කයිවාරු මිස වැඩ නැති ක්‍රීඩා ඇමති

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩා ඇමතිවරයාගේ ඈලි-මෑලි ක්‍රියා කලාපය නිසා ක්‍රීඩාව තිබුණු තැනින්ද පහළටම වැටෙන තත්ත්වයට පත්ව ඇත. ජනාධිපති නීතිඥයකු ලෙස පුරසාරම් ඇද බෑවද ක්‍රියාවේදී ඇමතිවරයා ගොඩ පෙරකදෝරුවකුට අන්ත වී ඇත. අද වනවිට ක්‍රීඩා සංගම් ගණනාවක්ම අයාලේ යන තත්ත්වයට පත්ව ඇත්තේ ඇමතිගේ මේ සටකපට ක්‍රියාකලාපය නිසාය. ඔහු ගමේ ගැහැනු ළිං ළඟ කේලම් කියන ගාණට පත්වී ඇත. අද මාධ්‍යවල පළවන බොහෝ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ ක්‍රීඩා ඇමතිය. අපි එය ඉතා වගකීමෙන් කියමු. අන් කවරදාටත් වඩා ක්‍රීඩා ඇමති මාධ්‍ය සගයකු වී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍යවේදීන් වී ඇත. ඔවුහු තම ආයතනවලට වඩා කල්ගත කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේය.

මේ හේතු අනුව බොහෝ මාධ්‍යවල යන එකම පන්නයේ ප්‍රවෘත්ති නිපදවෙන්නේ ක්‍රීඩා ඇමතිගේද දායකත්වයෙනි. සරල උදාහරණ දෙකක් ගමු. එකක් පාපන්දුය. අනෙක පිහිනුම්ය. මුලින්ම අපි පාපන්දුවට එමු.

පාපන්දු ගැටලුව

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ආසියානු පාපන්දු සම්මේලනය ගෙනා ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත ප්‍රකාශ කළේය. එය මෙරට විදේශ ප්‍රතිපත්තියට පටහැනි බැවින් ක්‍රීඩා ඇමතිවරයා මේ ගත් තීන්දුවට එකහෙළාම විරුද්ධය. ඇමතිවරයා මේ සම්බන්ධ මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අදහස් ලිහා බැලිය යුතුය.

“මම පාපන්දු සම්මේලනයට කිව්වේ හරි දේ කරන්න කියලා. මේ ව්‍යවස්ථාවට සහය දැක්වීමට පෙර මම විදේශ ඇමතිවරයාගෙන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ අදහස් ලිඛිතව ලබා ගත්තා. ඔවුන් පැවසුවේ මේකට සහය දැක්වීම භයානක වැඩක් බවයි. මේකට අපි සහය දැක්වුවහොත් ඊළඟට ඕනෑම වෙලාවක ශ්‍රී ලංකාවේ අනුදැනුම නැතිව පත්වන නිලධාරියකුට මේ හරහා ශ්‍රී ලංකාවට එරෙහිව විරුද්ධව වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා” යනුවෙනි.

මේ ගන්නා වූ තීන්දුව රටට අවැඩක් වුවද, ඒ බව පාපන්දු සංගමයේ බලධාරීන්ව දැනුවත් කළද ඇමතිවරයා ගණන් නොගෙනම පාපන්දු බලධාරීන් කර ඇත්තේ තමන් ගත් දැඩි තීන්දුව ක්‍රියාත්මක කිරීමය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ඒ වෙනුවෙන් මාධ්‍යයට දී තිබූ අදහස් මෙබඳුය.

“රටවල් බහුතරයක් ඊට අනුමැතිය දුන්නා. විරුද්ධ වුණේ රටවල් හතරයි. ඉතින් අපිත් අනුමැතිය දුන්නා” වැනි කතාවකි. එයින්ම පැහැදිලි එක් කරුණක් ඇත. එනම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රට ගැන සතේකට මායිම් කොට නැති බවය. අනෙක් අය අත ඔසවන්නේ නම් එවිට අත ඔසවන්ට සභාපති කෙනෙක් වුවමනාද? එය ඕනෑම කෙනකුට කළ හැකි නොවේද? ක්‍රීඩා ඇමතිවරයාට ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පවා විමසා කරුණු සෙවිය හැකි නම් පාපන්දු බලධාරීන්ට ක්‍රීඩා ඇමතිවරයාට අවනත විය නොහැක්කේ ඇයි?

