දුහුලු බන්දන දම්මි, සුගත්ගේ ඛේදවාචකයට ප්‍රතිපක්ෂයි – බර්ටි ගුණසේකර

එන්. ලංකා මාගම්මන

බර්ටි ගුණසේකර ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකි. දුහුලු බන්දන ඔහු විසින් රචිත පළමු නවකතාවයි. දුහුලු බන්දන රාවය ප්‍රකාශනයකි. මිල රු. 650/-

ස්ත්‍රී පුරුෂ බැඳීම විවරණය කරන්නට දැක්වූ උනන්දුව මේ ග්‍රන්ථයේ බීජය ලෙස ඔබ හඳුන්වාදී තිබෙනවා නේද?

ස්ත්‍රීන් හා පුරුෂයන් එකතුවීම, බැඳීම, ආදර සම්බන්ධය, ස්නේහය හා එකිනෙකාට ගරු කිරීම වැනි දේවල් අප ජීවත් වන සමාජයේ තියෙන්නේ හරි අඩුවෙන්. තිබුණත් තියෙන්නේ මූනිච්ඡාවටයි. මගේ නවකතාවේ මා උත්සාහ කරන්නේ තරුණ පුවත්පත් කලාවේදිනියකගේ ඇසින් මේ තත්ත්වය දෙස බැලීමක් සිදුකිරීමටයි. ඇයට තමයි මෙහි එන වැඩිහිටි කාන්තාව තමන්ගේ කතාව කියන්නේ. මෙම පොත තුළ මා කාන්තා චරිත හයක් ගැන විවරණය කරනවා. මොවුන්ගේ ජීවිතවල ආදර බැඳීම් මොනතරම් තිබුණද? මේ ආදර බැඳීම්වල දිග පළල කොපමණද? ඒ දිග පළල හා ගැඹුරේ ආදරය තිබුණද, රතිය තිබුණද, ස්නේහය, ළෙන්ගතුබව තිබුණද, ගෞරවය තිබුණද කියලා දුහුලු බන්දන කෘතිය හරහා මා සාකච්ඡාවට බඳුන් කරනු ලබනවා. දුහුලු බන්දන නවකතාව හරහා මා උත්සාහ කරන්නේ මේ සමාජීය ගැටලුව පිළිබඳ විවරණයක නියැලෙන්නයි. දුහුලු බන්දන කියලා මා මෙය නම් කරන්නෙත් බන්දනයක් තියෙනවා, එහෙත් එය ඕනෑම වෙලාවක කැඩෙන්න ඉඩකඩ වැඩි නිසයි. මගේ කෘතියට මා පාදක කරගෙන තියෙන්නේ මධ්‍යම පන්තික පවුල් කීපයක්. ආදරය, සෙනෙහස සමග ඉතාම ඉක්මනින් දෙදෙනකු අතරම බැඳීමක් නංවනවා. එසේම පුරුෂ පෞරුෂය සමග ගොඩනංවන ආචාරශීලී බව එම බැඳීම් තව තවත් තර කරවන්න උත්සුක වෙනවා. කාන්තාවක් හා පුරුෂයකු අතර ගොඩනැගෙන සම්බන්ධය ඉතා වැදගත් මට්ටමක සම්බන්ධයක් විය යුතු බව දුහුලු බන්දන හරහා පාඨකයා වෙත විවරණය කරනු ලබනවා.

“කාන්තා සිරුර හා එහි ගැබ්වී ඇති හැඩතල තරම් පුරුෂයා ප්‍රබෝධමත් කරන වෙනත් කිසිවක් මිහිපිට නොමැත.” මෙය යථාර්ථයමද?

