සමනළයකු හෝ සමනළියක වීම අස්වාභාවික ද?

පසුගිය වසර දෙක තුන තුළ අන්තර්ජාතික තලයේ වඩාත් ම මහජන අවධානය දිනා ගත් නිර්ප්‍රබන්ධ ගත් කතුවරයා ආචාර්ය යුවාල් නොආ හරාරි යැ’යි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ජෙරුසෙලමේ පිහිටි හීබෲ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කරන ඔහු පරිණාමය හා මානව ඉතිහාසය ඇසුරෙන් ලියූ Sapiens: A brief history of Human Kind (1914&”  Homo Deus: A Brief History of Tomorrow (2016) 21 Lessons for the 21st Century)  යන ග්‍රන්ථ තුනම මානව ඉතිහාසය නව දෘෂ්ටි කෝණයකින් විමසුමට ලක් කරන වෑයමක් වශයෙන් අවධානයට ලක් විය. තම සමරිසි බව නො සඟවා පවසන ආචාර්ය හරාරි සමරිසි බව යනු ඇත්ත වශයෙන් ම අස්වාභාවික හැසිරීමක් නොවන බව මේ කෙටි සටහනෙන් පෙන්වා දෙයි.

මහාචාර්ය යුවාල් නෝආ හරාරි

විද්‍යාඥයෙක් හා සමරිසි පිරිමියකු වශයෙන් මට වඩා වැදගත් වෙන්නේ මිනිසුන් විසින් නිර්මාණය කළ කතන්දරවලට වඩා ඒ කතාන්දර හා සහ යථාර්ථය අතර ඇති වෙනස දැන ගැනීමයි. මේ වෙනස පිළිබඳ අවබෝධය විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් ද හරි වැදගත්. මගේ යොවුන් වයසෙ දි මට කියා දී තිබුණු දෙයක් තමයි, පිරිමි ළමයි ආකර්ෂණය වෙන්නේ ගෑනු ළමයින්ට බව. සෑහෙන කාලයක් මම ඒක විශ්වාස කළා. ඒත් එය මිනිසුන් විසින් නිර්මාණය කළ හුදු කතන්දරයක් බවත් මං වගේ සමහර පිරිමි ළමයි තවත් ඒ වගේ ම පිරිමි ළමයින්ට ආදරය කරන බවත් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. බොහෝ මිනිසුන් විශ්වාස කරන දේවල් වලට පටහැණි ව යන්න සිද්ධ වුණත් යථාර්ථය අවබෝධ කර ගැනීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍යයි.

මිනිහෙක් තවත් මිනිහෙකුට ආදරය කෙරුවොත් අහසේ ඉන්න මහා බලසම්පන්න පුරුෂයකුගේ ක්‍රෝධයට ඔවුන් ලක්වෙන බව ඇතැම් මිනිසුන් කියනවා. ඒත් මේකත් හුදෙක් මිනිස්සු හිතෙන් මවා ගත්ත කතන්දරයක් පමණයි. මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ආදරය කරනවා නම් ඒකෙන් අනිත් කාටවත් හිරිහැරයක් නැත්නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? අහසෙ ඔය ඉන්නවැ‘යි කියන කිසිම බලසම්පන්න මහා පුරුෂයකුට ඒ වගේ අහිංසක ආදරයකට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. බොහෝ විට පූජකයන්ට විතරයි ඒ වගේ දේවල් වලට කේන්ති යන්නේ.

විද්‍යාත්මක පර්යේෂණ සිද්ධ වෙන්නෙත් ඒ හා සමානව කල්පනා කිරීමෙන් තමයි. විද්‍යාඥයෙක් වශයෙන් මම නිරන්තරයෙන් අහන ප්‍රශ්නයක් තමයි යථාර්ථය මොකක්ද කියන එක. ලෝකය පිළිබඳ ව මිනිස්සු නිර්මාණය කර ඇති නොයෙක් කතන්දර පැත්තකින් තියල ලෝකය පිළිබඳ ඇත්ත යථාර්ථය මොකක්ද කියන ප්‍රශ්නය විමසමු. සමරිසියෙක් වශයෙන් මම තේරුම් ගත්ත එක දෙයක් තමයි මිනිස්සු කියන කතන්දරත් එක්ක යථාර්ථය ගැටෙන කොට හොඳ ම දෙය යථාර්ථය විශ්වාස කිරීම බව. මං හිතන විදියට ඒ පාඩම මා වඩා හොඳ විද්‍යාඥයකු බවට පත් කිරීමට හේතු වුණා.

