර ගනිමිනි. ජනාධිපතිවරයා තුළ අගමැතිවරයා කෙරෙහිත්, අගමැතිවරයා තුළ ජනාධිපතිවරයා කෙරෙහිත් විශ්වාසයක් නැතිකම මුල සිටම පෙනෙන්නට තිබුණ විනාශකාරී ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. දෙදෙනාටම එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීමේ වුවමනාවක්ද නොවීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ වනවිට ඔහුගේ ලොකුම විරුද්ධවාදියා බවට පත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රදානය කරන ලද ශ්‍රීලනිප නායකත්වය නමැති කටු ඔටුන්න ආශාවෙන් භාරගත්තේද ඇතිවී තිබුණු තනිකම ඒ මගින් හෝ නැති කරගත හැකිවේයැයි විශ්වාස කළ නිසා විය යුතුය. ශ්‍රීලනිපයේ නායකත්වය ලැබීමෙන් පසු ශ්‍රීලනි පාක්ෂිකයන් තමන් වෙත එකතු කරගැනීමට ලොකු උත්සාහයක් දැරුවද එම උත්සාහයද සාර්ථක වූයේ නැත.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු අපේක්ෂකයා වී සිටියදී මෛත්‍රීපාල සිරිසේන එකඟව සිටියද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුළුමනින් නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්වනවා දකින්නට ජනාධිපතිවරයා කැමති නොවීය. ජනාධිපතිවරයා නාමමාත්‍රික තත්ත්වයකට පත් කොට සියලු විධායක බලතල අගමැති ධුරයේ සිටින තමන් අතට ගැනීම අගමැති රනිල් වික්‍රමසිංහගේ අභිලාෂය විය. මේ නිසා අගමැති රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා සම්පාදන න්‍යායවාදියාට 19 වැනි සංශෝධනය කෙටුම්පත් කරන්නට සිදුවූයේ සාමාන්‍ය ව්‍යවස්ථා සම්පාදනයකදී නොතිබිය යුතු සටකපට ආකාරයකටය. ජනාධිපතිගේ තටු කපන ලද්දේ තටු කපන බවක් නොපෙනෙන ලෙස හා තටු කපන ලද ජනාධිපතිවරයාටද අවසාන විග්‍රහයේදී ලොකු බලතල ප්‍රමාණයක් තිබෙන බව පෙනෙන ආකාරයටය. ඉතාමත් සටකපට ආකාරයකින් ක්‍රියාවට නගන ලද එම ව්‍යවස්ථා සංශෝධන වැඩසටහන ආත්මාර්ථකාමී ව්‍යවස්ථා සංශෝධන වැඩසටහනක් වීම නිසා විකෘතී වී තිබූ ව්‍යවස්ථාව උපරිම තත්ත්වයකට විකෘති කොට ව්‍යවස්ථාවක තිබිය යුතු ඒකාග්‍රතාව, මනා පිළිවෙළ නැති කොට අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්කිරීමට හේතුවිය. එය විසින් ඇති කර තිබෙන ඉතාමත් හාස්‍යජනක හා අවුල් ඇති කිරීමට හේතුවන එක් ලක්ෂණයක් වනුයේ විධායක බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයකු මුළු රටම ඡන්ද කොට්ඨාසයක් වශයෙන් ගෙන මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමය. නාමමාත්‍රික ජනාධිපතිවරයකු එවැනි ආකාරයට තෝරාපත් කරගන්නා එකම රට වන්නේද ශ්‍රී ලංකාවය.