මේ සඳහා බෞද්ධ සාහිත්‍යය තුළ තියෙන දෙයකින් මා උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කුස ජාතකය තුළ කුස කුමාරයා තමා සොයන කාන්තාවගේ සිරුර හැඩතල රනින් කරවන පිළිමයක් හරහා ගොඩ නංවනු ලබනවා. වසර 7ක් පුරා එම පිළිමයේ ඇති රූපයට සමාන ස්ත්‍රිය සොයමින් දරන මහන්සිය තුළ අපට පැහැදිලි වෙනවා කාන්තා සිරුර හා එහි ගැබ්වී ඇති හැඩතල තරම් පුරුෂයා ප්‍රබෝධමත් කරවන කිසිවක් මිහිපිට නොමැති බව. මෙය අපේ බෞද්ධ සාහිත්‍යයේ ඉතා පැහැදිලිව දැකගන්න ලැබෙන දෙයක්. අද සමාජය තුළද පිරිමියා කාන්තාවගේ රූ ශ්‍රියාව දැක බලා ගැනීමේ නොනිත් ආශාවෙන් සිටින බව පැහැදිලි වෙනවා. හැබැයි අද සමාජය තුළ කාන්තාවගේ සුන්දරත්වය හරියාකාරව භුක්ති විඳිනවාද යන්න සැකයක් ඇතිවෙනවා. දැන් බලන්න සීගිරියේ කාශ්‍යප විසින් නිර්මාණය කර තිබෙන කාන්තා සිරුරේ ලාලිත්‍ය මොනතරම් නිර්මාණශීලීද? නිල් වර්ණයෙන් හා රත් වර්ණයෙන් යොදා ගෙන කාන්තාවන් දෙවර්ගයක් (කාක පැහැයට හුරු ශරීර වර්ණය හා යම් තරමක් පැහැපත් කාන්තාවන්) ඉතා අනර්ඝ ආකාරයෙන් සිතුවම් කර තිබෙනවා. එම කාන්තා සිරුරු මත ඇති සියලු අඟපසඟ උලුප්පා පෙන්වමින් චිත්‍රණය කර තිබෙනවා. මෙම ආලේඛණ චිත්‍රණයන් හරහා පුරුෂයා මොනතරම් කාන්තා සිරුරේ හැඩතල හා සමීප වෙනවාද කියන එක පැහැදිලි වෙනවා. කාන්තා සිරුරු පුරුෂ නෙතට මොනතරම් ආශ්වාදයක් මවන සිතුවමක්ද කියන එක පැහැදිලි කරන්න තව ඕනෑතරම් නිදර්ශන අපට පෙන්වා දෙන්න පුළුවන්. ඉන්දියාවේ කජුරා හෝ හි පිහිටි ස්ත්‍රී, පුරුෂ ලිංගික සබඳතා පෙන්නුම් කරන සිතුවම්, කාම සූත්‍රහි ගෙන එනු ලබන ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් උද්දීපනය කරවන සිතුවම්, මේ සෑම දෙයකින්ම ස්ත්‍රී ශරීරයේ ආකර්ෂණීයභාවය මොනතරම් පුරුෂයාගේ සිත, ගත, නෙත පිනවනවාද කියන එකයි ප්‍රත්‍යක්ෂ කරවන්නේ.

ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් අප රට තුළ නොමැතිවීම ආකල්පමය වශයෙන් පවුල් සාපේක්ෂව අවුලෙන් අවුලට පත් කරනු ලබන බව නිදර්ශන සහිතව සනාථ කරන්න හැකියාව තියෙනවා නේද?

