ශ්‍රීලනිප සභාපතිකමත් මහින්ද රාජපක්ෂට!

නිමල් අබේසිංහ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ශ්‍රීලනිපයේ සභාපති ධුරයද ලබාදී පක්ෂයේ ජවය ශක්තිමත් කිරීමට අවශ්‍ය බවට වන යෝජනාවක් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡාවෙමින් පවතින බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු රාවය කළ විමසුමකදී පැවසීය.

සභාපති ධුරය මහින්ද රාජපක්ෂට හිමි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකයන්ටද ශ්‍රීලනිපයේ දොරටු විවෘත වෙන බවත්, එම පෙරමුණෙන් ඉවත්වීමට අකමැති අයට ඔවුන්ගේ කැමැත්ත අනුව එම පෙරමුණ තුළ රැඳී සිටීමටද ඉඩ සලස්වනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මේ වෙනසත් සමග ශ්‍රීලනිපයේ ලේකම් ධුරයේද වෙනසක් ඇතිවිය යුතු බවට සහ එය පක්ෂයේ ක්‍රියාශීලී සාමාජිකයකුට ලබාදිය යුතු යැයි යෝජනාවක්ද සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (01) රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබූ අතර එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව සහ පුරප්පාඩු ආසන සංවිධායකවරුන් පත්කිරීම පිළිබඳ සාකච්ඡාවීමට නියමිතව තිබිණි. මේ සඳහා පක්ෂයේ උපදේශකවරයකු වන මහින්ද රාජපක්ෂ මහතාද එක්වනු ඇතැයි වාර්තා පළවී තිබිණි.

ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ විවිධ දේශපාලන කරුණු පිළිබඳ විවිධ යෝජනා විටින් විට සාකච්ඡාවට ලක්වන බවයි. ■