රුපියල් දහසක් ඉල්ලා පාරට බැස්ස මිනිස්සු.

රසික ගුණවර්ධන

තේ කෝප්පයක නැවුම් රසය ද සුවඳ ද විඳින අපි, ඒ තේ කෝප්පය රසවත් හා සුවඳවත් කිරීමට තේ දල්ල නෙලන කඳුකරයේ සීතලට වියලුණු අත් වල කථාව ගැන සංවේදී නොවෙමු. ඒ වියලුණු දෑත් වල නොතිත් සවියට නිසි වටිනාකමක් ඉල්ලා පසුගිය දා ඔවුහු කොළඹ ගාලු මුවදොරට රැස් වූහ. ඔවුන්ගේ විරෝධතාව නිමා වූයේ ඔවුන්ගේ අතිශය සාධාරණ ඉල්ලීම වූ දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස වූ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොව පොලීසිය විසින් ලබා දුන් බැටන් පොලු ප්‍රහාරයෙනි. ඉන්පසු ඔවුන් විසිර ගියද ඔවුන්ගේ ඒ විරෝධතාවට පිළිතුරක් ලැබෙන සේයාවක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය දීමට හේතුව ලෙස සඳහන් කළේ මහින්ද රාජපක්ෂ වතුකරයේ ජනතාවට රුපියල් දහස දක්වා දෛනික වැටුප වැඩි කිරීමට එකඟ වීම බවයි. කෙසේ වෙතත් සිය දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කරන ලෙස වතු කම්කරුවන් විසින් ඉල්ලූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔවුන් මෙම ඉල්ලීම සිදු කර තිබුණි.

මෙවර මෙම විරෝධතාවයෙහි විශේෂත්වය වූයේ වතු කම්කරුවන්ගේ දරුවන් වැටුප් අරගලයට සම්බන්ධ වී සිටීමය. එහෙයින් එම අගරලයෙහි වෙනදාට වඩා වැඩි ජීව ගුණයක් හා නැවුම් බවක්ද දක්නට ලැබුණි.

නුවරින් කොළඹට

කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ දරුවන් කොළඹට පැමිණ කළ උද්ඝෝෂණයට නිසි ප්‍රතිචාරක් කිසිවකු විසින් ලබා නොදෙන තැන , දයාබරන් සහ සෙල්වරත්නම් රාජා නුවර සිට කොළඹට පසුගිය ඉරිදා දින පා ගමනින් පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික දීමනාවක් ලබා දෙන ලෙස සඳහන් කළ බැනරක්ද සමඟය.
“අපි හැමෝගෙම අම්මල තාත්තල වෙනුවෙන් තමයි අපි අද නුවර ඉඳලා කොළඹට පයින් ආවේ. එදා අපි හැමෝම ගෝල් ෆේස් එකට ඇවිල්ල කරපු විරෝධයට එක දේශපාලනඥයෙක් ආවෙ නෑ. අපි 225ක් පත්කරල පාර්ලිමේන්තුවට එව්වෙ අපේ ප්‍රශ්න කතා කරන්ඩ. ඒ වුණාට ඒ ගොල්ලො කවදාවත් ඒක කළේ නෑ. අපට දේශපාලනඥයො ගැන විශ්වාසයක් නෑ. අපේ අයිතීන් දිනා ගන්ඩ නම් අපි තනියම සටන් කරන්ඩ ඕනෙ.” දයාබරන් එසේ කියයි.

ගාලු මුවදොරට දහවලේ හිරු එළිය චණ්ඩය. නුවර සිට කොළඹට පා ගමනින් ආ ඔවුන්ගේ හිත ගත චණ්ඩ හිරුද දෛනික පඩිය සේම ඔවුන් පෙලයි. කොළඹදී ඔවුන් දෙදෙනාට එකතු වූ තරුණයෝ විටින් විට ජල බෝතල් ද පැණි බීම බෝතල් ද දයාබරන්ට සෙල්වරත්නම්ට ගෙනැවිත් දුන්හ. ඒ ඔවුන්ගේ වෙහෙස නිවීමටය.

“අපට හම්බවෙන ගාන ඇතියි කියන අයට මම කියනව පුලුවන්නම් ඒ ගානෙන් අපේ කාගෙහරි ගෙදරක මාසයක් ඉඳල පෙන්නන්ඩ කියල.

“අවුරුදු දෙසීයකට කලින් ලංකාවට ආපු මිනිස්සුන්ට සලකන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට නෙවෙයි වගේ. ඒ ගොල්ලන්ට හරියට පඩියක් නෑ. ඒ ගොල්ලන්ගෙ ළමයිට තුන් වේල හරියට කන්ඩ නෑ. රුපියල් පන්සීයෙන් ජීවත් වෙන්ඩ බෑ. අපි රුපියල් දාහක් ඉල්ලන්නෙ ඒකයි.” සෙල්වරත්නම් අප හා සංවාදයකට මුල පිරීය.