අපේ රටේ පාසල් අධ්‍යාපනයේ ආරම්භයේ සිටම ලිංගික අධ්‍යාපනය පිළිබඳ හොඳ දැනුමක් ලබා නොදීම පවුල් ප්‍රශ්න තීව්‍ර කරන්න සමත් වී තිබෙනවා. මගේ පාසල් කාලේ ‘ඩිංගිරි මැණිකා’ පොත කියවන්න මට ගෙදරින් අවසරයක් දුන්නේ නැහැ. ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ නවකතාවට එදා සමාජය නොනවත්වා පහර දෙන්න පටන් ගත්තා. අපේ රටේ එදා සිට පැවතියේ බොරු සුචරිතවාදයක්. සම්පූර්ණයෙන්ම බොරු ප්‍රචලිතවාදී සංස්කෘතියක් මගින් අපේ සංස්කෘතික උරුමය විනාශ කර තියෙනවා. වික්ටෝරියානු සංස්කෘතියේ ආභාෂයත් සමගයි මෙම බොරු සුචරිතවාදී අදහස් අපේ රටේ මුල්බැස ගන්නේ. ඒ අනුව අතීතයේ පැවත එන යථාර්ථය බිඳ වැටුණා. එකී සුචරිත සමාජය ලිංගික අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසාම අද පවා සමාජයේ ලිංගිකත්වය, ලිංගික අධ්‍යාපනය පිළිබඳ සරු කථිකාවක් අප තුළ ඇත්තේ නැහැ. අද අපේ රටේ පවුල් ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ ලිංගික අධ්‍යාපනයේ අඩුපාඩුවයි. යුරෝපයේ රටවල ලිංගික අධ්‍යාපනයක් තිබෙන නිසා මේ ප්‍රශ්න ඉතා ක්‍රමවත්ව අඩුවෙලා තියෙනවා. ඒ වගේම මෙවැනි ප්‍රශ්න ඒ සමාජයේ මනා ලෙස කළමනාකරණය කරනු ලබනවා. මේ අතරතුර අතරින් පතර ලාංකික සමාජයේ කාන්තාව, පුරුෂයා අතර ලිංගිකත්වය ලිංගික අධ්‍යාපනය පිළිබඳ යම් ප්‍රමාණයක සංවාදයකට මුල පුරන බවක් පෙන්නුම් කරනවා. එවැනි සංවාද ගොඩනැගෙන්නේ ඉතා සීමිතවයි. මීට වසර 50කට පෙර ගොළු හදවත තුළ කතා කරන මාතෘකාව එදා සමාජය පෙන්නුම් කළා. ඒ සමාජයෙන් ප්‍රතිනිර්මාණය වන දම්මිලා, සුගත්ලාගෙන් පෙන්නුම් කරන්නේද එදා සමාජය තුළ නොතිබුණු ලිංගික අධ්‍යාපනය හේතුවෙන් මනසට වහල් වුණු ජීවිතවල ඛේදවාචකයයි. එදා දවසේ දම්මිලා, සුගත්ලා මීට වඩා පුළුල්ව සිතුවා නම් ඒ අයගේ ආදරයත්, ඊට වඩා යථාර්ථවාදී විය හැකිව තිබුණා. එදා සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ආදරය පිළිබඳ මීට වඩා පුළුල් විග්‍රහයක් තිබුණා නම් අද සමාජය මීට වඩා සාර්ථක මානුෂීය සබඳතා ගොඩනගා ගන්නවාද? මේ අධ්‍යාපනයේ අඩුව නිසා පුද්ගලයා හඳුනා ගැනීම, තේරුම් ගැනීම, සෙනෙහස දැක්වීම, ගෞරවය, රැකවරණය කියන කාරණා අප සමාජයෙන් බැහැරට වී තියෙනවා. ඒ නිසාම පුද්ගල සබඳතා ඇතුළේ ප්‍රශ්න වැඩිවෙලා තියෙනවා. මේ නිසාම නූගත්, නොමේරූ, නිවැරදි නොවන, කුහක, ආත්මාර්ථකාමී ආකල්පවලින් අපේ සමාජය විනාශය කරා ඇදෙනවා. විකෘතිය තමයි අද බොහෝ විට සමාජගතවෙලා තියෙන්නේ. තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා අද සමාජයේ ළමා, තරුණ, වැඩිහිටි පිරිස් ප්‍රකෘතිය වෙනුවට විකෘතිය පසුපස ලුහුබඳින බවක් පෙන්නුම් කරනු ලබනවා. මෙය සමාජයක් හැටියට රටක් හැටියට බරපතළ තත්ත්වයක්. අපේ රටේ සමස්තය විනාශවෙමින් පවතින කාලයක මේ සම්බන්ධයෙන් පමණක් ක්‍රමවත් බවක් කෙසේවත් ඇතිවෙන්නේ නැති බව නම් ඉතා පැහැදිලියි.

