අනුකම්පාව නොව අයිතිය ලබාදෙන්න

ආකාස සභාපතිනී -නාරායනගෙදර කමලාවතී

ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා

යුද්ධයෙන් ආබාධිත වු දමිළ කාන්තාවන්ට වැඩි අවාධානයක් ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු යැයි ඉල්ලා සිටින ඇය, 59 වියැති ආබාධිත සිංහල කාන්තාවකි. ආබාධිත වුව ද සිය ආබාධිත තත්ත්වය පසෙකලා තමන් මෙන්ම ආබාධිත තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකීක කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීමෙහි ලා, “ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” ලෙසට සංගමයක් පිහිටුවා ගෙන සේවය කරන්නීය. එහි සභාපතිනිය වන ඇය, නාරායනගෙදර කමලාවතී ය.

ඔබ ආබාධිත තත්ත්වයේ පසුවන කාන්තාවක්. මෙවැනි සංගමයක් පිහිටුවා ගත්තේ ඇයි ?

මම වසය අවුරුදු 04 දි පෝලියෝ හැදිලා පාසැල් ගියෙත්, පසුව රැකියාවට ගියෙත් කිහිලිකරුවල සහ රෝද පුටුවක ආධාරයෙන්. රෝදපුටු තරග වලටත් ඒ වගේම ආබාධිත පුද්ගලයින් නියෝජනය කරමින් විදේශ රටවල පැවැත්වු සම්මන්ත්‍රණ වලටත් මම සහභාගි වෙලා තිබෙනවා. එවැනි සම්මන්ත්‍රණ සමුළු තුළින් මා ලැබු දැනුම වගේම අත්දැකීම් හරහා තමයි මම සංගමයක් පිහිටුවා ගතයුතුය. කියන තැනට පැමිණුනේ. මොකද, ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ක්‍රියාකරන ආයතනයක් හෝ ඔවුන්ට පහසුකම්වත් , ස්වාධීනව ජීවත්වීමටවත් ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. ඒ අඩුව මම ගොඩාක් අත්දැක්කා. ඒ නිසා තමයි මට හිතුනේ ආබාධිත සහිත කාන්තාවන්ට ඒකරාශි වෙන්න අපේ අයිතිවාසිකම් ගැන කථාකරන්න සංවිධානයක් පිහිටුවා ගන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් ආබාධ සහිත සියලුම කාන්තාවන් එකතුවෙලා රජයට යම්කිසි බලපෑමක් කරලා අපේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ශක්තිමත් ව කටයුතු කරන්න.
ඒ අනුව තමයි අපේ සංවිධානය, “ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” කෙටියෙන් කීවොත් “ආකාස” මුලින් ම ආරම්භ කළේ 1989 වසරේදි. පසුව, 1995 දි අපි සංවිධානය ලියාපදිංචි කරලා ප්‍රතිසංවිධානය කරලා නවතාවකින් යුතුව දැන් වැඩකටයුතු කරගෙන යනවා.

කවර ආකාරයේ වැඩකටයුතු ද ඔබේ ආකාස සංවිධානයෙන් ඉටුවන්නේ ?

ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂාකර ගැනීම පරමාර්ථ කරගෙන නොයෙකුත් වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. විවිධ විධියට සමීක්‍ෂණ කරනවා. 2007 වසරේ දී අපි ශ්‍රි ලංකාවේ ආබාධ සහිත කාන්තාවන්ගේ තත්ත්ව අධ්‍යයනයක් වශයෙන් සමික්‍ෂණයක් කළා. ඊට පස්සේ 2012 දී යුරෝපා කොමිසමත් එක්ක එකතුවෙලා උතුර සහ උතුරු නැගෙනහිර, උතුරු මැද පළාත් වල යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්න කාන්තාවන්ගේ තත්ත්වය කෙසේද කියලා සමීක්‍ෂණයක් කළා. මේ සමීක්‍ෂණයට ආබාධිත සහිත කාන්තාවන් 1000 ක් අපි සම්බන්ධ කරගත්තා.
පසුව 2014 වන විට යුද්ධය නිමාවී වසර 05ක් ගෙවී ගියාට පසුව ආචාර්ය දිනේෂා සමරරත්න සහ බටහිර සිඞ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් වන කැරන් සොල්ඩටික් සමඟ එකතුවෙලා යුද්ධයෙන් පීඩා විඳි, ආබාධිත තත්ත්වයට පත්වී සිටින නමුත් අපගේ “ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” හා එකතු වී, ඒ මගින් ජීවිතය ජයගත්ත ආබාධිත සහිත කාන්තාවන් පිළිබඳව සමීක්‍ෂණයක් කළා.
පසුකාලිනව නීතිය හා සමාජ භාරය ආයතනය (Law & Society Trust)

