අයියෝ සිරිසේන

ටිරන් කුමාර බංගගමආරච්චි

ලංකාවේ දේශපාලනය ගැන මේ මොහොතේ විදග්ධ සාකච්ඡා කිරීම අමනකමක් බවට පත්වී ඇත. අද දවසේ දේශපාලනය පිළිබඳ ප්‍රාමාණිකයන්ට, ඔස්තාද්ලාට වඩා සාමාන්‍ය මිනිසාගේ කියවීම ප්‍රබල වී ඇත. පක්ෂ දෙක තුන බෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයිද නැතැයිද වාද පවත්වමින් සිටිති. නීතිඥයෝ දෙපිල බෙදී මේ සම්බන්ධයෙන් තර්ක මරති. බලා සිටින මහජනතාව හොල්මං වී ඇත. ඒ අයට මෙය සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධීවද ප්‍රජාතන්ත්‍රවාදීවද යන්න අදාළ නැති කරුණක් වී ඇත. ඒ අය ටෙලිවිෂන් ඇතුළු සකල විධ මාධ්‍ය පීරමින් හොයනුයේ අද ආණ්ඩුවට එකතු වී ඇත්තේ කවුද? හෙට එකතුවන්නේ කවුද? සහ වඩා ඉක්මනට 113 පෙන්වනුයේ කවුද යන්නය. මහජනතාවගෙන් අතිබහුතරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්ද නැත්ද යන්න අදාළ නැත. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධන පළක් නැත. එයින් රනිල් ප්‍රබල වී ඇත්තද ගාණක් නැත. මහජනතාව නොදැන හැදූ නීති දැනුවත් නොකර ක්‍රියාත්මක වන නීති වෙනුවට ජනතාව දන්නේ තවමත් බලසම්පන්නයා විධායක ජනපති බවත් ඔහු අගමැති ලෙස මහින්ද තෝරා ගැනීමත් සමග සියලු ප්‍රශ්න අහවර වනු ඇති බවත්ය. ඒ අතර මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ ගෙනා අයවැය සහන ලොසින්ජර වුණත් එයද මේ මොහොතේ සමාජයට දැමූ ඇමක් වුවත් එය රස කර කන්න මහජනතාව කැමතිය. පාරට බැස කතා කළහොත් මිනිස්සු දහදෙනකුගෙන් අටක් නවයක්ම මහින්දවාදීහුය. ඒ තරමට මිනිසුන් රනිල්ට වෛර කරනුයේ මහින්දට ආදරය කරනුයේත් ඇයි? අපි කැමති වුවත් අකමැති වුවත් මිනිස්සු මහින්දට කැමතිය. මේ ආකර්ෂණය ඉදිරියේදී වුව කිසිදු දේශපාලකයකුට ලැබෙතැයි සිතිය නොහැකිය. මේ මහජන ප්‍රියතාවයම, කැරිස්මාව මහින්ද තම තක්කඩි දේශපාලනයට ලැබෙන හුස්ම බවට පත්කරගෙන ඇත. අද ජනතාව මහින්ද ඉල්ලන තැනට පාරට බැස ඇත. එහි පෙරමුණ ගෙන ඇත්තේ සංඝ සමාජයයි. සංඝ සමාජය සමාජයට හරි වැරැද්ද පෙන්වාදෙමින් සමාජය යහපත් කළයුතුමුත් සිදුවන්නේ පහළ ජනයාගේ ලේ, ඇට, මස් ප්‍රබෝධවත් වන රස කතා කියමින් මහින්ද ඕනෑමයි සංඝ ඝෝෂාව පැවැත්වීමය. අද මහින්ද වෙනුවෙන් පෙනී සිටීමට භික්ෂූහු පොර කති. දවස ගානේ නිවේදන නිකුත් කරති. පසුගිය කාලේ පන්සල පැත්තේ යෑමේ පළ විපාක දැන් මේ භවයේදීම ලැබෙන බව තහවුරුය. අනෙක් අතට මහා නායක හිමිවරුන්ට පලතුරු වට්ටි ඔසවලාම වෙනම ලෙඩක් හැදෙනවා නියතය. එන ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කීම ඇරුණු කොට මහ නායක හිමිවරු මෙතෙක් රටට ඵලදායි තීරණයක් ගත්තා හෝ තීරණයක් ගත හැකියැයි අපට නම් නොසිතේ. මේ ඇබ්බැහියට කරන බොරු නාඩගම්ය. දේශපාලන තීන්දු තීරණ ගතයුත්තේ නායක හිමිවරුන්ගෙන් අසාද? මෛත්‍රී, මහින්දව අගමැති කළේ මහනායක හිමිවරුන්ගෙන් විමසාද? දේශපාලකයෝ පෝලිමේ ගොස් මහනායකලා මුණ ගැහීම හරහා රටට වන යහපත කුමක්ද? උන්වහන්සේලා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කියන්නේද? මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බව කියන්නේද? මුකුත්ම නොකියකි. එහෙත් මාධ්‍යවලට සුළු මොහොතක් පෙනී නොපෙනී යති. පලතුරු වට්ටියක් භාර ගැනීම සහ වචන කිහිපයක් කතා කිරීම හැරුණු විට ඒ වචන, කතා රටට වැඩදායකද?

