ඔක්. 26 දායින් පසු

ජයදේව උයන්ගොඩ

ඔක්තෝබර් 26 වැනි සිකුරාදා සැන්දෑවේ වැහි අඳුර මැද සිදුවූ අනපේක්ෂිත දේශපාලන සිදුවීමත්, ඉන්පසුව සිදුවන සිද්ධි දාමයත් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, ලංකාවේ සමකාලීන දේශපාලනය අවිනිශ්චිතභාවයේත්, අස්ථාවරභාවයේත්, අර්බුදයේත් නව අවධියකට පාත්‍රවී ඇති බවයි.

මෙම පසුබිම තුළින් මතුවන තේමා ගණනාවක්ම තිබේ. ඒවා එක එකක් වෙනම ගෙන ලියන්නට ගියහොත් පොත් පිංචක් පමණ දිගුවිය හැකිය. එබැවින්, එසේ මතුවන තේමා කිහිපයක් ගැන කෙටියෙන් හැඳින්වීම් කිරීම මේ ලිපියේ අරමුණයි.

ලංකාවේ දැනට ඇත්තේ, දේශපාලන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආර්ථික යන අර්බුද තුනක එකතුවකි. දේශපාලන අර්බුදයේ මැද තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයයි. ජනාධිපතිවරයා සිටින අගමැති ධුරයෙන් පහකර නව අගමැතිවරයකු පත්කිරීමේ නෛතිකභාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පැහැදිලි නැත. ඒ නිසා මේ දිනවල අගමැතිවරු දෙදෙනකු සිටිති. අගමැති ප්‍රශ්නය විසඳීමේ සාකච්ඡා මණ්ඩපය වූ පාර්ලිමේන්තුව නිවාඩු යවා ඇත. නැවත වරක් ජනාධිපතිවරයා සර්ව බලධාරී පාලකයා බවට පත්වීමේ හැකියාව අප ඉදිරියේ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති සිරිසේන මහතා අතර ඇති දේශපාලන ප්‍රතිවිරෝධය පාලනය කළ නොහැකි ඉතා තියුණු අවධියකට පත්වී තිබෙන බව පෙනේ. පාර්ලිමේන්තුව නැවත විවෘත කර, සිය දේශපාලන බලය තහවුරු කරගත් පසු, ජනාධිපති සිරිසේන මහතා වික්‍රමසිංහ මහතා සමග ඇති ආරාවුල තීරණාත්මක ලෙස විසඳා ගැනීමේ අලුත් අවධියකට ගමන් කිරීමට ඉඩ තිබේ.
එය රටේ දැන් පවත්නා දේශපාලන අර්බුදය, විවෘත ගැටුමක් බවට පත්වීමේ අනතුර ජනිත කරවන වර්ධනයක් විය හැකිය. දේශපාලන ප්‍රභූ තන්ත්‍ර අතර ඇතිවී තිබෙන බලඅරගලය විසඳීමේ අඩවිය පාර්ලිමේන්තුවමද යන ප්‍රශ්නය ඉදිරියේදී පැන නගිනු ඇත.

ජනාධිපති සිරිසේන මහතා ඔක්තෝබර් 26දා කළ ක්‍රියාව, 2015දී ලංකාවේ පුනරුජ්ජීවනය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ එක් අවධියක අවසානය සලකුණු කරයි. එය දේශපාලන වශයෙන් අතිශයින්ම ඛේදජනක මොහොතකි. එයට හේතුව 2015 ප්‍රජාතන්ත්‍රවාදී පුනරුජ්ජීවනයේ හවුල් කර්තෘකයකු, එහි අකල් මරණයේත් කර්තෘකයා වීමයි. ජනාධිපති සිරිසේන මහතා අනාගත ඉතිහාසයට එක්වනු ඇත්තේ 2015 ජනවාරි 08දා සම්බන්ධව ම නොව, 2018 ඔක්තෝබර් 26දා අන්ධකාර සැන්දෑවේ ඔහු කළ දේවල්ද සම්බන්ධ කරගෙනය. ඉතිහාසය වඩාත්ම එතුමා සිහිකරනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙසම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තම දේශපාලන ස්වාර්ථය සඳහා අවභාවිත කළ නායකයෙකුද ලෙසය.