”මායි මගෙ යාලුවයි නුවර ඉඳල කොළඹට පයින් ආවෙ වාර්තාවක් තියල ආඩම්බර වෙන්ඩ නෙවෙයි. අපි ඉස්සල්ල විරෝධතාවට ආපු වෙලේ අපිව එලෙව්වට පස්සෙ අපි දෙන්න හිතා ගත්ත අපේ මව්පියෝ වෙනුවෙන් කොළඹට පයින් එනව කියල. පොලීසියෙන් අපිව එලෙව්වෙ අපි පාර මැද හිටපු එක වැරදියි කියල. හරි අපි වැරදි වෙන්ඩ පුලුවන්, හැබැයි අපි උදේ දහයෙ ඉඳන් ඉද්දි කවුරු හරි දේශපාලනඥයෙක් අපෙන් ඇහුව නම් ඇයි ඉන්නෙ, මොකක්ද ප්‍රශ්නෙ, අපි උත්තරක් දෙන්නම් කියලා. අපි සමාව අරගෙන යනවා. එහෙම වුණේ නැති හින්ද තමයි අපි රෑ හත වෙනකන් මෙතන හිටියෙ.” සෙල්වරත්නම් කියන්නේ තමන් සහ පිරිස මීට පෙර සිදු කළ උද්ඝෝෂණය ගැනය. ඊට කිසිදු වගකිවයුත්තෙක් සැලකිල්ලක් නොදැක් වූ එක ගැනය.

“වතුවල වැඩ කරන අම්මල තාත්තලට රුපියල් දාහක් දුන්නෙ නැත්තම් මම ජීවිතාන්තය දක්වා උපවාසයකට යනව.” සෙල්වරත්නම් අවසානයේ එසේ කීවේය.
කෙසේ නමුත් ඒ වන විට රටේ පැවති දේශපාලන ව්‍යාකූල බව නිසා ඊට නිසි මාධ්‍යය ආවරණයක් හිමිවූයේ නැත. ඒ හෙයින් ඔවුන් දෙදෙනා තවත් කිහිපදෙනකු සමඟ කොළඹ ගාලු මුවදොර අඩ හෝරාවක් පමණ රැදී සිටියදී පොලීසියේ බලපෑම මත පිටව යන්නට සිදු විය.

ඉතිහාසය

ලංකාවේ තේ වතු වල වැඩ කිරීම සඳහා ඉන්දියාවේ සිට වතු කම්කරුවන් මෙරටට ගෙන්වුයේ මීට අවුරුදු 200කට පමණ පෙර ය. ඔවුහු එකල පටන් තේ වතු වල රාජකාරි කරමින් එයින් ලබන වැටුපෙන් සිය පවුලද සමඟ දුෂ්කර දිවියක් ගෙවූහ. කෙසේ වෙතත් එතෙක් පෞද්ගලික වැවිලිකරුවන් සතුව පැවති තේ වතු 1972 දී රජයට පවරාගනු ලැබිණි. එසේ පවරාගෙන 1992 තෙක් එනම් වසර විස්සක කාල සීමාවක් රජය විසින් තේ වතු පාලනය කරන අතර 1992 දී පෞද්ගලික සමාගම් විසි දෙකක් අතර මේ තේ වතු බෙදා දීම සිදු කැරුණි. ඒ අතරතුර රජය තේ වතු තුනක් තව දුරටත් සිය භාරයේ තබා ගැනීමට ක්‍රියා කළේය.
ඉන් අනතුරුව තේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ නිසි වැටුපක් ලබා ගැනීම අරභයා 1998 දී ලංකා වැවිලි කරුවන්ගේ සංගමය සහ කම්කරු වෘත්තීය සමිති ගිවිසුම් ගත වූහ. 1998 දී අත්සන් කරනු ලබන්නේ එම පළමු වන ගිවිසුම වන අතර, ඒ සඳහා සහභාගී කරවා ගත්තේ වැඩිම පිරිස් බලයක් හිමි වෘත්තීය සමිති ත්‍රිත්වයකි. මේ දක්වාද ගිවිසුම් අත්සන් කිරීමට යොමු වන්නේ වැඩිම පිරිස් බලයක් හිමි වෘත්තීය සමිති ත්‍රිත්වයම වේ.

