සෞන්දර්ය අධ්‍යාපනයෙහි අර්ථය නැවත සොයා ගත යුත්තේ ඇයි?

මහාචාර්ය ලියනගේ අමරකීර්ති
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(2018 ඔක්තෝබර් 31 වැනිදා පැවැත් වූ උපාධි ප්‍රදානෝත්සවයෙහි දේශනය)

සෞන්දර්ය අධ්‍යාපනය පමණක් නොවෙයි මානව ශාස්ත්‍ර අධ්‍යාපනය පොදුවේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මේ තර්ජනය අංශ කීපෙකින් එනවා. එක් තර්ජනයක් තමයි සමස්ත අධ්‍යාපනයම ආර්ථික වර්ධනයේ නිර්ණායක ඇසුරින් මැනීමේ ප්‍රවණතාව. රටක ආර්ථික වර්ධනයට අධ්‍යාපනය දායක වෙන්නේ කොහොමද? උපාධිධාරීන්ට පහසුවෙන් රැකියා ලබාගත හැකිද? යන ප්‍රශ්න නිතර ඇහෙනවා. මේ හේතුව නිසා සෞන්දර්ය විෂයයන් උගන්වන අපට පවා අපේ ශිෂ්‍යයන්ට පහසුවෙන් රැකියා ලබාගත හැකිද කියා සිතන්නට වෙනවා. ඕනෑම මනුෂ්‍යයකුට වාගේම උපාධිධාරියාටත් ගෞරවනීය පුරවැසියකු සේ ජීවත්වීමට අවශ්‍ය ආර්ථික තත්ත්වයක් තිබිය යුතුයි. ඒවගේ රටේ පොදු යහපත වෙනුවෙන් දායක විය හැකි රැකියාවක නියුක්තවීමත්, ඒ රැකියාව සහ තමාගේ ඒකපුද්ගල කුසලතා අතර පෑහීමක් තිබීමත් ඕනෑම කෙනකුට ප්‍රීතියක්. එහෙත් සෞන්දර්ය උපාධිධාරියාගේ රැකියා විරහිතභාවය ගැන ප්‍රශ්න කෙරෙන්නේ මානව ඥානයේ සියලු ප්‍රභේදවලට එක තරමේ පිළිගැනීමක් ඇති සමාජයක නෙමේ. වෛද්‍ය වෘත්තිය ඉතා වැදගත් වෘත්තියක්. වෛද්‍ය විද්‍යාව මානව වර්ගයාගේ ජයග්‍රහණයක්. වෛද්‍ය විද්‍යාව කියන්නෙ පොදු මානව යහපත වෙනුවෙන් තව තවත් පැවතිය යුතු, වර්ධනය විය යුතු දැනුම් ක්ෂේත්‍රයක්. එහෙත් අපේ රටේ වෛද්‍ය විද්‍යාව බොහෝ විට තේරුම් ගනු ලබන්නෙ ඉතා ඉක්මනින් පොහොසත් විය හැකි විද්‍යාව හැටියට. එමපණක් නොවෙයි, වෛද්‍ය විද්‍යාව තේරුම්ගනු ලබන්නෙ අපේ අධ්‍යාපන පද්ධතියෙ තියෙන හොඳම දේ හැටියට.

වෛද්‍යවරයකු වීම යන්න තේරුම් ගනු ලබන්නෙ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ 100%ක් සාර්ථකවීම හැටියට. 90%ක් සාර්ථකවීම ඉංජිනේරුවරයෙකුවීම, 80%ක් සාර්ථකවීම නීතිඥයකුවීම, 75%ක් සාර්ථකවීම ගණකාධිකාරීවරයකුවීම යනාදී වශයෙන් තමයි අපේ අධ්‍යාපනයේ සාර්ථකත්වය තේරුම්ගනු ලබන්නෙ. එනම් වෛද්‍ය වෘත්තිය තමයි අධ්‍යාපනයේ සාර්ථකත්වය මනින මිම්ම. පෞද්ගලික රෝහල් දෙක තුනක වැඩ කරල ලොකු ගෙයක් දෙකක් ලොකු වාහනයක් දෙකක් අත්පත් කරගන්න පුළුවන් වෛද්‍යවරයා තමයි මිම්ම. මම මෙතනදී තරමක් අතිශයෝක්තියට නංවල මේක කාරණය ඉදිරිපත් කළත් මේක තමයි මිම්ම. මේ මිම්ම වෛද්‍ය වෘත්තිය මනින්න භාවිත කිරීම පවා වැරදි බව ඇත්ත. මනුෂ්‍ය ඥානය විසින් වෛද්‍ය වෘත්තිය නිර්මාණය කරල තියෙන්නෙ පොදු මනුෂ්‍යයාගේ ජීවිතය වඩා යහපත් කරගන්න. සොබා දහම සමග වඩා හොඳ සුසංවාදයකින් ජීවත් වෙන හැටි කියල දෙන්න. ලොකු ගෙවල්, ලොකු කාර්වලින් නෙමෙයි ඒ නිසා ඒ වෘත්තිය මැනිය යුත්තෙ. අපි ඒ ප්‍රශ්නෙ විසඳගන්න වෛද්‍ය ක්ෂේත්‍රයට බාර දෙමු.

