චූටි හොටෙන් ඇන්නා

ජනාධිපතිතුමා වෙනදාට වඩා හයියෙන් ට්‍රැක්ටරය එලෙව්වේය. වප් මඟුලට ඇවිත් වටේ පිටේ සිටි එවුන් දඩබඩ ගා එහාට මෙහාට පැන්නේ ට්‍රැක්ටරයට මද කිපිලාද නැතහොත් ලොක්කාට ඒක වෙලාදැයි කියන දෙගිඩියාවෙනි. අනතුරුව එතුමා මඩවන්න ඇවිත් සිටි අම්බරුවාටද නොසෑහෙන ලෙස තැලුවේය. නන්දිවිසාල වගේ කේන්ති ගොස් මඬේ නිදාගන්නට හදනකොට ජනාධිපතිතුමාට අවුල තේරී එම බාසාවෙන්ම ඌට විතරක් ඇහෙන්න කීවේ මෙච්චර කල් හිටිය ආතාහෙට්ටියා වගේ මෑන් වෙනුවට මාකඳුරේ මධූෂ් වගේ නියම කකුළක් සෙට් වුණා. ඒ ෆිට් එකටයි අතපය විසි කළේ. ගණන් ගන්න එපා රංගොජෝ කියාය. අනතුරුව ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස අමතා අපි අද හෙටම පළාත් සභා ඡන්දේ තියනවා කියා මෙච්චර කල් ෆයිසර්ගේ පිට දදා කල් දම දමා හිටපු ප්‍රොවින්සියල් කවුන්සිල් ඉලෙක්ෂන් එක පවත්වන බව කීවේය. ඉන්පසු පිරිස ඇඹුලට ගියේ වෙන් යායේ කථක අද්දර පැරණි කුරුළු පාළුව තිබුණ හරියටය. එම ඉඩම මායිමට වන්නට ගෙයත් තිබුණි. එහි වැඩිහිටි ගෙහිමියා හඬ නගා කියනු ඇසුනේ උඹ ඔය ගමෙන් පෙළවහක් කර ගන්නවට මම විරුද්ධයි කියාය. ඒ මොකද අප්පච්චි පොළොන්නරුවේ පොළොස්සිය අපිට කැපෙන එකී කිය කියා අප්පච්චි නෙව මටත් වැඩිය ඒකිට මනාප වුණේ, දැන් මොකක්ද මේ අරෝව කියා කොල්ලකු නහයෙන් අඬනු ඊළඟට ඇසුණි. පොළොන්නරුවේ එකාලා එක දීගයක් කයි කියලා සත අලුක්කාලක විශ්වාසයක් නැහැ. උඹ ගෙදරට නාකි වුවත් ඔය ඉස්තිර වචනයක් නැති කඩප්පුලි වැඩකරන එවුන්ගේ ගං රටවල් වලින් හිර ගන්න යන්න එපා කියා ලොකු තැන කොල්ලාට අවසාන තීන්දුව දුන්නේය. ඇඹුල අත ගගා සිටි ජනාධිපතිතුමා කෑවායින් නොකෑවායින් නැගිට්ටේ දැන් බහුතරය කොහොමද කියා අගමැතිගෙන් අහන්නටය.