මේ පිටුපස ඇත්තේ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙක් සල්මාන් බව පැහැදිලිය. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඔහුගේ යහපතට ඔහුගේ මූලිකත්වයෙනි. රටට කෙසේ වෙතත් ඊට කැමැත්ත පළ කිරීම හරහා ඒ ඒ රටවල සභාපතිවරුන්ට ලැබෙන සන්තෝෂම විශාල බව පැහැදිලිය. ලංකාවේ ඡන්දය ක්‍රීඩා ඇමතිටද මායිම් නොකර සල්මාන්ගේ කැමැත්තට ලබාදෙන්නේ ඇයිද යන්න ඉන් මනාව පැහැදිලිය.

එසේ නම් මෙවන් අවස්ථාවක ක්‍රීඩා ඇමතිවරයා කළයුත්තේ තමාව මායිම් නොකරන රටේ ඒකමතික තීන්දුවකට ගරු නොකරන තම වාසියට අභිමතයට කටයුතු කරන පුද්ගලයෙක් එම තනතුරෙහිම රඳවන්නද? රටේ ඒකමතික තීන්දුවක් තම අභිමතයට ප්‍රකාශ කළ මොහොතේම ඔහුව ඒ තනතුරුවලින් ඉවත් කොට අප ඒ මතයට රටක් ලෙස විරුද්ධ බව මුලින්ම පෙන්වා දිය හැකි වුවත් ක්‍රීඩා ඇමතිවරයා කරනුයේ බළලුන් ලවා කොස් ඇට බෑවීමය.

ක්‍රීඩා ඇමතිවරයාගේ ඍජු තීරණ ගැනීමේ හැකියාවක් ඇත්තේ මන්දගාමීවය. ඔහු ඒ වෙනුවට කරනුයේ තම හිතවත් මාධ්‍යවේදීන් කැඳවා පාපන්දු ප්‍රශ්නය ගැන මගෙන් අහපු විදිහට මම කියපු විදිහට මෙහෙම ලියන්න යැයි උපදෙස් දීමය. එවිට මාධ්‍ය ලියනුයේ පාපන්දු සම්මේලනය විසුරුවා හරිනවා. අතුරු කමිටුවක් පත්කරනවා ඇමති කියයි යනුවෙනි. ඇමති කියයි. මේ මාධ්‍යවේදීහු ලියති. ඒත් ප්‍රශ්නය එතනමය. දැන් ප්‍රශ්නය නිර්මාණය කරන්නෙත් ඊට පිළිතුරු බඳින්නෙත් ඇමතිය. එහෙත් ක්‍රියාත්මක කරනුයේ කවුද? එය අසන්නට මාධ්‍යයට මතකයක් නැත. අතුරු කමිටුවක් පත් කරනවා යැයි කියමින් බොරු සංදර්ශන නොදා අතුරු කමිටුවක් පත් කර මේ ගත් තීන්දුව වෙනස් කරගන්නට ක්‍රියා නොකරන්නේ ඇයි?

පිහිනුම් ප්‍රශ්නය

පිහිනුම් සංගමයේ නිලධාරීන් අරබයාද ඇමති අනුගමනය කරනුයේ මේ ප්‍රතිපත්තියමය. මාධ්‍යවේදීන්ට කියනුයේ පිහිනුම් ප්‍රශ්නය අදින්න, මගෙන් අහන්න මොනවද කරන්නේ කියලා. මම පිහිනුම් අතුරු කමිටුවක් පත් කරනවා කිව්ව කියලා ලියන්න. මේ ඇමතිගේ රංගනයයි.

පිහිනුම් සංගමයේ හිටපු නිලධාරීන් පැදුරටත් නොකියා මාරුවූයේ ගිය වසරේය. ඒ නිකං නොව කෝටියකට අධික මුදල් ප්‍රමාණයකට කළ දේ කියාගත නොහැකිවය. එය බරපතළ ප්‍රශ්නයක් වුවත් එවකට ක්‍රීඩා බලධාරීන්ටද ඒවා ප්‍රශ්න නොවීය. පිහිනුම් සභාපති ලේකම් සල්ලිත් රැගෙන මාරු වෙද්දී පිහිනුම් සංගමයේ සුක්කානම භාරගත්තේ හිටපු උප සභාපතිවරයකුය. ඒ මොහොතේ ඔහු කළේ කළයුත්ත වුවත් ඒ සැණින් පිළියම් යොදා නිවැරදි කිරීම මුදල් රැගෙන ගියවුන්ට එරෙහි පරීක්ෂණ කිරීම ක්‍රීඩා ඇමති ප්‍රමුඛ බලධාරීන්ගේ වැඩකි. එය අද හෙට කරනවා යැයි කියමින් කල් මැරීය. එයින් සිදුවූයේ කිසිදු ප්‍රශ්නයක් නොවූ ගාණට වැඩ බලන අය වැඩ බලාගෙනම කල්ගත කිරීමය.