අපිට තියෙන ප්‍රශ්නෙ මේ මිම්මෙන් අධ්‍යාපනය මැනීම නිසා සිදු වන හානිය. මේ මිම්මෙන් මැන්නම සෞන්දර්ය උපාධිය වටහා ගැනෙන්නෙ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ 30-40%ක් විතර සාර්ථක වූ විට ලැබෙන උපාධියක් විදියට. එනම් වෛද්‍යවරයෙක් වීමෙහිලා සියයයට 70%කින් විතර අසාර්ථක වීමේ ඵලයක් විදියට. මේ මිම්ම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒත් අපි ඒක දන්නෙ නෑ. සමහර විට අපිත් හිතනවා අපි ඇත්තටම වෛද්‍යවරුන් වීමට අසමත් වුණු, මගවැරදුණු පිරිසක් කියා.

සියලු අධ්‍යාපනය, සියලු දැනුම් ක්ෂේත්‍ර, සියලු ජීවන මාර්ග එකම මිම්මකින් මනින ලෝකයක් පවතින තාක්කල් සෞන්දර්ය කලා විෂයවලට, සෞන්දර්ය උපාධියට, සෞන්දර්යවේදියාට නිසි පිළිගැනීම ලබාගන්න බෑ. රැකියා වෙළෙඳපොළ නමැති අසාධාරණ, අසමාන අඩවියේ තරග කර ජයගැනීමට හැකි නිසා යම් විෂයයක් අනික් සියලුම විෂයයන්ට වඩා උසස් යැයි සැලකීම යනු අධ්‍යාපනය පිළිබඳ කරණීය තර්කනය. එනම් අධ්‍යාපනයෙන් ලබාගත හැකි ආර්ථිකමය හෝ සමාජමය වරප්‍රසාද අනුව අධ්‍යාපනය මැනීම කරණීය තර්කනය. මෙය අධ්‍යාපනය මැනීමේ ඉතා වැරදි විධියක්.
අපි අධ්‍යාපනය මැනීමෙහිලා භාවිත කළ යුත්තේ කරණීය තර්කනය නොවේ. වටිනාකම පිළිබඳ තර්කනය. එනම් අප ඉගෙනගන්නා දෙයෙහි වටිනාකම ලැබෙන්නේ එය වෙන දෙයක් ලබා ගැනීමේ මාර්ගයක් වන නිසා නොවේය යන අදහස. එනමුත් අද රජයන්නේ අධ්‍යාපනය තවත් දේවල් ලබා ගන්නා මාර්ගයක් සේ සැලකීමේ කරණීය තර්කනය. ඒ නිසා සෞන්දර්ය උපාධිධරයා පවා තමාගේ කලාවෙහි විශිෂ්ට නිර්මාණ කරනු වෙනුවට කරන්නේ තම සෞන්දර්ය දැනුම වෙනත් ඵලවැල නෙලන කෙක්කක් සේ භාවිත කිරීම.

