අර්බුදයේ කෙළවර කුමක්ද?

වික්ටර් අයිවන්

නීතියට පටහැනි අසම්මත දේවල් ආරම්භ කිරීම අමාරු නැත. එහෙත් ඒවා අවසන් කිරීම පහසු නැත. සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් කරළියට ගැනීම අවශ්‍ය වී නම් නීතියට පටහැනි නොවන ලෙස ඒ දේ කිරීම සඳහා බලවත් උත්සාහයක යෙදීමේ හැකියාව තිබුණි. අයවැය ලේඛනයේදී වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ පිලට උපරිම ලෙස ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළ හැකිව තිබුණි. ජනාධිපතිවරයා නීතියට පටහැනිව ක්‍රියාකර ඇත්තේ සිය දේශපාලන අභිලාෂය නීතියට අනුකූලව සපුරා ගැනීමේ උත්සාහයක නිරතවීමේ හැකියාව තිබියදීය.

පක්ෂ මාරුව

ජේ.ආර්. ජයවර්ධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දේශපාලන ක්‍රමය සකස් කර තිබුණේ පක්ෂ මාරුව නීති විරෝධීව කෙරෙන ආකාරයට බව මෙම ප්‍රතිපක්ෂ දෙක ඇතුළු සමස්ත ව්‍යවස්ථාදායකයම මේ වන විට අමතක කර තිබෙන වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව කිසියම් පක්ෂයකින් තේරී පත්වූ මන්ත්‍රීවරයකුට තමන්ගේ මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව වෙනත් පක්ෂයකට එකතුවීමට පුළුවන්කමක් නොතිබුණි. ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ එම මූලධර්මය ක්‍රියාවිරහිත කරන ලද්දේ අධිකරණය විසිනි. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් නොකළ යුතු එම බරපතළ වරද චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ යහපත පිණිස කරන ලද්දේ අගවිනිසුරු ධුරයේ සිටියදී සරත් නන්ද සිල්වාය.
මහජන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව පක්ෂ මාරු කිරීමට ඉඩක් නැතිකම ආණ්ඩුක්‍රමයේ සැකිල්ල හා බැඳී පැවති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයට ආණ්ඩු පක්ෂයට එකතු වන ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කිරීමට හේතුවන ලෙස අධිකරණයක් තීන්දු දුන් පමණකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන එම මූලධර්මය අහෝසිවන්නේ නැත. අධිකරණයට, පාර්ලිමේන්තුවට හෝ විධායකයට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලවත්ය. උත්තරීතරය. අධිකරණය දෙන එවැනි වැරදි තීන්දුවලින් සිදුවිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම මූලධර්මය ක්‍රියාත්මක වීම තාවකාලික ලෙස යටපත්වීම පමණය. එය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අහෝසි කරන ලද දෙයක් නොවන බව මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් සේ ම මන්ත්‍රීවරුන් මිලදී ගන්නන්ද අමතක නොකළ යුතුයි. තාවකාලික ලෙස යටපත් කොට තිබෙන එම මූලධර්මය නැවත මතු කරගත හැකි බව හා ඒ මගින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහෝසි කළ හැකි බව ඔවුන් තේරුම් ගත යුතුය. එම වරද නිවැරදි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේද වගකීමයි.

එහෙත් සරත් නන්ද සිල්වාගෙන් පසු අද දක්වා එම තනතුරට පත් අගවිනිසුරුවරුන් අතරින් කිසිවකු අධිකරණය විසින් කර තිබුණු එම වරද නිවැරදි කළේ නැත. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවන ලෙස අධිකරණය විසින් කර තිබුණු එම වැරැද්ද නිවැරදි කිරීමේ බලයක් පාර්ලිමේන්තුවටද තිබුණි. ඒ හැකියාව කතානායකවරුන්ටද තිබුණි. ජනාධිපතිවරුන්ටද තිබුණෝය. ආණ්ඩුක්‍රමය මුළුමනින් විකෘති කිරීමට හේතුවී තිබුණ යටපත් කර තිබූ එම ආණ්ඩුක්‍රම මූලධර්මය නැවත ඉස්මතු කරගැනීමට ඒ කිසිදු ආයතනයක් උනන්දු නොවීය. ලංකාවේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ හා අධිකරණයේ ඇතිවී තිබෙන අසමත්භාවයේ හෝ කුණුවීමේ තරම ඒ ආශ්‍රයෙන්ද තේරුම් ගත හැකිය.

අර්බුදකාරී අවස්ථාවකදී මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන සම්ප්‍රදායක් ඇතිවූයේ අධිකරණය විසින් විධායකය සතුටු කිරීම පිණිස කරන ලද එම වරද පසුව හෝ ව්‍යවස්ථාදායකය විසින් නිවැරදි නොකිරීම නිසාය. එම වරද නිවැරදි කර තිබුණේ නම් කවර ජනාධිපතිවරයකුටවත් මේ ආකාරයෙන් කෙරෙන නීති උල්ලංඝනයකට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණා සේ ම මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලොකු මිල ගණන්වලට විකිණෙන අවලස්සන තත්ත්වයක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි. කතානායකවරයාට අවශ්‍ය නම් මේ මොහොතේ වුවද පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන එම මූලධර්මය නැවත සක්‍රීය කළ හැකිය. අධිකරණය ඊට අදාළව ලබාදී තිබෙන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ නම් හා ඒ මගින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන තත්ත්වයක් ඇතිවීම මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමට හේතුවී තිබේ නම් ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම මූලධර්මය නැවත බලසහිත කිරීමට හේතුවන තීන්දුවක් දීමේ බලය කතානායකවරයාට තිබෙන්නේය. ලංකාව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ලබාදී තිබෙන විනිසුරුවරුන් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන ජනාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන් ජීවතුන් අතර සිටියත් නැතත්, ඔවුන්ට දඬුවම් කිරීම අත්‍යවශ්‍යය.

ජනාධිපතිගේ කැරැල්ල

එජාපයට තිබුණු ආණ්ඩු බලය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පිලට ලබාදීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දුව එය ඇති කරන ප්‍රතිවිපාක හොඳින් සැලකිල්ලට නොගෙන ගන්නා ලද මෝඩ හා හිතුවක්කාරී තීරණයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඇතිවී තිබෙන අර්බුදය පාලනය කිරීමකින් තොරව ඉදිරියට ඇදී යන්නට ඉඩදුනහොත් ඒ මගින් රටට සිදුවන හානිය තිස් වසරක් තිස්සේ පැවති කැරලි හා යුද්ධයෙන් සිදුවූ හානියට වැඩි හානියක් රටට සිදුවිය හැකිය. ඒ නිසා යුද්ධයෙන් හා කැරලිවලින් මෙන් දස දහස් ගණන් මිනිසුන් කායික වශයෙන් මරණයට පත් කරන තත්ත්වයක් ඇති නොවනු ඇතත්, රටේ සමස්ත මිනිසුන් නොමරා මරන ඔවුන් සතු සියලු ඉතිරි කිරීම්වල වටිනාකම වාෂ්ප කොට රට පහසුවෙන් ගොඩගත නොහැකි කාලකණ්ණි තත්ත්වයකට පත්කිරීමට හේතුවිය හැකිය.