මාධ්‍ය භූමිකාව

ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමවේදයම මාධ්‍ය බන්ධනයට ලක්ව ඇත. ආණ්ඩු පෙරළීම, ආණ්ඩු හැදීම අද මාධ්‍ය සතු වගකීමක් වී ඇත. ජනමතය යම් සේ මාධ්‍ය පාලනය කරයිද? එයම අද දේශපාලකයා ක්‍රියාත්මක කරන දුරස්ථ පාලකය බවටද පත්වී ඇත. විද්‍යුත් මාධ්‍ය එහි පුරෝගාමියෝය. අද රටේ සියල්ලම පාහේ රියලිටිකරණය වී ඇත. දේශපාලනයද මේ පත්ව ඇත්තේ රියලිටි ෂෝ එකක් බවටය. මාධ්‍ය එය අපූරුවට කර ඇත. අද වඩා හොඳ දේශපාලකයා බවට පත්වන්නේ මුඛරියාය. මුඛරියා තෝරනුයේ මාධ්‍ය විසිනි. අනෙකා පච කිරීම කිච කිරීම කෙසේ කළ හැකිද? එසේ කරන සාර්ථකම පුද්ගලයා මහජනතාවගේ ජනප්‍රියතම දේශපාලකයා වී ඇත. විරුද්ධවාදියාට බණින ස්වරය කැතම වන තරමට කථිකයා ලස්සනවීමට පටන් ගෙන ඇත. එබැවින් එදා බැන්න විදිහට අද යාළුවෙන්න පුළුවන්ද? එදා බැණපු කටින් අද හොඳ කියන්නේ කොහොමද වැනි ළාමක කතා අද වලංගු නැත. හතුරන් මිතුරන් වූ පසු උපරිම මිතුරන්ය. පුවත්පතකට කතා කරන්න අදිමදි කරන දේශපාලකයෝ කැමරාවක් ඉදිරියේ කස්තිරම් සියල්ලම අල්ලති. අද ඇමතිලා ජීවත් වෙන්නේ මාධ්‍ය නිසාය. වඩා කැපී පෙනෙන අත්‍යවශ්‍ය දේශපාලකයා අද තෝරනුයේ වැඩවලින් නොව කැපී පෙනෙන ප්‍රමාණය මතය. හොඳම රංගනය මතය. මේ දේශපාලන ගමන අප කැමති වුවත් අකමැති වුවත් ඉදිරියට එලෙසම ඇදෙනු ඇත. මාධ්‍ය මෙය නීති විරෝධීද යන්න කතා කරනු වෙනුවට ලකුණු පුවරුව මෙන් දිනපතා දෙපැත්තේ මන්ත්‍රී ගණන දමති.