සමඟ සම්බන්ධවෙලා කටයුතු කරන්න මගේ සංවිධානයට අවස්ථාව ලැබුණා. එහිදී අපිට අවස්ථාවක් ලැබුණා සාර්ථකව කොහොමද සමීක්‍ෂණයක් කරන්නේ කියලා ඉතාම හොඳ පුහුණුවක් ලබාගන්න. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විධියට, යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින උතුරු නැගෙනහිර ආබාධිත ශ්‍රි ලාංකීක කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව කළ සමීක්‍ෂණයට දායකත්වය ලබාදෙන්න අපේ සංගමයට අවස්ථාවක් ලැබුණා. මේ සමීක්‍ෂණයත් සිදුකළේ නීතිය හා සමාජ භාරය ආයතනය (එල්එස්ටී) සහ බටහිර සිඞ්නි විශ්වවිද්‍යාලය එකතුවෙලා.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙනුවෙන් කරපු සමීක්‍ෂණය අපේ සංගමය හරහා තමයි සිදුකළේ.

මෙවැනි සමීක්‍ෂණ දියත් කරන්නට සිදුවී තිබෙන්නේ ඇයි?

ගොඩාක් අයට ජාතික හැඳුනුම්පත නැහැ. අති බහුතරය විවාහ වෙලා නැහැ. එක දිස්ත්‍රික්කයක 200 දෙනෙක් සමීක්‍ෂණයට සහභාගි වුණා, ඒ කාන්තාවන්ගෙන් 30 ත් 35ත් අතර ප්‍රමාණයක් තමයි විවාහවෙලා හිටියේ. ඉතිරි සියලුම දෙනා අවිවාහකයි. ඒ අයගේ ආරක්‍ෂාව පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඉතිං මෙවැනි දැ දනගන්නෙ මේ වගේ සමීක්‍ෂණ සිදුකළොත් පමණයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හරි දිසාපති කාර්යාලයකින් හරි වෙනත් රාජ්‍ය නොවන ආයතනයකින් හරි ලබාගන්න වෙන්නේ අසම්පූර්ණ දත්ත, තොරතුරු. ඒ අය ළඟ තියෙන්නෙ උඩින් පල්ලෙන් අහුලාගත්ත තොරතුරු ටිකක් විතරයි. එයාලා නොදන්නවා නොවෙයි ආබාධ සහිත පුද්ගලයෝ ගැනත් සමීක්‍ෂණය කරන්න ඕනෙ කියලා නමුත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
අනිවාර්යෙන් ම ආබාධ සහිත කාන්තාවන්ගේ ඒ වගේම පිරිමි පාර්ශ්වය සම්බන්ධයෙන් සමීක්‍ෂණය කරලා ඔවුන්ගේ අවශ්‍යතාවන් දැනගෙන, ඔවුන්ගේ විවිධ හැකියාවන් ධාරිතාවන් හඳුනාගැනීම තුළින් සමාජ සංවර්ධනයට, සංවර්ධන ප්‍රවාහයට ඔවුන්වත් එක්කර ගත යුතුයි. ඒ නිසා සමීක්‍ෂණ අත්‍යවශ්‍යයි.

ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ආබාධ සහිත කාන්තාවන් විශේෂකොට, පොදුවේ ආබාධ සහිත පුද්ගලයින්ට මේ සමාජය තුළ සුදුසු, විය යුතු , ලබාදිය යුතු අවධානය යොමුවෙලා නැහැ? සාධාරණය, යුක්තිය ඉටුවෙලා නැහැ කියලා?

ඔව්! පිළිගන්නවා විතරක් නෙවෙයි, බොහෝ අවස්ථාවල මම ම අත්දැකලා තිබෙනවා. රෝදපුටුවකින් ගමන්කරන කෙනකුට ලංකාවේ තිබෙන පහසුකම් මොනවද? මම අනුරාධපුරේ ඉඳලා කොළඹ එනවනම් අනිවාර්යෙන් ම පෞද්ගලීක වාහනයක එන්න ඕනේ. පොදු ප්‍රවාහනයට, බස් එකකට, කෝච්චියට ගොඩවෙන්න ක්‍රමයක් නැහැ රෝදපුටුවක් එක්ක. ඒ නිසා ගමනා ගමන පහසුකම එහෙමපිටින් ම ආබාධිත අපිට නැහැ. සමහර ස්ථානවල ලොකුවට බෝඞ් ගහලා තියෙනවා ප්‍රවේශ පහසුකම තියෙනවා කියලා. ඒත් අපි ගියාම ඒ පහසුකම නැහැ. වොෂ්රූම් එකකට රෝදපුටුව ගන්න බැහැ. සමහර ස්ථානවල වතුර ටිකක් බොන්න අත සෝදගන්න ක්‍රමයක් නැහැ. ටැප් එක ගොඩාක් උසින් තියෙන්නෙ. අපිට අවශ්‍යකරන ආකාරයට බොහෝ ස්ථානවල ඒ පහසුකම් නැහැ. ඒත් දැන් අවුරුදු 20ක් තිස්සේ අපි, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධාන එකතුවෙලා බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් විධියට දැන් ඒ පහසුකම් ඇති කිරිමේ ආරම්භයක් තිබෙනවා.

