මේ පත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධියි – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

නිමල් අබේසිංහ
ඡායාරූප – රසික ගුණවර්ධන

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ තුළ ව්‍යවස්තාවක් තුළ තිබිය යුතු ඒකාග්‍රතාව මෙන්ම මනා පිළිවෙළක් ද නොමැති බවයි පෙනෙන්නේ. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

දේශපාලන මත දක්වනකොට ගැටුම් ඇතිවෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයකට වඩා අපට පෙනෙන්නේ අර්ථනිරූපණය කිරීමේ වැරැද්දකුයි. මෙතනදි අපට ප්‍රශ්නයක් මතු වෙනවා මේ අර්ථනිරූපණයන් සිදු කරන්නේ වෘත්තීය වශයෙන්ද නැත්නම් දේශපාලන වශයෙන්ද කියන එක ගැන. මගේ ස්ථාවරය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ මතයට අපි ගෞරව කළ යුතුයි. එතකොට මම පක්ෂපාතව ක්‍රියා කරන පක්ෂය ආණ්ඩුවට ආවේ නැතත් බහුතරය ඒ පක්ෂය තෝරනවා නම් මා ඒකට ගරු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා නම් කවුරු ආවත් කමක් නෑ. ඒත් ඒ ගන්න ස්ථාවරය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල විය යුතුයි.

දැන් මෙතන වෙලා තියෙන්නේ ඒ වගේ ස්ථාවරයක් ගත්තත් පෙනෙන්නේ පක්ෂපාත හැටියට. ඒක වැරදියි. පක්ෂපාතව අදහස් ප්‍රකාශ කරන්න කාරණයක් නැහැ. ඇයි අපේ රටේ වෘත්තියමය වශයෙන් ස්ථාවරයක් ගන්න කිසිකෙනකුට බැරි. ගත්තත් ඇයි ඒකට ගෞරව කරන්නේ නැත්තේ. දැන් මෙතන වෙලා තියෙන්නේ කවුරු කියන දේත් විශ්වාස කරන්න බැරි වීමයි. මොන පක්ෂය බලයට ආවත් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් ආණ්ඩු කරන පක්ෂය නීත්‍යනූකූල විදියට ආණ්ඩුව කරගෙන යා යුතුයි.

26 වැනිදා පත් කරපු අගමැතිවරයා සහ ඊට පස්සේ පත් කරපු ආණ්ඩුවයි ගැන යම් අදහසක් තිබෙනවානේ. එක අදහසක් නම් ජනතා මහිමය, ජනතා බලය කියන එක. ඒක අපි විග්‍රහ කරමු. දැන් පෝස්ටර් ගහලා තියනවා අපි මේ රට බේරගන්න ආපු නායකයෝ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ ජනතා මහිමය පෙන්වන්න. ජනතා බලය පෙන්වන්න. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක කොහොමද ජනතා මහිමය පෙන්වන්නේ ඡන්දය මාර්ගයෙන්. දැන් ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩුව ගෙනියන්න බැරිනම් පාර්ලිමේන්තුවට ගිහින් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කැමති ආණ්ඩුවක් පත්කරගන්න කියලා ඉඩ දෙන්න පුළුවන්. එතකොට දැන් ජනාධිපතිවරයා කියනවා මම කරූ ජයසූරියට අගමැතිකම දෙන්න සූදානම් වුණා කියලා. දැන් ජනාධිපතිට අපේ ව්‍යවස්ථාවේ කිසි අයිතියක් නැහැ රජ කෙනෙක්ට වගේ එක් එක්කෙනාට අගමැති පත්වීම් දෙන්න.

අපේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම මාර්ගයයි. පාර්ලිමේන්තුවට ගිහින් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් අගමැතිවරයා පත් කිරීම. 19 වැනි ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය තිබෙන තැනැත්තා අගමැති හැටියට පත් කළ හැකි බවටයි. ඉතිං පාර්ලිමේන්තුවට නොගිහින් කොහොමද තීරණ ගන්නෙ, කාටද මේ විශ්වාසය තිබෙන්නේ කියලා. මෙයාට පුළුවන් කියලා එයාට ආකල්පයක් තිබුණා කියලා එහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තු සැසි වාරයක් පවත්වල ඒ තැනැත්තාට වැඩි කැමැත්ත තිබෙන විට එහෙම පත් කරන්න හැකියි. ඒත් මේ පත් කිරීම සම්පූර්ණයෙන් ව්‍යවස්ථ විරෝධියි.

එතුමා කියනවා වගේ මං මෙයාට දෙන්න තිබ්බා, අරයට දෙන්න තිබ්බා කියලා. එහෙම කියන එකත් නීති විරෝධියි. විධායක ජනාධිපතිවරයාට තීරණය කරන්න බෑනේ අනෙක් පක්ෂයේ නායකයා කවුද කියලා.
ප්‍රාදේශීය සභාවල බලය පොහොට්ටුව පක්ෂයට බලය ලැබුණා. ඒක හරි. ඒ වුණත් ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පාර්ලිමේන්තු බලය දෙන්න බැහැනේ. ඒ තීන්දුවෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් මත.
පවතින ක්‍රමය අනුව ඡන්දදායකයා පළමුව ඡන්දය දෙන්නේ පක්ෂයට. ඊට පස්සේ තමයි පුද්ලයාට ඡන්දය දෙන්නේ. එතකොට මෙතනදි වැදගත් වෙන්නේ පක්ෂය. ඒ නිසා ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට පනින එකත් වැරදියි. එතකොට මුදල් වලට නැත්නම් ඇමති පත්වීමකට යන එක වැරදියි.

ව්‍යවස්ථාවේ හැටියට පක්ෂයකින් තවත් පක්ෂයකට මන්ත්‍රීවරයකුට මාරු වෙන්න බැරි වුණත් එසේ හැකි යැයි කියන නඩු තීන්දුවක් තිබෙනවානේ

බෑ කියලා සඳහන් කරලා නෑ. බෑ කියන වගන්තිය 19 වැනි සංශෝධනයට ඇතුල් කළා. හැබැයි ඒක බහුතරය පිළිගත්තේ නැහැ. ඉතිං ඒක කෙටුම්පත් කරන්න බැරි වුණා. මන්ත්‍රී ධූරය මාරු කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු පැහැදිලි නෑ. එතන අර්ථ නිරූපණයක් තිබෙනවා එහෙම මාරු කිරීමක් කළොත් යම්කිසි සාරධර්මානූකූල කාරණයක් නිසා ඒක ඔප්පු කරන්න බැරි වුණා කියලා බය වෙලා උසාවියට යන්නේ නෑ. ඒ නිසා අර්ථ නිරූපණය පැහැදිලි නෑ. නමුත් ඒක මූලික ප්‍රතිපත්තියට පටහැනියි. මෙතන මූලික ප්‍රතිපත්තිය කීවේ සමානුපාතික ක්‍රමය.

19 වැනි සංශෝධනය ගේන්න වාතාවරණයක් තිබුණා. අවුරුදු ගණනාවක් කළේ මොකක්ද ජනාධිපතිට බලය දෙන්නේ 1978 නේ. තිබුණු ව්‍යවස්ථාව ඉවත් කරලා අලුත් එකක් ගෙනාවා. චන්ද්‍රිකා කීවා මේක බහුබූත ව්‍යවස්ථාවක් කියලා. ඇයි ඒ තරමට ජනාධිපතිට බලය වැඩියි. ඊට පස්සේ කීප දෙනෙක්ම මේ ව්‍යවස්ථාව අහෝසි කරන්න ඕනේ කීවත් කළේ නෑ.