මගේ ලිංගික නැඹුරුව ඇති සැටියෙන් තේරුම් ගැනීමට විද්‍යාව මට බෙහෙවින් උපකාර වුණා. සමරිසියකු වීම අස්වාභාවික බවත් ස්වභාව ධර්මයට අවශ්‍ය වන්නේ පුරුෂයන් ස්ත්‍රීන්ට ආදරය කිරීම පමණක් බවත් සමරිසි අය ස්වභාව ධර්මයේ නියාමවලට පටහැණි ව කටයුතු කරන අය බවත් බොහෝ විට මිනිසුන් කියනවා. ඒත් විද්‍යාත්මක පර්යේෂණවලට අනුව මේක අමූලික මුලාවක් බව මට තේරුම් ගියා. අස්වාභාවික හැසිරීමක් කියල දෙයක් කියලා ඇත්ත වශයෙන් ම දෙයක් ඇත්තේ ම නැහැ. මිහිපිට පවතින හැම හැසිරීමක් ම හැසිරීම කියන නිර්වචනයට අනුව ම ස්වභාවිකයි. ස්වභාව ධර්මයේ නියාම කඩන්න මිනිසුන්ට පුළුවන්කමක් නැහැ. ස්වභාව ධර්මයේ නියාම කියන්නේ මාර්ග නීති වගේ කඩන්න පුළුවන් දේවල් නෙවෙයි. මාර්ග නීතිවලට අනුව ආණ්ඩුවට කියන්න පුළුවන් ඔබට පැයට කිලෝමීටර් සීයක් ඉක්මවා යන වේගයකින් වාහනය පදවන්න බැහැ කියලා. ඔබ පැයට කිලෝමීටර් එකසිය විස්සක වේගයකින් ගියොත් පොලිස් භටයෙක් ඔබ ව නවත්තලා දඩ කොළයක් දෙන්න පුළුවන්.

ස්වභාව ධර්මයේ නියාම වලට අනුව නම් ඔබට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කරන්න කොහෙත්ම බැහැ. ඒත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළොත් විශ්වයේ කොනකට වෙලා බලා ගෙන ඉන්න පොලිස් භටයෙක් ඔබ ව නවත්තල දඩ කොළයක් දේවි කියලා. මොකද අපි දැනට දන්නා අන්දමට ස්වභාව ධර්මයේ එකී නියාමය කඩ කිරීම කිසිසේත් ම වෙන්න බැරි කොහෙත්ම නොකළ හැකි දෙයක් නිසා.

ඒත් කොහොම හරි ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කිරීමට ඔබ සමත් වුණොත් ඒකෙන් තේරුම් යන්නේ වේගය පිළිබඳ ස්වභාව ධර්මයේ නියාමය අපි තවමත් හරියට අවබෝධ කර ගෙන නැති බවත් ඇතැම් සුවිශේෂ අවස්ථාවල දී ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කිරීමට ස්වභාව ධර්මයේ නියාමයට අනුව ඉඩ සැලසෙන බවත් පමණයි. ස්වභාව ධර්මය තුළ යමක් පවතිනවා නම් ඒ හැම පැවැත්මක් ම ස්වාභාවිකයි. ඒ අනුව ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට ආදරය කිරීමත් ස්වාභාවිකයි. ස්වභාව ධර්මයේ කිසිම නියාමයක් මගින් එය තහනම් කර නැහැ.

මිනිසුන් අතර විතරක් නෙවෙයි සම රිසි බව බොහෝ සතුන් අතරත් පවතින දෙයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ළඟ ම ඥාති සත්ත්ව විශේෂය වශයෙන් සැලකිය හැකි චිම්පන්සීන් අතර සමරිසි හැසිරීම් නිරන්තරයෙන් දකින්නට ලැබෙන දෙයක්. චිම්පන්සීන් අතර ඇති හැම ලිංගික හැසිරීමක් ම හුදෙක් චිම්පන්සි පැටවුන් බිහි කිරීම අරමුණු කර ගෙන කරන හැසිරීම් නොවෙයි. දේශපාලනික සම්බන්ධතා ගොඩ නගා ගැනීම, ඇඟෑලුම්කම් ඇතිකර ගැනීම සහ ආතතිය අඩුකර ගැනීම වගේ දේවලටත් චිම්පන්සීන් ලිංගික හැසිරීම් යොදා ගන්නවා. ඉතිං ඒවා අස්වාභාවික දේවල් ද?