එය කොතෙක් සාමාන්‍ය වූවේදයත් මෙවර පිහිනුම් නිලවරණය එනවිට වැඩ බලන අය ස්ථිරයටම වැඩ බලන්නට අවසර ඉල්ලා සිටින තැනට පත්විය. දිගු කාලයක් වැඩ බලන සභාපති විය හැකි නම් ස්ථිර සභාපති විය හැකිනම් ස්ථිර සභාපති කෙනකු වීමට ඇති බාධාව කුමක්ද? හදිසියට වැඩ බැලුවද මේ වැඩ බැලූ හැමෝම පුහුණුකරුවන්ය. පුහුණුකරුවන් සංගම්වල ප්‍රධාන නිලතල දැරීම නීතියට මෙන්ම රීතියටද පටහැනිය. ඒ නිසා ක්‍රීඩා පනත අනුවම එය ප්‍රතික්ෂේප කරන්නකි. ක්‍රීඩා පනත ක්‍රියාත්මක කළයුත්තේ ක්‍රීඩා ඇමතිය. එසේ නොවේ නම් ඇමතියකු කුමකටද? ඇමතිට ඇති ප්‍රධාන ආයුධය ක්‍රීඩා පනතය. එහෙත් ඇමති පනත පැත්තකට දමා මාධ්‍යයට කියනුයේ පිහිනුම් පැනය ලියන්න. ඔයාලා සද්ද නොකර ඉන්න එපා. දැන් මිනිහට බැහැ කිව්වහම ගෑනි දානවා. මම ඉන්නකම් ඒවා කරන්න දෙන්නෙ නෑ. මම මිනිහවයි, ගෑනිවයි දෙන්නම පන්නනවා. මේ ඇමති පොළොන්නරුව ජාතික ක්‍රීඩා උළෙල අතරතුර මාධ්‍ය සමග සුහද කතාබහකදී කියන දෑය. මේවා වෙන්න දෙන්න එපා. ඔයාලා මේ ගැන එළියට ගන්න. ඔයාලා ගත්තහම තමයි මට තීන්දු ගන්න පුළුවන්.

මේ නම් ඇමතිගේ තක්කඩිකමකි. ඔහුම මාධ්‍ය ලවා ප්‍රශ්න ලියමින් උත්තර සපයමින් ඒ ප්‍රශ්නය ඒ අයුරින්ම තිබෙන්නට හරී. මින් ගම්‍යවන්නේ ඇමති දෙබිඩි තක්කඩි ක්‍රියාවක් කරන බවය. එනම් මාධ්‍ය ලවා ඔහුව මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඉහත නිලධාරීන්ට උඹලා හිටපං ඔය කෑගැහැව්වට මම මුකුත් කරන්නේ නැහැ පන්නයේ චරිතයක් පණ පොවන බවය. එය ඉතාම පැහැදිලිය. මන්ද මාධ්‍යයට මේ ප්‍රශ්න අදින්න කියන ඇමතිම එයට විසඳුම් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? අතුරු කමිටු දානවා යැයි මාධ්‍යයට කියන ඇමති අතුරු කමිටු නොදමන්නේ ඇයි? ඇමති මාධ්‍ය සංදර්ශනකාරයෙක් වී ඇත. බොරු සෝබනකාරයෙක් වී ඇත. මාධ්‍යයද ඒ උගුලට හසුවී ඇත. අද මාධ්‍ය ක්‍රීඩා පුවත් මවනුයේ ඔහුගේ කාර්යාලයේ සිට හෝ ඇමති ඇමතුමකටය. එහෙත් ඒවාට විසඳුම් නැත. මාධ්‍යයට චණ්ඩි උත්තර දීමත්, සංගම් නිලධාරීන් සමග හොරෙන් කටයුතු කිරීමත් මේ ඇමතිගේ වැඬේ බව පැහැදිලිය. එය ලැජ්ජා නැති හිරිකිත වැඩක් බවද කිව යුතුය. ඇමති කයිවාරු බොරු රඟපෑම් පසෙක තබා දැන්වත් කියන දේ කරන්නැයි ඉල්ලමු.