කරණීය තර්කනය ඔස්සේ සෞන්දර්ය අධ්‍යාපනය මැනීම ඉතාමත් වැරදියි. මේ තර්කනය අපි ඇතුළෙත් විවිධ ස්වරූපවලින් පවතින්නට ඉඩ තියෙනවා. සෞන්දර්ය උපාධිය ලබාගෙන පොඩි ගමක පාසලකට ගිහින් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් වෙනවා යැයි සිතාගන්නා උපාධිධාරි තරුණ තරුණියන්ගේ සිතෙහි බොහෝ විට තිබෙන්නේ කුමක්ද? හවස්වරුවෙහි විවේකය, විශ්‍රාම වැටුප, අවුරුද්දකට ලැබෙන නිවාඩු යනාදිය. නියම සෞන්දර්ය උපාධිධාරියාගේ මනසෙහි තිබිය යුත්තේ මොනවාද? තවත් පාසල් දරු පිරිසකට නිර්මාණක ආවේශය ලබාදීමේ ආශාව. අලුතින් සිතන්නට, අලුතින් අඳින්නට, අලුතින් ගයන්නට, අලුතින් නටන්නට හැකි නවෝත්පාදක නිර්මාණ ශක්තියක් දරුවන්ට ලබා දීමේ ආශාව. ශිෂ්‍ය දරුදැරියන් පිරිසක් ඉදිරියේ සංගීතයෙහි, නර්තනයෙහි, චිත්‍රයෙහි කලාත්මක අගය පෙන්නාදීමේ ආශාව. එහෙම ආශාවක් පහළ වෙන්න නම් අපි වෛද්‍යවරයකුවීමෙහිලා 70%කින් පමණ අසමත් පිරිසක් යැයි සිතීම අත්හරින්න ඕනෙ. සෞන්දර්යවේදීන් වීමෙහිලා 100% සාර්ථක වූ අය ලෙස අප ගැනම ආත්මාභිමානයෙන් බැලීමේ හැකියාව අපට තිබෙන්නට ඕනෙ. ඒ අභිමානයෙන් තොරව සෞන්දර්ය උපාධිධරයාටත් වෛද්‍ය උපාධිධරයාට සමාන හෝ ඊට ආසන්න ආර්ථික සහ සමාජමය තත්ත්වයක් සමාජයක තිබිය යුතුයි කියන සංස්කෘතික අරගලය කරන්න බෑ.

එමෙන්ම මා කලින් කී ලෙස ඔබ ගුරුපත්වීම් ලබා යන පාසල් ඔබෙන් අපේක්ෂා කරන්නේ අපේ දරුදැරියන්ගේ කලාත්මක විඥානය වර්ධනය කරන්න නොවේ. ඒ පාසැලේදී ඔබට හමුවන්නේ වෛද්‍ය වෘත්තිය කරා වේගයෙන් දක්කාගෙන යන දරුපිරිසක්. ඔබේ කාර්ය වීමට ඉඩ ඇත්තේ සෞන්දර්ය කලා විෂයවලටත් -ඒ – සාමාර්ථයක් ලබා දී ඒ දක්කාගෙන යන ගමනට ආධාර කිරීම. ඔබේ සාර්ථකත්වය මැනෙන්නේ එවන් -ඒ- සාමාර්ථ කීයක් ලබා දෙන්නට ඔබට හැකිද යන කාරණය අනුව.

ඔබ මේ අත්දකින්නේ කුමක්ද? අධ්‍යාපනය පිළිබඳ කරණීය තර්කනය. ඒ කරණීය තර්කනයට අභියෝග කරන්නට හැකි අධ්‍යාපනයක් දිනා ගැනීම තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයක කාර්ය විය යුත්තේ. ඒ කාර්ය කිරීමේදී ගත හැකි පියවර කිහිපයක් තිබෙනවා. ආත්මවිශ්වාසයෙන් යුතු සෞන්දර්ය උපාධිධරයකු ලෙස ලෝකය වෙත අභිමානයෙන් පියවර තැබීමට අවශ්‍ය වන සියලු කුසලතා, විෂය ඥානය, සන්නිවේදන ශක්‍යතා, ජාතික සහ ජාත්‍යන්තර භාෂා ඥානය, විචාරාත්මක චින්තනය, ස්වයං-කළමනාකරණ කුසලතා යනාදී සියල්ල වැදගත් බව ඇත්ත. එහෙත් අද දවසේ අප මුහුණ දිය යුතු වඩාම බලවත් අභියෝගය වන්නේ සෞන්දර්ය කලා නමැති විෂය මානව ශිෂ්ටාචාරය තුළ පහළ වී තිබෙන්නේ මන්ද යන ප්‍රශ්නය සමාජයට පැහැදිලි කරදීම. අනුන්ට පැහැදිලි කරදීම විතරක් නොව අපටම පැහැදිලි කරගැනීම.
