සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය

සුනන්ද දේශප්‍රිය

සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි.

සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාජපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ බව කීවේ ය. රාජපක්ෂ සමඟ ඉන්නේ වහලුන් යැයි කීවේ ය. රට බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ සමඟ එක්විය යුතු බව කීවේ ය.

ඒ සිරිසේන සහ සිරිසේන 2018 ඔක්තෝබර් 26දා සිය කැමැත්තෙන් අඩි හයක් යට ගිලා බැස්සේ ය. යළි ඒ වළෙන් ම මතුව ආ සිරිසේන සහ සිරිසේන, සිය ආලවට්ටම්හි මහින්ද රාජපක්ෂ නම ලොප් කර එතැනට රනිල් වික්‍රමසිංහ යන නම ආදේශ කළේ ය. දැන් සිරිසේන සහ සිරිසේන මරා දමන්නට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ය. දැවැන්ත දූෂණ චෝදනා කියවෙන්නේ රනිල් වික්‍රමසිංහට ය. දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය.

සිරිසේන සහ සිරිසේන එදා මෙන්ම අදත් විලිලැජ්ජාවක් නැතිව කතා දෙයි. ඔහු පච කප්පිත්තෙක් බවට පරිණාමය වී ඇති සැටියකි. ඉන් එක් සුරංගනා කතාවක් නම් තමා රාජපක්ෂ අගමැති කළේ රනිල් වික්‍රමසිංහ තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා බව ය. මරණයෙන් බේරීමට සිරිසේන සහ සිරිසේන සොයා ගත්තා තෙවසරකට පෙර සිය පවුලම ඝාතනය කරන්නට සිටි බවට චෝදනා කළ මරා ය. පුදුම නමුත් ඇත්ත ය.

ඒ කතා අසා සිටින රාජපක්ෂවරු පස්සා පැත්තෙන් සිනහවනු ඇති බව නිසැක ය. 2019 දෙසැම්බර් ජනාධිපතිවරණයේ දී තමා රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිව ජනාධිපති තරගයට ඉදිරිපත් වන බව කියන විට ඒම සිනහ අධෝමුඛ කොක්හඩලෑම් බවට පත්වනවා ඇත. ඒ දෙසැම්බරය ළඟා වූ විට සිරිසේන සහ සිරිසේනට යළිත් වතාවක් තමාම කපාගත් අඩිහයක් යට වළට බහින්නට සිදුවනු ඇත. එකල්හි නම් යළි ගොඩ ඒමක් නැතිවනු ඇති බව සහතික ය.

රාජපක්ෂ අනුගාමිකත්වය තුළ සිරිසේන සහ සිරිසේන යනු කා දැමිය යුතු ආප්පයක් විනා පුබුදවිය යුතු පුෂ්පයක් නොවේ. රාජපක්ෂ අනුගාමිකත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය. එවැනි පසුබිමක් මැද එජාප ඡන්දවලින් ජනාධිපති වූ පරිදිම රාජපක්ෂ ඡන්දවලින් ජනාධිපතිවීමට සිරිසේන සහ සිරිසේනට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැක්කේ රාජපක්ෂ දේශපාලනය ගැන නොදන්නා අයකුට පමණය.

සියයට දහයකවත් ඡන්ද පදනමක් නැති අන්තයටම පිරීහී සිටින සිරිසේනට තමන්ගේ ඡන්ද පදනම බාරදෙන්නට නම් රාජපක්ෂට දේශපාලන ඔල්මාදයක් හැදී තිබිය යුතුය. සමහර විට එවැනි ඔල්මාදයක් ඇත්නම් ඒ වනාහී නාමල් පමණක්ම රජ කරවීමේ කුප්‍රයෝගය විය හැකි ය.

එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂට ය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර්ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.

ඒසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සහ සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරුවක් ලැබී තිබේ! එවැනි සේවා මාරු තව බොහෝ ගණනාවක් සිදුවීමට දැන් නියමිත ය.