මලල ක්‍රීඩාව

පාරමීගේ ජයග්‍රහණයත් ඉන්පසු කලඑළි බැසි අඩුපාඩු කන්දරාවත් නිසා බොහෝ අයගේ ඇස් පෑදුණා සේම හිත් පෑරුණු බවද නොරහසකි. පෑරුණු හිත් නිසා පෑදුණු ඇස් නොපෙනී ගියාද සහතිකය. අද ඉතිරිව ඇත්තේ කුමක්ද? කතා කළයුතු බොහෝ දේ පාරමී පාදා ගත්මුත් සුසන්තිකා එය අතුගා දැමුවාය. ක්‍රීඩිකාවකට එරෙහිව ක්‍රීඩිකාවකම යොදා ගන්නට තරම් ක්‍රීඩා ඇමති කපටියා විය. පාරමීට ලබා නොදුන් රුපියල් 70,000ට වඩා සුසන්තිකාට ලබාදෙන රු. 80,000 ජය ගත්තාය. මේ වූ කලී කුලියට කැහීමය.

පාරමී සුසන්තිකා වාදය අහවර කළේ මලල ක්‍රීඩාව ගැන මේ මොහොතේ කළයුතු වාදයය. අද මලල ක්‍රීඩාව යළි ගොඩනැගීම ලේසි පහසු නැති මොහොතක යොවුන් ඔලිම්පික් උළෙල එක් කළේ කිවනොහැකි අත්වාරුවකි. එහෙත් එය ගෙන නැගිටින්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් හෝ ක්‍රීඩා බලධාරීන් අපොහොසත්වීම දුක්ඛදායකය.

පාරමීගේ පදක්කම ගැන කතා කොට සියල්ල අල කොට දැමූ මුත් අප අමතක නොකළ යුත්ත නම් මෙම ක්‍රීඩා උළෙලේදී පදක්කම් නොලද තවත් ක්‍රීඩකයන් තිදෙනෙක්ම ලොව පළමු ක්‍රීඩක දසදෙනා අතර සිටි බවය. පාරමී තුන්වැනියාව ලෝකඩ පදක්කම ගෙලලා ගනිද්දී සනුරි අමරසිංහ සිව්වන තැන ලැබුවාය. ඩිලාන් බෝගොඩ ලොව හත්වැනියා විය. ෂෙලින්ඩා ජැන්සන් ලොව නවවැනියා විය. ඇය මීටර් 200 ඉසව්වේදී පෑ දස්කම අපූරු මෙන්ම අනාගත ගමනක් ඇති බවට පෑ පෙරහුරුවක් බඳු විය. යොවුන් ඔලිම්පික් උළෙලේදී පාරමී ඇතුළු මේ පිරිස ගැන කතාබහ අලුත්වද්දී ඊට පෙර අරුණ දර්ශන, අමාශා ද සිල්වා, ඩිල්ෂි කුමාරසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මලල ක්‍රීඩාව තුළ තමන්ට මෙන්ම රටටද ගමනක් යා හැකි බව ඔප්පුකර පෙන්වීය.

එහෙත් ආසියානු ක්‍රීඩා උළෙලේදී හිස් අතින් මෙරටට ඒමත් සමග ඒ බලාපොරොත්තු යට ගියේ ලංකාවේ හැමදේම ජයග්‍රහණ මත පමණක් ගොඩ නගන්නට උත්සාහ කරන නිසාය. එයද එසේ නොවන බව මේ වනවිට පැහැදිලිය. පාරමීව අද ඉදිරි පියවර සඳහා ක්‍රීඩා බලධාරීන් රැගෙන යන්නේද ඒ සඳහා ඇති කර ඇති සැලසුම් කුමක්ද? පාරමීගේ කතා අල්ලාගෙන සුසන්තිකා ලවා පිළිතුරු බැඳීම ඇරුණු කොට ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා ඇමති කළේ කුමක්ද?

මලල ක්‍රීඩා සංගමයේ නිලතලවලට එන නාකි මහත්වරු සංගමයට වී විශ්‍රාම සුව විඳිනවා හැර මේ ක්‍රීඩාව නගා සිටුවන්නට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? ක්‍රීඩාව අද වනවිට තියෙන්නම් වාලේ තියෙන ගුබ්බෑයම් බවට පත්වී ඇත. ක්‍රීඩා පනත නොව කුමක් වෙනස් කළද මේ කිසිවකින් ගොඩයෑමක් පෙනෙන මානයක නොපවතී. අපිට ඇති සම්පතුත් අපි හිතාමතාම සඟවන්නේ නම් කුමක් කරමුද?