පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට

ජනපතිට විකල්පයක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමේ විකල්ප යෝජනාවක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් වී ඇතැයි රාවයට දැනගන්නට තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 4කුත් මාස 6ක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කළේය. පවතින ආණ්ඩුව අය-වැයක් පරාජයට පත්වුවහොත් එම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, පසුව පත්වන අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නව අයවැයක් ගෙන ඒමට සිදුවන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවද ජයවික්‍රම මහතා සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ ජනාධිපතිවරයා යම් හෙයකින් ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව තිබෙන බවය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, මේ වනවිට පවතින දේශපාලන සහ සාමාජීය පසුබිම තුළ බලය ලබාගැනීමේ අරගලයක් වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් පවා උදාවීමට ඉඩකඩ තිබෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ මහ මැතිවරණයකට යන්නේ නම් එය නිදහස් හා සාධාරණ එකක් විය යුතු බවය.

බහුතරය පෙන්වීමට නොහැකිව මුදල් පනත් කෙටුම්පතක් පරාජය වුවහොත් සහ පාර්ලිමේන්තුවේ වාරාවසාන කර ඇති අවස්ථාවකද තුනෙන් දෙකක් නොමැතිව වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ රාවයට පැවසීය.

අය-වැය හෝ අතුරු සම්මත ගිණුමක් පරාජය වූ විට ආණ්ඩුව අවසන් වන නිසා ව්‍යවස්ථාවේ භාරකරුවා හා ආරක්ෂකයා ලෙස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැකි බව ඔහු සඳහන් කළේය. මීට අමතරව ව්‍යවස්ථාවේ 70-3 වගන්තිය අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති විටෙක විසුරුවා හැරීමටද ජනාධිපතිවරයාට බලය ඇතැයි ඔහු පැවසීය.
එවිට මහ මැතිවරණයකට යාමට සිදුවන බව කී ඔහු පැවසුවේ එවැනි ඡන්දයකදී විශාලම අවාසිය සිදුවන්නේ තමා නියෝජනය කරන එජාපයට බවය.

මෙසේ පාර්ලිමේන්තුව විසුරුවහොත් කැඳවන මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් විමසුවද ඔහු පැවසුවේ මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. ■