අප පළමුව වටහාගත යුතු දෙයක් තමයි සෞන්දර්ය කලා අධ්‍යාපනය, සෞන්දර්ය කලා උපාධිය කියන්නෙ වෙනත් දෙයක් කරා යන මාර්ගයක් නොවෙයි කියන කාරණය. එසේ නම් එය කුමක්ද? සෞන්දර්ය අධ්‍යාපනය කියන්නෙ මාර්ගයක් නොවේ ගමනාන්තයක්. it is an end in itself.  සංගීත ඥානයම ප්‍රීතියක්. චිත්‍රකලා ඥානයම විශාල ලාභයක්, ප්‍රීතියක්. නර්තන කුසලතාවම විශාල ධනයක්, ප්‍රීතියක්. හොඳ නාට්‍යකරුවකු හෝ කාරියකවීමම ධනයක්, ප්‍රීතියක්. මේ උපාධිය විසින් සැපයෙන සියලු ඥානය හොඳින් උකහාගෙන සිටීමම තමයි ඔබේ සාර්ථකත්වය. මෙහි අද උපාධි ලබා සිටින කිහිප දෙනකු තුළවත් ඒ අභිමානය පවතී නම් පමණයි අද අපට සතුටු විය හැක්කේ. ඔබ දැනටමත් නැටුම් කණ්ඩායමකට බැඳී මංගල උත්සවවල නටන නිසාවත්, ඔබ සංගීත කණ්ඩායමක වාදකයකු ලෙස කටයුතු කරන නිසාවත්, දැනටමත් වෙළඳ දැන්වීම් ආයතනයක රස්සාවක් කරන නිසාවත්, දැනටමත් රූපවාහිණී තරු වැඩසටහනක ලකුණු දෙන කෙනෙක් නිසාවත් නොවෙයි ඔබේ අගය තියෙන්නෙ. ඒ රැකියා අවස්ථා විවර වී තිබීම හොඳයි. ඒත් එය බෙහෙවින්ම අමතර දෙයක්. ඔබේ නියම අගය තිබිය යුත්තේ සෞන්දර්ය යනු කුමක්ද, මනුෂ්‍ය ශිෂ්ටාචාරයට එය වැදගත් වන්නේ කෙසේද, යන මහා ප්‍රශ්න අභීතව සමාජයට කියා දී ලාභ ඉපයීමේ තර්කනයෙන්, කරණීය තර්කනයෙන් ඔබේ විෂය ආරක්ෂා කිරීමට ඔබට ඇති හැකියාව මතයි. සෞන්දර්ය විද්‍යාව, සෞන්දර්ය දර්ශනය ආදිය ගැන එවැනි ඥානයක් ඔබට සපයන්නට මෙහි අසුන් ගෙන තිබෙන ආචාර්ය මහාචාර්යවරුන් අසමත් වී තිබේ නම් ඔවුන්ගේ ගරුගාම්භීර උපාධි ලෝගු විකට ඇඳුම් විශේෂයක් පමණයි. අද සිත්තම් අඳින හැටි උගන්වලා මදි, අඳින්නෙ ඇයි, සිත්තමක් කරන්නේ කුමක්ද, යනාදිය දාර්ශනික සහ න්‍යායික ගැඹුරකින් යුතුව විස්තර කළ හැකි ආචාර්යවරු අවශ්‍යයයි. අද අපි නටන හැටි විතරක් උගන්වලා මදි. නටන්නෙ ඇයි, නැටුම පහළ වුණේ ඇයි, නැටුම නැරඹිය යුත්තේ කෙසේද, පරණ නැටුමම නොනැටිය යුත්තේ ඇයි, යනාදිය දාර්ශනික සහ න්‍යායික ගැඹුරකින් යුතුව විස්තර කළ හැකි ආචාර්යවරු අවශ්‍යයයි. ඒ දාර්ශනික ප්‍රශ්න අපේ භාෂාවෙන් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර භාෂාවලින් විස්තර කළ හැකි ආචාර්යවරු අවශ්‍යයයි. අද අපි ගයන හැටි වයන හැටි උගන්වලා විතරක් මදි. ඉතා ඈත කාලයක සිට මිනිසුන් ගායනා කළේ ඇයි තවත් ප්‍රයෝජනවත් වැඩ අපමණ තියෙද්දී ගායනා කළේ වාදනය කළේ ඇයි කියන ප්‍රශ්න දාර්ශනික සහ න්‍යායික ගැඹුරකින් යුතුව විස්තර කළ හැකි ආචාර්යවරු අවශ්‍යයයි. එපමණක් මදි. මනුෂ්‍ය