විජේවීර ඔහුගේ දෙවැනි කැරැල්ල ආරම්භ කළේද ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක් සඳහා වන ඔහුගේ සන්නද්ධ සටන ආරම්භ කළේද එම සටන් අවසාන විග්‍රහයේදී ඇති කරන ප්‍රතිවිපාක ගැන හරි ගණන් බැලීමක් සිදුකිරීමෙන් තොරවය. ඔවුන්ගේ සටන් එක්තරා අදියරකට යන තෙක් ඔවුන් තුළද එක්තරා ප්‍රමාණයකට ඔවුන්ට පක්ෂපාත ජනතාව අතරද ආස්වාදයක් ඇති කිරීමට හේතුවිය. එහෙත් දේවල් කෙළවර වූයේ රටට ජනතාවට පමණක් නොව එම මෝඩ වැඩසටහන් දෙක වෙනුවෙන් පෙනී සිටි විශාල අනුගාමිකයන් පිරිසකගේ හා සියලු ප්‍රධාන නායකයන්ගේද ජීවිත විනාශ කිරීමට හේතුවන ආකාරයටය.
ජනාධිපතිවරයා කරළියට ගෙනවිත් තිබෙන කැරැල්ල සන්නද්ධ කැරැල්ලක් නොවූවද ජනාධිපතිවරයා තමන්ට තිබෙන නිල බලය වැරදි ලෙස පාවිච්චි කරමින් කරළියට ගෙනවිත් තිබෙන දේශපාලන කැරැල්ලද විජේවීරගේ හා ප්‍රභාකරන්ගේ කැරැල්ල තරම්ම ව්‍යවස්ථාමය අර්ථයෙන් බිහිසුණු ඒ කැරලි දෙක ඇති කරන ලද ප්‍රතිඵලවලටත් වඩා රට හා ජනතාව කෙරෙහි පමණක් නොව, ජනාධිපතිවරයා කෙරෙහිද බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන කැරැල්ලක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිවරයා විසින් ඇති කර තිබෙන අර්බුදයේ වැදගත්ම ලක්ෂණයක් වනුයේ සිදුකර තිබෙන වරද එම වරද කළ පුද්ගලයාට නිවැරදි කළ නොහැකි වරදක් වීමය. එම කරන ලද ක්‍රියාව නීිතියට පටහැනි වුවත් තව නව නීති කඩනවා හැර ඉදිරියට තබන ලද පියවර ආපස්සට ගැනීමේ හැකියාවක් නැතිකමය.

මෙම අර්බුදයේදී ජනාධිපතිට හෝ ඔහු විසින් අගමැති ධුරයට පත් කර තිබෙන මහින්දටද ආපසු හැරීමේ හැකියාවක් නැත. එසේ වුවහොත් දෙදෙනාම දේශපාලන වශයෙන් කුඩු පට්ටම් වූ නායකයන් දෙදෙනකුගේ තත්ත්වයට පත්වේ. ඉදිරියට යන ගමනද විනාශයට මිස යහපතට හේතු නොවන්නේය. මේ ගැටුමේදී අසාධාරණයට ලක්වූ නායකයාගේ භූමිකාව රඟපාන්නට සිදුවී තිබෙන්නේ රනිල්ටය. රටේ අගමැති වශයෙන් ඔහුට සිදුවී තිබෙන අසාධාරණය අනුකම්පාවට හේතුවිය යුතු වුවද ඒ රඟපෑ භූමිකාව යහපත් හෝ ප්‍රශස්ත එකක් ලෙස සැලකිය නොහැකිය. මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඔහුද වගකිව යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල කිරීමට ඔහුද දායක විය. රට ලොකු ආර්ථික අර්බුදයකට යමින් තිබූ අවස්ථාවකදී මන්ත්‍රීවරුන් සතුටු කිරීම පිණිස මහජන මුදලින් ඔවුන්ට තව තව කප්පම් ගෙවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