1998 දී අත්සන් තබන පළමුවැනි ගිවිසුමෙන් අනතුරුව වසර දෙකකට වරක් ගිවිසුම අලුත් කිරීම සිදු කරනු ලබන ලබයි. කෙසේ වෙතත් 2013 වසරේ අත්සන් තැබූ ගිවිසුම 2015 වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් කම්කරුවන්ගේ පාර්ශ්වයෙන් රුපියල් දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලීමත් සමඟ එම අත්සන් තැබීම සකච්ඡා වට විස්සකට අධික ප්‍රමාණයකින් වසර එක හමාරක් තිස්සේ කල් ගියේය. ඒ අනුව 2015න් අවසන් වූ ගිවිසුම අත්සන් කරනු ලබන්නේ 2016 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදාය. ඒ කම්කරුවන් ඉල්ලූ රුපියල් දහසේ මූලික වැටුප් වැඩිවීම සමඟ නොවේ. රුපියල් 450 ක තිබූ ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 50 කින් වැඩිකර රුපියල් 500 දක්වා වැඩි කිරීමෙනි.

ගිවිසුමට එළඹීමට සාකච්ඡා කළ වැවිලිකරුවන් විසින් ගෙවිය යුතු හිඟ මුදල් ද ඔවුන් ගෙවා නැත. වැවිලිකරුවන් විසින් දීපාවලී සමයේ බෝනස් මුදල් ලෙස ලබා දුන් රුපියල් 10,000 ක මුදල එම ගෙවිය යුතු මුදල බව ඔවුන් ප්‍රකාශ කර, ලබා දිය යුතු මුදල බව ඔවුන් ප්‍රකාශ කර ලබා දිය යුතු වසර එක හමාරක අඩාළ මුදල ඔවුන් විසින් ගෙවීමක් සිදු කර නැත.

වැටුප

වතු කම්කරුවකු සඳහා 2016 ගිවිසුමෙන් පසුව ලබා දෙන මූලික වැටුප රුපියල් 730 වන අතර එයින් රුපියල් 550ක් මූලික වැටුප වෙයි. රුපියල් 140 ක් පැමිණීමේ දීමනා ලෙස ලැබේ. තවත් රුපියල් 40 ඔවුන්ට ලබා දෙන්නේ දිරි දීමනා ලෙසය.

මේ අතුරින් රුපියල් 140 වන පැමිණීමේ දීමනාව ලබා ගැනීමට නම් කම්කරුවකුගේ පැමිණීම 75% ඉක්මවා තිබිය යුතුය.
කොළඹ ගාලු මුවදොරට සිය මාපියන් වෙනුවෙන් පැමිණ සිටි ප්‍රත්‍යාගෙන් අප මේ පිළිබඳව විමසුවෙමු. ”එකසිය හතලිහ හැමෝටම හම්බවෙන්නෙ නෑ. මොකද හැමෝටම හැමදාම වැඩට යන්ඩ වෙන්නෙ නෑ. ළමයින්ගේ ඉස්කෝලෙ වැඩ වලට යන්ඩ තියනව, ලෙඩක් හැදුනොත් වැඩට යන්ඩ වෙන්නෙ නෑ. කිසිම උත්සවේකට යන්ඩ වෙන්නෙ නෑ. ඒහින්ද එකසිය හතලිහ ගන්න එක අමාරු වැඩක්” ප්‍රත්‍යා පවසන ආකාරයට වතු කම්කරුවන්ගෙන් බහුතරයකට පැමිණීමේ දීමනාව හිමි නොවේ. කම්කරුවකුට වැඩ කළ හැකි උපරිම දින ගණන 21 ලෙස ගත්ත ද එය තීරණය වන්නේ තේ වත්තේ ස්වභාවය අනුවය. ඒ නිසා ඇතැම් තේ වතු වල එක් දිනක් හෝ දින දෙකක් රැකියාවට නොගොස් සිටියද පැමිණීමේ දීමනාව අහිමි වේ.

ඉහත කම්කරුවකුට වැඩ කළ හැකි උපරිම දින ගණන ලෙස ගත් දින 21 අනුව කම්කරුවකුට මසකට ඉපයිය හැකි උපරිම මුදල රුපියල් 15,120 කි. මේ මුදල උපරිමය වන අතර බොහෝ විට සිදු වන්නේ මේ මුදල තව දුරටත් අඩු වීමයි.