වර්ගයා මිහිමත පවතින තාක්කල් ගැයිය යුත්තේ ඇයි, වැයිය යුත්තේ ඇයි නැටිය යුත්තේ ඇයි, සිත්තම් ඇඳිය යුත්තේ ඇයි මනුෂ්‍යයන් ඒ සියල්ල රස විඳිය යුත්තේ ඇයි යන ප්‍රශ්නවලට දාර්ශනික සහ න්‍යායික ගැඹුරකින් යුතුව පිළිතුරු හැකි ආචාර්යවරු අවශ්‍යයයි. කලායතන සහ විශ්වවිද්‍යාල අතර පැවතිය යුතු වෙනස ඒකයි. ඒ වෙනස වටහා ගෙන විශ්වවිද්‍යාලය නමැති අදහස ආරක්ෂා කිරීමේ ශක්තිය ඇති ආචාර්ය මහාචාර්යවරුන් කීපදෙනකුවත් ඔබ අතර සිටින බව මම විශ්වාස කරනවා. බොහෝ ආචාර්යවරුන්ට ඒ ශක්තිය නැති බවත් වටහාගන්නට තරම් දීර්ඝ කාලයක් මා ලංකාවේ විශ්වවිද්‍යාල ඇසුරේ ගෙවා තිබෙනවා.

අපේ සමාජය ලාභයේ තර්කනය තුළ කරවටක් ගිලෙමින් තිබුණත් අපි කලාවෙහි නෛසර්ගික අගය ප්‍රකාශ කරන්නට බුද්ධිමය සමත්කම ඇති පිරිසක් වුවහොත් පමණක් සියලු දේ ලාභයට යට කරන ක්‍රමයකට අභියෝග කළ හැක්කේ.

ලලිත කලා ඇතුළු මානව ශාස්ත්‍රවල තිබෙන වටිනාකම කුමක්ද යන්න පැහැදිලි කිරීමට ලෝකය පුරාම අලුත් විද්වතුන් පිරිසක් ඉතා ගැඹුරු කතිකාවක් මෑතකදී ආරම්භ කළා. ලංකාවේත් අපි කිහිපදෙනකුම ඒ සංවාදයට සහභාගි වුණා. නැති නම් ඒ ලෝක පරිමාණ කතිකාව ලංකාව සමග සම්බන්ධ කළා. මහාචාර්ය මාර්තා නස්බෝම් ඒ කතිකාවට සහභාගි වුණු එක් ප්‍රකට ශාස්ත්‍රවන්තියක්. ඇය ඒ කරුණ අළලා ලියූ පොත්වලින් එකක් මම කලාව කුමකටද නමින් පරිවර්තනය කොට 2013 වර්ෂයේදී පළ කළා. ඔබ අද උපාධි ලබා පිටවන්නේ කුමක් පිණිසද යන කාරණය ඒ කෘතියෙහි මැනවින් විස්තර වෙනවා. සමහර විට ඔබ ඒ කෘතිය සෞන්දර්ය දර්ශනය පාඨමාලාවලදී හදාරන්නට ලැබී ඇති. ඒ නිසා මම අප ඉගෙන ගන්නා විෂය කුමක් පිණිසද යන්න පැහැදිලි කළ තවත් එක් විද්වතකු වෙත යන්නම්. ඔබ අසන මේ අවසන් නිල දේශනයේදී අපේ යුගයේ වසන වැදගත් විද්වතකුගේ නම දැනගෙන යාම උචිතයි. ඔහු තමයි මහාචාර්ය මාර්ක් විලියම් රෝච්. ඇමරිකාවේ නෝට්‍ර ඩාම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔහු ලියූ Why Choose the Liberal Arts?  හෙවත් නිදහස් කලා ඉගෙනීම තෝරාගත යුත්තේ ඇයි? කියන පොත මෙහිදී අපට ඉතා ප්‍රයෝජනවත්. ලිබරල් ආර්ට්ස් හෙවත් නිදහස් කලා යනුවෙන් ඇමරිකානු අධ්‍යාපන සම්ප්‍රදාය තුළ හැඳින්වෙන්නේ අප මානව ශාස්ත්‍ර හෙවත් කලා විෂයයන් යැයි හඳුන්වන දේවල්. වෙනසකට තියෙන්නෙ ඇතැම් මූලික විද්‍යා විෂයයන්, ගණිතය වැනි දේත් නිදහස් කලා යන්නට ඇතුළත් වීම. මහාචාර්ය රෝච් පැහැදිලි කරන ආකාරයට නිදහස් කලාවලින් අප අසන ප්‍රශ්නවලින් අප