අර්බුදයේ දේශපාලනය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

 

රටේ සිදුව ඇති දේශපාලන පෙරළිය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමක් කළයුතු වන්නේ නැත. එහෙත් එහි දිග, පළල පමණක් නොව, ගැඹුර පවා තවමත් පැහැදිලිව පෙනේ යැයි සිතිය නොහැකිය.

මට පෙනෙන ඉතාමත් වැදගත් කරුණ වන්නේ මෙම පෙරළියේදී පොදු ජනතාව දැක්වූ ප්‍රතිචාරයයි. ඔවුන් සිටියේ කිසිවක් සිදු නොවුණා සේය. සිකුරාදා (ඔක්තෝබර් 26) රාත්‍රියේ පැයකට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක වූ පූර්ව සැලසුම අනුව රටේ පාලන බලය එක් දේශපාලන කඳවුරකින් තවත් දේශපාලන කඳවුරකට මාරුවූ අතර එය වහා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත ගෙන ගියේය. සෙනසුරාදා වෙළෙඳපොළට එන සති අන්ත පුවත්පත්ද, ඒ සියල්ල වාර්තා කර තිබිණි. එයින් ජනතාව සිදුවූ බල පෙරළිය පිළිබඳ දැනුවත් වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර, ළඟ සිටින අයට සීමාවූ බවට අනුමාන කළ හැකිය.

කම්පනය සහ ප්‍රතිචාර
එහි හරය වන්නේ කුමක්ද? විශාල ලෙස දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ වෘත්තිකයන්, සිවිල් සංවිධාන සාමාජිකයන් සහ තවත් සීමිත පිරිසක් හැරුණු විට, පොදු ජනතාවට මෙම පෙරළිය මහා බරපතළ කම්පනයක් ගෙන ආවේ නැත. ඒ, එය ඉතා බරපතළ තත්ත්වයක් නොවන නිසා යැයි සිතිය හැකි නොවේ.

සිරිසේන ජනාධිපතිවරයා, වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර ලබා දුන්නේය. එය දැනගත් පසු රාජපක්ෂ මහතාගේ ඇතැම් පාක්ෂිකයන් හිතවතුන් කළේ රතිඤ්ඤා පත්තු කිරීමය. පසුව කිරිබත් කෑමය. මාගේ නිරීක්ෂණ වන්නේ එම ප්‍රතිචාරයන් පිළිබඳ නොවේ. සිකුරාදා දිනයක රාත්‍රියේ පැයක් වැනි කාලයක් තුළ වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය පාලන බලය, ඔහුට නොදන්වා සම්පූර්ණයෙන් කණපිට හරවා එය රාජපක්ෂ මහතාට ලබාදීමේ, සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාව ගැන රට තුළ සිටින ලක්ෂ ගණනක් වවන එජාප, යහපාලන පාක්ෂිකයන්, හිතවතුන් සහ බුද්ධිමත් පොදු ජනතාව දැක්වූ ප්‍රතිචාර පිළිබඳවය. වික්‍රමසිංහ මහතා මෙන්ම ඔහුගේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සහ එජාප ප්‍රබලයන් අඛණ්ඩව රැඳී සිටින අරලියගහ මන්දිරයට, ආරාධනා කර ගෙන්වා ගත් හා පසුව සංවිධානය කළ උද්ඝෝෂණවලට ගෙන්වා ගත් පිරිස සැලකිය හැක්කේ බල පෙරළියෙන් කම්පනයට පත්ව ප්‍රතිචාර දැක්වූ පිරිසක් ලෙස නොවේ.

මහින්ද සහ රනිල්
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට 2015 දී සිරිසේන මහතා වෙත ඡන්දය දී තිබුණේ එජාප පාක්ෂිකයන් පමණක් නම් ඔහුට එම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවන්නේ නැත. ඒ සඳහා ශ්‍රීලනිපය ඇතුළු එජනිස, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් පක්ෂ, වතුකරයේ පක්ෂ ආදී සියල්ලෙ සාමාජිකන් සහ හිතවතුන් සැලකිය යුතු පිරිසක් ඡන්දය දුන්හ. මේ සියල්ලන්ම දුටු ප්‍රධාන පොදු ප්‍රශ්නය වූයේ නිදහසය. රාජපක්ෂ පවුලේ අයකුගේ නම කියා විධිමත් විවේචනයක් තබා දොසක් කීම, චෝදනාවක් එල්ල කිරීමට පවා නොහැකි බියක්, ඒ අවසාන වකවානුවේ සමාජය මත නිර්මාණය කර තිබුණේය. රාජපක්ෂ පවුලේ සියල්ලන් රට පාලනය කරමින් සිටි අතර කිහිපදෙනෙකු හැරුණු විට ශ්‍රීලනිපය ඇතුළු එජනිස ප්‍රබලයන් සිටියේද කරකියාගත නොහැකි පීඩනයකිනි.