2015 අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දය දුන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නයි. ඒක එක පාරටම කරන්න බෑ. ඒ නිසා තමයි 19 වැනි සංශෝධනය ඇති කළේ. ඒ ජනාධිපතිවරයාගේ පුළුල් බලය අඩු කරන්නයි. පැරණි ව්‍යවස්ථාවේ තිබුණු ජනාධිපතිවරයාගේ ආකල්පය අනුව අගමැතිවරයා වෙනස් කරන්න. ඒත් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක ඉවත් කළා. එතකොට මේ ජනාධිපතිතුමාට එයාට අවශ්‍ය වුණා කියලා අගමැති ඉවත් කරන්න බැහැ. එහෙම තිබුණට කවුදෝ උපදෙසක් දීලා තිබෙනවා ඔබතුමාට මේක කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ සිංහල කොටසේ තිබෙනවා අගමැති ඉවත් කරන්න පුළුවන් කියන වචනය. ඉංග්‍රීසි එකේ නෑ කියනවා.

අපි දන්නවා නීතිඥයෝ වශයෙන් පනතක් මූලික අදහස අර්ථ නිරූපණය කරන්න මිසක වචනයක් අර්ථ නිරූපණය කරන්න බැරි වග. අනෙක අර්ථ නිරූපණ පනත තිබෙනවා. ඒක අනුව පත් කරන තැනැත්තාට පත් කරපු අයව ඉවත් කළ හැකියි කියලා. අපේ රටේ නඩු තීන්දු කීපයක් තිබෙනවා මේ අර්ථ නිරූපණ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණයට බලපාන්නේ නෑ කියලා. ඒ නිසා අපට කියන්න තිබෙන්නේ ව්‍යවස්ථාවේ මූලික අදහස අනුව අගමැතිව අස් කරන්න බැහැයි කියන එකයි. එතකොට මේ පත් කරලා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල නොවන ආණ්ඩුවක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපණයක් අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි නේද? එහෙම නොවෙන්නේ ඇයි?

මේ ව්‍යවස්ථාවේ 3 වගන්තියේ සඳහන් කරලා තිබෙන්නේ පරමාධිපත්‍ය ජනතාවට අයිති බවයි. ඒ පරමාධිපත්‍ය බලය පැවරෙන්නේ ආයතන තුනකට. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයටයි. මෙතන ගැටීමක් තිබෙනවා. එකයි, දෙකයි අතර තුරේ. ඒ අවස්ථාවේදී අධිකරණයට යන්න හැකියාවක් තිබෙනවා. ඇයි එහෙනම් යන්නේ නැත්තේ. අධිකරණයට යන්න පුළුවන් මාර්ග දෙකකින්. එකක් ව්‍යවස්ථාව උල්ලංඝනය වුණැයි කියලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරන එක. ඒක දැනටම කරලා තිබෙනවා. ඒත් ඔතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේ නඩු ගෙන එන්න පුළුවන් වෙන්නේ සිටින ජනාධිපතිවරයාට විරුද්ධව. අනෙක් එක කොච්චර කල් ගන්නවාද? අනෙක් එක මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබා ගන්න පුළුවන් ජනාධිපතිවරයාට.

පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවුවත් එදාට විවෘත කිරීමේ උත්සවයක් පමණයි කියලා සමරසිංහ කියලා තිබෙනවා. එදා ජනාධිපති ද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පමණක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට පාර්ලිමේන්තුව කල් දමනවා. එතනදි වෙන්නේ පුරවැසියන් විදියට පාර්ලිමේන්තුව කෙරෙහි අපට තිබෙන විශ්වාසය නැති වෙනවා.
මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රේෂඨාධිකරණය නොයන්නේ කියලා.
එයාට යන්න බැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය මතය ලබා ගන්න කිසි අයිතියක් නැහැ. ඔහුට යනවා නම් යන්න ඕනේ මූලික අයිතිවාසිකම් පාර්ශ්වයෙන්.

ජනතා සහභාගීත්වයෙන් තොරව සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම නොවෙයිද මේ ගැටලුවට හේතුව?

ඔව්. ඒක හරි. ඇත්තවශයෙන් 1978 ව්‍යවස්ථාවේ ලොකු අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි ඒ වගේම ව්‍යවස්ථාවක් හදන එක ලේසි නෑ. සංකීර්ණ වැඩක්.