කවුද අගමැති

පිරිසකට අගමැති රනිල්ය. තවත් පිරිසකට මහින්දය. රටේ ජනතාව භාර ගන්නේ මහින්දවය. එජාප ක්‍රියාකාරීන්ගෙන් වුව ළඟම අය විනා රනිල් අගමැති යැයි පිළිගන්නවාද යන්න දෙවරක් සිතිය යුතු කාරණයකි. අරලියහ මැදුරේ නැවතී සිටියද? සැබැවින්ම අගමැති රනිල් වුවද? ඔහුට දැන් කළහැක්කේ එය තුළ රැඳී සිටීම හැර වෙන කුමක්ද? කතානායක පිළිගන්නේ තිබුණු ආණ්ඩුව කියා රනිල්ට හෝ අනෙක් ඇමතිවරුන්ට රාජකාරි කළ හැකිද? ඒ අයව පිළිගන්නේද? මුදල් ලැබෙන්නේද? නෑ අපි තමයි ඇමතිවරු අගමැති කිව් පමණින් ඒ අයට කළහැක්කේ කුමක්ද? අරලියගහ මන්දිරයේ ඉඳීම තුළින් පමණක් රනිල් අගමැති වේද? අනෙක් අතට මහින්ද රට වටා යමින් තමන් අගමැති යැයි වැඩ කරති. හෙට පාර්ලිමේන්තුව තුළ වුව රනිල් ජයගත්තද ඔවුන්ට මේ පාලනය සියතට ගත හැකිද? දැනට කියන තරම් බරපතළ නැති මේ ප්‍රශ්නය අතිභංයකරවන්නේ එතැනදීය. එනම් රනිල් අගමැති කියා සිටිනවාට වඩා ලේ හෙළවෙන සෙල්ලමක් බවට යම් විදිහකට මහින්ද අගමැතිකමෙන් ඉවරයි කියා ප්‍රකාශ වුවහොත් සිදුවනු නියතය. ඒ තරමට මහින්ද පිළිගත්, කිරිබත් කෑ ලුම්පන් සමාජය අද මහින්ද අගමැති කොට ජනාධිපති ලෙසත් බාරගෙන අවසන්ය. රූකඩ මෛත්‍රී මේ මොහොතේ අන්ත අසරණ වී ඇත. ඔහු ඉදිරියේම බොහෝ අය කියනුයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන ලෙසය. තමා ජනාධිපතිදැයි සිතන්නට සිරිසේනට සෑහෙන කාලයක් ගියේය. අපගේ හැඟීම නම් ඔහුට එය සිතන්නවත් නොහැකි වනු ඇති බවය. මේ මොහොතේ අගමැති තෝරනුයේ හරියට රටේ බලසම්පන්නම පුද්ගලයා අගමැති වන තැනට සියල්ල තල්ලු වී තිබෙන ආකාරයකටය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇති නියම බලතල පාවච්චි කරනුයේ ඉදිරියේ රනිල් නොව මහින්දය. රනිල් කළේත් එයම වුවද එය මහින්ද රනිල්ට වඩා හොඳට කරනවා නියතය.

එජාපයේ මිටි බව

මේ දේශපාලන අවුල පාර්ලිමේන්තුව කැඳවා බහුතරය විමසූ පසු අහවරයි කීම තුළින්ම එජාපයේ පටු තැනත් පැහැදිලිය. මෙය නීති විරෝධී පත්කිරීමක් නම් එජාපය හඬ නැගිය යුත්තේ එයට විනා බහුතරය පෙන්වන්න කියන ළාමක තැනට නොවේ. කෙසේ හෝ බහුතරය පෙන්නුවහොත් තමන් පහුවදාම සියල්ල භාරදී යන බවද එජාප ප්‍රබලයෝ කියති. බහුතරය පෙන්නුවද නොපෙන්නුවද මේ කර තිබෙන වැඬේ වැරදි බැවින් එය නිවැරදි කිරීම තෙක් සටන් කිරීම වෙනුවට එජාපය සිටිනුයේ ඔළුගෙඩි මතය.