රනිල් වික්‍රමසිංහ

ඔහු ප්‍රඥාවන්ත නායකයකු වී නම් මෙවැනි අර්බුදයක් ඇතිවීම වළකාගත හැකිවන්නට ඉඩ තිබුණි. ඔහුගේ ව්‍යවස්ථා සංශෝධන වැඩසටහන රටේ යහපත පිණිස නොව කිසියම් විශාල ප්‍රමාණයකට විකෘති තත්ත්වයකට පත්කර තිබූ ව්‍යවස්ථාව උපරිම මට්ටමකට විකෘති කිරීමට හේතුවූ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. 19 වැනි සංශෝධනයෙන් පසු අඩුම තරමින් එම සංශෝධනය නිසා බලතල විෂයෙහි ඇතිවී තිබෙන වෙනස්කම් මොනවාද කියා මහජනයාට පැහැදිලි කර දුන්නේ නම් ජනාධිපතිට මෙවැනි වරදක් කරන්නට බැරි තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහු තමන්ගේ ආරක්ෂාව සඳහා ඇති කළ එම වෙනස්කම් ජනාධිපතිවරයා සතුටු කිරීම සඳහා රහසක් ලෙස සඟවා තබා ගත්තේය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පිල සමග එකතුවන්නට යන බව ස්ථිර සාර ලෙස දැනගත් පසුවවවත් ජනාධිපතිවරයාට කළ හැකි දෑ ගැන හරි ගණන් බැලීමක් කළේ නම් විය හැකි දේවල් ගැන කල්තියා තේරුම් ගනිමින් ඒවා සිදුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගතහැකි වන්නට ඉඩ තිබුණි. බහුතර බලයක් තිබියදී පාලන බලය අහිමි කිරීමෙන් පසුව හෝ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂිත වන ස්ථානයක තබාගැනීමට සමත් වී නම් තමන්ගේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට තිබෙන ඉඩ විශාල ප්‍රමාණයකට පාලනය කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහ එක් කාරණයකදී පමණක් අතීතයෙන් වෙනස් වී තිබෙන බවද කිව යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ඔහුගේ ආණ්ඩුවට තිබූ බලතල උදුරාගත් අවස්ථාවේදී ඔහු ජනාධිපතිනියට තමන්ට කරන්නට කැමති දෙයක් කරන්නට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා සටන් කරන පිළිවෙතක් අනුගමනය නොකළේය. එහෙත් මේ අර්බුදයේදී ඔහු නව අගමැතිවරයාගේ පත්වීම භාර ගත්තේ නැත. ඒ වෙනුවට මමයි රටේ අගමැති කියා අරලියගහ මන්දිරයෙහි රැඳී සිටින පිළිවෙතක් අනුගමනය කළේය. ඔහු එසේ නොකළේ නම් ජනාධිපතිගේ අනීතික ක්‍රියාදාමය බාධාවකින් තොරව ජයග්‍රාහී ආකාරයකින් ගලා යන දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ වැඩසටහනට එකතු වූ බව පෙනෙන්නේ ඒ මගින් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගැනීමේ අරමුණින් විය යුතුය. භාරකාර ආණ්ඩුවේ බලය තමන් අතේ තබාගෙන ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම ඔහුගේ අභිප්‍රාය වූවා විය යුතුය. එසේ නැතිව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ආණ්ඩු කිරීමේ අභිප්‍රායක් ඔහුට තිබිය නොහැකිය. නිල කාලය අවසන් වන තෙක් ආණ්ඩු කරන ප්‍රතිපත්තියක් ඔහුගේ අවාසියට මිස වාසියට හේතුවන්නේ නැත.

එහෙත් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟත්වයක් ඇතිව ජනාධිපතිවරයාට කරන ඉල්ලීමකදී හැර සාමාන්‍ය තත්ත්වයක් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ නිල කාලය සම්පූර්ණවීමෙන් පසුවය.

ඒ අනුව ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී විසුරුවා හැරීමට බලයක් නැත. විසුරුවා හැරීමත් ව්‍යවස්ථාවට පටහැනි වන අතර එවැනි විසුරුවා හැරීමක් යටතේ පැවැත්වෙන මැතිවරණයක් සැලකෙනු ඇත්තේද නීති විරෝධී මැතිවරණයක් වශයෙනි.

රනිල් වික්‍රමසිංහ මෙම තුරුම්පුව දැනටමත් පාවිච්චි කර තිබෙන අතර ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාටද දැනුම් දී තිබේ. එම තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ පිලට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකර ගත්තද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් නව අගමැතිවරයාට රට පාලනය කිරීමට සිදුවනු ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙන සම්බාධක මැද්දේය. එය රටේ යහපතට හේතු නොවනු ඇතිවා සේ ම එය නව අගමැතිවරයාගේ හෝ එම පක්ෂයේ යහපතට හේතුවිය නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී නැති ආයතන ක්‍රමය

