රාමචන්ද්‍ර ගුහා මහත්මා ගාන්ධි සහ චරිතාපදාන ශානරය

සම්පත් බණ්ඩාර

“ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නිකරුණේ ජීවත් නොවෙති. ලෝක ඉතිහාසය වනාහි අනෙකක් නොව, ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිතාපදානය. මානව වංශ කතාව නිර්මාණය වී ඇත්තේ එවැන්නන්ගේ චරිත කතා සහ ඔවුන් කළ කී දෑ මතිනි….”
කීර්තිමත් ඉතිහාසඥ
තෝමස් කාලයිල් (1795-1881)
චරිතාපදාන සාහිත්‍යය හා චරිතාපදානමය ශානරය (biographical genre)  පිළිබඳව කතාබහ කිරීමේදී අතිශය වැදගත් වන කෘතියක් ඉකුත් දා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී නිකුත් විය. එහි කතුවරයා ඉන්දියාවේ පමණක් නොව වත්මන් ලෝකයේම සිටින විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන  (non-fiction)  ලේඛකයකු සහ ඉතිහාසඥයකු ලෙස පිළිගැනීමට ලක්වන රාමචන්ද්‍ර ගුහා  (Ramachandra Guha)  ය. කෘතිය  ‘Gandhi – the Years that changed the World’ ය. මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරයේ ආරම්භයත් සමගම මෙම කෘතිය පිළිබඳවත් එහි කතුවර රාමචන්ද්‍ර ගුහා පිළිබඳවත් ලොව පුරා විද්වතුන් අතර සංවාදයන් ඇතිවී තිබේ.
මේ පිළිබඳව කිසියම් සටහනක් තැබීම මගේ ලිපියේ අරමුණයි. මෙය ගුහා රචනා කළ මහත්මා ගාන්ධි චරිතාපදානයේ දෙවන වෙළුමයි. පළමු වෙළුම ‘Gandhi – Before India’  නමින් 2013 වසරේදී නිකුත් විය. අතිශය පාඨක විචාරක අවධානයට ලක්වූ එම කෘතිය පිටු 674කින් සමන්විත විය. ඔහුගේ මෙම නව කෘතිය පිටු 1132කින් සමන්විත වූ ප්‍රමාණයෙන් තරමක් විශාල එකකි. මේ අනුව සමස්ත චරිතාපදානය සඳහා වෙන්වී ඇති පිටු සංඛ්‍යාව 1806කි. පළමු වෙළුම සඳහා 1869 වසරේ ගාන්ධිගේ උපතේ සිට 1914 දක්වා වසර හතළිස් පහක කාලයද, දෙවැනි වෙළුම සඳහා ගාන්ධි ඉන්දීය නිදහස් ව්‍යාපාරය උදෙසා අවතීර්ණ වූ 1914 සිට ඝාතනයට ලක්වූ 1948 දක්වා තිස් හතර වසරක කාලයද අන්තර්ගත වෙයි.
රාමචන්ද්‍ර ගුහාගේ නවතම කෘතිය වන  ‘Gandhi; the years that changed the world, (1914-1948)’ මහත්මා ගාන්ධි පිළිබඳ මෙතෙක් රචනා වූ විශිෂ්ටතම චරිතාපදාන කෘතිය ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලැබේ. ‘සිඞ්නි මෝර්නිං හැරල්ඞ්’ පුවත්පත සඳහන් කරන්නේ එය ඉන්දීය ජාතියේ විශිෂ්ටතම වෘතාන්තය  (Nation’s Greatest Story)  බවයි.
රාමචන්ද්‍ර ගුහා භාවිත කරන බෙහෙවින් කාව්‍යාත්මක එහෙත් සරල, සුමට බස් වහර ඔහුගේ වියමන්හි දැකිය හැකි එක් විශේෂ ලක්ෂණයකි. ඉංග්‍රීසි බස ඔහු ඉංග්‍රීසි ජාතිකයකුටත් වඩා බුහුටි ලෙස හසුරුවයි. යම් යම් සිද්ධීන් නිවැරදි වේලාව සමගම සටහන් කර තිබීම විරල ලක්ෂණයකි.  (Ghandhi arrived in London at 4 pm on Saturday, 12  September, පිටුව 397) මෙවැනි නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමට හැකිවී ඇත්තේ ඔහු වසර ගණනාවක් විමර්ශනය කළ දැවැන්ත ලිපි ලේඛන, පොත්පත් හා පුවත්පත් සංඛ්‍යාව නිසාය. ගුහා මේ වෘහත් චරිතාපදානය රචනා කිරීම සඳහා ලොව පුරා ලේඛනාගාර  (archives)  හැටකට වැඩි සංඛ්‍යාවකට ගොස් පර්යේෂණ පැවැත්විය. ඉන්දියානු ජාතික ලේඛනාගාරය, නවදිල්ලිය, මහාරාෂ්ට රාජ්‍ය ලේඛනාගාරය (මුම්බායි) මුම්බායි විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, උත්තර ප්‍රදේශ් රාජ්‍ය ලේඛනාගාරය, (ලක්නව්), බි්‍රතාන්‍ය පුස්තකාලය, බි්‍රතාන්‍ය ජාතික ලේඛනාගාරය, ෆ්‍රෙන්ඞ්ස් හවුස් (ලන්ඩන්), සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු මධ්‍යස්ථානය, කොංග්‍රස් පුස්තකාලය (වොෂින්ටන් සී.සී.) නිව්යෝර්ක් මහජන පුස්තකාලය, හාවඞ් විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය පුස්තකාලය ඉන් කිහිපයක් වන අතර, නවදිල්ලියේ නේරු අනුස්මරණ පුස්තකාලය මෙන්ම ගාන්ධි වසර ගණනාවක්ම ගත කළ අහමදාබාද්හි සබ්රමනි ආශ්‍රමයේ ඇති ලේඛනාගාරය මාහැඟි දැනුම් ගබඩාවක් වූ බව ගුහා සඳහන් කළේය.
මහත්මා ගාන්ධි පිළිබඳ ලියැවී තිබුණු සියලුම වැදගත් චරිතාපදාන විමර්ශනයට ලක් කරන ගුහා 1920 වසරේ සිට ගාන්ධිගේ සහකාර ලේකම් ලෙසද, 1942 වසරේ සිදුවූ මහාදේව් දේසායිගේ අභාවයෙන්පසු පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කළ පියරෙලාල් නායර් මහත්මා ගාන්ධිගේ පෞද්ගලික වෛද්‍යවරිය ලෙස කටයුතු කළ සිය සොයුරිය වෛද්‍ය සුසිලා නායර් සමග අඩක් නිම කළ අක්‍රමවත් චරිතාපදානය හා ඔවුහු එක් රැස් කළ ඉතා අගනා තොරතුරු සම්භාරය පිළිබඳ සඳහන් කරයි. 1948 වසරේ ගාන්ධිගේ අභාවයෙන්පසු ගාන්ධි වාසය කළ (1936-46) ‘සවග්‍රම්’ ආශ්‍රමය වෙත යන නායර් එහි ඇති වැදගත් ලේඛන තොගය රැගෙන ආපසු දිල්ලිය වෙත එයි. මෙම ඉතා වැදගත් හා රසවත් ලිපි ලේඛන, තොරතුරු දින සටහන් තොගය කාඞ්බෝඞ් පෙට්ටි සියයකට ආසන්න සංඛ්‍යාවක බහාලීමට තරම් විශාල බව ගුහා පවසයි. දක්ෂ ලේඛකයකු වුවද, පුහුණු ඉතිහාසඥයකු හෝ පර්යේෂකයකු නොවුණු ප්‍රියරෙලාල් නායර් හා ඇගේ සොහොයුරිය මේ ලිපි ලේඛන කාලාක්‍රමානුකූලව පිළිවෙළකට සැකසීමට හා වර්ගීකරණය කිරීමට අසමත් වී ඇති බව කියන ඔහු මෙම අතිදුර්ලභ තොරතුරු තොගය පරිශීලනය කිරීමට භාග්‍ය ලත් ප්‍රථම චරිතාපදානකරුවා තමා බව පවසයි. 1982 වසරේ පියරෙලාල් මිය යන අතර, 2000 වසරේ ඔහුගේ සොයුරිය වෛද්‍ය සුශිලා නායර්ගේ අභාවයෙන් අනතුරුව මේ දුලබ ලේඛන තොගය නවදිල්ලියේ නේරු අනුස්මරණ පුස්තකාලය සතුව සුරැකිව පැවතුණි. රාමචන්ද්‍ර ගුහා ගාන්ධි පිළිබඳ එතෙක් ලියැවී තිබුණු වැදගත්ම චරිතාපදානය ලෙස සලකන්නේ ඩී.ජී. තෙන්ඩුල්කාර් ලියූ වෙළුම් අටකින් සමන්විත කෘතියයි. මහත්මා ගාන්ධි පුවත්පත් සඟරා ආදියට ලියූ ලිපි ලේඛන හා ඔහු ලියූ ලිපි හා අත්ලිපි ඇසුරෙන් සකස් කළ වෙළුම් දහයකින් යුත් ‘Collected Works”  ඔහුට වැදගත් මූලාශ්‍ර රැසක් සපයා තිබේ.

