ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රකින්න

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට කියයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ වින්ද්‍යා ගමගේ

 

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට ගරු කිරීම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍ය සුරැකීම සහ ශ්‍රී ලංකාවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණු ඉටු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

එහි මහ ලේකම්වරයාගේ ප්‍රකාශිකා ස්ටෙෆානි ඩුජාරික් (Stephanne Dujarric) පවසන්නේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවය.
මේ අතර ජගත් සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හානා සංගර් මහත්මිය ජනාධිපතිවරයාද හමුවී උදා වී ඇති වතාවරණය පිළිබඳ සාකච්ඡා කර ඇත.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා සමඟ සාකච්ඡා කොට නැවත පාර්ලිමේන්තුව කැඳවීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්නා ලද ජනතා නියෝජිතයන්ට ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට අවස්ථාව සලසන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම, ප්‍රචණ්ඩත්වයෙන් වැළකීම, නෛකික ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම ව්‍යවස්ථානූකූල ආයතන වල සහ මාධ්‍ය නිදහසට ගරු කිරීම යනාදි කාරණා පිළිබඳව උනන්දුවකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්ව වලින්, කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත ආයතනය ඉල්ලා ඇත.

රාවය කරන ලද විමසුමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ චීනය අවධානයෙන් පසු වුවද අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙරට චීන තනාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි ලුවෝ චොන්ග් (Luo Chong) පැවසීය.

ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදි සහ අසල්වැසි මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන උනන්දුවක් දක්වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ශ්‍රී ලංකාව ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක රවීශ් කුමාර් (Raveesh Kumar) රාවයට පැවසීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මහින්ද රාජපක්ෂට සුබ පතන ලද භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ට්විටර් පණිවිඩයක් යවමින් ඉන්දියානු ධීවර ජනතා ගැටලු මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු සම්පන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව පවසා ඇත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් වීම දෙමළ ජනතාවට බරපතළ තර්ජනයක් මතු කරන බව ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ සභාපති කේ. ස්ටාලින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන ද හින්දු (The Hindu) පුවත්පත සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්වයන් ප්‍රචණ්ඩත්වය පිටු දැකීමටත්, මාධ්‍ය නිදහස, ආයතනවල සවාධීනත්වයට ගරු කිරීමට මෙන්ම ව්‍යවස්ථාවට එකඟව කටයුතු කිරීම අවශ්‍ය බව නෝර්වේ විදේශ අමාත්‍ය එරික්සන් සොරේඞ් (Eriksen Soreide) පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ජර්මන් තනාපති ජෝන් රෝඞ් (Joern Rohde) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැති පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත යුතු හෙයින් පාර්ලිමේන්තුව තුළ එම මතය නොපමාව ප්‍රකාශ කළ යුතු බව පවසයි.

ශ්‍රී ලංකා රජය වගවීම, සංක්‍රාන්තික යුක්තිය, ප්‍රචණ්ඩත්වය වලක්වාලීම යනාදී කාරණා පිළිබඳ උනන්දු විය යුතු බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනන් (David Makinnon) ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව හ්‍යුමන් යිට්ස් වොච් (Humam Rights Watch), ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty Jnternational) වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ■