මහින්දාගමනයේ හාත්පස තතු කෙසේද?

චින්තක රණසිංහ

දැනට තිරගත වී තිබෙන අර්බුදයේ සමස්ත චිත්‍රය පිළිබඳ විමසීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. මහින්ද අගමැති ලෙස දිවුරුම්දීමෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන සමාජ වාතාවරණයත් ඒ සමගම ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෙනත් කුඩා කණ්ඩායම්වල හැසිරීමත් මෙහිදී අපගේ අවධානයට ලක්වෙයි.

ප්‍රධානතම අර්බුදය කුමක්ද?

දැන් වාර්තා වන ආකාරයට පෙනී යන ප්‍රධානතම දේශපාලන අර්බුදයවන්නේ වගකීම් විරහිතභාවය යැයි පෙන්වා දිය හැකිය. එය රටේ පුරවැසියාගේ පෞරුෂය හා සදාචාරය සමග ගැඹුරින් බැඳෙන තත්ත්වයකි. 2015දී දුන් ජනවරමේ ප්‍රධානතම වගකීම හිමිවූයේ මෛත්‍රීට හා රනිල් ප්‍රමුඛ එජාපයට වුවද ඔවුන් එම වගකීම කඩා බිඳ දමා ඇත්තේ වල් ඇතකු ගසක එතුණු ලස්සන මල්වැලක් කඩා බිඳ දමන්නා සේය.
කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වැනි අයට ජනපති විසින් අගමැතිකම ලබාදීමට කළ යෝජනාව සඵල වූයේ නම් 62 ලක්ෂයක ජනමතය මේ අන්දමින් පාවා නොදෙන අතර මහින්ද – මෛත්‍රී හවුලක් ඇති නොවීමට ඉඩ තිබුණි. යූඇන්පියේ ඉහළම පෙළේ අය 2015 මිනිසුන් තැබූ විශ්වාසය කෙරෙහි නොසලකන ආකාරයත්, වගකීම් දැරීමට ඇති බියත් තමා කවදා හෝ ඉතා ඉහළින් නායකත්වයට පැමිණෙන්නේයැයි දකින සිහිනයත් හැරෙන්නට මේ වගකීම් විරහිතභාවයට හේතු නොපෙනේ. ප්‍රජාතන්ත්‍රවාදයට හා මිනිස් නිදහසට කෙතරම් තර්ජනයක් එල්ල වුවද සිංහල බහුතරයක් මහින්දට කැමතිවන්නේ මේ වගකීම් විරහිතභාවය ඔහු තුළ නොමැති හෙයිනි. රටේ මහජනතාවට අවශ්‍ය වගකීම් සහිත පෞරුෂයකි. එජාපයේ රනිල් ප්‍රමුඛ කිසිවකු එය වටහා ගන්නේ නැත. මේ මොහොතේ පවා වටහා ගැනීමට ඔවුහු අසමත්ව සිටිති.

2015 පෙරළිය වටහා නොගැනීම

2015 පෙරළිය යූඇන්පී පෙරළියක් නොවන අතර ශ්‍රීලනිපයේ පරාජයක්ද නොවේ. එය මුළුමනින්ම පාහේ ප්‍රබුද්ධ සිවිල් ජන කොටස්වල අතිමහත් පිබිදීමේ ප්‍රතිඵලයකි. යූඇන්පිය මෙන්ම පොදු අපේක්ෂක ජනාධිපතිද කළේ බලය ලබාගැනීමෙන් පසු ඒ ප්‍රබුද්ධ ජනතාවට පයින් ගසා තම පටු පක්ෂ දේශපාලන ගමන ඇරඹීමයි. ඒ අතර ගැඹුරු ප්‍රබුද්ධ චරිත දේශපාලනයට වැද්දා නොගනිමින් එන්ජීඕ ප්‍රමුඛ මතුපිට එහෙත් හුදු කථිකයන් පමණක් වූ සිවිල් චරිත කීපයක් පමණක් පාලනයට දායක කරගැනීමය. ඒ අය 2015 උදෙසා කැපවීමෙන්, අවංකව කටයුතු කළ අය මුත් ගැඹුරු දේශපාලන විඥානයක් සහිත අය නොවූහ.
ඔවුන් ජනාධිපතිවරයාට සමීපවීමෙන්ම තෘප්තියට පත්වූ අතර ආණ්ඩුව පැමිණීමෙන් පසු සිදුකළ යුතු ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී මහජන භාවිතය පිළිබඳ නිසි අවබෝධයක් හෝ කැපවීමක් නොමැති පිරිසක් වූහ. පෙරළිය මුළුමනින්ම පාවාදීමේ ප්‍රථම පියවර මෛත්‍රී ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීම බව වටහා ගැනීමට දේශපාලන විඥානයක් ඔවුන් සතු නොවූ අතර ජනපතිවරයා සමග ගැටීමේ දේශපාලන වගකීමක්ද ඔවුන් සතු නොවීය. මේ සඳහා කදිම උදාහරණය වන්නේ සරත් විජේසූරිය මහතාය. එතුමා 2015 අරගලයේ ඉදිරියෙන් සිටි නමුත් 2015න් පසු මෛත්‍රී ගත් වැරදි තීරණයට ප්‍රබල ලෙස විරුද්ධත්වය නොපා ශ්‍රීලනිප සම්මේලනයේ පවා කතා පැවැත්වීමට ගියේය.