අගමැති විදියට දිවුරා දවස් දෙක තුන යනකොට එතුමාට දැනුණේ තමන් රෑ වැටුණු වළේ දවාලෙත් වැටී ඇති බවය. බහුතරය පෙන්වන එක සිම්පල් කියා තමා වටේ සිටින පකුධ කච්චායනලා, මක්කලී ගෝසාලලා කිව්වාට රනිල් ඉලව් ගෙදර නයිටක් ගහන ආකාරයට අරලිය ගහ මන්දිරේ ලැගගෙන එකසිය විස්සක ලිස්ට් එකක් හදා ඇති බව ආරංචි වීමෙන් අගමැතිතුමාගේ රකපුත් වුණි. වළාපොටේ ගහගෙන වෙලේ සිටි ජනාධිපතිතුමාගෙන් අගමැතිට දුරකතන ඇමතුම ලැබුණේ එහෙම අන්දොස් වෙලාවකය. එතුමා ඇසුවේ කෝ ඉතිං ඒකාබද්දේ කට්ටිය තුනෙන් දෙක වුණත් පෙන්නනවා කියලා කිව්වා නේද කියාය. අගමැතිතුමා කල්පනාකාරීව කීවේ තුන වෙනමයි දෙක වෙනමයි දැන් වුණත් පෙන්නන්න පුළුවන් කියාය. රනිල් එක්ක සම්මුතිවාදයට යන්න තිබුණේ මං නෙමෙයි ඔබතුමායි කී ජනාධිපතිතුමා යමක් මතක් වී ඇසුවේ ඇත්තටම මොකක්ද දෙමටගොඩදී අර්ජුනට වුණේ, මිනිහව මොකද එස් ටී එෆ් යුනිෆෝම් එකේ කලිසම විතරක් අන්දගෙන එළියට ගත්තේ කියාය. අගමැතිතුමා හිනාවී කීවේ අර්ජුන මල්ලි අපි වගේ සරම ගහන පුතයනේ. එතන කලබලේදී සරම නැති වෙලා. ‘ටූ තර්ඞ් මැජෝරිටි එක’ ප්‍රදර්ශනය වුණා කියලා තමයි එතන හිටපු පොහොට්ටුකාරයෝ කිව්වේ කියාය.

ජනාධිපතිතුමා වලාපොටේ තදට ගහගන්න ගමන් අගමැතිට කීවේ හිටපු උන්දැත් ‘දැන් ආර්ථිකය සීග්‍රයෙන් උඩ යනවා කිය කියා විහිළු කර කර හිටියේ’ තවදුරටත් ඒක නම් කරන්න බැහැ රජෝ කියාය. අගමැතිතුමා කීවේ හරි ඉතිං මං පත්වෙච්ච ගමන් කොත්තුයි ප්ලේන්ටියි අඩුවුණා, ඒක කවදාවත් වෙච්ච වැඩක්ද කියාය. ජනාධිපතිතුමා කීවේ අඩුවුණා තමයි, ඒත් ඕක වැඩිය පබ්ලික් කරන්න එපා කොත්තුව රුපියල් දහයකින් අඩුකරන්නද මෙච්චර මේ ව්‍යවස්ථාවත් උඩින් පැනලා ගිහින් අගමැති කෙනෙක් පත් කළේ කියලා මිනිස්සු අහයි කියාය. අගමැති කීවේ ස්ටොක් මාකට් එකත් නැඟලා කියාය. ජනපතිතුමා ඇසුවේ කාට කාටද හදිසියේ ටිකක් ලොකුවට ඉන්ටෙස්ට් කරන්න කියලා කිව්වේ කියාය.

අගමැතිතුමාට හදිසියේම වෙනත් කෝල් එකක් එන බව දැනුණි. ඔහු ජනපතිට වන් සෙකන්ඞ් කී අතර කකුල්වල මඩ තවරාගෙන සිටි ජනාධිපතිතුමා කකුළක් කසන ගමන් ඇසුවේ ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියාය. අගමැතිතුමා කීවේ දුනේෂ් ගංකන්දගේ වයිෆ්ට සල්ලි හදිස්සියක් වෙලා මං පොඞ්ඩක් ඒ ගැන බලලා කෝල් බැක් කරන්නම් කියාය. ජනපතිතුමා තදවී කීවේ ඔය යකාගේ වයිපරේගේ ප්‍රශ්නේ ඒ මිනිහා බලාගන්නැතෑ. තමුන් මොකද ඒ ගැන වද වෙන්නේ කියාය. අගමැතිතුමා ලයින් එක කට් කළේ බහුතරය පෙන්නන්න නම් එහෙම හදිසියේ වගේ මතුවෙන වයිෆ්ලගේ ප්‍රශ්න ගැන සංවේදී නොවී බැරි වෙයි කියමිනි. ඒ වන විට වඩිවේලා, ආනන්දයා, මහරගම, පමුණුවේ විජේ, පොළොන්නරුවේ ජනතාව කිව්ව නිසා පැන්න එකා ආදී කවුරුත් මතක් වූ ජනාධිපතිතුමා යළි ඩබල් එකේම අගමැතිතුමාට කෝල් එකක් ගෙන කීවේ බැසිල්ට මේ දවස්වල අමාරුත් ඇතිනේ, අපේ ඩඞ්ලිට ඕන දෙයක් කියන්න අවුලක් නැහැ කියාය. එදාම හවස නිකුත් වී තිබුණු ගංකන්දයි වයිෆුයි ඉන්න වීඩියෝ එකේ ඩඞ්ලිත් හිටියේ කැමරාවේ වැරදි බොත්තමක් හදිසියේ එබිලා තිබුණු නිසාය.