උත්සාහ කරන්නේ රටක ආර්ථික වර්ධනයට දායක වැනි දේට වඩා ඉහළ ප්‍රශ්න. කලා විෂයයන් මනුෂ්‍ය ජීවිතයෙහි ඇති අනුල්ලංඝනීය, නෛසර්ගික වටිනාකමක් සොයා ගන්න අපට උදව් වෙනවා විතරක් නෙමේ ඒ කලාවල තියෙන වටිනාකමත් නෛසර්ගිකයි. සංගීතයේ අගය සංගිතයම මිස අනිකක් නෙමෙයි. අපට මුදල් හදල් වැනි ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන එන ධනෝපායන මාර්ගයක් ලෙස නොවෙයි කලාවේ අර්ථය තියෙන්නෙ. උසස් කලාව යනුම ධනයක්. උසස් සංගීත රසඥතාව යනුම ධනයක්. ලාභයක්. ප්‍රීතියක්. අනික් සියලු කලා සම්බන්ධයෙනුත් අර්ථය ඒකයි. එසේ කලාව ඇසුරෙහි දේවල්වල නෛසර්ගික අගය දකින්න හුරුවෙන අපිට පුළුවන් ඒ පුහුණුව ජීවිතයේ අනෙකුත් අඩවි වෙත ප්‍රක්ශේපණය කරන්න.
සංගීතය සංගීතය පිණිසම විඳින්න හුරු වුණු අපිට පුළුවන් අප සමග වසන අනෙක් මනුෂ්‍යයන් අපට ප්‍රතිලාභ ගෙන එන උපකරණ සේ නොසලකා, අපට වාසියක් ඇතත් නැතත්, නෛසර්ගික අගයකින් යුතු මනුෂ්‍යයන් ලෙස දකින්න. චිත්‍ර කලාව අපිට හුරු කරනවා ගසකින් ලැබෙන ලීවල වර්ග අඩි ගණන නොසලකා ගසක් විදියට ඒ ගස දකින්න. පුටුවක චිත්‍රයක් අඳින චිත්‍ර ශිල්පියා අපට උගන්වනවා පුටුව නමැති වස්තුව අසුන් ගැනීම නමැති උපයෝගිතා කාර්යෙන් ඉවත් කර පුටුවෙහි නෛසර්ගික සුන්දරත්වය දකින්න. පුටුව ශිෂ්ටාචාරයේ ජයග්‍රහණයක් සේ දකින්න. පේරාදෙණි සරසවි උද්‍යානයෙහි සර් අයිවර් ජෙනිංස් ප්‍රතිමාවක් නිමවන මූර්ති ශිල්පියා අපට උගන්වනවා උපකුලපති නමැති ආයතනික භූමිකාවේ සිට එතුමා කළ කාර්ය ඉක්මවා අප පෙර නොදුටු නෛසර්ගික අගයක් එතුමා තුළ දකින්න. ඒ ප්‍රතිමා ශිල්පියා උපකුලපතිවරයා වූ ඔබේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලට හැකියාව තිබිය යුතුයි ලලිත කලාවල මෙම නෛසර්ගික අගය ආරක්ෂා කරගන්න.

මෙම නෛසර්ගික අගය ආරක්ෂා කරන අතර අපට හැකියාව තිබෙනවා ඒ වටා කලාවෙහි ඇති තවත් වටිනා අංග ආරක්ෂා කරන්න. අනෙක් මනුෂ්‍යයන් කෙරෙහි සහකම්පනය වගා කරගන්නට කලාව උපකාර වෙනවා. ලාලිත්‍යවත් වූද අර්ථසම්පන්න වූද වාග්මය ශෝභනත්වයෙන් යුතු වාග් විලාස අපට සාහිත්‍ය කලා නිසා ලැබෙනවා. අනෙක් මනුෂ්‍යයන් පිළිබඳ හදිසි විනිශ්චයන්ට එළඹීම වලකා, ජීවිතය ගැන භාවනාත්මකව ගැඹුරු කල්පනයෙහි යෙදෙන්න කලාව අපට උගන්වනවා. විශිෂ්ට චිත්‍ර කලා කෘතියක් අර්ථ කථනය කරමින් අප කරන රසවින්දනාත්මක භාවනාව අප හුරු වෙනවා එදිනෙදා ජීවිතයේ අප ගන්නා තීරණවල හදිස්සිය හෝ වේගය අඩු කරන්න. ඒ තීරණ නැවත නැවත සලකා බලන්න.