නව ආණ්ඩුවක් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ව්‍යවස්ථාවට පටහැනි වේ නම් එම ක්‍රියාවට අදාළව කරන හැම ක්‍රියාවක්ම නීතියට පටහැනි ක්‍රියා ලෙස සැලකිය හැකිය. ඒ අනුව පාර්ලිමේන්තුව කල්තැබීමේ ක්‍රියාවද නීතියට පටහැනි වේ. පාර්ලිමේන්තුව කල් දමන්නට අවශ්‍ය වූයේ නව අගමැතිවරයාට බහුතර බලයක් ඇතිකර ගැනීමට අවශ්‍ය අවකාශය ලබාදීම සඳහාය. වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන් එකතු කරගැනීම පවා සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දෙයක් ලෙසය. අධිකරණය එම මූලධර්ම නොසලකා විටින් විට ක්‍රියාකර ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලධර්මයන් අධිකරණයට අවලංගු කළ නොහැකිය. වඩා උත්තරීතර වන්නේ අධිකරණය නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.

රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුනෙන් කවර බල මණ්ඩලයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවකදී ව්‍යවස්ථාවේ ආරක්ෂාව සඳහා තනි තනිව හා පොදුවේ බලවත් ලෙස පෙනී සිටීම අනෙක් බලමණ්ඩල දෙක වෙත පැවරෙන වගකීමකි. ලංකාවේ රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී තිබෙන උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස සැලකිය හැක්කේ මෙම බල මණ්ඩල තුනම විවිධ අවස්ථාවලදී තනි තනිවද එකට එකතුවීද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තත්ත්වයකින් ක්‍රියාකිරීමය. එක බල මණ්ඩලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන විට අනෙක් බල මණ්ඩල දෙක තනි තනිවද එකට එකතුවී ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සම්ප්‍රදායක් ලංකාවේ ගොඩ නැගී නැත. ලංකාවේ ආයතන ක්‍රමයේ ඇතිවී තබෙන පරිහානිය හා කුණුවීම කෙරෙහි එම සාධකයද බලපා තිබේ.

ජනාධිපතිවරයා පරණ ආණ්ඩුව ඉවත් කොට නව ආණ්ඩුවක් පත් කළේ ව්‍යවස්ථාවට පටහැනිව නම් එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව බලාත්මක කරගැනීම සඳහා කරන අන් සියලු ක්‍රියාද ව්‍යවස්ථාවට හා නීිතියට පටහැනි ක්‍රියා ලෙස සැලකිය හැකිය. තවදුරටත් සිදුවන උල්ලංඝනයක් වැළකීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයාට ලැබෙන්නේය. ඒ බලය කතානායකවරයාට ලැබෙන්නේ ජනාධිපතිවරයාගෙන් සිදුවූ සිදුවෙමින් තිබෙන උල්ලංඝනයක් නිසාය. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා සාමාන්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුකූලව ක්‍රියාකිරීමට බැඳී සිටියත්, මෙවැනි අවස්ථාවකදී ඔහු කතානායකවරයාගේ ක්‍රියාවට ආධාර කළ යුතුව තිබුණි. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියාද ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින නිලධාරියෙකි.

මෙම අර්බුදයේදී කතානායකවරයා නීතිපතිගේ මතය විමසා ඇතත්, නීතිපතිවරයා සිය මතය පළකිරීමක් කර නැති බව වාර්තා වී තිබුණි. නීතිපතිවරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින පළමු පෙළේ නිලධාරියෙකි. සිදුවී තිබෙන ව්‍යවස්ථා උල්ලංඝනය ගැන නීතිපතිවරයා සිය මතය කතානායකවරයාට ප්‍රකාශ කළ යුතුව තිබුණි. නාගානන්ද කොඩිතුවක්කුගේ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුගමනය කළ ප්‍රතිපත්තිය සේ ම ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ ප්‍රතිපත්තියද දෝෂසහිතය. ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා සිදුකර තිබෙන ක්‍රියාව ආශ්‍රයෙන් ඇතිව තිබුණු ව්‍යවස්ථා අර්බුදය විසඳීමට අධිකරණය එය අවස්ථාවක් කරගත යුතුව තිබුණු අතර නීතිපතිවරයා ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් අධිකරණයට ලබාදිය යුතුව තිබුණි. මැතිවරණ කොමිසම ව්‍යවස්ථා සභාව මනාව හිමිකම් කොමිසම වැනි ආයතනද නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකොට මෙම අර්බුදය ගැන නිර්භීතව අදහස් පළ කළ යුතුව තිබුණි. ඉන් පෙනෙන්නේ කාර්යක්ෂම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් සඳහා අවශ්‍ය දේශපාලන සවිඥානකත්වයක් සහිත ආයතන ක්‍රමයක් හෝ නිලධරතන්ත්‍රයක් අපට නැති බවය.

