කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවිය හැකියි

මහාචාර්ය නිහාල් ජයවික්‍රම

දෙවරක් ජනාධිපති ධූරයට පත් අයකුට තුන්වන වර ජනාධිපති විය නොහැකි බව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වුවද එසේ ඉදිරිපත් වීමේ ව්‍යවස්ථානූකූල ඉඩකඩක් පවතින බවට මතයක් ඉදිරිපත් කිරීම නිසා නීති විශාරදයකු වන නිහාල් ජයවික්‍රම මහතා පිළිබඳ පසුගිය කාලයේ කතා බහට ලක් විය. එම මතය නිසාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවටද මතයක් පැතරිණි. මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාව එම ධූරයට පත් කර තිබේ. ඒ පිළිබඳ මතය කුමක්දැයි ‘රාවය’ නිහාල් ජයවික්‍රම මහතාගෙන් විමසීය. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථීර ලේකම්වරයකු වන ඔහු හිටපු නීතිපතිවරයකුද වෙයි. එමෙන්ම ඔහු ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. කැනඩාවේ විශ්වවිiාලයක මානුෂීය අයිතීන් පිළිබඳ මහාචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇති ජයවික්‍රම මහතා විටෙක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජර්මනියේ මූලස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද ක්‍රියා කළේය. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා වුණත් වෙනත් අමාත්‍යවරයෙක් වුණත් ඉවත් කිරීමේ බලයක් නැහැ. අමාත්‍යවරුන් ඉවත් කරනවා නම් එසේ කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. අගමැතිවරයා ඉවත් කළහැක්කේ, ඔහු ඉල්ලා අස්වුවහොත් නැතහොත් පාර්ලිමේන්තුවෙන් විශ්වාසභංගයක් මගින් ඉවත් කළහොත් පමණයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගමැති, ඉවත් කිරීමේ බලය ජනාධිපතිට තිබුණා. ඒත් දැන් ඒ බලය නැහැ.

ජාතික ආණ්ඩුවක් තිබුණා, එයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වුණා, එවිට අමාත්‍ය මණ්ඩලය ඉවත් වනවා, අමාත්‍ය මණ්ඩලය ඉවත් වූ විට අගමැති ධුරයත් අහිමි වනවා කියා තර්කයක් තිබෙනවානේ. පළමුවෙන්ම කියන්න ඕනෙ, මගේ මතය අනුව, තිබුණේ ජාතික ආණ්ඩුවක් නොවන බව. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් කියන්නේ, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක්. මෙතන එහෙම එකක් තිබුණෙ නෑනෙ.

කමක් නෑ. අපි මොහොතකට හිතමු තිබුණෙ ජාතික ආණ්ඩුවක් කියලා. එහෙම නම් ඒකෙ පාර්ශ්වකරුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරු ඉල්ලා අස්වෙන්න තීරණයක් ගත්තා නම්, ඒ සෑම ඇමතිවරයකුම ජනාධිපතිවරයාට ලිපිවලින් දැනුම් දිය යුතුයි, තමන් ඉවත් වුණා කියලා. එසේ නොමැතිව ඔවුන්ගේ පක්ෂය විදියට ලිපියක් ලිවීමෙන් පළක් නැහැ. ජාතික ආණ්ඩුවේ අදාළ ඇමතිවරු එසේ තම තමන්ගේ අස්වීම පිළිබඳ ලිපි ජනාධිපතිට යොමු කළ විට, ජනාධිපතිවරයා, අගමැතිට කිව යුතුයි, තමන්ට මෙසේ ලිපි ලැබුණු බව. ඒ අතර බලන්න වෙනවා, ඔය කියන ජාතික ආණ්ඩුවේ තවත් පක්ෂ සිටිනවාද කියා. කෙසේ හෝ ජාතික ආණ්ඩුව අවසන් වුණා නම් ඇමති මණ්ඩලය 30 දක්වා අඩු විය යුතුයි. ව්‍යවස්ථාව අනුව එවිට ජනපතිට බලය තිබෙනවා, අමාත්‍යාංශ 30කට ඇමතිවරු පත් කරන්න. ජාතික ආණ්ඩුව නොමැති විට අමාත්‍යවරුන් සංඛ්‍යාව 30කට වැඩි නොවිය යුතු නිසා, එම 30ට පත් කරන්නේ කවුරුන්ද යන්න ජනාධිපති අගමැතිගෙන් උපදෙස් ගත යුතුයි.