කලාව අපට උගන්වනවා සමාජයේ ඇති අධිපති දෘෂ්ටිවාද කලබලයේ කරපින්නා නොගෙන ඒ දෘෂ්ටිවාද විචාරාත්මකව විනිවිද දකින්න. ඒ නිසා තමයි විචාරාත්මක චින්තනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කොටසක් විය යුත්තේ. සමාජ න්‍යාය පිළිබඳ පාඨමාලා විශ්වවිද්‍යාලවල තියෙන්නෙ. ඒ නිසා තමයි ශිෂ්‍යයා බුද්ධිමය හෝ භාවමය වහලුන් බවට පත් කරන යල් පිනූ ගුරුගෝල සම්බන්ධතා වෙනුවට නිදහස් බුද්ධි ශක්තියට, පරිකල්පනයට ඉඩ දෙන පරිසරයක් විශ්වවිද්‍යාලයක තිබිය යුත්තේ. එවැනි නිදහස් පරිසරයක් නැති ආයතන ගුරු-කේන්ද්‍රීය කලායතන විනා විශ්වවිද්‍යාල නොවෙයි. ඒ කලායතනවලට පුළුවන් යම් ගුරුවරයෙකුගේ, ඔහුගේ පවුලේ, ඔහුගේ කුලයේ හෝ ඔහුගේ පලාතේ ඇති එක්තරා සීමිත ශෛලියක් ප්‍රතිනිෂ්පාදනය කරන ශිල්පියෙක් බවට ශිෂ්‍යයා පුහුණු කරන්න. ඒ පුහුණුව වැදගත් බව ඇත්ත. ඒත් විශ්වවිද්‍යාලය යනු ඊට වඩා විශාල අදහසක්. ඊට වඩා බෙහෙවින් විශාල ආයතනයක්. කලාව කියන්නෙත් ඊට වඩා ගැඹුරු අදහසක්. කලාවේ හරය අනුකරණාත්මක ප්‍රතිනිෂ්පාදනය කිරීම නොවේ. නව නිර්මාණය. කලාව යනු කරන විට කිරීමක් නොවේ. අලුතින් යමක් කිරීමක්. අප කරන විට කරන විධි ක්‍රමයකින් යමක් ඉගැන්වූවත් එහි අරමුණ විය යුත්තේ නව නිර්මාණයට මග කීම. එපමණක් නොවෙයි, විශ්වවිද්‍යාලය යනු ප්‍රජාතාන්ත්‍රික පරිසරයක් ඇති ඥාන ගවේෂණ ආයතනයක්. ඒ ආයතනය තුළ ගුරුවරයා සහ ශිෂ්‍යයා යනු ප්‍රජාතාන්ත්‍රික මනුෂ්‍ය සම්බන්ධතා ඔස්සේ එක්වී එකට ඥාන ගවේෂණයෙහි යෙදෙන ඥානමය සංචාරයක ගමන් සගයො දෙන්නෙක්.