සමහර රජයේ උසස් නිළධාරීන් හමුවෙන්න බැහැ පඩිපෙළවල් නගින්න බැරි නිසා. රෝදපුටුවලට යන්න පහසුකම් නැහැ. ඒ වගේම ශ්‍රි ලංකාව තුළ අපිට ආගමීක කටයුතුවල නිරතවෙන්න සිදුවෙලා තියෙන්නේ බාගෙට. හාමුදුරු කෙනෙක් සංඥා භාෂාවෙන් බණ කියනවා අපි කොහේවත් දැකලා නැහැ. පල්ලියක පූජකතුමෙක් සංඥා භාෂාවෙන් යාච්ඥා පවත්වනවා, පූජාවක් තියනවා අපි දැකලා නැහැ. කථාකරන්න බැරි කාන්තාවක් තමන්ගේ ආගමීක ස්ථානයකට ගිහිං වඳින්න, පූජා තියන්න ගියාට වැඩක් නැහැ ඒක එයාට තේරෙන්නෙ නැහැ. ආගම සිහිකිරීමේ ඉඳලා සමස්ත ජීවත්වීම ම අපහසුතා ගැටලු සමඟින් තමයි ජීවත් කරවන්න වෙලා තියෙන්නෙ.

තවත් ප්‍රධානම අවාසනාව තමයි ආබාධ සහිත පුද්ගලයින් එක අමාත්‍යංශයකට කොටුකර තිබීම. මිනිස්සුන්ගේ නිවාස ප්‍රශ්නයකට අවශ්‍යතාවකට උත්තර දෙන්නේ නිවාස සංවර්ධන අමාත්‍යංශය වුණාට, අපි නිවාස ප්‍රශ්නයකට ඒ අමාත්‍යංශයට ගිය ගමන් අපිව යොමුකරවනවා සමාජසේවා අමාත්‍යංශයට. කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්නයකට ගියත් සමාජසේවා අමාත්‍යංශයට යොමුකරවනවා. ආබාධ සහිත තරුණ තරුණියකගේ අවශ්‍යතාවකට තරුණ කටයුතු අමාත්‍යංශයට ගියත් සමාජසේවා අමාත්‍යංශයට තමයි යොමුකරවන්නේ. ආබාධ සහිත පුද්ගලයින් ව කොන් නොකර මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට අපේ ශ්‍රමයත් ලබාගන්න ඕනේ. අපිව කොන්කරලා සුභසාධන ක්‍රියාවලියකට යොමුකරවල තියෙන නිසා තමයි තුන්වැනි ලෝකෙ අපිවගේ රටකට ආබාධ සහිත පුද්ගලයින්ට ඉස්සරහට යන්න බැරි.

ඒ කියන්නෙ ඔබ අභියෝග කරනවා ඔබ වැනි පුද්ගලයින්ට සුභසාධන අවශ්‍ය නැහැ කියලා?

ඇත්තෙන් ම ඔව්! සුභසාධන නෙවෙයි, අපිට අවශ්‍ය අයිතිවාසිකම්. අවස්ථාව සහ සමානාත්මතාවය. දැන් අපි දෙදෙනාම කාන්තාවන්. ඔබ කකුල් දෙකෙන් මෙතන්ට ආවා. මම රෝදපුටුවෙන් ආවා. මා ගැන යැපෙන්නෙක් විධියට හිතනවානම් වැරදියි. බලන්න, ආබාධ සහිත දරුවෝ ඉන්න අඳ බිහිරි පාසල්වල දරුවන්ට උදේ හවස දාන දෙනවා. ඒ ළමයි එළියට එනකොට ආත්ම අභිමානයක් නැහැ. වයස අවුරුදු පහේ ඉඳලා දානෙම කාලා, හිතනවා එළියට ගියාමත් හිඟාගෙන කෑවට කමක් නැහැ කියලා. මිනිස්සු නිවන් යන්න කියලා හිතාගෙන දානෙ දෙනවා ඒත් ඒ ළමයි පාරට වැටෙනවා. එහෙම වෙලා තියෙන්නේ රජයෙන් ඒ ආයතනවල අවශ්‍යතා නිසි විධියට සපුරන්නේ නැති නිසා ඒ ආයතනවලට සිද්දවෙලා තියෙනවා මිනිස්සුන්ගෙන් දානෙ අරගෙන යැපෙන්න. ඇත්තටම කණගාටුයි, මේ රටේ පාලකයින්, බලධාරීන් දන්නේ නැහැ දක්‍ෂ බුද්ධිමත් ආබාධිත පුද්ගලයින්ගේ ශ්‍රමය, දායකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලියට යොදාවා ගන්න.