පාවාදීම් සහ ඥාති ඝාතනයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසු මෙරට පහළ වූ ලොකුම පාවා දෙන්නා වශයෙන් දිනෙක රාජපක්ෂ ඉතිහාසකරුවන් විසින් ද වරෙක වික්‍රමසිංහ ඉතිහාසකරුවන්, සිවිල් ලේඛකයින් විසින් ද නම් කරනු ඇති අතර අසම්මජාති දේශපාලනඥයා බවට, 2015 ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ සංකේතය වූ සිරිසේන නම් කැරෙනු ඇත.

තර්කානුකූල විග්‍රහයකින් සිරිසේන සහ සිරිසේන විග්‍රහ කළ නොහැකි ය. තර්කයක් නැති සිදුවීම් තේරුම්ගත හැක්කේ ඊට අතාර්කික මානසිකත්වයක් ආදේශ කිරීම මගිනි. ඔල්මාද මාසිකත්වයක් වැන්න. සිරිසේන සහ සිරිසේන යනු මෙරට දේශපාලනයේ අතාර්කික වියරුවක සංකේතයකි.

බොහෝ දුරට ම ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වීමට තීරණය කරන්නට ඇත්තේ ද තමාට අගමැතිධූරය නොදීම පිළිබඳව රාජපක්ෂවරුන් සමඟ වූ වෛරය නිසා ම පමණය.
පසුගිය තෙවසර දෙස බලන විට මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ හෝ සංහිඳියා ක්ෂේත්‍රයේ හෝ සිදුකරන ලද කුමන හෝ ප්‍රතිසංස්කරණයට සිරිසේන කර දුන්නේ නැත. ඔහු විසින් හැකි සෑම අවස්ථාවකදීම කරන ලද්දේ එකී ප්‍රතිසංස්කරණ ආපස්සට ඇදීමට උත්සාහ කිරීමයි. මේ බව කැපී පෙනෙන්නේ යුද්ධයට අදාළ නොවන මිනීමරුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් පවා ආරක්ෂා කිරීමට සිරිසේන සහ සිරිසේන විසින් දරන ලද ප්‍රයත්න දෙස බලන විට ය.

2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇතිවූ යහපත් හැඟීම දරුණු ලෙස ඛාදනය කිරීමට සිරිසේනගේ මෙම අත්තනෝමතිකත්වය හේතු වී තිබේ. අන්තර් ජාතික ක්ෂේත්‍රයෙහි බලපෑම් සහගත භූමිකාවක් රඟපාන මානව හිමිකම් වෘත්තිකයකු ට්වීට් පණිවිඩයක් මගින් කියා සිටියේ සිරිසේන සහ සිරිසේනගේ මෙම ක්‍රියාව නිසා 2019 මාර්තු මාසයේදී ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති කිරීමට අවස්ථාව පෑදී ඇති බවයි. සිරිසේන විසින් පත් කරන ලද නීති විරෝධී ආණ්ඩුව ශ්‍රී ලංකාවට හොඳක් කරන්නේ නැත.

තමා සමඟ එක්ව 2015 වෙනස සඳහා මරණය නොබා රාජපක්ෂ කඳවුර අතහැර පැමිණි ස්වකීය සගයින් වූ දේශපාලනඥයින් වෙත මුදා හැර ඇති සිරිසේන සහ සිරිසේනගේ වෛරය, තමා ජනපති බවට පත් කළ ප්‍රධාන දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව හුදෙක් පොලිස් භටයින් 10 දෙනකු දක්වා අඩු කිරීමෙන් සහ ඇමැතිවරුන්ගේ ආරක්ෂක භටයින් ඉවත් කිරීමෙන් පෙන්වන ලද වියරුව, රාජපක්ෂවාදය ඉක්මවා යයි. එපමණක් නොව දිගින් දිගටම කිසිදු වග විභාගයකින් තොරව රටෙහි ව්‍යවස්ථාව කෙළෙසමින් දක්වන වියරුව කොතනින් අවසන් වනු ඇත්දැයි කීමට නොහැකි තරම් බිය ජනකය.

මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ අතීතය හෝ කළෙහිගුණ පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් තොරව පළිගැනීමට සිරිසේන සහ සිරිසේන දක්වන භයානක නැඹුරුවයි. තමා සතු බලය ලබා ගැනීමට මඟපෙන්වූ, කැප වූ සහ උදව්කළ පිරිස්වලට පවා ඒම බලයම යොදවා පහරදීමට පසුබට නොවන දේශපාලනඥයා භයානක ය. එවැන්නෝ දරුණුකමෙහි සීමාවක් නොදනිති. ඒ අතින් සිරිසේන අයත් වන්නේ සහෝදර ඝාතක ස්ටාලින් සහ හිට්ලර් වර්ගයටයි.

සමහර විට සිරිසේන සහ සිරිසේන ව්‍යවස්ථාව නොසළකා ළඟදීම ආණ්ඩුව විසුරුවා හැරීමටත් ඉඩ තිබේ. ඒ සඳහා ඔහුට උපදෙස් දීමට අවශ්‍ය තරම් කේවට්ටයෝ සිටිති. පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ සමත්වුවහොත් දතකට පියා ගන්නවා වෙනුවට දත්කූරු කමින් උම්මත්තක පියවරකට යෑම හැර සිරිසේන සහ සිරිසේනට වෙනත් විකල්පයක් නැත.

එසේ නොවී රාජපක්ෂ බලය තහවුරුකර ගතහොත් සිරිසේන සහ සිරිසේන යළි 2015 පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වැනි බාලයකු බවට පත්වනු ඇත.
සිරිසේන සහ සිරිසේන තේරුම් ගැනීමට හැකි සිත්කාවදින කරුණක් නම් 2015 ජනවාරි 08 දා සිරිසේන සහ සිරිසේනට ආරක්ෂාව සැඟවී සිටීමට ඉඩ සැළසූ පුද්ගලයා සිය වෛරකාරයකු බවට පත් කරමින් අතහැර දමා රාජපක්ෂගේ ධනය සැඟවූයේ යැයි චෝදනා ලද ව්‍යාපාරිකයකු තානාපතිවරයකු බවට පත් කොට අතවැසි සේවයේ යොදවා ගැනීමයි.
දැන් පෙනෙන විදිහට ඉදිරි වසරක තරම් කාලයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ජනවාර්ගික හෝ වෙනයම් හෝ වෙනසකින් තොරව වඩාම බිය විය යුතු මනෝභාවය රාජපක්ෂ නොව සිරිසේන සහ සිරිසේන විය හැකිය.

සිරිසේන සහ සිරිසේන විසින් පාවා දී ඇත්තේ 2015 ජනවාරි ජනවරම ය. එම ජනවරම අඩාල කර අතරමඟ අතහැර දැමීම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය වූ බව අපට අමතක කළ නොහැකි ය. සිරිසේන ජනපති බවට පත් කරනු පිණිස සිය ගණන් සිවිල් සමාජ පිරිස් සිය තුට්ටු දෙක වැය කරමින් රට වටාම ගියහ. සිරිසේන සිවිල් සමාජ සංවිධාන 47ක් සමඟ යහපාලන ගිවිසුම අත්සන් කළේ උත්සවාකාරව ය. මේ දුර්ජනයා විසින් රාජපක්ෂ දෙපාමුල වැටී සුණු විසුණු කරන ලද්දේ එම සමාජ ගිවිසුම යි.

සිරිසේනගේ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා දැකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ රැකගැනීමට නොවේ. නීතියේ පාලනය කෙරෙහි අපේ ඇති කැපවීම නිසා ය. සිය දේශපාලනයේ වූ අනේක දුර්ඟුණ නිසාම වික්‍රමසිංහ පාලනය අහෝසිවීම ගලේ කෙටී තිබුණි.

අප දැන් එළඹෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලතුලනයන් ද ගතිකත්වයන්ද තියුණූ වෙනසකට ලක්වීමට නියමිත කාල පරිච්ජේදයකට යි. තාවකාලික ස්ථාවරබවක මායාවක් ඇතිකිරීමට සමත්වීමට හැකි වුවද එය විසින් ශ්‍රී ලංකාව කැඳවාගෙන යනු ඇත්තේ විසංවාදය පාගා දැමෙන සහ මර්දනය සහ බිය ගැන්වීම, දූෂණය සහ භීෂණය දේශපාලන ළකුණ වන අඳුරු යුගයකට ය.