පනින්නෝ දිනන්නෝය

කොයි පැත්තට වුව පනින අය දිනන්නෝය යන්න දැන් ප්‍රසිද්ධිය. මහින්දලාට එන ඕනම කෙනකුට ඇමති, නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමතිකමක් පොරොන්දු වූ වෙන යමක් ලැබෙනු නියතය. ඒ සියල්ල කරනුයේ ඔළුගෙඩි පෙන්වීමටය. ඉන්පසු මාස දෙක තුනක් යනවිට ඔය ඇමති මණ්ඩලය විසුරුවා අලුත් අය පත්කිරීම හෝ ඡන්දයකට යෑම හෝ කරනු නියතය. ඒ නැතත් පාලනය කිරීම සෙසු ප්‍රබලයන් විසින් කරනු ඇතිය. ගෝඨාභය අද කවුරුත් නොවේ. එහෙත් ආරක්ෂාව ලබාදෙන්නැයි ඉල්ලනුයේ ගෝඨාගෙනි. ඒ රනිල් වැඬේ යන විදිය දන්නා නිසාය. දැන් ජනපති කාර්යාලයේ තීන්දු තීරණ ගන්නා තැන්වල බැසිල් සිටියි. දැන් සියල්ල නැවත රාජපක්ෂලාගේම වී ඇත. රනිල් පෙරළාගෙන යන්නට හැකි කෙනකු සිරිසේන හොයාගෙන ඇත. ඊට අවුරුදු තුනහමාරක් ගතවිය. එතෙක් සමනලුන් පස්සේ ගිය සිරිසේන දැන් ලොකු ළමයෙක් වී මහින්ද පස්සේ යන්නට පටන් ගෙනය. සමනල්ලු පස්සේ ගිය සිරිසේන දෙබරකුට මල්පැණි පොවන්නට පටන් ගෙනය. රනිල් පෙරළීම කෙසේ වෙතත් මේ වනවිටත් මහින්ද, සිරිසේනව පෙරළා බිම දමා හමාරය. චණ්ඩියෙක් ආශ්‍රය කරන තරුණ ගැටවුන්ට එන උමතුවම දැන් සිරිසේනටද ඇවිත් ඇත්තේ මහින්ද නම් චණ්ඩියා ළඟ සිටින නිසාය. දැන් ඔහු නොකියා කියන්නේ රනිල්ව මහින්ද ලවා ප්ලැට් කරන බවය.

තමන් ඒ සඳහා කරු සහ සජිත්ට කතා කළ බවත්, ඒ දෙපළම තමා බේරාගන්නට නොපැමිණි බැවින් තමා මහින්ද තෝරා ගත් බව සිරිසේන රටටම කීවේය. එක අතකින් වැඬේ හරිය. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙයි නම් ඊට වඩා සාටකය හයිය නැතිද? හෙට සිරිසේනද සාටකයක් පැළඳ වේදිකාවකට ගොඩ වුවද අප පුදුම විය යුතු නැත. සිරිසේන තුළ වුව සිටින වීරයා මහින්දය. 2015 ඔහු පරාජය කරන්නට හෝ එන්නේ ඒ කැමැත්ත නිසාමය. කැමැත්ත වැඩි වුවත් මහින්ද ඔහු ගණන් නොගත් නිසාය. ඒ මොහොතේ අන් අයගේ පිහිටෙන් දින්නද සිරිසේන තුළ සිටි වීරයා මරා දැමීම ලේසි නැති විය. ඔහුත් බැලුවේ මහින්ද කෙනෙක් වන්නටය. එහෙත් මහින්දලා ඇත්තේ එකෙකි. ඔහුද තවම සිටී. එබැවින් සිරිසේන නිකම්ම නිකම් රූකඩයක් විය. පසුගිය කාලයේ වුව ඒකාබද්ධය පවා ගැටුණේ රනිල් සමගය. සැබෑව නම් සිරිසේන හිටියේ නමටය. ඉදිරියේද එය එසේමය. නිකමට හෝ ඔළු ගෙඩි එකතු කරගතහොත් මහින්ද අංක එකට කරනුයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම විය හැකිය. එවිට නැවත තරගය ඔහුට විවෘතය. එවිට සිරිසේනට වන්නේ කුමක්ද?

2015දී මහින්ද ඩුප්ලිකේට් සිරිසේන කෙනෙක් හදාගෙන රට වටේම ගියේය. අවසානයේ ඡන්දය දමන්නට පවා බලු කුක්කකු සේ රැගෙන ගියේ ඔහුවය. වසර තුනහමාරකට පසු ඔරිජිනල් එකම ඔහුට ලැබී ඇත. දැන් බලු කුක්කකු සේ සිරිසේන මහින්ද ළඟ දැවටෙන තැනට තල්ලු වී ඇත. දැන් ඔහු වේදිකාවට නැග කතා කරනුයේ මහින්ද සතුටු කරන්නටය. විමල් වීරවංශට තිබූ තැන දැන් සිරිසේන ඩැහැ ගන්නා ලකුණුය. සැබැවින්ම රනිල් සේ ම සිරිසේනද පව්ය. ඊටත් වඩා මහින්ද පරද්දන්නට ක්‍රියා කළ මිනිස්සු පව්ය. 2015 මේ නිකමෝ ටික නැවත මහින්දට බලය දෙන බව දන්නේ නම් මිනිස්සු මහින්ද පරද්දන්නේ නැත. අභාග්‍ය දැන් මිනිස්සු මහින්ද දිනවන්නේ 2015 හැත්ත බුරුත්තට පාඩම් උගන්වන්නටය. මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු යන ගීතයට මහින්ද එදා බයවූයේ එබැවිනි. එහෙත් දැන් ඒ ගීතයට ප්‍රියකරනු නියතය.