මෙම දීර්ඝ පර්යේෂණයේදී හින්දි බසින් ලියැවී තිබූ ලේඛන ගුහා විසින්ද, ගුජරාටි, ප්‍රංශ සහ ජර්මන් බසින් ලියැවී තිබුණු ලිපිවල පරිවර්තන පරිවර්තන වෙනත් කිහිපදෙනකුගේ සහයෙන්ද ලබාගෙන තිබේ. ග්‍රන්ථයේ පිටපත මුද්‍රණයට යැවීමට පෙර ප්‍රකට ඉතිහාසඥයන් දෙදෙනකු වන ඬේවිඞ් ගිල්මර් සහ ශ්‍රීනාත් රාඝවන් මෙන්ම මහත්මා ගාන්ධි පිළිබඳ හැදෑරූ විද්වතුන් දෙදෙනකු වන ගෝපාලක්‍රිෂ්ණ ගාන්ධි සහ ඊ.එස්. රෙඞ්ඩි වෙත යවා ඔවුන්ගේ අදහස් විමසීමට ඔහු අමතක නොකළේය. මීට අමතරව නවදිල්ලියේ, ලන්ඩනයේ, කැනඩාවේ ටොරොන්ටෝ නුවර සහ නිව්යෝර්ක් නුවර සිටින වෘත්තීය නිපුණත්වයකින් හෙබි සංස්කාරකවරුන් සිවුදෙනකු විසින් මේ කෘතිය යළි යළි සංස්කරණයට ලක් කර තිබේ. ගුහාගේ මේ පරිසමාප්ත කෘතිය සියලු චරිතාපදාන රචකයන්ට මෙන්ම අපේ රටේ බොහෝ ලේඛකයන්ටද අතිශය වැදගත් ආදර්ශ සහ පාඩම් සපයයි. මෙසේ දැඩි පරිශ්‍රමයක් දරා සම්පාදනය කළ සම්භාවනාවට පාත්‍ර වූ චරිතපාදන කෘති රැසක් තිබේ. උදාහරණ ලෙස ජෙරල්ඞ් මාටින් ගෙබ්රියල් ගර්ෂියා මාකේස්ගේ චරිතාපදානය රචනා කිරීම සඳහා වසර විස්සක කාලයක් වෙහෙස විය. මාකේස් සමග තුන්සීයකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. මාරියෝ වර්ගාස් ලෝසා, ෆිදෙල් කැස්ත්‍රෝ, පිලිප් ගොන්සාලේස්, මාකේස්ගේ පවුලේ සාමාජිකයන් මේ අතර වෙති. ඒ සඳහා ඔහු කොලොම්බියාව කියුබාව පමණක් නොව ලතින් ඇමරිකානු රටවල් කිහිපයකම සංචාරය කළේය. ජෝන් ඇන්ඩර්සන් ‘චේ’ චරිතාපදානය ලිවීම සඳහා ලතින් ඇමරිකානු රටවල් කිහිපයකටම ගිය අතර වසර පහළොවක් ගත කළේය.

