රට අනතුරේ

රටෙහි පැන නැගී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී ලංකාවේ ජනතාව ගත යුතු හොඳම තීරණය වනු ඇත්තේ දේශපාලන නායකයන්ගේ බලලෝභී වුවමනාවන්ට ගොදුරු නොවී නිරවුල් මනසකින් තත් ආරාවුල දෙස බැලීමය. එසේ කළහැක්කේ තම දිවි පැවැත්මේ වගකීම ඊළඟ පැයේ කුමක් කරාවිදැයි කිව නොහැකි තම නියෝජිතයන් ලෙස පෙනී සිටින පිරිසට ලබා නොදීමෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට සැලකිය යුතු පිරිසක් දේශපාලන ප්‍රතිපත්ති යනුවෙන් දෙයක් ඇත්නම් ඒවා පාවා දෙන්නන් බව දැන් පැහැදිලිය. ජනාධිපතිවරයාට, වසර තුනහමාරක් ගතවෙද්දීම තම මූල පදනම අමතක වූයේය. හෙතෙම සිය පදනම් දේශපාලන තර්කණය පිටු දැක්කේය. ඒ අනුව හෙතෙම තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂය තුට්ටු දෙකට දැම්මේය. එසේ කොට තමා ඝාතනය කිරීමට ආණ්ඩුව ඇතුළේම ඇතැමුන් තැත් කරන විට රාජපක්ෂ අගමැති කරනු මිස වෙන කුමක් කරන්නදැයි හෙතෙම විලි නොවසාගෙන හැට දෙලක්ෂයෙන් විමසුවේය. ඒ ජනපතිටම ගැළපෙන විශ්වාස කළ නොහැකි ඇමතිවරු දැන් නව ඇමති මණ්ඩලයක දිවුරුම් දෙමින් සිටිති. ඒ මහජන නියෝජිතවරු ලෙස පසුගිවය වතාවේදී සේ ම වගකීම් හරියටම ඉටු කරන බවට ශපථ කරමිනි

ඉදින් විශ්වාස කළයුත්තෝ කවරහුද? නොකළ යුත්තෝ කවරහුද?

ජනපතිවරයා සහ අගමැතිවරයා ඉතා නින්දාසහගත ලෙස ඇමති ධුර, නියෝජ්‍ය ඇමති ධුර හා රාජ්‍ය ඇමති ධුර තොරොම්බල් කරමින් ගෝත්‍රික දේශපාලනයක නියැලෙන අයුරු ඉකුත් දිනවල දක්නට ලැබිණි. ඇමතිධුර මස් කටු ගාණට දැමීම කෙතරම් ජයට සිදුවුණිදැයි කිවහොත් නව අගමැතිවරයා ඔහුගේ එකම සහචරයකුටවත් මුල් අවස්ථාවේ ඇමති ධුර ලබාදුන්නේ නැත. එහි අරමුණ ඇමති ධුර මස්කටු ගාණට පෙන්වමින් එජාපයේ හා වෙනත් සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් බා ගැනීමය. නව අගමැතිගේ සමීපතමයන්ද අපට තනතුරු අවශ්‍ය නැතැයි කියන්නේ ඒ නිර්ලජ්ජිත වෙළෙඳාමට අවශ්‍ය පසුබිම සකසාදීමට බව පෙනේ. ඇමති ධුර ඇමක් ලෙස භාවිත කැරෙන්නේ මාළු අහින ඊට හසුවෙමින් සිටින නිසාය. මෙහි විශේෂත්වය වන්නේ බලය තහවුරු කරගත යුතු පුද්ගලයා හෝ කණ්ඩායම ඒ සඳහා ඕනෑතරම් වරදාන ලබාදීමට සූදානම්ව සිටීමත්, ඇම කන අයට මෙය හුදෙක් මුඛයෙහි ඇවුණු කටුවක් බවට පත් නොවී පරම්පරාව ගොඩයා හැකි ඇමිණුමක් බවට පත්කර ගැනීමත්ය. ඉදින් ඔවුන් ඔබේ මහජන සේවකයන් විය හැකිද? ජනතාව මේ සියල්ලන් ප්‍රතික්ෂේප කළ යුත්තේ එබැවිනි. දෙමටගොඩ තෙල් සංස්ථා පරිශ්‍රයේදී එහි සේවකයකු වූ රංග රාජපක්ෂ දිවි නොදිය යුතුව තිබුණේ එනිසාය. ඇතැම් විටෙක පාර්ලිමේන්තුව විවෘත නොකර සිවිල් සමාජය තුළට කෙමෙන් වත්මන් දේශපාලන බලඅරගලයේ සෙවණැල්ල වැටුණහොත් උක්ත සිදුවීමටත් වඩා ඛේදනීය අත්දැකීම් මේ සමාජයට ලබන්නට සිදුවනු ඇත. ඒවා වළකා ගැනීමට දේශපාලන නායකයන්ට වුවමනාවක් තිබෙනවාදැයි යන්න සැකසහිතය. දේශපාලන බලය නොව ප්‍රමුඛ ජනතාව නම් දේශපාලන නායකයන් සිවිල් සමාජය තුළට දේශපාලන බලඅරගලය කැඳවීම වැළැක්විය යුතුය. පාර්ලිමේන්තුව ඉක්මනින් විවෘත කර මේ ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ළඟා කිරීමේ පියවරකට ජනපති යනවා නම් කොළඹට සෙනඟ කැඳවීමට එජාපයට සිදුවන්නේ නැත. පළමුව ජනපති ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බව පිළිගත යුතුය. එය නිවැරදි කළහැකි මාර්ගයක් ප්‍රජාතන්ත්‍රවාදී සැකැස්ම තුළම ඇත්නම් දැන් ඔහු ක්‍රියාව සාධාරණීකරණයට වාගාලාප නොකියා එම ප්‍රජාතන්ත්‍රවාදී සැකැස්මෙහි ප්‍රතිපාදන යුක්තිය උදෙසා භාවිත කළ යුතුය. වැඩිපුර දින 11ක් පාර්ලිමේන්තුව විවෘත නොකර මහජන නියෝජිතයන්ට දැල එලන තැනට තිත තැබිය යුතුය.