තව දෙයක් කිව යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු පළමුවෙන්ම පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයාවයි. අගමැතිගේ උපදෙස් මත තමා ඊළඟට ඇමති මණ්ඩලය පත් කරන්නේ. පසුව එයින් කී දෙනකු ඉවත් වුවත් අගමැතිවරයාගේ උපදෙස් මත තමයි, ජනාධිපතිවරයා ඒ පුරප්පාඩු පිරවිය යුත්තේ. ඒක තමයි 19 වන සංශෝධනයේ තිබෙන්නේ.

මගේ මතය නම් ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය ඉවත් වන්නේ, අග්‍රාමාත්‍යවරයා අස්වුවහොත් හෝ අස්කළහොත් පමණයි. අනික් පැත්තෙන් ජනපතිට ඇමතිවරයකු ඉවත් කළ නොහැකියි, අගමැතිගේ උපදෙස් නොමැතිව. මේ තත්ත්වයක් අනුව මගේ මතය වන්නේ ජනාධිපතිවරයා මේ කළ දේ සම්පූර්ණයෙන්ම වැරදියි. ව්‍යවස්ථාවට පටහැනියි.

දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ඔහුට කියලයි. ඊට පදනමක් ඇතිවන්නේ මෙහෙමයි. 2015 අගෝස්තු පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති වුණා. පසුගිය කාලේ ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉදිරිපත් වූ වෙලාවෙත්, ඔහු බහුතරය පෙන්නුවා. ඉන්පසු ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය නැහැ කියා පෙන්වන දේශපාලන සිදුවීමක් වුණේ නැහැ.

ඊළඟට කතාබහට ලක්වන ප්‍රධාන කරුණක් තමයි, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාරය අවසන් කර 05 වැනිදා රැස්වීමට තිබූ සභා වාරය 16 වැනිදා දක්වා කල් දැමීම. පාර්ලිමේන්තුව කල් දැමීමට, ව්‍යවස්ථාවෙන් ජනපතිට බලයක් තිබෙනවා. මගේ මතය වන්නේ එය එසේ වූවාට, ව්‍යවස්ථාවෙන් කතානායකවරයාටත් බලයක් තිබෙනවා, පාර්ලිමේන්තුව කැඳවන්න. 19 වන සංශෝධනයේ 33 – (අ) වගන්තිය අනුව ජනාධිපති, පාර්ලිමේන්තුවට යටත්. එසේ නම් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව කල් තැබූවාට, කතානායකවරයාට රැස් කරන්න පුළුවන්. 33(අ) වගන්තියෙන් දැක්වෙන්නේ මෙහෙමයි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේද ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍යය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය.”

මෙහිදී කතානායකවරයා, පාර්ලිමේන්තුව රැස් කළ යුත්තේ ජනපති කළ නව අගමැතිවරයාගේ පත්කිරීම නිවැරදිව සිදුවී ඇද්ද යන්න විමසීමටයි.

මීට පෙර නම්, එසේ ජනාධිපතිවරයා කල් දැමූ පසු කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා නැහැ. එහෙත් 19 වන සංශෝධනයෙන් පසු කතානායකට බලය තිබෙනවා, එසේ කැඳවීමට. මොකද 19 සංශෝධනයේ තිබෙනවා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියා.

ජනාධිපතිවරයා මෙහිදී ක්‍රියා කළ ආකාරය නිසා ව්‍යවස්ථාව, නීතිය උල්ලංඝනය වී තිබේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි නීත්‍යනුකූලභාවය විමසා බැලිය හැකි නොවේ දැයි තවත් මතයක් ඉදිරිපත්ව තිබෙනවා. මට කීමට තිබෙන්නේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක් නොව, පාර්ලිමේන්තුවෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට. ව්‍යවස්ථා විරෝධී ලෙස, නීති විරෝධී ලෙස තමාව රැකියාවෙන් ඉවත් කර ඇති බවටත් සිය තනතුර නැවත ලබා දෙන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙසටත් කියා කොළඹ දිසා අධිකරණයේ ඔහුට ඉල්ලීමක් කළ හැකියි. එවිට බොහෝ විට දිසා අධිකරණය තීරණය කරයි එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට. එවිට නඩු අසා අවසන් කිරීමට බොහෝ කලක් ගතවේවි. ඒ නිසයි මා කියන්නේ මෙය උසාවියේ කාර්යයක් නොව පාර්ලිමේන්තුවේ කාර්යයක්. මෙම ගැටලුව පාර්ලිමේන්තුව තුළින් විසඳාගත යුතුයි.

