සිරිසේන: රට අවුලට යවා. ඇදගෙන නෑම

සුනන්ද දේශප්‍රිය

තුන්වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන සජිත් ප්‍රේමදාස ය. ඒ දෙදෙනාම සිරිසේනගේ බිලි බෝයිස්ලා වීම ප්‍රතික්ෂේප කළ විට ඔහු රාජපක්ෂ ළගට ගියේ ය. පිදුරු ගහක හෝ එල්ලී සිය ඥති ගණයා බේරා ගැනීමට දින ගනිමින් සිටි රාජපක්ෂ ඇම ගිල්ලේ ය.

මේ මිනිසා බැරිම තැන තුන්වැනියා පළමුවැනියා කළා පමණක් නොව එම තුන්වැනියා වූ රාජපක්ෂම විසින් කැඳවන ලද මහ සෙනඟක් හමුවෙහි ඒ බව කියා සිටියේ ලැජ්ජාවක් බයක් නැතිව ය. ඊට ප්‍රතිචාර වශයෙන් රාජපක්ෂ කියා සිටියේ තමා සිරිසේන නම බැඳගත් බෙරේ අවසානයක් වනතුරු ගහන බවයි.

එදා සජිත් ප්‍රේමදාස සිරිසේනගේ එම ඇරයුම පිළිගත්තේ නම් අද සිරිසේන පට්ට පඳුරු කතා කියමින් බැට දෙනු ඇත්තේ රාජපක්ෂට ය. දිවෙහි ඇට නැතිවීම සිරිසේනට මඟුලකි.
සිරිසේන වැටී සිටින දේශපාලන අගාධය දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධානී මනෝ ගනේෂන්ගෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීම්වලින් පෙනේ. එම ඉල්ලීම් තුන මෙසේ ය:
පළමුවැන්න නම් සිරිසේනගේ ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගන්නා ලෙසයි. දෙවැන්න එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුවෙහිදී කවර පාර්ශ්වයකට හෝ ඡන්දය ප්‍රකාශ නොකර සිටින ලෙස යි. තෙවැන්න නම් මහින්ද රාජපක්ෂ පරදවා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පාර්ලිමේන්තුවෙහි දී ජයගතහොත් අගමැති වශයෙන් වෙන අයකු පත් කර ගන්නා ලෙස යි.

මනෝ ගනේෂන් විසින් ම කරන ලද කතාවෙහි වීඩියෝ පිටපත අනුව පළමු සහ දෙවැනි යෝජනා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරන ලදි. තෙවැනි යෝජනාවට පිළිතුර වූයේ අගමැති පත්කිරීම එක්සත් ජාතික පෙරමුණේ කාර්යයක් බව යි.

සිරිසේනගේ මෙම ඉල්ලීම් තුන විසින් පෙන්නුම කරන්නේ ඔහු වැටී සිටින පතුළක් නැති අගාධයයි. ඔහු පත්ව සිටින්නේ ගලේ පැහැරූ බළලාගේ දුඃඛිත තත්ත්වයටය. නියපොතු ගෙවී යනතුරු කොතරම් වළිකැවද සිය බෙටි වසා ගැනීමට නොහැකිව ය.

ඔහු මෙසේ මනෝ ගනේෂන් හමුවෙහි ආයාචනා කරන්නේ ඊට දෙදිනකට පෙර තමන්ට පාර්ලිමේන්තුවෙහි 113ක බහුතර බලයක් තිබෙන බවට පම්පෝරි ගැසීමෙන් පසුව ය. එදිනම ඔහු දෙමළ සන්ධානයද කැඳවා තමාට සහාය දෙන්නැයි ආයාචනා කළේ ය. ඊට ලැබුණේ ද නිශේධාත්මක පිළිතුරකි.

සිරිසේන පත්ව සිටින්නේ අල්ලපු අත්තත් නැති පය ගැහූ අත්තත් නැති, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහින තත්ත්වයකට ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වෙනුවට ජනමත විචාරණයකට රට ඇද දැමීමට දැන් සිරිසේන සූදානම් බව ප්‍රකාශ වී තිබේ.

