අර්බුදයට විසඳුම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මෝරා වැඩෙමින් පවතින්නේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක තමන්ම තීරණය කරගත් විසඳුම ම ඉල්ලා සිටින දේශපාලන අර්බුදයමය. ඔවුන් සිතන විසඳුම හැර වෙනත් විසඳුම් තිබේද යන්න නොසොයන්නේ, නැතහොත් විමසා නොබලන්නේ එක්කෝ අධිතක්සේරුවක පිහිටා සිටීම නිසා විය හැකිය. නැතහොත් ඌන තක්සේරුවක පිහිටා සිටීම නිසා යැයි සිතිය හැක. මේ නිසා විනය, නීතිය පමණක් නොව දේශපාලන සදාචාරයට පවා අලුතින් එකතු වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන්නේ යහපතට වඩා අයහපතය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මීට පෙර මේ හා සමාන අර්බුදයක් දක්නට නොලැබුණා පමණක් නොව, මේ හා සමාන විසඳුම් ඉදිරිපත් වූයේද නැත.
එහෙත් දේශපාලනයේදී ඕනෑම දෙයක් සිදු විය හැකි අතර වැදගත් වන්නේ තමන් නොව රට විසඳුමක් කරා ගෙන යාමට නායකයන් දක්වන කැපවීමය. බලය ලබා ගැනීම, බලය තහවුරු කර ගැනීම, දේශපාලන පක්ෂ වල මෙන්ම දේශපාලනඥයාගේද අරමුණ වීම අවිiාත්මක නොවන්නා සේම අසමාන්‍ය ද නැත. සිරිසේන ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ව්‍යවස්ථානුකූලද එසේ නොවන්නේද යන්න, මත දෙකක් ලෙස රට තුළ පැවතියද රාජ්‍ය නිලධාරීහු මෙන්ම රජයේ සේවකයෝද ජනපතිගේ නියෝගය මත ක්‍රියාත්මක වෙමින් සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය ද තම තමන්ට වුවමනා ලෙස ලබා ගැනීමට උත්සාහ දරනවාට වඩා ජනතාව වෙත එය සමීප කරවන්නේ කෙසේද, රට තුළ එය තහවුරු කරවන්නේ කෙසේද යන්නට විසඳුම් ලබා දීම වඩා වැදගත් වන්නේය.

මේ සුවිශේෂී දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට එක් පැත්තක් තෝරා නොගැනීමට නොහැකි පසුබිමක් උදා වෙමින් පැවතීමද නොසලකා හැරිය නොහැක. රනිල්ගේ හෝ මහින්දගේ බල අරගලයට සම්මාදම් නොවන බව පළමුව කී ජවිපෙ මේ වන විට, මහින්ද රාජපක්ෂ ගෙන එන බව කියන අය-වැයට එරෙහි වන බවත්, 14 වැනිදා ජනාධිපතිවරයා කරන බව කියන කතාවට පවා ඡන්දයක් ඉල්ලා සිටින බවත් කීමෙන් පමණක් නොනැවතී දෙමළ ජාතික සන්ධානය හා එකඟතාවට පැමිණීමේ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව පෙනේ. සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහි උද්ඝෝෂකයන් අතර නව සම සමාජ පක්ෂයේ වික්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් මෙන්ම 2015 සිටි සිවිල් සංවිධාන එලෙසම දක්නට ලැබේ.

මෙයින් පෙනෙන්නේ 2015 තිබූ දේශපාලන බෙදීම, යළිත් වෙනත් ආකාරයකින් දක්නට ලැබෙන බවය. එජාප, ජවිපෙ, ටීඑන්ඒ, හෙළ උරුමය මෙන්ම 2015 බල හුවමාරුවට උරදුන් සිවිල් සංවිධානද එම කඳවුරේ සිටිති. රාජපක්ෂ මහතාගේ කඳවුරේද 2015 සිටි පිරිසම සිටිති. වෙනසකට ඇත්තේ සිරිසේන මහතා රාජපක්ෂ කඳවුර කඩාගෙන වික්‍රමසිංහ කඳවුරට යාම වෙනුවට යළි රාජපක්ෂ කඳවුරට එක්වීමය. රවුෆ් හකීම්, රිසාද් බදියුදීන්ගේ මුස්ලිම් පක්ෂ තවමත් අනුගමනය කරමින් සිටින්නේ වික්‍රමසිංහ හිතවාදී ප්‍රතිපත්තියකි. ඔවුන් ඉදිරි කාලයේදී වෙනස් වුවද එසේ නොවුණද දේශපාලන වශයෙන් රට යළි කඳවුරු දෙකකට බෙදී පැවතීම හා තවදුරටත් බෙදී යාම නොවැළැක්විය හැකිය.

එහිදී උදාවන අවස්ථාව එජාපය හා වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් සලකා බැලූ කල ද ඉතා වැදගත් දේශපාලන මොහොතකි. එජාපයට පමණක් නොව වික්‍රමසිංහ කඳවුරේ සිටින සියල්ලන්ටම එම දේශපාලන අවස්ථාව අත්හැර යා නොහැකි අනිවාර්යය තත්ත්වයක් සේ සැලකිය හැකිය. 2015 දී මහින්ද රාජපක්ෂ පරාජය කර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමට වක්‍රව සහයෝගය පළ කළ ජවිපෙට ද මෙවර කෙළින්ම රනිල් කඳවුර දිනවීම සඳහා පෙනී සිටීම මඟහැර යා හැකි යැයි අනුමාන කළ නොහැක.

