සොයිසා ෆේල් ඊළඟට

රජිඳු කාශ්‍යප

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් කරනු ලැබූ දූෂණ චෝදනා පරීක්ෂණයෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවකු ලෙස සේවය කරන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා වරදකරුවෙක් ලෙස නිර්දේශ කර තිබේ.

නිල වශයෙන් කෙරුණ මෙම දැනුම්දීමේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාවාදීම හෝ ඊට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑම් කිරීම, ඒ සඳහා ක්‍රීඩකයන් පොළඹවා ගැනීම, ඊට උත්සාහ කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම, නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත්වීම යන හේතූන් ඊට ඇතුළත් ය.

කෙසේ වෙතත් එම චෝදනාවලට පිළිතුරු දීමට නොවැම්බර් මස 1 වැනිදා සිට දින 14 ක කාලයක් නුවන් සොයිසා ට ලබා දී ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ. එම කාලය දක්වා ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රීඩා තහනමක් ද පනවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙක් අදාළ විමර්ශන සඳහා මෙරට පැමිණියේ එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයටත් ප්‍රථමව ය. මෙම පරීක්ෂණ කරන විට සේ ම මේ චෝදනා පත්‍රය බාර දෙන විටත් නුවන් සොයිසා ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරේ කටයුතු කරමින් සිටියේ ය.

ඔහු මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි ව පුහුණු තරගයට සහභාගි වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද කටයුතු කරන්නේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වසරකට අධික කාලයක සිට ශ්‍රී ලංකාව තරග පාවාදීම්වලට සම්බන්ධ බවට වන සැකයෙන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ අල් ජසීරා පුවත් සේවය කරන ලද හෙළිදරව්ව මත ය.

ඒ අනුව කෙරුණ පරීක්ෂණය සම්බන්ධයෙන් පැවැසුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද නිලධාරීන් ද මෙම තරග පාවාදීමේ චෝදනාවන්ට ලක් ව ඇති බවයි. නුවන් සොයිසා මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ප්‍රධානීගෙන් ද ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සාක්ෂි සටහන් කර ගෙන ඇත. චෝදනාලාභීන් යැයි පැවැසෙන වෙනත් කිසිවෙක්ගෙන්වත් මේ වෙද්දී කිසිදු සාක්ෂියක් සටහන් කරගෙන නොමැත.

නුවන් සොයිසාට මේ චෝදනා පත්‍රය බාරදීමට පෙර දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වූ සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබරයේ දින 14 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දී තිබුණි. ඔහු වෙත වූ ප්‍රමුඛ චෝදනාව වූයේ දූෂණ විමර්ශන කටයුතු වෙනුවෙන් කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ අදාළ පරීක්ෂණයට අදාළ තොරතුරු හෝ ලේඛන නිවැරදි ලෙස සම්පූර්ණ ලෙසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ය.

එම චෝදනා සම්බන්ධයෙන් සනත් ජයසූරිය විසින් නීතිඥයකු මාර්ගයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද මේ වන විට ආරංචිය වන්නේය.

මේ ආකාරයෙන් මෙම කටයුතු සිදුවෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එංගලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විසින් සිදු කළා යැයි පැවැසෙන තරග පාවාදීම් ගැන ද පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි. එය ද අනාවරණය වී ඇත්තේ අල් ජසීරා පුවත් සේවය මගිනි. කෙසේ වෙතත් මෙම චෝදනා එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇත. එසේ වූව ද අල් ජසීරා පුවත් සේවය පවසනුයේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය පතන බවයි.

