රංගනගේ, රංගනය තාත්විකයි

ජගත් ප්‍රේමචන්ද්‍ර

හේරත් බණ්ඩාර මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් හෙවත් අපි කවුරුත් දන්නා රංගන හේරත් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ක්‍රියාත්මකවෙමින් පවතිනුයේ. 1999 සැප්තැම්බර් මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන රංගන මේ ක්‍රීඩා කරනු ලබන්නේ තම 93 වැනි ටෙස්ට් තරගයට ය. ගාල්ලෙන් ආරම්භ කර ගාල්ලෙන් ම නික්ම යන මේ සහෘදයා ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ අතිගෞරවයෙන් ලියා තැබිය යුතු ම පරිච්ඡේදයකි.

ඔහු වසර 19ක් පුරා ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටියේ පන්දු යවන්නෙක් ලෙසින් ම නොවේ. අවශ්‍ය අවස්ථාවක දී පිතිකරණයෙන් ද සහයෝගය දැක්විය හැකි එමෙන් ම නායකයෙක් ද ලෙසිනි.
රංගනට තමන්ගේ රංගනයේ යෙදෙන්නට තවත් කෙනෙක්ගේ සමුගැනීම සිදුවන තෙක් බලා සිටීමට සිදුවිය. ඒ තරම් අවාසනාවක් තවත් නොවන්නට ඇත. එහෙත් රංගන තම අවස්ථාව ලැබෙන තුරු සිටියේ ය. ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා ලෙසින් හැඳින්වෙන මුත්තයියා මුරලිදරන් පිටියේ සිටිද්දී රංගනට කණ්ඩායමේ කුමන ස්ථානයක් ද?

එහෙත් රංගන, මුරලි ද සමගින් හරි හරියට පිටියේ පෙළහැර පෑවේ ය. ඒ ලැබුණ සීමිත වූ අවස්ථාවන්වල දී ය. හරියට මේ දිනවල රංගන සමග හරි හරියට පෙළහර පාන ඩිල්රුවන් පෙරේරා හා සමානවය. රංගන මුරලි ගෙන් බොහෝ දේ උගත්තේ ය. ඒ බැව් ඔහු නොසඟවා පවසයි. මුරලි සමගින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනවාට වඩා රංගනගේ ආසාව වී ඇත්තේ ක්‍රීඩා පිටියෙන් පිටත සිටිමින් තරග නැරඹීමට ය. ඒ ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබූ නිසා බවය ඔහු පවසා තිබුණේ. කෙසේ වෙතත් මුරලි සමගින් හෝ ඔහු නොමැතිව එකල රංගනට ලැබූ සීමිත අවස්ථාවන්වලින් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තේ ය. ඒ ලැබූ සෑම අවස්ථාවන් ම වඩාත් සාර්ථක වීමට උපයෝගී කර ගත්තේ ය.

තමන්ගේ දක්ෂතාව සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසය තබා තිබූ රංගන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ලක් දෙරණෙන් බිහි වූ හොඳම දඟ පන්දු යවන්නාගේ ලේබලය තමන් සන්තක කර ගත්තේ ය.
රංගනගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ පාකිස්තානයට එරෙහි ව 2014 වසරේ කොළඹ එස්. එස්. සී. පිටියේ දී ලකුණු 127කට ලබා ගත් කඩුලු 9යි. තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ද එම තරගයේ දී ම ලකුණු 184කට දවා ගත් කඩුලු 14යි.

එම වාර්තාවන්ට අමතර ව රංගන නමින් ටෙස්ට් පිටියේ ලියැවුණ වාර්තාවන් බොහෝ ය. වමත් දඟ පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වන්නේ රංගන ය. ඔහු මෙම වාර්තාවට පිවිසෙන්නේ 2017 වසරේ දී එතෙක් ඩැනියෙල් විටෝරි විසින් ලබා තිබූ කඩුලු 362 වාර්තාව බිඳ හෙළමිනි. එමෙන් ම වමත් දඟ පන්දු යවන්නන් අතර කඩුලු 400ක් ලබා ගත් ලොව පළමුවැන්නා ද වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා සිටින්නා ද වන්නේ රංගන ය.

වාර්තා අද බිහිවී හෙට ගිලි හී යා හැකි ය. එහෙත් ක්‍රීඩකයෙක් දක්ෂතා එසේ නොවේ. රංගන පෑ දක්ෂතාවන්වලටත් වඩා ඔහු ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටිය පෝෂණය කිරීමට වූ වෙහෙස මහන්සිය අගය කළ යුතු ය. ජ්‍යෙෂ්ඨයෙක් ලෙසින් කණ්ඩායමේ සිටිය ද ඔහු කිසිම අවස්ථාවක එම තත්ත්වය උපයෝගී කර ගනිමින් කෙනෙක් අපහසුතාවට පත් කිරීමට හෝ කෙනෙක්ට විධානයක් දෙන්නට පෙළඹුණු බවක් අප දන්නේ නැත.

අනෙක් බොහෝ ක්‍රීඩකයෝ මහා රංගනයන් පාද්දී රංගන නිහතමානීව සිටියේ ය. ඔහු කා සමගත් ළෙන්ගතුව කටයුතු කළේ ය. රංගන කිසිදු පැකිළීමක් නොමැතිව තමන් දන්නා දේ සැමට බෙදා දීමට පෙරමුණ ගන්නා ක්‍රීඩකයෙක් බැව් පවසන්නේ යොවුන් ක්‍රීඩකයෝ ය.

රංගන ක්‍රිකට් පිටියට සමුදෙන්නේ කණ්ඩායමට අත්‍යවශ්‍ය ම අවස්ථාවක ය. අප කවුරුත් දනිති, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පවතින්නේ අස්ථාවර මට්ටමේ ය. අද දක්ෂතා දක්වන්නෝ හෙට කෙසේ කරාවිදැයි යන අවිනිශ්චිතතාව ප්‍රමුඛ ය. එසේ වෙද්දීත් රංගන තමන්ගේ නික්ම යාම ප්‍රකාශ කළේ ය.

ඒ තවදුරටත් තමන්ගේ සේවය නිසි සේ කණ්ඩායමට ලබාදීමට තමන්ට හැකි වෙතැයි තමන් විශ්වාස නොකරන බැවින් ය. කණ්ඩායමේ රැඳී සිටිය දී ඊට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ම ලබා දිය යුතු ය. අප දකිමු රංගන ට පන්දු රැකීමේ දී ඒ ජවය ලබා දිය නොහැකිය. ඔහු එතැනදී අසමත් ය. ඉතිං ඒ බැව් ම සලකා බලා ඔහු සමුගන්නට තීරණය කරන්නට ඇති.
ඔහු අන් සෑම කෙනෙක්ට ම වඩා තමන් ගැන දන්නේ ය. එබැවින් ය මේ තීරණය ගන්නට ඇත්තේ.

කෙසේ වෙතත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම වෙත එල්ල වෙන දෝෂාරෝපණ කිසිවක් රංගන වෙත එල්ල නොවීම ම ඔහු ලද භාග්‍යයකි. එය ඔහුගේ ක්‍රිකට් හැදියාව සම්බන්ධයෙන් අපට ලබාදෙන සහතිකයකි. මෙවැන්නෝ ඇත්තේ අතළොස්සකි. රංගන ඔබ උදාර මිනිසෙකි.