එහෙත් ජනාධිපතිවරණයකදී එජාප නොවන පොදු අපේක්ෂකයෙක් දිනවීම සඳහා කටයුතු කළ නොහැකි වීමේ දේශපාලන අභියෝගය, එජාපය ඉදිරියට පැමිණීම වැළැක්විය හැක්කක් නොවේ. ජවිපෙට, එජාප අපේක්ෂකයකු දිනවීම සඳහා කටයුතු කිරීමට සිදුවුවහොත් එයද එම පක්ෂයට බරපතළ දේශපාලන අභියෝගයක් නොවේ යැයි සිතිය නොහැකිය. ඊටත් වඩා එම කඳවුරට බරපතළම දේශපාලන අභියෝගය වන්නේ ජනාධිපතිවරණයකටත් වඩා පළමුව එතයි සිතිය හැකි මහ මැතිවරණයකදී වුවද ජනතා මතය, තමන්ට වාසිදායක යැයි නොපෙනීමය. මේ නිසා වික්‍රමසිංහ මහතාගේ කඳවුර අඛණ්ඩව උත්සාහ දරනු ඇත්තේ, ජනතා මතය සෘජුව විමසන මහා මැතිවරණයකට මෙහායින් බලය යළි ලබා ගැනීමේ විකල්පය වෙතටය. එහෙත් රාජපක්ෂ කඳවුර දැනටමත් තෝරා ගෙන ඇතැයි අනුමාන කළ හැක්කේ ඉක්මන් මහ මැතිවරණයකට ගොස් ජනතා බලය උරගා බලන මාවතය.
වික්‍රමසිංහ මහතා කතානායකවරයා ලවා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් සිටින්නේද, ජනාධිපතිවරයා කතානායකවරයා හෑල්ලුවට ලක් කරමින් සිටින්නේද එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බව සිතිය හැකිය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 113 ක් නොමැති වුවද එජාපෙ සහ මුස්ලිම් කොන්ග්‍රසයේ එකතුවට වඩා, වැඩි මන්ත්‍රී සහයක් මත සුළුතර ආණ්ඩුවක් ගෙන යාමේ ඉඩකඩ රාජපක්ෂ කඳවුරට අහිමි වෙමින් පවතිනවා පමණක් නොව අය-වැය වෙනුවට ගෙන ඒමට නියමිත අතුරු සම්මත ගිණුම පරාජයට පත් වීමට ඇත්තේද ඉහළ සම්භාවිතාවකි. ඒ සමඟම විශ්වාසභංගයකින් රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පරාජය වීමේ ඉඩකඩ ද ඒ හා සමානය. මේ නිසා මුස්ලිම් පක්ෂ එක්කරගෙන හෝ වෙනයම් ක්‍රමයකට 113ක් පෙන්වීමට රාජපක්ෂ කඳවුරට නොහැකි වන තත්ත්වයක් තුළ ජවිපෙ හා ටීඑන්ඒ සහාය ලබන වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදි රාජපක්ෂ මහතා පරාජය කිරීම වැළැක්වීමේ මාවතක් නොමැත.

මේ නිසා 113ක් පෙන්වීමෙන් හැර, පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුව පියවරක් හෝ ඉදිරියට ගෙන යාමට රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙන්නේ නැත. රාජපක්ෂ කඳවුර සතුව ඇති පළමු විකල්පය වන්නේ 113 බහුතරය පෙන්වීමය. එය සිදු නොවිය හැක්කක්ද නොවේ. එහෙත් එසේ නොවුණහොත් ඔවුන්ට ඇති ඊළඟ විකල්පය වන්නේ ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ මාවත වෙත තල්ලු වීමය. අය-වැය පරාජය හෝ විශ්වාසභංගයට ගොදුරුවීම ඊට හේතු ලෙස ගැනීම ඔවුන්ගේ සැලසුම විය හැකිය.

අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් පාර්ලිමේන්තු බලය තහවුරු කර ගත්තද ඒ ආණ්ඩුවට ද ඉදිරියට යා හැකි වෙතැයි සිතිය නොහැක. එවැනි තත්ත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරයාට ඉතිරිව පවතින විධායක බලතල හා වික්‍රමසිංහ ආණ්ඩුවේ ගැටුම් සුළුපටු නොවනවා පමණක් නොව, පළාත් පාලන ඡන්දයක් සමඟ රට තුළ ගොඩනැගූ රාජපක්ෂ මහතාගේ ජනතා බලයද ජනාධිපතිවරයාගේ පළාත් සභා බලයද ඊට එකතු කර ගැනීමෙන් රට අවුල් ජාලයක් බවට පත්වීමේ ඉඩකඩ වැඩිය.

මේ නිසා මේ පාර්ලිමේතුවේ බලය කුමක් වුවද එකිනෙකාගෙන් පළිගැනීමේ ප්‍රතිපත්තිය වෙනුවට රටට වඩා යහපත් විය හැක්කේ දේශපාලන කඳවුරු දෙකම පළමුව මහ මැතිවරණ විකල්පය වෙත යොමුවීමය. එමඟින්, සියල්ලට ඉහළින් පවතින ජනතා පරමාධිපත්‍ය යටපත් කිරීමේ ඉඩකඩ නොලැබෙනවා සේම, රට අවුල් ජාලාවක් බවට පත් වීමට ඇති ඉඩකඩද තීරණාත්මකව අහිමි වන්නේය.