ඒ අනුව මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එංගලන්ත ක්‍රිකට් ආයතනයත් සීතල යුද්ධයක් පටන් ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අල් ජසිරා පුවත් සේවය විශ්වාස කර ගනිමින් කටයුතු කළත් තමන් විශ්වාස කරන්නේ තම ක්‍රීඩකයන් බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේ වෙතත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මේ වාර්තාවන් පවසන්නේ අවසානයේ චූදිතයන් වැරදිකරුවන් වෙන බවයි. දැනටමත් ශ්‍රී ලංකාවෙන් නුවන් සොයිසා ඔවුන් විසින් වරදකාරී තැනේ රඳවා ඇත. තරග පාවාදීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සෘජුව ම චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව වන්නේ මෙය ය. මීට පෙර අවස්ථා ගණනාවක දී මේ චෝදනාවන් වක්‍රාකාරව අප කණ්ඩායමට වෙත එල්ල වූ තිබුණ ද ඒ කිසිදු අවස්ථාවක එකී චෝදනාවන් ඔප්පු කර පෙන්වූයේ නැත.

එහෙත් මෙවර තත්ත්වය වෙනස් ය. ඇතැම්විට මේ ද පහත් තැනින් වතුර ගලා යන අවස්ථාවක් විය හැකි බවය ක්ෂේත්‍රයේ කතාබහය. චෝදනාව නුවන් සොයිසා වෙත පැටවුණ ද එහි නියමුවා ඔහු නොවන බවකි ඔවුන් පවසනුයේ. තවදුරටත් ඔවුන් පවසනුයේ නුවන් සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් හි මහා ලොකු චරිතයක් නොවන බවයි.

එය එසේ වූව ද අප පවසනුයේ ලොකු පොඩි වැදගත් නැත, වරදක් කළේ නම් ඊට දඬුවම් ලැබිය යුතුය යන්න ය. එතැනදී නුවන් සොයිසා ද අනෙකෙක් ද යන්න වැදගත් නොවේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි මේ මහා ව්‍යසනයට වගකිවයුත්තන් කිසිවෙක්ගෙන් මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකදු වචනයක් හෝ නොවිමසීම විමතියකට කරුණක් බැව් ක්ෂේත්‍රයේ ම අයෙක් අප සමග පැවැසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වගේ පරිහානියට පත්වෙන්න විශාල ලෙසින් බලපෑවේ තිලංග සුමතිපාලගේ පාලනය. කවුරුත් දන්නවා මේ රටේ රේස් බුකි කරන්නේ කවුද කියලා. ඒක මේ කොලේකින් දෙහෙකින් වහලා මේ අය ගේම් ගහනවා. ඒ ගේම් මෙහේ ගහන්නේ ක්‍රිකට් පාලනයට එන්න. ඒකට දේශපාලනය බලයත් තියෙනවා. දැන් බලාගෙන ගියහම අපට ගහන ගේමට නොදෙවැනි ගේමක් අයිසීසීයටත් ගහනවා. අයිසීසීයෙ පැහැදිලිව ම තියෙනවා බුකියකට සම්බන්ධතාවක් තිබුණත් ක්‍රිකට් පරිපාලනයට එන්න බැහැ කියලා. ඒත් ඒ කිසිවක් මේ වෙද්දි වෙලා තියෙනවා ද? තිලංග ගහන මේ ගේම අපට විතරක් නෙමේ දැන් ලෝකෙටත් ගහපු තාලයක් තමයි අපිට තේරෙන්නේ. ඇයි මේ පොඩි පොඩි අය අල්ලගෙන අයිසීසී ය නටන්නේ. ” ඔහු විමසයි.

කෙසේ වෙතත් නුවන් සොයිසා වෙත පැටවී ඇති මේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී ඔහු විසින් නීතිඥයකු මාර්ගයෙන් කරුණු දැක්වීමට නියමිත බවකි පැවැසෙන්නේ. මේ අතර කරනු ලැබූ පරීක්ෂණයන්හි ඉදිරි කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශය විසින් මෙරට වංචා විමර්ශන අංශය වෙත බාර දීමට නියමිත බව ද කියැවේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් වරදකරුවෙක්ට නීතියෙන් දඬුවම් පැමිණවීමට ඉඩක් තිබේ ද යන්න සැකසහිත බැව් එම ආයතනයේ නිලධාරීයෙක් විමසීමේ දී පැවැසුවේ ය.