දුහුලු බන්දන නවකතාව තුළ ගොඩනැගෙන පුරුෂ මූලික සම්ප්‍රදාය පිළිබඳ ඍණ අගයකින් කතා කරන්නේ ඇයි?

පුරුෂ මූලික සමාජයක් ගැන මගේ විශ්වාසයක් ඇත්තේ නැහැ. පුරුෂයා හා ස්ත්‍රිය සම අයිතිවාසිකම් භුක්ති විඳින සමාජයක් තමයි මගේ බලාපොරොත්තුව. කාන්තාවකට සමාජයේ ඇති අයිතිය පුරුෂයන් හැටියට අප පිළිනොගන්නා තාක් මේ සමාජයේ පවුල කේන්ද්‍රීය කොටගෙන බිහිවන සමාජය තුළ ගැටුම නවතින්නේ නැහැ. පුරුෂයා කේන්ද්‍රීය සාධකය වන සෑම මොහොතකම පවුල තුළ ගැටුම වර්ධනය වන බවක් දුහුලු බන්දන නවකතාව තුළ පෙන්නුම් කරනු ලබනවා. එහි එන අශෝකගේ චරිතය හරහාද මේ තත්ත්වයයි මා පෙන්නුම් කරන්නේ. හැබැයි ෆ්‍රෑන්ක් ළෙන්ගතු බැඳීමක් ඇති කරගනු ලබනවා. ඔහු ස්ත්‍රිය හා බැඳෙන්නේ Art එකක් හැටියටයි. මේක තමයි වෙනස. අනික ඔහු එම කාන්තාවට මොනතරම් අවස්ථාවක් දෙනු ලබනවාද ජීවිතය හුවමාරු කරගන්න. ස්ත්‍රියක්, පුරුෂයෙක් අතර ඇති බැඳීම තහවුරු කරන්න ඔවුන් අතර ජීවිතය හුවමාරු වෙන්න අවශ්‍ය වෙනවා. ජීවිතය හුවමාරු වීමේ   Art  එක පුරුෂයෙක් මෙන්ම ස්ත්‍රියක්ද දැනගත යුතු වෙනවා. එය හොඳ පවුල් සබඳතාවක් ගොඩනංවන්න හේතු සාධකයක් වෙනවා.

ආදරය කලාවක්, ආදරය හැඟීමක්, ආදරය ලිංගික ආශ්වාදයක්. මෙවැනි විවිධ මත අප සමාජය තුළ පවතිනවා. ඔබේ විග්‍රහයට අනුව ආදරය ඇත්තටම කෙබඳු අත්දැකීමක්ද?