සටකපට ලෙස ජනාධිපතිවරයාගේ තටු කපන වැඩසටහනේ තවත් වැදගත් ලක්ෂණයක් වූයේ 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා විධායක බලය නැති නාමමාත්‍රික ජනාධිපතිවරයකු වන බව ජනාධිපතිවරයාට පමණක් නොව මහජනයාටද වසන් කෙරෙන පිළිවෙතක් අනුගමනය කිරීමය. විවිධ සැක සංකා තිබුණද ඒ බව ජනාධිපතිවරයා හොඳින් දැන නොසිටි අතර ඒ බව රටේ ජනතාව පමණක් නොව ජනමාධ්‍යයද දැන නොසිටියේය. එම නොදැනීම කොතරම් ඉහළ තත්ත්වයක තිබුණේද කියතොත් ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්නට ආශාවෙන් සිටි ජනාධිපති අපේක්ෂකයෝ පවා (ගෝඨාභය රාජපක්ෂද ඇතුළුව) ඒ බව දැන නොසිටියෝය. තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් තමන් කරන ලොකු ලොකු දේවල් ගැන ඔවුන් ලස්සන කතා ඇද බෑවේ 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයා විධායක බලයක් නැති ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන බව ඔවුන් නොදැන සිටි නිසාය. ලංකාවේ සමාජ දේශපාලන තලය තුළ රජ කරන මුග්ධභාවයේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය.

සිහින බොඳවීම
ජනාධිපතිවරයාගේ තටු කැපීමෙන් පසුද ජනාධිපතිවරයා සේනාවක් නැතිකමේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විවිධ අත්හදා බැලීම්වල යෙදුණි. ශ්‍රීලනිප තමන්ගේ නායකත්වය යටතේ තරකර ගැනීමට දරන ලද උත්සාහයන් අසාර්ථකවීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහ කොට ඉන්පසු පක්ෂ නායකත්වයද අහිමිවන තත්ත්වයක් ඇති කොට අනියම් ලෙස එජාපය පාලනය කළ හැකි තත්ත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ කළේය. මහ බැංකුවේ බැඳුම්කර වංචාව කරළියට ආ අවස්ථාවේදී තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වූයේ නැත. ජනාධිපතිවරයා එහිදී තමන්ගේ ඉල්ලීම පිළිනොගත් අගමැතිවරයා තනතුරෙන් ඉවත් නොකළේ අගමැතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය බලය තමන්ට නැති බව ජනාධිපතිවරයා හොඳාකාරවම දැන සිටි නිසාය. මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළ සිද්ධියේදී අගමැතිවරයා නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඉන්පසු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කරළියට ගැනීම සඳහා පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියා කළේය. ඒ මගින් ජනාධිපතිවරයා දිනාගැනීමට අපේක්ෂා කළ අරමුණ වූ බව පෙනෙන්නේ ආණ්ඩුව පාලනය කිරීමේ වගකීම මුළුමනින් සියතට ගනිමින් එජාපයද අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් හිමිකර ගැනීමය. එහෙත් විශ්වාසභංග යෝජනාවකින් රනිල් වික්‍රමසිංහගේ අගමැති තනතුර අහිමි කිරීමට දරන ලද ගොරහැඬි උත්සාහයද සාර්ථක වූයේ නැත. ඉන් සිදුවූයේ බැඳුම්කර වංචාවෙන් අපකීර්තිමත් තත්ත්වයකට පත්ව සිටි අගමැතිවරයා තාවකාලික අර්ථයෙන් හෝ වීරයකු බවට පත්වීමය.

ජනාධිපතිවරයා තමන්ගේ පරණ වෛරක්කාරයා ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ පිලට එකතුවීමට හිත හදාගත්තේ ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී තෝරා ගැනීමට ඒ හැර අන් විකල්පයක් නැති තත්ත්වය ඉදිරියේය.