එවැනි තත්ත්වයකදී මැදහත් රාජ්‍ය නිලධාරීන්ටද රජයේ සේවකයන්ටද බරපතළ පීඩාකාරී වාතාවරණයකට මුහුණ දීමට සිදු නොවූවා යැයි කිව නොහැකිය.
එහෙත් වර්තමාන තත්ත්වය කුමක්ද? පොදු ජනතාව මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද සුවිශේෂී කම්පනයකට ලක්නොවීමය. ඔවුහු ජනාධිපතිවරයාගේ නියෝග සහ උපදෙස් මත ක්‍රියා කරමින් සිටිති. නව පත්වීම් භාර ගනිමින් සිටිති. වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ කටයුතු කිරීමේ වාතාවරණක් නැතුවාක් මෙන්ම ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ කිසිවකුට අමාත්‍යාංශයකට තබා ඒ යටතේ ඇති ආයතනයකට හෝ පැමිණීමට නොහැකි වී ඇත. ඒවායේ නිලධාරීන් හා සේවකයන් කිසිදු සැලකිය යුතු කම්පනයකින්, විරෝධතාවකින් තොරව නව තත්ත්වයට අනුගතවෙමින් සිටිති.

නීතිය, සදාචාරය හා දේශපාලනය
මේ නිසා මෙම බල පෙරළිය තේරුම් ගත යුත්තේ නීතිය, සදාචාරය වැනි කරුණුවල පමණක් එල්බ ගෙන වියුක්ත අර්ථයකින් නොවන බව අපැහැදිලි නැත. මෙය තනිකරම දේශපාලන ප්‍රශ්නයක් නැතහොත් දේශපාලන අර්බුදයක් සේ සැලකිය හැකිය. 2015 ජනවාරි 08 වැනිදා සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ අතර, 09 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 46 දෙනකු සිටි වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සැලකිය හැක්කේද එම අර්ථයෙන්මය. එදිනද පොදු ජනතාව හෝ රාජ්‍ය නිලධාරීන්, රජයේ සේවකයන් අනුගත වූවා නම් එසේ වූයේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට තුළ පොදුවේ පරාජයට ලක්වීම හේතුවෙන් බව තේරුම් ගැනීම අපහසු නැත.

2015 අගෝස්තු මස මැතිවරණයෙන් පත්වූ එජාප (එජාපෙ) ආණ්ඩුව, අවසානයේ දේශපාලනික වශයෙන් අත් කරගෙන තිබූ පරාජය, වර්තමාන පොදු ජනතාවගේ හැසිරීමට මෙන්ම රාජ්‍ය නිලධාරීන්, රජයේ සේවකයන්ගේ පොදු හැසිරීමටද බලපා ඇතැයි සිතිය හැකිය. අනුමාන කළ හැකිවන්නේ දේශපාලන පරාජය පැහැදිලි වූයේ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව බවය. 2015 ජනවාරි 08 වැනිදා සිරිසේන මහතා ජය ගැනීමෙන් පසු වහාම ඊට ගැළපෙන ස්ථාවර පාර්ලිමේන්තුවක් සඳහා මහ මැතිවරණයකට යෑමේ උපක්‍රමය වෙනුවට එය මාස 7කින් පමණ කල් දමා රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත්වීමට ඉඩ හැරියා සේ ම පළාත් පාලන ඡන්දය කල්දැමීමෙන් සිදුවූයේද එජාපය ශක්තිමත්වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වීමය.

එහිදී ඔවුන් ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේ ගම, නගරය හැදීමට නොව, නීතිමය වශයෙන් කළ නොහැකි යැයි පැහැදිලිවම පෙනුණ රාජපක්ෂ මහතා අගමැති කිරීම උදෙසාය. නීති තර්ක නොසොයා ජනතාව ඔවුන්ව ජයග්‍රහණය කරවීමට, ඒ දේශපාලන ඉල්ලීම බරපතළ බලපෑමක් කළ බව අපැහැදිලි නැත.