රාපක්ෂවරුන්ට සිරිසේනගේ මෙම උප්පරවැට්ටියට හසුවන්නේ නැතිව එළැඹෙන මැතිවරණයකදී සිංහල ජන්ද දායකයා අතර බහුතර බලය දිනා ගැනීමට හොඳට ම ඉඩ තිබුණි. එසේ වී නම් එම බලය ප්‍රජාතන්ත්‍රීයව ලබා ගත් එකක් ලෙස අන්තර්ජාතික පිළිගැනීමට ලක්වීමට ද ඉඩ තිබුණි. එහෙත් දැන් සිදුව ඇත්තේ කතානායක කරු ජයසූරියගේ වචනයෙන් කියන්නේ නම් “ආයුධ නැතිව කරන ලද ආණ්ඩු පෙරළිමේ කුමණ්ත්‍රණයක” කොටස්කරුවන් වීමට ය. බරපතළ වෝදනාවක් වන එවැනි අපවාදයකින් ගැලවීම ලෙහෙසි නැත.

සිරිසේන තමාගේ වැදගත් ම දේශපාලන ජයග්‍රහණයක් ලෙස කියන්නට පුරුදුව සිටි “අන්තර්ජාතිකය දිනා ගැනීම” දැන් අයත්වන්නේ අතීතයට ය.

පසුගිය ග්‍රීෂ්ම ඍතුවෙහි දී මගේ වෘත්තීමය කටයුතු සඳහා ජිනීවාහි ලෝක සෙෘඛ්‍ය සම්බන්ධ ප්‍රධානීන් ගණනාවකගේ සාකච්ජාවන්ට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. ඉන් දෙතුන් දෙනෙකු ම ජනාධිපති සිරිසේන ගැන මහත් ප්‍රශංසාත්මකව කතා කළේ ය. ඔහු ශ්‍රී ලංකාවේ වෙනසක් ඇති කරන නායකයකු ලෙස ඔවුහු කල්පනා කළහ.

එහෙත් අද බොහෝ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි ජනපති සිරිසේන දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන ක්‍රමන්ත්‍රණය මෙහෙයවූ පුද්ගලයා ලෙසය. ඔහුගේ වෙනස තේරුම් ගැනීමට දුෂ්කර බව ඔවුහු කියති. එක් රැයකින් සිරිසේන සිය අන්තර්ජාතික ප්‍රතිරූපය විනාශ කර ගත්තේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මූලික වශයෙන් රඳා පවතින්නේ නීතියේ නීතිය වන ව්‍යවස්ථාව මත ය. එම ප්‍රජාතන්ත්‍රවාදයෙහි මුදුන් මල්කඩ වන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණවලින් තේරී පත් වූ මහජන නියෝජිතයින්ගෙන් යුතු පාර්ලිමේන්තුවයි. සිරිසේන සිය දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු පාර්ලිමේන්තුව කල්දැමීමෙන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය අඩපණ කිරීමය.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගරු කරන ලෙසත් වහාම පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයන්ට තීරණයක් ගන්නට ඉඩ දිය යුතු බවටත් ඇමෙරිකාවේ සිට ඕස්ටේ්‍රලියාව දක්වාත්, බටහිර යුරෝපයේ සිට ඉන්දියාව දක්වාත් කියා සිටියේ ඒ නිසා ය. පසුගිය 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවට සිරිසේන ඉන් සමහරක් රටවල් හමුවෙහි කියා සිටියේ ය. එහෙත් සිරිසේන කළේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට මෙන්ම ඒ සියලු රටවලට ද කොකා පෙන්නීමයි.

කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවීමට යෝජනා කර තිබූ 07 දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වහාම පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයිනට අවස්ථාවක් නොදුනහොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය කෙළෙසෙනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාද පොදු රාජ්‍ය මණ්ඩලය සහ යුරෝපා සංගමයද එම අදහසම දක්වා තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් එහි ප්‍රධානීයා සිරිසේන බවටත් වාර්තාවක් පළ නොකළ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික ජනමාධ්‍යක් නැති තරම් ය. ඉන් එක් වාර්තාවක සඳහන් වූයේ ‘අනපේක්ෂිතව පරාජය වූ පරිදිම ශ්‍රී ලංකාවේ බලවත් මිනිසා වන රාජපක්ෂ යළි අනපේක්ෂිතව බලට පැමිණ ඇත්තේ සිය පවුලම ද රැගෙන’ බවය. ලොව පුරාම සිරිසේන දේශපාලන කුමන්ත්‍රණකරුවකු ලෙස හඳුන්වන ලිපි පළ වී තිබේ.