පසු දින තිබුණේ අගමැතිට පක්ෂව මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක් පාස් කරන රැස්වීමය. යෝජනාව සම්මත කළේ දුමින්දය. ඒ වේලාවේ අගමැතිගේ පූසා අගමැතිගේ සරමෙන් ඇද ඇද කීවේ ඕකව කරේ අත දාගෙන කාමරේට එක්කගෙන ගිහින් අදම පූජාව තියලා ඉවරයක් කරන්න බොස් කියාය. අගමැතිතුමා අන් අයට නොතේරෙන්නට පූස් බාසාවෙන් කීවේ හදිසි නොවී ඉඳිං ඒවාට තව කල් තියනවා කියාය. අප්පච්චි මැරිච්ච සොයිසා අප්පච්චිගේ උත්ථානය බලන්නට ඇවිත් ධීවර ඇමතිකම ගත්තේය. පූසා ආයෙත් අගමැතිතුමාගේ පුටුව යටින් ඇවිත් සරම ගැලවෙන සයිස් එකට අදිමින් කීවේ බොස් පරාද වෙච්ච අලුත ඕකා කියපු අවලං කතා වලට ඕකා මකවන්නම වෙනවා කියාය. අගමැතිතුමා ඌට පයින් එකක් ඇන කීවේ පොඞ්ඩක් හිටපංකෝ බං, උඹත් අර අයි ටී එන් යකඩ හොරයි, ලේක් හවුස් පත්තරේක, රතිඤ්ඤා පත්තු කරන උගේම පින්තූරේ දාගත්තු පකිරෙත්තුවයි වගේ පුදනකොටම කන්න හදන්න එපා යකෝ මේ වතාවෙදිවත් පොඞ්ඩක් ඉවසීවෙන් වැඩ කරන්න පුරුදු වෙයන් කියාය.

එතන වැඩ ටික ඉවර වුණ ගමන් අගමැතිතුමා වෙලේ ඉන්න සුදාට කෝල් එකක් ගත්තේය. ආ…. කොහොමද එක එකාගේ වයිෆ්ලගේ ප්‍රශ්න ටික විසඳුවද කියා නක්කියක් දැමූ ජනාධිපතිතුමාට අගමැතිතුමා කීවේ බොස් ඔයා වෙලේ ඉන්න ගමන් හරි කමක් නෑ මිනිස්සු දැන් කිණ්ඩියට වගේ අහන ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගන්න කියාය. මොන ප්‍රශ්නෙදැයි ඇසූ ජනාධිපතිතුමාට අගමැතිතුමා මතක් කර දුන්නේ ඇයි අර ඔයා දිනපු ගමන් කිව්වේ පැරදුනා නම් අඩි හයක් යට කියලා, අන්න ඒකට කියාය. ජනාධිපතිතුමා ඇසුවේ මම එහෙම කතාවක් කිව්වද, මට නම් ඒ ගැන ගනිච්චියක් නැහැ කියාය.

ඔහොම කාලයක් ගත වුණේය. හුඟක් පොඩි ළමයි ලොකු වුණේය. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිරය ළඟින් වැටී ඇති නියර දිගේ දිව්‍යලෝකය ආසන්නයේ ගමක බණකට වඩිමින් සිටි දවසක නිරයේ දුක් විඳින එකෙක් කෑ ගහන හඬ ඇසුනේය. ටිකක් පුරුදු කටහඬක් නිසා නැවතී බැලූ උන්වහන්සේ දුටුවේ ‘මං අසරණයා නිසා මුං මාව මරන්න හදනවා. මට ජාම බේර ගන්න පුළුවන් ගිවිසුමක් ගහන්න කවුරුහරි හොයලා දියල්ලා’ කියා බැගෑපත් වන පොඩි බඩක් තියන කෙට්ටු මිනිහෙකුගේ දුර රූපයකි.