ජනපතිවරයා ඉකුත් 30 වැනිදා වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා වැඩ බිම්වල කිසිදු බරපතළ සිදුවීමක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස ඉල්ලීමක් කළේය. එහෙත් තවමත් දේශපාලකයන් ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඔවුන් මත යැපෙන වහල් මානසිකත්වයකින් යුතු කිසියම් හෝ පිරිසක් සිටින බැවින් එම ජනයා අතරින් සිදුවීමක් පැන නගින්නේ කොතැනින්දැයි එක්විටම කිව නොහැකිය. එම උණුසුම සමනය වීමට නම් බලහුවමාරුවෙහි අන්තර්කාලීන තත්ත්වය ඉකුත් විය යුතුය. ජනපති ජනතාවට දක්වන්නේ ඇත්ත ආදරයක් නම් මේ බල හුවමාරුව මීට වඩා ආචාරසම්පන්නව සිදුකර ගන්නා මගක් සොයාගත යුතුව තිබුණි. මෙහිදී සිදුව ඇත්තේ ආචාරධර්ම බිඳින්නාම ශික්ෂා මාර්ගයේ යන්න යැයි සෙස්සන්ට පැවසීමය. ජනපතිට ඕනෑකම තිබුණේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් කිරීමට නම් වසර තුනකට පෙර යහපාලනයේ නියමු කාර්යභාරය ඉටු කළ සෝභිත හිමියන්ට කන් දෙන්නට තිබුණි ඉන්පසුව වුව දැනුවත් පිරිස් කළ යෝජනා විමසා බලන්නට තිබුණි. එම යෝජනා අතර තිබුණු වැදගත් ආදර්ශයන් අභ්‍යාස කර බලන්නට තිබුණි. එහෙත් ඒ කිසිවක් නොකළ ජනපති ප්‍රමුඛ යහපාලන ප්‍රධානයන් රට යොමුකර ඇත්තේ බරපතළ අරාජිකත්වයක් කරාය. මෙතැන් සිටවත් ජනතාව දේශපාලකයන් විශ්වාස නොකිරීමට වග බලා ගත යුත්තේ එනිසාය.