විය හැක්කේ කුමක්ද?

ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා තමන් වෙත නැති බලයක් ආරෝපණය කරගනිමින් ක්‍රියාවට නගන ලද වැඩසටහනට සාර්ථක වුවහොත් එය ජනාධිපතික්‍රමයකට බර තබන ලද පාලන ක්‍රමයකි. එය රටේ තිබෙන අර්බුදය උග්‍ර කිරීමටත් රට කාලකණ්ණි කිරීමටත් හේතුවනු ඇත.
එම වැඩසටහනට දේශීය වශයෙන් සේ ම ජාත්‍යන්තර වශයෙන්ද එල්ල වී තිබෙන විරෝධය සැලකිල්ලට ගත් විට එම වැඩසටහන ජයග්‍රාහී අවසානයක් කරාගෙන යෑමට පුළුවන් වනු ඇතැයි සිතිය නොහැකිය. එම වැඩසටහන ලබන පරාජයත් වැඩියෙන්ම විනාශකාරී ලෙස බලපානු ඇත්තේ ජනාධිපතිවරයා කෙරෙහිය. සමහරවිට ජනාධිපතිවරයා දේශපාලන පැවැත්ම මුළුමනින් අවසන් කිරීමට පවා හේතුවිය හැකිය.
එම වැඩසටහන ලබන පරාජයත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහිද හානිදායක ලෙස බලපානු නොවැළැක්විය හැකිය. එය ඔහුට තිබෙන පිළිගැනීම සේ ම ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට තිබෙන පිළිගැනීමද බලවත් ලෙස හීන කිරීමට හේතුවනු ඇත. අගමැති රනිල් වික්‍රමසිංහට තාවකාලික වීරත්වයක් හිමිකර ගැනීමට හැකිවනු ඇතත්, ඔහු ලබන ජයග්‍රහණය ලංකාව මුහුණ දී තිබෙන විස්තීර්ණ අර්බුදයට පිළියමක් වන්නේ නැත.

ජනාධිපතිවරයා විසින් තමන්ගේ පරණ වෛරක්කාරයා ලෙස සැලකිය හැකි හිටපු ජනාධිපතිවරයාට දෙන ලද අගනා තෑග්ග භාරගන්නට පෙර එහි ඇති ව්‍යවස්ථා විරෝධී ස්වභාවය හා ඒ මගින් ඇති කළ හැකි ප්‍රතිවිපාක හිටපු ජනාධිපතිවරයා විසින් හොඳින් සලකා බලා තිබෙන බවක් පෙනෙන්නට නැත. හිටපු ජනාධිපතිවරයාද මීට පෙර වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තෑගි දුන්නේය. ඒ තෑග්ග වර්තමාන ජනාධිපතිවරයාගේ යහපතට හේතුවූයේ නැත. වර්තමාන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට දී තිබෙන තෑග්ග වඩා භයානක තෑග්ගක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපතිවරයා තමන් විසින්ම තමන් සඳහා අටවා ගත් බිහිසුණු උගුලකට අසුවී තිබෙනවා පමණක් නොව, ඔහු විසින් හිටපු ජනාධිපතිවරයාද එම උගුලේ පටලවාගෙන තිබෙන්නේය. එම උගුලෙන් ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් මුළුමනින් විනාශවීමට ඉඩ තිබෙන අතර හිටපු ජනාධිපතිවරයාටද බරපතළ තුවාල ඇතිවිය හැකිය.