ජනාධිපතිවරයා මෑත කාලයේ සිටින්නට ඇත්තේ තමන්ගේ අනාගතය පිළිබඳව ඇති කරගත් ලොකු බියකින් විය යුතුය. ඒ වන විට ජනාධිපතිවරයාට බලවත් මිතුරු බලවේගයක් නොසිටියේය. එජාප සමග නැවත සමගියක් ඇති කරගන්නට දරන ලද උත්සාහයද අසාර්ථක වී තිබුණි. ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරග කරන්නට ජනාධිපතිවරයාට පක්ෂයේ අනුමැතිය ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීමකට එජාපයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයකු දී තිබෙන පිළිතුර වී ඇත්තේ එහෙම කළොත් එජාපයේ ජනයා තම පක්ෂයට ගල් ගසනු ඇතැයි කියාය. ඒ පිළිතුරට ජනාධිපතිවරයා බලවත් කෝපයට පත්කිරීමට හේතුවී තිබෙන අතර කොතරම් අවලස්සන වුණද තමන්ට තෝරා ගැනීමට තිබෙන එකම විකල්පය මහින්ද රාජපක්ෂ පිලට එකතුවීම බව ජනාධිපතිවරයාට අවසානයේ සිතෙන්නට ඇත. එවැනි තෝරාගැනීමක් ඇතිකර ගැනීම කෙරෙහි මහින්ද රාජපක්ෂ පාර්ශ්වය කෙරෙහි සිතේ ඇති කරගෙන තිබූ බියද බලපාන්නට ඇත. දැන් තමන්ට එජාපයේ සරණක් නැති බවත් ඉදිරියේ බලයට ඒමට වැඩි හැකියාවක් ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ මහින්ද පිල වන නිසා තමන්ට විය හැකි හානිය වළකාගැනීම සඳහා සියලු පරණ පව් අමතක කිරීමට හේතුවන උත්කර්ෂවත් එකතුවීමක් සඳහා නීතියට පටහැනිව එජාපයට තිබෙන බලය අහිමි කොට මහින්ද පිලට බලය ලබාදෙන වැඩසටහනක් ක්‍රියාවට නගන්නට හිත හදා ගත් බව පෙනේ.

තමන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ජනාධිපතිවරයා නොදැන සිටියා විය නොහැකිය. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව කරන විට තමන්ට ආණ්ඩු බලය දෙන පිරිසට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු බවද ජනාධිපතිවරයා දැන සිටියේය. ඒ මගින් අපේක්ෂා කළ බව පෙනෙන්නේ ආණ්ඩු විරෝධී මහජනයා ලක්ෂ ගණනින් පාරට බසින උද්වේගකර තත්ත්වයක් ඇතිවී ඒ වටාපිටාව තුළ බහුතර බලයක් සඳහා අවශ්‍ය අඩු පිරිස දිනාගැනීම හෝ මිලදී ගැනීමට විය යුතුයි. එහෙත් අපේක්ෂා කළ පරිදි එම ක්‍රියාව මහින්ද පිලට පක්ෂ ජනතාව අතරද ලොකු උද්යෝගයක් ඇති නොකළේය. උද්දාමයට පත්වනවා වෙනුවට සිදුවූයේ ඔවුන් සියලුදෙනාද තෘෂ්ණිම්භූත තත්ත්වයකට පත් කිරීමට හේතුවිය. පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇත්නම් අයවැයේදී ආණ්ඩුව පරාජය නොකොට මෙවැනි අසම්මත ක්‍රමයකට ගියේ ඇයිද කියන ප්‍රශ්නයද ඔවුන්ගේ උද්යෝගය හීන කිරීමට බලපෑවේය. අනෙක් අතට ශ්‍රීලනිප ජනයා ජනාධිපතිවරයා සලකන ලද්දේ දේශද්‍රෝහියකු ලෙසය. ඒ හැඟීම අදත් ඔවුන් අතර පවතී. තමන්ගේ වීරයා එවැනි ද්‍රෝහියකු සමග එකතු වූයේ කෙසේද යන ප්‍රශ්නයද ඔවුන් කෙරෙහි බලපෑවේය.