ඇතැම්හු සුළු ජාතීන් රැකගැනීමෙන් ජීවත් වූ අතර තවත් අය හුදෙක් ප්‍රවෘත්ති සාකච්ඡා නිකුත් කිරීම හා සම්මුඛ සාකච්ඡා දීමෙන්ම ජීවිකාව සරිකර ගන්නා මට්ටමට ඇද වැටුණේය. ඊට සමාන්තරව රනිල්ද තම මිතුරු කල්ලිය සමග අගමැතිකම වැළඳුයේ තමාට පවුලෙන් ලද උරුමයක් සේ සලකමිනි. මේ සියල්ලෙන්ම කලකිරුණු සිවිල් සමාජ ප්‍රබුද්ධයෝ ආණ්ඩුවෙන් දුරස් වූහ. ආණ්ඩුව ඉතා නරක මාවතකට පිවිසි අතර පොදු ජනතාව ගම් නියම් ගම්වල තනිවන තත්ත්වයක් නිර්මාණය විය.

රාජපක්ෂ පෙරට එයි

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ බලඇණිය ගම්බද පොදුජන පදනම තුළ ස්ථාපිත වන්නේ මෙම පසුබිම තුළය. ආණ්ඩුව අයාලේ යද්දී ගම්බද ජනයාට දේශපාලන හව්හරණක් අහිමි වූ අතර යූඇන්පී ගම්බද නායකයෝ පැරණි යූඇන්පී ගමනම අරඹමින් සිටියෝය. ආණ්ඩුව හැදුවේ කවුද? ආණ්ඩුවේ ශක්තිය කුමනාකාරද? යන සාධක පිළිබඳ මේ නායකයන්ට කිසිදු දැනුමක් නොවූ අතර ඔවුහු තවදුරටත් පැරණි යූඇන්පී ව්‍යාපෘති කර තබා ගනිමින් ඔහේ ගමන් කරමින් සිටියෝය. මේ අනුව 2015 පෙරළියට මුල්වූවන්ට යා හැකි දේශපාලන ගමනක් නොවූ අතර ඔවුන් පසුවූයේ නන්නත්තාර තත්ත්වයකය.
රාජපක්ෂ 2015දී බලයෙන් පැරදුණු මුත් ඔහුට ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් තිබුණි. එය ගැමි ආර්ථිකය සමග ප්‍රතිබද්ධ වැඩපිළිවෙළක් වූ අතර ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ මෙන් හැමදෙනාටම මුදල් බෙදී යන භෞතික සංවර්ධනය අඛණ්ඩව සිදුවන සජීවී වැඩපිළිවෙළක් විය. දූෂණය මැඩීම ප්‍රජාතන්ත්‍රවාදය හා රට දියුණු රාජ්‍යයක් වෙත ගෙනයෑම මුල්කොටගත් අභිනව යහපාලන වැඩපිළිවෙළ තුළ රාජපක්ෂ වැඩපිළිවෙළ පරාජය කිරීමට නම් ආණ්ඩුවට ප්‍රබල අධ්‍යාපන වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබූ නමුත් රනිල් – මලික් කල්ලියේ ලිබරල්වාදී අධ්‍යාපනය තුළ කිසිදු හරවත් පියවරක් ගැනීමට ඔවුහු අසමත් වූහ.
රාජපක්ෂ කරළියට නැග්ගේ මේ තත්ත්වයද මුල්කොටගෙන වූ අතර එය හුදු මෛත්‍රීගේ පාවාදීමක් ලෙස දැකීම වැරදිසහගතය.

දැන් කළයුත්තේ කුමක්ද?