ඇතැමුන් අර්ථ දක්වනවා, මෙය ව්‍යවස්ථාමය අර්බුදයක් කියා. එහෙත් එවැන්නක් මට පෙනෙන්නේ නැහැ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර තිබෙනවා. ඔහුට කාගේවත් උපදෙසකින් තොරව පත් කිරීම් සඳහා බලය ක්‍රියාත්මක කළ හැක්කේ අවස්ථා තුනකදී පමණයි. ඒ විදේශ තානාපතිවරුන් පත් කිරීමේදී, අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේදී හා පළාත් සභා ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී. එය පමණයි එලෙස ඔහුට කළ හැක්කේ. 19 වන සංශෝධනයට පෙර නම් ඕනෑම පත් කිරීමක්, ඉවත් කිරීමක් සඳහා ජනපතිට බලතල තිබුණා. එහෙත් 19 න් පසු ජනපති ධූරය පත්ව ඇත්තේ ‘විලියම් ගොපල්ලව’ ජනාධිපතිවරයාගේ තත්ත්වයටයි. ඒ කියන්නේ එය, බලතල කප්පාදු කළ නාමමාත්‍රික ධූරයක් බවට පත්වෙලා. ව්‍යවස්ථාදායක සභාවේ උපදෙස් නැතිව ජනාධිපතිවරයාට පොලිස්පති, නීතිපති, ආදී පත්වීම් පවා ලබාදිය නොහැකියි.

එහෙත් ජනාධිපතිවරයාට තනිවම ක්‍රියාත්මක කළ හැකි එක් බලයක් පමණක් තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරියායින් පසුව මහ මැතිවරණය අවසන් වීමට පෙර කාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීමේ බලයයි. ඒකටත් හේතුව වෙන්නේ ඒ කාල සීමාව තුළ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවීමයි.

ඇතැමුන් තවත් අර්ථකථනයක් දෙනවා. අර්ථ නිරූපණ පනත තුළ ඇති කරුණක් පිළිබඳව. ඕනෑම නීතියක් යටතේ යමකු පත්වීමක් ලබාදුනහොත් ඒ සමඟම ඔහුට එනවා තවත් බලයක්. ඒ තමයි, දුන් පත්වීමෙන් අස් කිරීමේ බලය. එහෙත් අර්ථ නිරූපණ පනත තුළ ඇති එම බලය ක්‍රියාත්මක කළ හැක්කේ ඊට අදාළ අනෙක් නීතිවල එම තත්ත්වය පිළිබඳ සඳහනක් නොමැති නම් පමණයි. දැන් බලන්න, ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කළාට ඔහුට, ඔවුන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා, අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය පත් කිරීම මෙන්ම ඉවත් කිරීමේ ක්‍රමවේදයන්. එවිට ඒ සඳහා අර්ථ නිරූපණ පනත දෙස බැලීමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැනේ.

මෙම අර්බුදය විසඳා ගත හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන්ම පමණයි. එහිදී එක්කෝ පාර්ලිමේන්තුවට කරුණු අනුව පෙන්වා දිය හැකියි, රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව, නැතහොත් පෙන්වා දිය හැකියි, ඔහුට බහුතර බලයක් පවතින බව.

මෙතනදී රාවයට මතුව තිබූ ප්‍රශ්නයක් මගෙන් විමසා තිබුණා. පාර්ලිමේන්තුව කැඳවූ විට බහුතර බලය, මහින්ද රාජපක්ෂ මහතා ලබාගතහොත් ඔහුට නව අගමැති ලෙස නව ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාමට ඇති ව්‍යවස්ථාමය ඉඩකඩ තහවුරු වෙනවා. එහෙත් එයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව ක්‍රියාත්මක වූ ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත් ව්‍යවස්ථා විරෝධි බවත් මා ඉදිරිපත් කළ මතය වෙනස් වන්නේ නැහැ. රාවයේ ප්‍රශ්නය වුණේ එවැනි තත්ත්වයකදී ජනාධිපතිවරයා කළ වරදට කුමක් සිදුවන්නේද යන්නයි.

ඇත්තටම මට කිව හැක්කේ දෝෂාභියෝග යෝජනාවකින් ජනපති ඉවත් කිරීම හැර ව්‍යවස්ථානුකූලව වෙනත් කළ හැකි දෙයක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 75කගේ අත්සන් තිබේ නම් ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් කථානායකවරයා භාරගත යුතුයි. එහෙත් ඔහු ඉවත් කිරීමට තුනෙක් දෙකක (මන්ත්‍රීවරුන් 150ක) ඡන්දය අවශ්‍යයි. මෙවැනි පාර්ලිමේන්තුවකින් එවැන්නක් කිරීමේ හැකියාවක් තිබේද? ජේ. ආර්. ජයවර්ධන මහතා එවැනි වගන්ති 1978 ව්‍යවස්ථාවට ඇතුළත් කළේම කිසිදා ජනාධිපතිවරයකු ඉවත් කළ නොහැකි තත්ත්වයක් උදා කරන්නයි.