ජනාධිපතිවරයාගේ එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව ජනාධිපතිවරයාට තිබෙන නිල පිළිගැනිම මුළුමනින් අහෝසි කළේය. රටද පහසුවෙන් ගොඩගත නොහැකි දරුණු ප්‍රපාතයකට ඇද දැමීමට හේතුවී තිබෙනවා පමණක් නොව, මෙතෙක් ජයග්‍රාහී තත්ත්වයක සිටි මහින්ද රාජපක්ෂ පාර්ශ්වයද පහසුවෙන් ගොඩ ආ නොහැකි දරුණු දේශපාලන අගාධයකට තල්ලු කිරීමටද හේතුවී තිබේ. මෙම අර්බුදයෙන් වැඩිම දේශපාලන හානිය සිදුවනු ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ජනයාගේ හාස්‍යයට, පිළිකුළට හා සමහරවිට කෝපයට හේතුවන චරිතයක් බවට පත්වනු ඇත. ඊළඟට විශාලතම හානිය සිදුවනු ඇත්තේ අගමැති ධුරයෙහි පිදුම් ලැබ සිටින මහින්ද රාජපක්ෂටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේ ම අගමැති රනිල් වික්‍රමසිංහද සිටියේ මහජනයා අතර තිබෙන පිළිගැනීම බොහෝ දුරකට අහිමි කරගත් අසරණ තත්ත්වයකය. මොනතරම් බරපතළ චෝදනා එල්ල වී තිබුණ මහින්ද රාජපක්ෂ සිටියේ වැඩිම මහජන බලයක් හිමිකරගත් නායකයාගේ තත්ත්වයකය. මේ මෝඩ වැඩසටහනට එකතුවීම නිසා ඔහුට තිබෙන මහජන පිළිගැනීම නැති භංග වන තත්ත්වයක් ඇතිවිය හැකිය.

නීති විරෝධී ලෙස ආණ්ඩු බලය හිමිකරගෙන සිටින මහින්ද පාර්ශ්වයට කුමන ආකාරයකට හෝ බහුතර බලයක් හිමිකර ගැනීමේ හැකියාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයාට හා එම වැඩසටහනට සම්බන්ධ අයට නීති විරෝධී ලෙස ඉදිරියට තබන ලද අඩිය පහසුවෙන් ආපස්සට ගැනීමේ හැකියාවක්ද නැත. ඒ සමග පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතුව එම හිතුවක්කාරී වැඩසටහන දිගට අල්ලාගෙන සිටීමේ හැකියාවක්ද නැත. ඒ නිසා විය හැකිව තිබෙන්නේ නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරින පිළිවෙතක් ජනාධිපතිවරයා විසින් අනුගමනය කිරීමය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැතත්, ඔහුට තෝරා ගැනීමට අන් විකල්පයක් නැත. එසේ වුවහොත් මුහුණ දෙන්නට සිදුවන නින්දාවේ පරිමාව අතිවිශාලය. මෙම තත්ත්වයේ පවත්වාගෙන යෑමේ හැකියාවක්ද නැත. එසේ වුවහොත් විය හැක්කේ මහා විනාශයකි.

ජනාධිපතිගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් නොව ස්වාභාවික යුක්තියටද පටහැනිය. ජනාධිපතිවරයාගේ ක්‍රියාව බිරිඳ සමග ඇති කරගත් දබරයකින් පසුව ගුවන් යානයට යන ගුවන් නියමුවෙක් තමන්ගේ කෝපය පහකර ගැනීම සඳහා මගීන් රැගත් ගුවන් යානය කඳු ශිඛරයක හප්පා විනාශ කිරීමේ ක්‍රියාවකට සමානය. ජනාධිපතිවරයාට සාධාරණ දුක්ගැනවිලි තිබෙනවා විය හැකිය. එහෙත් ඒවා විසඳා ගැනීමේ මගක් නැතිවූ පමණින් රට හා ජනතාව විනාශ මුඛයට තල්ලු කිරීම සාධාරණවන්නේ නැත.

දැන් රටට අවශ්‍ය වී තිබෙනුයේ ඔජර ගලන තරමට කුණුවී තිබෙන සමස්ත ක්‍රමයේ මහා විපර්යාසයකි. එවැනි විපර්යාසයක වැඩසටහනක නියමුවා වීමේ හැකියාව දූෂණයෙන් කුණුවූ දේශපාලකයන්ට නැත. ඒ වගකීම බාරගතයුත්තේ මහජනයාය.