සිදුවී ඇති දෙයින් වඩාත් බිඳ වැටී ඇත්තේත් බිහිසුණු ලෙස තර්ජනයට ලක්වී ඇත්තේත් ප්‍රජාතන්ත්‍රවාදය බවට සැකයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබුද්ධත්වය අගයන කාගේත් පැතුමයි. එහෙත් රට තුළ අරගල භූමිය නිර්මාණය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය මුල් කොට ගනිමින් නොව රනිල් හා මහින්ද අතර බලඅරගලයක් ලෙසය. මේ තත්ත්වය වෙනස් කරලීමටත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පිළිබඳ සටනක් බවට පත්කරලීමටත් කටයුතු කිරීම යහපත් දේශපාලන අනාගතයක් පතන සියලුමදෙනාගේ උරමත පැටවෙන වගකීමකි. එය අසීරු නමුත් සැබෑ තැන එතැන පමණි.

දැනට මාධ්‍ය සියල්ලම මහින්ද විසින් අල්ලා ගනු ලැබූ තත්ත්වයක් තුළ විකල්ප මාධ්‍ය අවකාශ නිර්මාණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් පවතී. යූඇන්පියේ සිටින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් නැවත වහා එක්විය යුතු අතර ජවිපෙ හා වෙනත් සමාජ ක්‍රියාකාරිකයන් අතර ක්‍රියාකාරී සන්ධානයක් නිර්මාණය විය යුතුය. එය පමා කළයුතු නැත. මන්දයත් රාජපක්ෂගේ දේශපාලන බලය පසුපස නලීන් – අමරසේකර – ගෙවිඳු වැනි ජාතිවාදී නැඹුරුවක් සහිත පිරිස් බුද්ධිමය කණ්ඩායම් ගොඩනගමින් සිටින බැවිනි. එයට ප්‍රතිපක්ෂව ගොඩනැගී තිබෙන මෛත්‍රී හා රනිල් වටේ දේශපාලන අසරණයන් සේ සැරිසරන එන්ජීඕ නඩය වෙනුවට කිසිදු නායකයකු අඳ බැතියෙන් නුපුදුන ප්‍රබුද්ධ ඥාන ගවේෂණයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය මුල්කොටගත් පිරිසක් අවශ්‍ය වේ. මහින්ද විරෝධී සියලුම දේශපාලන පක්ෂ මේ මොහොතේ සිදුකළයුත්තේ එයයි. එසේ නොමැති වුවහොත් ඔවුන්ට සිදුවන්නේ සදාකාලික අසරණ තත්ත්වයකින්ම දුගී දේශපාලන ජීවිතයක් ගතකිරීමටය.

ජවිපෙ

ධනවාදයේ යථාර්ථය යම් ආකාරයකින් පිළිගෙන ප්‍රජාතාන්ත්‍රික ධනේශ්වර පක්ෂයක් ලෙස ගොඩනැගෙමින් රටේ අනාගතය බාරගත යුතු ජවිපෙ තවමත් ගතකරන්නේ පැරණි සමාජවාදී සිහිනය සමග නිද්‍රාශීලී ජීවිතයකි. 80 දශකයේ අදහස පක්ෂය තුළ දැඩිව ස්ථාපිතවීමත් ඉන් මෙපිට අයට නායකත්වය හා බලය හසුරුවන්නට නොදීමේ ප්‍රතිගාමී භාවිතයක් නඩත්තු කිරීමත් මෙම ඛේදවාචකයට එක් හේතුවකි. සදාකාලික සිහිනයක් වන සමාජවාදය පිළිබඳ කතිකාව තව කොපමණ දුර නඩත්තු කරන්නේද යන්න ජවිපෙ ඉතා ඉක්මනින් වටහාගත යුතුය. මෙම අර්බුදයේදීද ඔවුන් හැසිරෙන්නේ රටේ ප්‍රධාන අර්බුදයක් ලෙස නොව රනිල් – මහින්ද දෙදෙනාගේ පෞද්ගලික අර්බුදයක් ලෙස සලකමිනි. වාම දේශපාලන කන්‍යාභාවය පිළිබඳ අදහසත්, පොදුජනයාගේ දේශපාලන ඕපාදූපවලට ඇති භයත් නිසා ඔවුන් අසීමාන්තික ලෙස භීතියට පත්වී තිබෙන බව පෙනේ.