ඉන්දියාවේ ප්‍රබල පුවත්පතක් වන හින්දු පුවත්පත කතුවැකියක් ලියමින් කියා සිටියේ “ජනපති සිරිසේනගේ පියවර මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශය කරා යොමුකර තිබේ” කියාය. එය මෙසේ ද කීවේ ය. “සිරිසේන ගත් පියවර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන ලද දරුණු නොසැලකිල්ලකි. රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම සිය බලය පැහැදිලිවම අවභාවිත කිරීමකි.” මේ වනාහී 2015න් පසු ජනපති සිරිසේන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපොරොත්තුව යැයි ලියූ පුවත්පත දැන් දකින හැටි ය.

අන්තර්ජාතික මතය තමන්ට වැදගත් නැතැයි සිරිසේන හෙට අනිද්දා කීමට ඉඩ තිබේ. මන්දයත් ඔහුගේ කට හැම අතට ම හැරවෙන නිසා ය. එහෙත් ඔහු තේරුම් ගත යුත්තේ ඔහු දිනා ගත් අන්තර්ජාතික කිර්තිය හිරුදුටු හිම මෙන් දැන් දියාරු වී ගොස් ඇති බවයි.

මෙම වර්ධනයේ තවත් පැතිමානයක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන ලෙස කැරෙන අන්තර් ජාතික ඉල්ලීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා සම්පූර්ණයෙන්ම ඉටු කළ යුතු බවට නැගෙන අන්තර්ජාතික හඬ සමග බද්ධවීමයි. තත්ත්වය මෙසේ පැවතියහොත් ලබන මාර්තුවෙහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් පවා සම්මත කිරීමට ඉඩ නැතුවා නොවේ.

මෙම වර්ධනය වන තත්ත්වයෙහි භයානකත්වය නම් සිරිසේනට ආපසු හැරීමට බැරිවන තරමට ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී පියවරයන් ගණනාවක්ම ඔහු විසින් මේ වනවිට ගෙන තිබීමයි. ආපසු හැරීම ඔහුට දේශපාලන සහ සමාජීය වශයෙන් මරණීය වන අතර නීතිමය වශයෙන් භයානක වනු ඇත. මේ වනාහී සිරගත කළ හැකි වැරදි ය.

රාජපක්ෂ පාර්ශ්වයට මේ තාක් පාර්ලිමේන්තුවෙහි බහුතරය නැත. තිබේ නම් ඔවුන් හෙට ම පාර්ලිමේන්තුව කැඳවනවා ඇත. විශ්වාසභංග යෝජනාව 14වන දිනම ඡන්දයට ගැනීමට රාජපක්ෂ සහ සිරිසේන පාර්ශ්ව මරණීය විරුද්ධත්වයක් පාන්නේ ද එනිසා ය. කතානායකවරයාගේ තීරණය නම් එය ඡන්දයට ගැනීම යි.

රාජපක්ෂ – සිරිසේන හවුලට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව පෙනී ගියහොත් කුමක් සිදුවනු ඇත්ද? වෙඩි බෙහෙත් ගඳ ගෙනෙන ප්‍රශ්නය එයයි. සිරිසේනට ආපසු යා නොහැක. එසේ නම් ඉතිරිවනු ඇත්තේ නීති විරෝධීව බලයේ සිටීම පමණි. ඒ සඳහා මර්දනය නැතිව බැරි ය.

දැන් රාජපක්ෂ ගෙවන්නේ සිරිසේනගේ පව් ය. ඒත් කුණු කරවල කෑ විට පව් ගෙවපන් බළලෝ කියා කියමනක් තිබේ. සිරිසේනගේ බෙරයේ පලුවක්ම නැති බව රාජපක්ෂවරු දැන් දනිති. එහෙත් කරන්නට දෙයක් නැත. දැන් ඔවුන්ට ද සිරිසේනගේ තනුවට නටන්නට සිදුව තිබේ. ඒ තනුව එන්න එන්නම බියකරු ය. එක්කෝ යකැදුරා දොයි. නැත්නම් ආතුරයා දොයි. වාසිය යකාට ය. සිරිසේන විසින් මතුරා කැඳවන ලද බල තණ්හාවේ යක්ෂයා දැන් සිරිසේනටම ආවේශ වෙන්නට ඔන්න මෙන්න ය. ළඟාවෙමින් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ නොව යක්ෂයාගේ හෝරාවයි.