ෆයිසර්ට ඇහෙනවද මන්දා….

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිසි වටිනාකම මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නාද යන්න තවමත් ඉතිරිව ඇති පැනයකි. ඇය ලද ජයග්‍රහණය අගයනු වෙනුවට මෙරට බලධාරීන් කළේ ඇගේ කතාවක් අල්ලාගෙන එයට පිළිතුරු සැපයීමය. එයද බාරගෙන තිබුණේ සුසන්තිකා ජයසිංහය. ඔලිම්පික් පදක්කම් ලාභිනියක කනිෂ්ඨ ඔලිම්පික් පදක්කම් ලාභිනියක් හෑල්ලු කිරීම කොතරම් පහත්ද? එතැනින්ම සුසන්තිකාගේ නියම ගති ස්වභාවය පැහැදිලිය. ඇය වැනි ක්‍රීඩිකාවක් කළයුත්තේ පාරමී වසන්ති වැනි ක්‍රීඩිකාවකට දිරිදීමය. දිරිදීම කෙසේ වෙතත් සිදුවූයේ සුසන්තිකා ලබන වැටුපට ෆයිසර් වෙනුවෙන් උඩුබුරුලෑමය.

දැනට ඇති ප්‍රශ්නය වන්නේ එය නොවේ. සුසන්තිකාගෙන් පාරමීට ගැසීම නවතා දැමීමය. සුසන්තිකා දැන් ක්‍රීඩිකාවක නොවේ. ඇය කළ හැකි උපරිමය කර අවසන්ය. එසේ නම් ඇය රැක ගැනීම වෙනුවට දැන් කළයුත්තේ අනාගතය ආරක්ෂා කරගැනීමය. සුසන්තිකාගෙන් උපදෙස් ලද හෝ නොලද ඇයට වැටුපක් දී බලා ගැනීමට අප විරුද්ධ නැත. එහෙත් ක්‍රීඩා ඇමති වෙනුවෙන් පොරයට දාන්නට සුසන්තිකා නඩත්තු නොකළ යුතුය යන්නය.

පාරමී ලද ජයග්‍රහණයට මීට වඩා වටිනාකමක් ක්‍රීඩා ඇමතිවරයා ලබාදියයුත්තේ ඇය ඔලිම්පික් දක්වා ගෙන යන ගමන ජාතික වගකීමක් කොට ඇමතිවරයා සැලකිය යුතු බැවිනි. පාරමීගේ ජයග්‍රහණය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගත යුතුය. දැනට ව්‍යාපාරිකයන් සේ ම තව බොහෝ අය ඇයගේ දිවියට අත්වැල සපයන්නට ඉදිරිපත් වී ඇත. ඒ සියල්ල ඇය ලබන භෞතික දියුණුවය. එය ඉතා හොඳය. එහෙත් ඇගේ ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙනයෑමට ඇයට අවශ්‍ය දැනුම, තාක්ෂණය, නව පුහුණුව ක්‍රීඩා අමාත්‍යාංශය සැපයිය යුතුය. නිසි පෝෂණයත් ඒ අතර වේ. සුසන්තිකා වුව අද කෑගහන මට්මට වර්ධනය වූයේ ඇයව ඇමරිකාවේ පුහුණුවට යැවූ නිසාය. එහෙත් එය කළේ ක්‍රීඩා බලධාරීන් නොව වෙනත් පිරිස් මැදිහත්වය.

ඒ මොහොතේ දේශපාලන කුණාටුවකට හසුව සිටි සුසන්තිකා තනි නොකොට රැකගත්තේ ඩන්කන් වයිට් පදනම සහ එවකට විපක්ෂයේ සිටි ප්‍රබලයෝය. අද සුසන්තිකාට මුල අමතකය. එලෙස අමතක නොවන්න ඇය මෙලෙස කුඩා ක්‍රීඩිකාවක අල්ලාගෙන පතුරු ගසන්නේ නැත. මෙරට හැම පුද්ගලයකුම පාහේ සුසන්තිකාගේ ජය සැමරුවා මෙන්ම ඇයට සැලකිය හැකි උපරිමයෙන් සැලකීය. දැන් අප රැකගත යුත්තේ පාරමිලාවය. එවන් දක්ෂයින්ය.

සුසන්තිකා ගමට ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම කෙසේ වෙතත් මතුව ඇති අයටද ඉදිරියට එන්න නොදෙති. මේ තත්ත්වයෙන් මිදී ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒම සුසන්තිකාට භාරදී අත පිහදා නොගෙන ක්‍රීඩා ඇමති භාරගත යුතුය. ඇය දිනූ තැන සිට ඇය රැගෙන යා නොහැකි නම් ක්‍රීඩා ඇමතිකමත්, ක්‍රීඩා පරිපාලනයත් කුමටද? ඇමති නැවත නැවත එම පුටුවටම ආවායැයි පළක් වේද? පාරමී යනු එක් අයෙකි. එම ක්‍රීඩා උළෙලෙහි පදක්කම් නොදින්නද උපරිම කුසලතා පෙන්වූ බොහෝ අය විය. ඒ අය රැක ගන්නට දැන්වත් උත්සුක වීම වටිනේය. නොවටිනා කතා කියා කාලය කා නොදමා එවැනි අරුත් දෙයක් කිරීම ක්‍රීඩාවට මනාව වටිනේය.