යහපාලන ආණ්ඩුව පළාත් පාලන ඡන්දය වසරකට වැඩි කාලයක් කල් දමා එක්වරක් ජනතා පරමාධිපත්‍යය යටපත් කර තැබීමෙන් නොනැවතී, පළාත් සභා ඡන්දද කල් දැමීය. දැනට නිලධාරී පාලකයට යටත්ව ඇති පළාත් සභා හයෙන් තුනකටම අවුරුද්දකට ආසන්න කාලයක් දේශපාලන නායකත්වයක් ඇත්තේ නැත.

උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතුවී ජනතා පරමාධිපත්‍යය යටපත් කළ අශෝභන අවස්ථාවක් ලෙස එය සැලකිය හැකිය. එහිදී කතානායකවරයා, ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යය නතර කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් නොකළා පමණක් නොව, වැඩිම වගකීම ඇති ආණ්ඩු පක්ෂයට සැලකිය යුතු බලපෑමක් එල්ල කළේද නැත. අවසානයේ සිදුවූයේ නිලධාරීවාදය යනු ඒකාධිපතිවාදයේ නිවුන් සොහොයුරා බව කීමට තරම් දුරයෑමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සිදුවීමය.

සිරිසේන ජනාධිපතිවරයා මෙවර සිය තීරණය සඳහා, පළාත් පාලන ආයතනවල ඇති රාජපක්ෂ මහතාගේ දේශපාලන බලයත්, පළාත් සභා බහුතරයක ඇති තමන් පත් කළ ආණ්ඩුකාරවරුන්ගේ නීතිමය බලයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමතිවරුන් සිටින පළාත් සභාවල දේශපාලන බලයත්, සිය තක්සේරුවට නොගත්තායැයි සිතිය නොහැකිය.

බැඳුම්කරය සහ කුමන්ත්‍රණය
එජාපයේ බහුතර ඡන්දයෙන් සිරිසේන මහතා ජනාධිපති වූ බව ඇත්තක් මෙන්ම එජාප නායකයාට ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි නිසා සිරිසේන මහතා ඉදිරිපත් කළ බවත් ඇත්තය. 2015 ජනවාරි 08 වැනිදා සිරිසේන මහතා ජයග්‍රහණය නොකළා නම් අගෝස්තු 17 මහ මැතිවරණයෙන් ජය ගන්නට එජාපයට හැකියාව ලැබෙන්නේ නැති බවද අපැහැදිලි නැත. මහ මැතිවරණය ජය ගත්තද වික්‍රමසිංහ මහතාට රට තුළ පොදු ජනතාව අතර එජාප ආණ්ඩුව දේශපාලනික වශයෙන් තහවුරු කරවීමට හැකිවූයේ නැත. මහ බැංකු බැඳුම්කර සිද්ධිය මහා වංචාවක් බව පෙනි පෙනී තිබියදී පවා ඔහු කළේ තමන්ම පත් කළ නීතිඥයන් තුන්දෙනකුගේ කමිටුවකින් එවැනි වංචාවක් සිදු නොවූ බව තහවුරු කිරීමට උත්සාහ දැරීම සහ අර්ජුන මහේන්ද්‍රන් ඔහු පත් කළ මහ බැංකු අධිපතිවරයාව කොන්දේසියකින් තොරව ආරක්ෂා කිරීමය. එහෙත් ජනාධිපතිවරයා කොමිසමක් පත් කර කරුණු සොයද්දී වික්‍රමසිංහ මහතාට රට තුළ බරපතළ දේශපාලන පරාජයක් අත්වීම වැළැක්විය නොහැකි විය.

මෙවර ජනාධිපතිවරයා ඝාතන උත්සාහයක් පිළිබඳ සිද්ධියේදීද වික්‍රමසිංහ මහතාගේ හැසිරීම බැඳුම්කර සිද්ධියට දෙවැනි වන්නේ නැත. ඔහු එය ගණනකට නොගන්නවා පමණක් නොව, එදා අර්ජුන මහේන්ද්‍රන් මහ බංකු අධිපති ධුරයෙන් ඉවත් නොකළා සේ මෙදා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමට සැලැස්වූයේ නැත.