දැන් රට තිබෙන්නේ විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා නැති අවුල්සහගත තත්ත්වයකය. තවමත් ව්‍යවස්ථාවක් වෙනුවට දැන් රටට ඇත්තේ අණ්ඩ දමන ලද අංගවිකල ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථාවේ ඇතිවී තිබෙන විකෘතියට අගමැතිවරයාද වගකිව යුතුය. ඔහු පුළුල් අර්ථයෙන් කල්පනා නොකොට පටු අර්ථයෙන් හදන්නට උත්සාහ කළ ව්‍යවස්ථාවද විධිමත් ව්‍යවස්ථාවක් නැතිකමේ ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කිව යුතුය.

වර්ගය, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කරමින් සමාජය සමගි කිරීමට හා ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා අයිතිවාසිකම් ලබාදෙන රාමුවක් තුළ නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම රටේ ඇතිවූ ලේ වැගිරීම් හා කලකෝලාහල කෙරෙහි බලපෑ වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. ඒ නිසා නැවත ගැටුම් ඇතිවන තත්ත්වයකට ඉඩ නොතැබීම සඳහාත් ගැටුම්වලින් තුවාල වී තිබෙන හදවත් සුවපත් කිරීම සඳහාත් නූතන ජාතිය ගොඩනැගීමට හේතුවන විස්තීර්ණ වැඩසටහනක් රටට අවශ්‍ය වී තිබෙන්නේයැයි කිව හැකිය.

ජාතිය ගොඩනගන වැඩසටහනක් පමණක් ප්‍රමාණවත් නැත. රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේද ආකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. දූෂණයට ඉඩක් නැති, අකාර්යක්ෂමතාවට ඉඩක් නැති, ජනතාවගේ පරමාධිපත්‍යය බලය උපරිම ලෙස ක්‍රියාත්මක වන නීතියේ පාලනය රජ කරන නූතන රාජ්‍යයක් ගොඩනැගීමද රටේ ඉදිරි ගමනට නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.
දැන් පවතින අර්බුදය ජයගෙන යහපත් ඉදිරි ගමනක් ආරම්භ කළ හැකිවනු ඇත්තේ සමස්ත චිත්‍රයේ සරල වෙනසක් වෙනුවට ගැඹුරු වෙනසක් ඇතිකර ගැනීමෙනි. එවැනි ගැඹුරු වෙනසක් සඳහා හැම වැදගත් අංශයකම පාහේ සිදුවී තිබෙන වැරදි ගැන කරුණු සොයා බලන තැනකට රටා යා යුතුය. මෙතෙක් සිදුවී තිබෙන වැරදි මොනවාද යහපත් පූර්ණ විපර්යාසයක් සඳහා අවශ්‍ය වෙනස්කම් මොනවාද යන්න හරිහැටි හඳුනා ගැනීමට හැකිවනු ඇත්තේ මහජනයාට යථා තත්ත්වය ගැන හරි අවබෝධයක් ඇති කරගැනීමට හැකිවනු ඇත්තේද එවිටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන තැනකට යායුත්තේ ඒ සියල්ලම සැලකිල්ලට ගෙනය. දැන් ව්‍යවස්ථාදායකයට තිබෙන අවාසනාවන්ත තත්ත්වය අනුව හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීමට අවශ්‍ය කරන පරිචය, අවංකභාවය හා හික්මීම ව්‍යවස්ථාදායකයට තිබෙන්නේ යැයි කිව නොහැකිය. ඒ නිසා නව ව්‍යවස්ථාවක් හැදීමේ කාර්යයේදී ව්‍යවස්ථාදායකයට අතිරේකව මහජනයාටද සමාන බලයක් ලැබෙන ආකෘතියක් ඇතිකර ගත යුතුය. පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාට වන නිසා ව්‍යවස්ථා සම්පාදනයේදී මහජනයාටද ලොකු බලයක් ලැබෙන විශාල ප්‍රමාණයකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කළ යුතුය. එවැනි ක්‍රියාවලියක් හොඳ ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හේතුවනවාට අතිරේකව ඒ සඳහා සිදුවන සාකච්ඡා හා වාද විවාද නිසා නවීන ලෙස සිතන ජන සමාජයක් ගොඩනගා ගැනීමටද හේතුවනු ඇත. එවැනි ක්‍රියාවලියක් රටේ පරණ කාලකණ්ණි චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතුවනු ඇත.