මෙම දේශනය නිමා කරන්නට මා මෑතකදී සිංහලට නැගූ කලාව සහ මිනිසා කෘතියෙහිදී එහි කතුවර මහාචාර්ය අර්වින් එඞ්මන් කරන ප්‍රකාශයක් ඔබ හා බෙදාගන්නට මට ඉඩ දෙන්න:
“සදාචාරවාදියා කලාව පරිභවයට ලක් කර ඇත්තේ එහි ඉන්ද්‍රිය ගෝචරීය සරාගීත්වය නිසාය. රාජ්‍ය පාලකයා නැවත නැවතත් කලාවට පරිභව කරන්නේ කලාවේ අවසර නොලත් සිහින භයානකත්වය හෝ ෆැන්ටසිමයත්වය කරා මිනිසා මෙහෙය වනු ලබන නිසාය. ලලිත කලාවට එරෙහි විරෝධයේ තුන්වැනි ලක්ෂණය පැන නැග එන්නේ ප්‍රායෝගික මිනිසා වෙතිනි. ප්‍රායෝගික මිනිසා ලලිත කලා නිර්මාණය සහ ආස්වාදය දකින්නේ නිරර්ථක විනෝදයක් ලෙසය; ලාභ ජනනය නොකරන හුදු ප්‍රසන්නතාවක් ලෙසය. ලෝකයේ වසන කාර්යක්ෂම මිනිසුන් විසින් කලාව සලකන ලද්දේ උගත් අලසකමක් ලෙසිනි. පවුල්වල ප්‍රධානීන්, ව්‍යාපාරික ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් වැනි ලෞකික සාර්ථකත්වය අරමුණු කරන මනුෂ්‍යයන් සෑම විටෙකම කලාකාරයාට සැලකූයේ සැකකිරීමටත් එහා ගිය නිශේධනීය වූ ආකල්පවලිනි. කලාකාරයා සිය කලා මාධ්‍යයට මිස අන් කිසිවක් කෙරේ වගකීමක් නැත්තකු ලෙස ඔවුහු සැලකූහ; ඔවුන් දුටු හැටියට සෞන්දර්යවේදියා ඔහුගේම සංවේදනාවල මිහිර හැර කිසිම දෙයක් ගැන උනන්දුවක් නොදක්වයි. ලෝකය තුළ, හුදෙක් ඒ ලෝකයේ පවත්වාගෙන යාම පිණිසම අපමණ දේ කරන්නට ඇත. ඒ ලෝකය තුළ වසන බොහෝ ශක්තිමත් සහ ධීමත් මිනිසුන්ගේ ශක්තිය ඒ ලෝකයේ ඇති අනිවාර්යතා සහ වගකීම් විසින් උරාගනු ලැබේ. එනම් බොහෝ මනුෂ්‍යයන්ගේ ශක්තිය සිඳී යන්නේ ලෝකය පවතින සැටියෙන් පවත්වාගෙන යාමේ දෛනික වගකීම් වෙනුවෙනි. එවන් පසුබිමක කලා නිෂ්පාදනයද කලා ආස්වාදයද පෙනෙන්නේ අරුම පුදුම ලෙස නොවැදගත් දෙයක් ලෙසය. ඒ නිසා දරුවකු රැකබලා ගැනීම පද්‍ය බන්ධනයට වඩා වැදගත් සේ පෙනේ; කවියක්, සංගීත කණ්ඩයක් වැනි ඉතා කෙටි කලක් පවතින උත්කර්ෂවත් යමකට වඩා යම් විශාල ස්ථිර වූ ආයතනයක් ගොඩ නැගීම වැදගත් යැයි පෙනේ. කලාව රස වින්දනය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේය. ලෝකය නමැති කැන්වසය සිත්තරාගේ කැන්වසයට වඩා ප්‍රාණවත්ද රසවත්ද සේ පෙනේ. සැබෑ ජීවිතයේ කටයුතුවල ඇති ලාලසා සහ සංකීර්ණතා සාහිත්‍යයෙහි වන ප්‍රබන්ධමය සංකීර්ණතාවලට වඩා සිත්ගන්නා සේ පෙනේ. ජීවිතය හා සසඳන කල, ප්‍රයෝගික මිනිසාගේ දෘෂ්ටියෙන් බලන කල, සාහිත්‍යය සහ සංගීතය යනු ඉතා තුනී පසුකම්පන විධි වේ. උපාධි ප්‍රදානෝත්සව දේශන වැනි අවස්ථාවලදී කලාවට අධිපති දෙවඟනන් ගැන ව්‍යාජ වර්ණනා කෙරුණද, ප්‍රායෝගික මිනිසා සෑම විටෙකම කලාව දැක ඇත්තේ නොවැදගත් වූද, අල්ප වූද දුර්වල වූද දේ ලෙසටය.

මේ දෝෂාරෝපණයේ මූලික අර්ථය වන්නේ ර්‍ණකලාව කුසිගිනි නොනිමයි” යන්නයි. ඒ නිසා ඊට දෙන සාධාරණ පිළිතුරක අර්ථය විය යුත්තේ ආහාරවලින් පමණක් මනුෂ්‍යයාට ජීවත් විය නොහැකිය යන්න පෙන්වා දීමය.(72-3 පිටු)”

(කෙටි සංස්කරණයකට ලක් කැරිණි.)