මා ඉතා දැඩි ලෙස විශ්වාස කරන්නේ ආදරය කලාවක් ලෙසයි. ආදරය ඉතාම සුන්දර අත්දැකීමක්. ආදරයට ආදරය කිරීම හරහා තමයි මේ සුන්දරත්වය විඳින්න පුළුවන් වෙන්නේ. ආදරය පිළිබඳ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වය අතරම සරු කතිකාවක් තිබිය යුතු වෙනවා. අවබෝධය තියෙන තරමට ගැටුම් අවමයි. අනවබෝධය මත ගැටුම් තීව්‍රවීම වැඩිවෙනවා. පැරණි අප සමාජය තුළ ස්ත්‍රිය, පුරුෂයා මොනතරම් අවබෝධයකින් ආදරය භුක්ති වින්දාද? අපේ සීයලා, ආච්චිලා මොනතරම් ආදරයකින්, සෙනෙහසකින්, රැකවරණයකින් අවබෝධයකින් පවුල් ජීවිතය සුන්දර කරගත්තාද? අපේ සමාජයේ පැවති එකගෙයිකෑම වැනි සංස්කෘතික පසුබිම් හරහාද ස්ත්‍රී පුරුෂ බැඳීම මොනතරම් අවබෝධයකින් යුක්තව සිදුකරනු ලැබුවාද යන්න පැහැදිලි වෙනවා. අනික තමයි පුරුෂයා ස්ත්‍රිය මොනතරම් ඇගැයීමට පාත්‍ර කරනු ලැබුවාද? ඒ තුළ ඔවුන් අතර හොඳ අවබෝධයක් ගොඩනැගුණා. අද පවතින වෙළෙඳ සමාජ තුළ මෙවැනි කලාවකට ඉඩක් ඇත්තේ නැහැ. එය අලෙවි වන ප්‍රමාණය අනුව එහි ගුණාත්මක වටිනාකමත් ගිලිහී තියෙනවා. මේ යථාර්ථයෙන් ගොඩඑන්න බැරි සමාජයකයි අද අප ජීවත්වෙන්නේ. ස්ත්‍රිය හා පුරුෂයාගේ ආදරය කලාවක් ලෙස නොව ඉතා අඩු ලංසුවකට විකිණෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. නව ධනේශ්වර සමාජය ඇතුළත සෑම දෙයටම මිලක් නියම කර තියෙනවා. ස්ත්‍රී, පුරුෂ ආදරයටත් ඒ අනුව මිලක් නියම වෙලා තියෙන්නේ. එහි කලාව අද වියැකී ගිහින්. අද ආදරය නිකම්ම නිකම් ගනුදෙනුවක් බවට පත්වෙලා ඉවරයි. මගේ අදහසට අනුව නම් ආදරය භාවපූර්ණ කලාවක්. එය ගනුදෙනුවක් නොවෙයි.

ඔබේ පළමු නවකතාව මෙවැනි ආකෘතියට අනුව ගොඩනැගෙන්න විශේෂ වූ හේතු සාධක තියෙනවාද?

මගේ ජීවිත කාලයේදී විවාහ දෙකක් සිදුවුණා. ඒ එක්කම මා ඇසුරු කරන ලද විවිධ කාන්තාවන්ට අනුව හා මගේ මිත්‍රයන්ගේ පවුල් පසුබිම තුළ ඇතිවන නොගැළපීම් මගේ මේ ජීවිත කාලයේ අත්දැකලා තියෙනවා. ඒ නිසාම මට දැනුණා මෙවැනි දෙයක් විවරණය කරන්න නවකතාවක් ලියන්න ඕනේ කියලා. ඒ සඳහා මෙවැනි ආකෘතියක් මත පදනම් වෙන්න මට අවශ්‍ය වුණා. මට කතා කලාව පිළිබඳ පාසල් අවධියේ සිට උනන්දුවක් තිබුණා. ඒත් මෙය යථාර්ථයක් බවට පත්කර ගන්න පසුගිය කාලපරිච්ඡේදය තුළම මට නොහැකි වුණා. එයට එක් හේතුවක් වන්නේ මා නිරත වූ අනෙකුත් ක්ෂේත්‍රයන්හි ගැඹුරට අවධානය යොමු කිරීම මාධ්‍යයකට අවතීර්ණ වන ඉඩකඩ සීමා කරනවා. මෙහි ඇතුළත් ඇතැම් සිද්ධීන් මා අත්දුටු සිද්ධීන්. ඒවාත් සමග ප්‍රබෝධයක් මතුවුණේ. මේ බන්දනය තද නැහැ. කිසිම බන්දනයක් තද නැහැ. ඕනෑම වෙලාවක කැඩෙන්න පුළුවන්. සබඳතා ඉදිරියට රැගෙන යන්නේ හැඟීම් සමගයි. හොඳට හෝ නරකට අප අතර පවතින සියලු බැඳීම් දුහුලු බන්දනයකින් ගොඩනැගී තියෙනවා.