ලිංගික හැසිරීම් පවතින්නේ හුදෙක් දරුවන් බිහි කිරීම සඳහා පමණක් ය කියන අදහස පූජකයන් විසින් නිර්මාණය කළ මිථ්‍යාවක්. ඇත්ත වශයෙන් ම ‘මේක ස්වාභාවිකයි’ ‘අරක අස්වාභාවිකයි’ වගේ සංකල්ප ජීව විද්‍යාවෙන් අර ගත්ත දේවල් නොවෙයි. ඒ සංකල්ප අර ගෙන තියෙන්නේ ක්‍රිස්තියානි දේවධර්ම වාදයෙන්. ස්වභාවය යන්න දේවධර්මයේ දී තේරුම් ගන්නේ දෙවියන්ගේ කැමැත්ත වශයෙනුයි. ක්‍රිස්තියානි දේවධර්මවාදීන් තර්ක කළේ මනුෂ්‍ය ශරීරය දෙවියන්ගේ නිර්මාණයක් නිසා ශරීරයේ හැම අංගයක් ම ඉන්ද්‍රියයක් ම දෙවියන් නිර්මාණය කළේ දෙවියන් විසින් නියම කළ කටයුත්තකට බවයි. ඒ අනුව දෙවියන් නියම කළ ආකාරයට පටහැනි ව ශරීරාංග භාවිත කිරීම අස්වාභාවිකයි. ඒත් මේ සියල්ල මිථ්‍යා කතන්දර පමණයි. මිනිස්සුත් අනෙකුත් සත්ත්ව විශේෂත් දෙවියෝ නිර්මාණය කළ දේවල් නොවෙයි. සියලූ සත්වයෝ ස්වභාවික වරණයට අනුව පරිණාමය වුණු ජීවියෝයි. ඒ පරිණාමයට අරමුණක් නැහැ. ඒ වගේ ම ශරීරවල තියෙන ඉන්ද්‍රියය වලටත් සුවිශේෂ අරමුණක් නැහැ. මිනිසුන් සහ සත්වයන් විසින් ශරීරාංග හා ඉන්ද්‍රියයන් භාවිත කළ ආකාරය පරිණාමය තුළ දීර්ඝ කාලයක් තිස්සේ නිරන්තරයෙන් ම වෙනස් වෙලා තියෙනවා. මනුෂ්‍ය ශරීරයේ තියෙන කිසිම අංගයක් මීට අවුරුදු මිලියන සිය ගණනකට ඉස්සර ඒවා ජනිත වුණු අවස්ථාවේ ඉටු කළ කටයුතු නොවෙයි, දැන් ඉටු කරන්නේ. ශරීරයේ ඉන්ද්‍රියයන් පරිණාමය වෙන්නේ කිසියම් කටයුත්තක් ඉටු කිරීමට වුණත් පරිණාමය වුණාට පස්සේ ඒවා වෙනත් කටයුතු සඳහා අනුවර්තනය වීම මුළුමනින් ම ස්වාභාවිකයි. උදාහරණයක් වශයෙන් මුලින් ම පිහාටු ඇති වුණේ පුරාණ උරගයින්ගේ ශරීරය උණුසුම් කර තබා ගැනීම සඳහා. ඒත් පරිණාමයේ තවත් අදියරක දී පක්ෂීන් ඒවා භාවිත කළේ පියෑඹීම සඳහා. ඉතින් ඒක අස්වාභාවික දෙයක් ද? පූර්ව මානව යුගයේ දී ඇඟිලි අනුවර්තනය වුණේ අපේ ආදිතමයන්ට ගස් නැගීමට පහසුවෙන අන්දමටයි. ඒත් අද කාලයේ ගස් නගින්න භාවිත

කරනවා වෙනුවට අපි පියානෝව වාදනය කරන්න ඇඟිලි භාවිත කරනවා. ඉතින් ඒක අස්වාභාවික ද? අපිට කටවල් ඇති වුණේ ආහාර අනුභව කිරීමටයි. ඒත් පසු කාලයක දී කතා කිරීමටත් කට භාවිත වුණා. ඉතින් ඒක අස්වාභාවික ද?

ඒ වගේ ම ලිංගික අවයව මුල් කාලේ ඇතිවුණේ ප්‍රජනනය පවත්වා ගෙන යාම සඳහායි. ඒත් දැන් අපි ඒවා කුලුපග බව, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩනගා ගැනීම වැනි කටයුතු වලට යොදා ගන්නවා. ඉතින් ඒක අස්වාභාවික වෙන්නේ කොහොමද?

මිනිස් නිරුවත දැකීම නිසා මිනීමැරුම් සිදු වුණා නම් ඉතිහාසය පුරාම ඒ වගේ සිදුවීම් ඇති වෙන්නට ඇත්තේ ඉතා ස්වල්පයයි. එහෙත් ආගමික අන්තවාදය නිසා මිනිසුන් මිලියන ගණනක් මරා දමන්නට ඇති. ඒ නිසා සමරිසිකම හරි නිරුවත ගැන හරි කරදර වෙනවාට වඩා අපි කරදර වෙන්න ඕනෑ ආගමික අන්තවාදය ගැනයි.

තතු වෙබ් අඩවියේ අනුග්‍රහයෙනි