ඒ වගේම තමයි ආබාධ සහිත පුද්ගලයින් වෙත සමාජයේ තිබෙන ආකල්පය. හරිම පටු ආකල්ප වලින් තමයි අපි දිහා බලන්නෙ. රෝද පුටුවකින්, කිහිලිකරුවකින් ගමන්කරන පුද්ගලයෙක් දැක්ක ගමන් සමාජය හිතන්නෙ ඔවුන් යැපෙන්නන් විධියට. හොඳම උදාහරණය තමයි, මේ අවුරුද්දේ ජුලි මාසේ පිච්චමල් පූජාව දවසේදි අපි ඔසුපැන් දන්සැලක් දුන්නා. හැම අවුරුද්දෙම අපි ඒ දන්සැල කරනවා. මෙදාසැරේ අපි ඒ හට් එක හද හද ඉන්නකොට අල්ලපු දන්සැලේ හිටපු කාන්තාවක් දුවගෙන ඇවිල්ලා මගේ දිහා හොඳට බලලා මගෙන් ඇහුවා මොකද ඔය කකුල කියලා. පෝලියෝ හැදිල කියල මම කිවම ඉක්මනින් පර්ස් එක ඇරල රුපියල් 20ක් දෙන්න ගියා. එයා හිතලා තිබුණේ මම ජීවත් වෙන්න සල්ලි එකතු කරනවා කියලා.

අවසන් වශයෙන්, යුද්ධය නිසා ආබාධිත තත්ත්වයන්ට පත්වුණු උතුරේ, උතුරු නැගෙනහිර දමිළ කාන්තාවන් පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

අපිට අප ගැන කණගාටුවක් නැහැ. අපි, අසනීප තත්ත්වයක් නිසා හෝ උපතින් හෝ ලැබුණු ඒ ආබාධ සහිත ස්වරූපය භාරගත්තා. උතුරේ නැගෙනහිර ඒ කාන්තාවන්ට, යුද්ධය කියන කුරිරු ක්‍රියාව නිසයි ඒ ආබාධිත තත්ත්වයන්ට පත්වෙන්නට සිදුවුණේ. ඒක මහා අපරාධයක්. ඒ අවාසනාවන්ත තත්ත්වය තුළ අතරමං වුණු කාන්තාවන් බොහෝ පිරිසක් ඉන්නවා නිසි ජීවත් වීමේ වැඩපිළිවෙළක් නැතිව. ඇතැම් අයගේ ස්වාමිපුරුෂයෝ යුද්දෙදි මියගිහිං. ඇය ළමයින් සමඟ දැන් තනිවෙලා ජීවත් වෙන්න, ළමයිට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඇයට හැකියාවක් නැහැ. ඔවුන් අධික ලෙසට මානසිකවත් ශාරිරීකවත් පීඩා විඳපු පිරිසක්, තාමත් පීඩා විඳිනවා. ඔවුන්ගේ අහිමිවීම් අධිකයි. ඔවුන්ගේ පීඩාව අධිකයි.

ඒ නිසා රජය, අපට වඩා ඒ දමිළ ආබාධිත කාන්තාවන් ගැන මීට වඩා හොඳ අවධානයකින් යුතුව සොයා බලන්න ඕනේ. ඔවුන්ව තවත් පීඩාවට පත්වෙන්න ඉඩහරින්නේ නැතිව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා දෙන්නට බලධාරීන් පියවර ගන්න ඕනේ. ඒත් එවැනි දෙයක් නම් අපි තාම දකින්නෙ නැහැ.

රටේ සැමට එකසේ සළකනවා කියා කියන්නේ නම් අපිවත් සාමානාත්මතාව තුළ පිළිගැනීමට ලක්වෙන්න ඕනේ. ඒත් එහෙම පිළිගැනීමක් තවමත් නැහැ. පහුගිය කාලයේදි ලංකාවේ අලි කීදෙනෙක් ඉන්නවාද කියලා සංගණනයක් පැවැත්වුවා. ඇත්තුන්ගේ දළ ගැන එහිදි ගණනය කළා. හැබැයි අපේ රටේ ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ නිවරැදි සංගණනයක් නැහැ.