අවසානය

කොතෙක් වාද විවාද ගියද, නොවැම්බර් 14න් පසු මේ චිත්‍රය බිත්තියේ එල්ලිය හැකි මට්ටමට වැඬේ අහවර වනු ඇත. රනිල් ඇරුණු කොට එජාපයෙන් කවුරු වුව විකුණුනද පුදුමයක් අපට නැත. අද සත්‍ය ගැන කතා කරන කරු එදා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේ තවහයිකාරයන් රොත්තක් අරගෙනය. එබැවින් එජාපයේ සුජාතභාවයක් සෙවීම පළක් නැත. රනිල්ලා එපා වන තැනට ඔවුහුම වැඩ කළෝය. හෙට දවසේ රාජපක්ෂලාගේ නම්වලට ගෑවුණු සියලු පරීක්ෂණ වාර්තා අතුරුදන් විය හැකිය. එය දැනටමත් වී ඇතිද සැකසහිතය. එබැවින් දැන් හොර කතා, දූෂිත කතා කතා කිරීම වැඩකට නැති කතාය. බැඳුම්කර සිද්ධිය වුව එළියට එන්නේ නැත. මහින්ද ඒ තරමට නරක මිනිසකු නොවේ. ඔහු හොරු රැකගැනීමේ ශූරයෙකි. එබැවින් රනිල්ලාට ඒ අතින් බයවිය යුතු නැත. රනිල්ගේ ආරක්ෂාව රාජපක්ෂලා කොහොමත් ආරක්ෂා කරනවා නියතය. එහෙත් රනිල් ළඟ සිටින බලු කුක්කන්ව මහින්දගේ තඩි බල්ලෝ හපා නොකතැයි සහතිකවන්නේ කවුද? දැනටම එකා දෙන්නා ලණු කඩාගෙනය. මේ ඉවසනුයේ උසිගන්වන තුරුය.

රනිල් කෙළි සියලු පිස්සුවලට සිරිසේන වගකිව යුතුය. අද සිරිසේන කරනුයේ ඒවායෙන් බේරී සියලු පව් රනිල් පිට දමා මාරුවීමය. හෙට ඒ පව කරගහන්නට දී ඇත්තේ මහින්දටය. ඔහු සුදනා වී ඇත. රනිල් පෙරළාගෙන යන කෙනකු දමා පෙරළුෑ පසු අත්පුඩි ගසන්නට සිරිසේන බලා සිටී. සැවොම මේ සිටිනුයේ අපායේ ඉන්ටර්වල් එකක බව පැහැදිලිය. අසූචි වළේම සිටින මේ අය මීට පෙර ඉන්ටර්වල් නැතිවාද නොවේ. එබැවින් ඒ අයට ඔළුවෙන් හිටගන්නවා කියන එකත් අරුමයක් නොවේ. සිරිසේන එය ඔක්තෝබර් 26 වැනිදා කර පෙන්වීය. එස්.බී, තිලංගලා එදා සිට සිටියේම ඉන්ටර්වල් එකේද ඔළුවෙන් හිටගෙනය. ඒ නිසා ඒ අයට කිසිදු අපුලක් නැත. රංගේ බණ්ඩාර ඉදිරිපත් කරන හඬ පට වුව රියලිටි ෂෝ එකේ අතරමැද හොඳ කෑල්ලක් විනා ඇඞ් එකක් විනා වෙන කිසිවක් නොවේය. අද බ්‍රේකින් නිව්ස් පවා හොඳ ඇඞ්ය. ජනතාව මේ මොහොතේ එස්එම්එස් ප්‍රේක්ෂකයන් වී ඇත. ඔවුහු මනාප කටින් ටයිප් කරති. ප්‍රතිඵලය වැඩි ඈතක නැත. ‘රට රකින ජන මහිමය’ වැනි දෑ අවසන් තරගයට පෙර පෙරහුරුය. සැබැවින්ම අපි සතුටු වෙමුද? අඬමුද? මොකක් කළත් එයත් රියලිටිම වනු ඇත.