මෙම ගැටලුවේදි කතානායකවරයාගේ භූමිකාව සිදුවෙන ආකාරය ඔබ දකින විදිය කවරාකාරද?

පාර්ලිමේන්තුව කැඳවා සැසි වාරය කල් දැමීම තුළ පාර්ලිමේන්තුව නොපවතී කියන්න බෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තැබුවා කියා කතානායකවරයාගේ ධූරය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි එතුමා ජනාධිපතිවරයාගෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින්නේ. පාර්ලිමේන්තුවේ ස්වාධීන්ත්වය රැකගන්න ඔහු එහෙම ඉල්ලීමක් කළේ.

මේ අර්බුදයේදී ජාත්‍යන්තරයේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් තිබෙන බවටත් මතවාදයක් තිබෙනවා. එය ඔබ දකින්නේ කුමවාකාරයකටද?

ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් කරපු රටක්. එතකොට ආණ්ඩුවට යම් යම් යුතුකම් තියනවා. ඒ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම වලට ගෞරව කිරීමට. ඒ තමන් අත්සන් කළ කෙටුම්පත් වල ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමෙනුයි. එතකොට මෙතන තිබෙනවා ව්‍යවස්ථාදායකයේ ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඇයි, අගමැතිවරු දෙදෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ප්‍රශ්නයක් නැද්ද? කොහොමද මේගොල්ලෝ කියන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. මෙතන සිදු වන්නේ ඇඟිලි ගැහීමක් නොවෙයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්නවා නම් මේ වගේ ප්‍රශ්නෙකදී ඒගොල්ලන්ට අහන්න පුළුවන්. කරුණා කරලා මේ ප්‍රශ්නය විසඳලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව ආණ්ඩුව ගෙනියන්න කියලා. ඒගොල්ලන්ට අයිතියක් තිබෙනවා මේක ප්‍රශ්න කරන්න.

ප්‍රජාතන්ත්‍රවදය ගෙනියන කුළුණු තුනෙන් එකක් දුර්වල වුණොත් අනික් කුළුණු දෙක මැදිහත් වී ගැටලුව විසඳාගත නොහැකිද? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි මැදිහත් වීම් කළ අවස්ථාත් තිබෙනවනේ.

මේකට කියන්නේ තමන්ගේ මැදිහත් වීම. ඒක කරන්න අපේ ව්‍යවස්ථාව තුළ අයිතියක් නෑ.

ඒ කියන්නේ අපි ව්‍යවස්ථා අර්බුදයක සිටින බව නොවෙයිද?

ඇත්ත අපිට ව්‍යවස්ථාවක් හදාගන්න තිබුණා. දැන් ආණ්ඩුවට අවුරුදු හතරක් විතර ගිහින්නේ. ඒ හතර තුළ ඒකටවත් අපට ඉඩක් ලැබුණේ නෑනේ. එක පක්ෂයක් මේක කරන්න බෑ කියනවා. එකඟතාවක් නෑ. 19 වුණත් කරගත්ත දෙය ලොකු දෙයක්. ඒකට අපි ජනාධිපතිතුමාට ගෞරව කළ යුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ සූදානමක් තිබුණනේ. ඒ ගැන ඔබ මොකද කියන්නේ. රටට අවශ්‍ය මොන වගේ ව්‍යවස්ථාවක්ද?

බලය ලබා ගන්න තැනැත්තෝ ජනතාවට වගකීමක් නැතිව බලය පාවිච්චි කරනවා. මොන ව්‍යවස්ථාවක් ඇති කෙරුවත් අපේ දේශපාලනඥයින්ගේ අඩුපාඩුකම් තියනවා නම් කොහොමද මේවා විසඳ ගන්නේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදය නිසිසේ සලකන නායකයන් ලැබිය යුතුයි.

ඒ කියන්නේ අපේ රටට හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න බැරි වෙයිද?

මං හිතන්නේ නෑ පුළුවන් වේවි කියලා. මේ වගේ ගැටුම්කාරී දේශපාලනයක් තියනකොට කොහොමද ව්‍යවස්ථා හදන්නේ.