පසුගිය අවුරුදු දෙක තුන තුළ ආණ්ඩුව ඇතුළත අගමැති සහ ජනාධිපති දෙදෙනා අතර ඇතිවූ ගැටුමේදී සහ බල අරගලයේදී, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, යහපාලන මූලධර්ම ගරු කරන, අනාගතවාදී නායකයා ලෙස ඉදිරියට ඒමේ භව්‍යතාව තිබුණේ සිරිසේන මහතාටය. මහ බැංකු බොන්ඞ් විකිණීම සම්බන්ධ මහා පරිමාණ දූෂණයට වක්‍රව සහභාගිවීමත්. එය වසා ගැනීමට තම නිල බලය පාවිච්චි කිරීමත් නිසා. අගමැති වික්‍රමසිංහගේ දේශපාලන සුජාතභාවය සහ විශ්වසනීයත්වය විනාශ විය. ඒ වෙතින් ආණ්ඩුව තුළ ඇතිවූ දේශපාලන සහ චර්යාධාර්මික හිදැස පිරවීමට සිරිසේන මහතාට අවකාශ තිබුණත්, ඔහු ඒ සඳහා අසමත් විය. කාරණා කිහිපයක්ම නිසා එතුමාට එම ඓතිහාසික අවකාශය අහිමි වූ බව පෙනේ. තමන්ට අහම්බෙන් හෝ හිමිවූ ඓතිහාසික වගකීමේ භාරධූරභාවය ගැන මනා අවබෝධයක් නොතිබීම ඉන් එකකි. තම ඓතිහාසික වගකීම ඉටුකිරීමේ සුදුසු දේශපාලන වාහනයක් නොතිබීම දෙවැන්නයි. තමන් නායකත්වය දුන් ශ්‍රීලනිපය ඒ සඳහා කිසිසේත්ම සුදුසු වූ වාහනයක් නොවීය. තමන්ට ජනාධිපතිවීමට අවකාශ සැලකූ එජාපය දේශපාලන වාහනයක් කරගැනීමට කැමැත්තක් හෝ ඉඩකඩක් එතුමාට නොතිබිණි. එතුමා සමග ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමතිවරුන් සේවය කෙළේ එතුමාගේ න්‍යාය පත්‍රයට නොව, මහින්ද රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්‍රයටයි. දේශපාලන වශයෙන් හුදෙකලා වූ සිරිසේන මහතාට අවසානයේදී සිදුවූයේ සිය දේශපාලන පැවැත්ම තම එකම න්‍යාය පත්‍රය කරගැනීමයි.

වර්තමාන දේශපාලන අර්බුදය නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් කළ දායකත්වය සුළු පටු නොවන බවද අප අමතක නොකළ යුතුයි. 2015 ජනවාරි 08දා ලැබුණු මහජන වරමට පදනම් වූ දේශපාලන පොරොන්දු පත්‍රය බලය ලබාගැනීමේ මාර්ගයකට වඩා වැඩි යමක් ලෙස සැලකීමට ඔහු අසමත් විය. ආණ්ඩු බලය ලැබී මාස තුනක් ඇතුළත කෙටි කාලයකදී මහා පරිමාණ දූෂණයකට සහ දේශපාලන බලය අවභාවිත කිරීමට සම්බන්ධවීමෙන්, ඔහු තමා සම – නායකත්වය දුන් ආණ්ඩුවේ සදාචාරමය පදනම දෙදරවාලීමට කටයුතු කර, එය නොදන්නා බව හඟවමින්, ආණ්ඩුවේ ශීඝ්‍ර පරිහානිය දෙස බලා සිටියේ බොරුවට භාවනා කිරීමට දෑස් පියාගත් කෙනකු ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගෞරව ස්ථානයක් තිබෙන ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ සභාග ආණ්ඩු මූලධර්මය ඔහු නොසලකා හැරියේය. අන්තිමේදී තම දේශපාලන සගයා සතුරෙකු කරගෙන, ඔහු රාජපක්ෂ කඳවුරට තල්ලු කිරීම දක්වා වූ ක්‍රියාවලියකට මුල පිරුවේය.

ඉහත සඳහන් කළ කරුණ වෙතින් පැන නගින තවත් කරුණක් නම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ජනවාර්ගික සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක් මත බලයට පත්වන ආණ්ඩුවක නායකයන්, දේශපාලනය ගැන සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනා කළ ආකාරයට සැහැල්ලුවෙන් ක්‍රියා නොකළ යුතුය යන්නයි. අධිකාරවාදී පාලනතන්ත්‍රයක් ගෙනයෑමට වඩා, ලංකාව වැනි දේශපාලන වශයෙන් බෙදී ගිය සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී පාලනතන්ත්‍රයක් ගෙන යෑම දුෂ්කරය. මේ දුෂ්කරතා ඉදිරියේ සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනාම කෙළේ තමන්ට එල්ල වන දේශපාලන අභියෝගයේ මූලාශ්‍රය වූ රාජපක්ෂ පවුල සමග අතරමග සමාදානවලට එළැඹීමයි. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණයේදී න්‍යාය පත්‍රය බිඳවැටීමයි.

අවසාන වශයෙන් කිවයුත්තේ ලංකාව නැවත වරක් තීරණාත්මක දේශපාලන සන්ධිස්ථායකට පැමිණ ඇති බවයි. එය දෙමංසන්ධියකි. ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකාරවාදය යන මාවත් දෙක ඉදිරියේ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත දුබලය, බෙලහීනය, නොපැහැදිලිය. අධිකාරවාදයේ මාවත පැහැදිලිය. පළල්ය, විදුලි ආලෝකයෙන් බැබලෙයි. 2015 ජනවාරි සහ 2018 ඔක්තෝබර් – නොවැම්බර් යන සන්ධිස්ථාන දෙක අතර ඇති මූලික වෙනස එයයි.