හැටවැනි වියේ පසුවන ඉන්දීය ලේඛක, මහාචාර්ය රාමචන්ද්‍ර ගුහා උපත ලැබුවේ නවදිල්ලියෙන් කිලෝමීටර් 236ක් උතුරින් හිමාල කඳු පාමුල පිහිටි ‘ඩෙහ්රාඩුන්’  (Dehradun)  නගරයේය. ඔහු කීර්තිමත් පුද්ගලයන් රැසක් අධ්‍යාපනය ලැබූ ප්‍රකට ඩූන් පාසලෙන්  (The Doon School)  මූලික අධ්‍යාපනය ලබා දිල්ලි විශ්වවිද්‍යාලයෙන් මෙන්ම වෙනත් රටවල විශ්වවිද්‍යාල කිහිපයකින් උපාධි ලබා යේල් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධිය ලැබීය. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය, ඔස්ලෝ විශ්වවිද්‍යාලය හා ස්ටැන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ ඔහු පූර්ණකාලීන විශ්වවිද්‍යාල ඇදුරු ජීවිතයෙන් සමුගෙන දැන් පූර්ණකාලීන ලේඛකයකු ලෙස කටයුතු කරයි. ඔහු කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාල පිළිබඳ ආරාධිත මහාචාර්යවරයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම ඉන්දියාවේ බැංගලෝර් නුවරද පදිංචිව සිටින ඔහුගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයන් වන්නේ පරිසර විද්‍යාව, ක්‍රිකට් ඉතිහාසය, සමාජ විද්‍යාව හා දේශපාලනයයි.

රාමචන්ද්‍ර ගුහා මේ දක්වා පළකර ඇති කෘති 17 අතරින් ලොව වඩාත් කතාබහට ලක්වූ ඒවා ලෙස ඔහු පාරිසරික ඉතිහාසය අළලා ලියූ ‘The Unquiet Woods’ (1989),  ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය සමාජ විද්‍යාත්මක කෝණයෙන් නිරීක්ෂණය කරමින් ලියූ ‘A Corner of a Foreign Field’ (2002)  වත්මන් ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලියූ  ‘India After Gandhi’ (2007)  සහ මහත්මා ගාන්ධි චරිතාපදානයේ පළමු වෙළුම .ඨයබායස ඊැදෙරු ෂබාස්. :2013* දැක්විය හැකිය.

විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ, තව තවත් කීර්තියට පත්වෙමින් සිටින ලේඛකයකු ලෙස හැඳින්විය හැකි රාමචන්ද්‍ර ගුහා ඉන්දියාවේදී මෙන්ම ඉන් බැහැරද ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි. ඒ අතර ආර්.කේ. නාරායන් ත්‍යාගය (2003), ඉන්දීය සාහිත්‍ය ඇකඩමි සම්මානය (2012), ෆුකෝකා ත්‍යාගය (2015) මෙන්ම 2014 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කරන ලද ගෞරව ආචාර්ය උපාධියද විශේෂය.

‘GANDHi; the Years that changed the World’ චරිතාපදාන රචකයන්ට, චරිතාපදාන රචනා කිරීම සඳහා බලාපොරොත්තු වන තරුණ ලේඛකයන්ට මෙන්ම මහත්මා ගාන්ධි පිළිබඳ මෙන්ම ඉන්දීය නිදහස් අරගලය, තිස් හතර වසරක භාරතීය දේශපාලන ඉතිහාසය, ලෝක යුද්ධ දෙකක් අතර මහා දේශයක දේශපාලන බලතුලනය පිළිබඳ හදාරන්නන්ටද මාහැඟි, පරමාදර්ශී කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
ඕස්ටේ්‍රලියාවේ පළවන ‘සිඞ්නි මෝර්නිං හැරල්ඞ් පුවත්පත මෙම කෘතිය ගැන මෙසේ සඳහන් කරයි. 

‘A great man has found a greatbiographer….’

‘ශ්‍රේෂ්ඨ මිනිසකුට ශ්‍රේෂ්ඨ චරිතාපදාන රචකයකු හමුවී තිබේ….’