රනිල් සාධකයට මේ මොහොතේ බිය නොවීම ජවිපෙ ඉටු කළ යුතු ප්‍රධාන වගකීමකි. මන්දයත් මේ මොහොතේ රාජපක්ෂට විරුද්ධවීම යනු රනිල්ට පක්ෂවීමට වඩා ඔබ්බට විහිදී යන පුළුල් දේශපාලන ක්‍රියාවලියක් වන නිසාය. එය ජනතාව ඉදිරියේ මැනවින් කියාපාමින් කුමන්ත්‍රණකාරී ඒකාධිපතිවාදයට එරෙහිවීමත් ඊට සමාන්තරව යූඇන්පියේ අසාර්ථකභාවය එත්තු ගැන්වීමටත් ජවිපෙ සමත් විය යුතුය. එහෙත් රටේ අවාසනාවකට මෙන්ම ඔවුන්ගේ මධ්‍යගත ආරක්ෂාකාරී පක්ෂයට මේ දක්වා නිර්මාණය කිරීමට හැකිව තිබෙන්නේ ඒකපාර්ශ්වීය දේශපාලන වාචාලත්වය මිස පුළුල් කතිකාවක් තම ශ්‍රාවකයන් වෙත ගෙන යා හැකි ප්‍රබුද්ධ කථිකයන් නොවේ. ජවිපෙ මෙම අභියෝගය ජයගත යුතු අතර විවෘත මනසකින් කටයුතු කළ යුතුය.තරුණ පරපුර ඇමතීමේදී ඔවුන් ඉදිරියේ සිටින්නේ 80 දශකයේ තරුණයා නොවන බව තරයේ වටහාගත යුතුය.

එජාපයේ කාර්යභාරය

14 වැනිදා පාර්ලිමේන්තුවේ කුමක් සිදුවුවත් රනිල් වික්‍රමසිංහට තවදුරටත් එජාපය තුළ රට හෝ පක්ෂය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයක් නැත. සිදුකළ හැක්කේ පැළැන්තිමය වශයෙන් තමාට උරුම වූ ශිෂ්ටත්වය මත පිහිටමින් පක්ෂ නායකත්වයෙන් ගෞරවනීය ලෙස ඉල්ලා අස්වීම පමණි. රනිල් අගමැති වුවත් විපක්ෂ නායක වුවත් එය රටේ දේශපාලන ගමනට බාධාවකි. ඔහුට කිසිදින මෙරට සාර්ථක නායකයකු වීමට නොහැකි අතර රට වෙනුවෙන් කළයුත්තේ එජාපයේ නායකත්වයෙන් ඉවත් වී ස්වාධීන බුද්ධිමතකු ලෙස විවිධ ආකාරයෙන් රටට සේවය කිරීමයි. හොඳ පතපොත කියවන රනිල්ට එම අත්දැකීම් පාසල් හා සරසවි ප්‍රජාව සමග බෙදාගත හැකිය. එය රටට සේවයකි. සජිත්, කරු අසීරු අවස්ථාවේ එජාපයේ වගකීම පැහැර හැරියෝය. එයට හේතු සාධක ඔවුන් සතුවිය හැකි වුවත් ජනතාව බලාපොරොත්තුවන්නේ එම සාධක නොව වගකීම් දැරිය හැකි පෞරුෂාත්මක නායකත්වයකි. එය බුද්ධිමය මෙන්ම ප්‍රායෝගිකද වියයුතු අතර මේ මොහොතේ පොදු ජන විඥානය තුළ රඟදෙන මහින්දවාදයට භාවමය හා බුද්ධිමය වශයෙන් මුහුණ දිය හැකි නව නායකත්වයක්ද විය යුතුය. එය හුදු යූඇන්පී නායකත්වයකින් ඔබ්බට යමින් මහින්ද-විරෝධී බලවේග සියල්ල එක් වැඩපිළිවෙළකට ගොනු කළ හැකි නායකත්වයක්ද විය යුතුය.

2015 නිවැරදි කරගැනීම

සියලුම සාම්ප්‍රදායික දේශපාලන බලවේග එහි සීමාව සටහන් කරමින් අසාර්ථකවෙමින් පවතී. එනිසා දැන් 2015දී මතුවී කලකිරීම නිසා යටපත් වූ ප්‍රබුද්ධ උගතුන්ගේ බලවේගය ඉදිරියට පැමිණිය යුතු අතර ජවිපෙ හා එජාපයද මෙම යථාර්ථය සිහිපත් කළ යුතුය. ඒ සඳහා දේශපාලන න්‍යාය පත්‍රයේ පැහැදිලි ඉඩක් වෙන් කළ යුතුය. එසේ නොවුණහොත් රට අගාධයකට යෑම වැළැක්විය නොහැකිය. දැන් එළැඹ ඇත්තේ ඒ තීරණාත්මක මොහොතයි.

එවැනි ප්‍රබුද්ධ බලවේගයක් නිර්මාණය වී ඉදිරියට නොපැමිණියහොත් රට භයානක ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතිවාදී ගමනකට ඇද වැටෙන දිනය ඈතක නොවේ.