එයින් ඔහු පොදු ජනතාව අතර තිබූ දේශපාලන බලය තවදුරටත් හීනකර ගත්තා පමණක් නොව, ජනාධිපතිවරයා සමග තිබූ අභ්‍යන්තර විරසකයද නොසිතූ පරිමාණයකින් වර්ධනයවීමට ඉඩ හැරියේය. එය ඉතා බරපතළ වූයේ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය, මහ බැංකුව මෙන් නොව ජනාධිපතිවරයාගේ ජීවිතයට කෙළින්ම බලපාන්නක් වීම හේතුවෙනි.
දේශපාලනයේදී රනිල් කිසිවිටෙක ජනප්‍රිය නායකයකු නොවුණා සේ ම පොදු ජනතාව අතර දේශපාලන බලය තහවුරු කරගන්නා උපාය මාර්ග අතින්ද දුප්පතකු වන්නේය. එම නිසා දර්ශනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ඔහු සැලකිය යුතු වැදගත් පිරිසකගෙන් කීර්තිය අත් වුවත් ඔහු හැමවිටම දේශපාලනයේදී විශ්වාසය තබා ඇත්තේ රටේ පොදු ජනතාව කෙරෙහි නොව, තමන් යන මග යන හිතවත් කුඩා පිරිසකගේ සහ බටහිර රටවල නායකයන් කෙරෙහිය.

සිරිසේන ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා රාත්‍රියේ පැයක් වැනි කාලයක් තුළ බල පෙරළිය සඳහා අනුගමනය කළ පියවරයක් ව්‍යවස්ථාවට අනුකූල වන බවට මතයක් මෙන්ම එසේ නොවන බවට වන මතකයක්ද රට තුළ ඇත්තේය. නොවැම්බර් 05 රැස්වීමට තිබූ පාර්ලිමේන්තුවේ වාර අවසාන කර 16 වැනිදා දක්වා වැඩිපුර දින 11කින් කල් දැමීම, ඔහු ඊළඟට අනුගමනය කළ පියවරය. ජනාධිපතිවරු මෙවැන්නක් කළ පළමු වතාවද මෙය නොවේ. මේ ජනාධිපතිවරයාද 2015 ජූනි 26 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ බැඳුම්කර සිද්ධියේ විමර්ශනද ඇතුළත් කෝප් වාර්තාව ජූලි 07 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට එම කමිටුවේ සභාපතිවරයා දැනුම් දී තිබියදීය. එම අවස්ථාවේ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි විශ්වාසභංගයද පාර්ලිමේන්තුවේ තිබුණේය.

පාර්ලිමේන්තුව කල් දැමීමට, ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ඇතත්, අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවීමට 19 වන සංශෝධනය අනුව කතානායකවරයාට බලය ඇති බව ව්‍යවස්ථාව නීතිය පිළිබඳ විශාරදයකු වන නිහාල් ජයවික්‍රම මහතා මා සමග කීවේය. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා දැනටමත් පෙත්සමක් ඉදිරිපත් කර ඇති නිසා, ඉදිරියේදී ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (මතය) දැනගත හැකිවනු ඇත.

මහ මැතිවරණයක්
ඊළඟට සිදුවිය හැක්කේ කුමක්ද? පාර්ලිමේන්තුව කැඳවූ විට මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පෙන්විය හැකි වුවහොත් ඔවුන්ට ඇති ව්‍යවස්ථාමය කරදර අවම වී නව ආණ්ඩුව ඉදිරියට ගමන් කරන්නේය. එසේ බහුතරය පෙන්වන්නට නොහැකි වුවහොත් එවිටද එය සුළුතර ආණ්ඩුවක් සේ ඉදිරියට ගෙනයෑම, ජනාධිපතිවරයාගේ උපක්‍රමයක් වීමේ ඉඩකඩ වැඩිය. එවැනි අවස්ථාවකදී සිදුවිය හැක්කේ එජාපෙ විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයකින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරාජයට පත්කිරීමය. නැතහොත් අයවැය/අතුරු සම්මත ගිණුම ලෙස ගෙන එන මුදල් පනත් කෙටුම්පත පරාජය කිරීමය. එවැනි තත්ත්වයක් පවා සිය වාසියට ගෙන ව්‍යවස්ථාවේ වගන්තියක් (48-2) පෙන්වා හෝ 70-3 වගන්තිය පෙන්වා, වාර අවසන් කළ අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම මෙම විවිධ උපක්‍රමවල මූලික උපාය යැයි අනුමාන කළ හැකිය.

එවැනි මහ මැතිවරණයක් එජාපයට මුළුමනින්ම දේශපාලනික වශයෙන් අවාසි වීමේ ඉඩකඩ වැඩි වුවද එමගින් රට තුළ දේශපාලන බලය වඩා පැහැදිලිව තහවුරුවන්නා සේම ජනතාවටද සිය තීන්දුව සඳහා වඩා හොඳ අවස්ථාවක් උදාවන්නේය.