”අපේ පවුලෙ ළමයි තුන් දෙනෙක් ඉන්නව. අම්මයි, තාත්තයි අපි තුන් දෙනයි කෑවහම හම්බුවෙන ගාන ඉවරයි. තේ වත්තේ වැඩ කරල ජීවත් වෙන්ඩ බැරි හින්ද තමයි මම කොළඹ වැඩට ආවේ.”
එසේ කියන්නේ බොගවන්තලාව සිය උපන් ගම වූ දැනට කොළඹ නැවතී රෙදි කඩයක රැකියාව කරන දුර්ශාමිය. ඔහු තරුණය. එහෙත් ඔහුට සිය තරුණ විය හිත මිතුරන් හැරදා කොළඹට වී රැකියාව සිදු කරන්නට සිදුව ඇත්තේ තේ කර්මාන්තය විසින් නිර්මාණය කරන රැකියාවෙන් පවුල නඩත්තු කළ නොහැකි බැවිනි.
සාමාජිකයන් හතර දෙනකු හෝ පස් දෙනකු සිටින වතු කම්කරුවකුගේ පවුලකට මාසයකට වැය වනවා යැයි ගණන් බලා ඇති මුදල රුපියල් 44,711කි. එයින් රුපියල් 20,500ක මුදලක් ආහාර සඳහා වන අතර නිවාස සඳහා පිරිවැය (Housing Costs) රුපියල් 14,896 කි. ආහාර සහ නිවාස සඳහා නොවන අත්‍යවශ්‍ය වියදම්  (Non-food non-housing costs) රුපියල් 7,178කි. එසේම අනපේක්ෂිත සිදුවීම  (Unexpected events) සඳහා වියදම රුපියල් 2,129 කි. (මූලාශ්‍ර The Sunday Time  පුවත්පත)

ලිපියේ පෙර සඳහන් කර ඇති කම්කරුවකුට ඉපයිය හැකි උපරිම මුදල රුපියල් 15,120 ලෙස සලකා පවුලේ මව හා පියා යන දෙදෙනාම තේ කර්මාන්තයේ රැකියාවේ නියැලුනද එම කම්කරු පවුලකට මාසිකව උපයා ගත හැකි උපරිම මුදල රුපියල් 30,240 කි. ඒ අනුව ආදායම සහ වියදම අතර පරතරය රුපියල් 14,471 කි.

අපනයනය

වැවිලිකරුවන් විසින් මේ වන විට තීරණය කර ඇත්තේ තමන් ලබා දෙන උපරිම දෛනික වැටුප රුපියල් 600 පමණක් වන බවයි. ඒ සඳහා ඔවුන් හේතූන් ලෙස දක්වන්නේ ලංකාවේ තේ අපනයනය සීමා වීම, මිල පහළ යාම හා විදේශ වෙළෙඳ පොළේ තේ වලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස පහළ යාම වැනි කරුණුය.

පසුගිය වර්ෂ කිහිපයක තේ අපනයන වාර්තා මෙසේය. 2013 වර්ෂයේ රුපියල් මිලියන 200,000 ක තේ අපනයනය කර ඇති අතර 2014 වර්ෂයේ තේ අපනයන කර ඇති ප්‍රමාණය රුපියල් මිලියන 212,588 කි. එය 2015 වර්ශයේ රුපියල් මිලියන 182,054 දක්වා පහල යන අතර 2016 දී තේ අපනයනය රුපියල් මිලියන 184,776 වේ. කෙසේ වෙතත් 2013 වර්ශයේ සිට සලකා බලන විට වැඩිම තේ අපනයනයක් සිදුවී ඇත්තේ 2017 වර්ෂයේදීය. ඒ රුපියල් මිලියන 233,338 ප්‍රමාණයකි. (මූලාශ The Sunday Times  පුවත්පත)
එසේම සමස්ත තේ නිෂ්පාදනය අදාළ වර්ෂ වලදී වාර්තා වන්නේ මේ ආකාරයටය.

2013 වර්ශයේදී නිෂ්පාදිත තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 340කි. එය 2014 දී කිලෝග්‍රෑම් 338 වන අතර 2015 දී කිලෝග්‍රෑම් මිලියන 328.8ක් වේ. කෙසේ වෙතත් ආසන්නතම වර්ෂ අතරින් අඩුම තේ නිෂ්පාදනයක් සිදුවී ඇත්තේ 2016 වර්ෂයේදී වන අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 292.6 කි. 2017 දී සමස්ත තේ නිෂ්පාදනය ලෙස සඳහන් වන්නේ කිලෝග්‍රෑම් මිලියන 307.7 ක් වේ. (මූලාශ The Sunday Times  පුවත්පත)

ඉල්ලීම

මෙම වැටුප් විශමතාව අද ඊයේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. වඩිවේල් සුරේෂ්, රාජපක්ෂට එකතු වීම වැනි සරල ක්‍රියාවකින් එය විසඳෙනවා නම් වතු කම්කරු වැටුප් ප්‍රශ්නය විසඳී බොහෝ කල්ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ දස වසර තුළත් එම ප්‍රශ්නය එසේම තිබුණි. එහෙත් ඔහු වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ගෙවීමට මැදිහත් වූයේ නැත. ඔහුගේ ආණ්ඩුවේ සිටි වතුකරය නියෝජනය කරන ඇමතිවරුද වතු සමාගම් සමඟ ගිවිසුම් වලට ගියහ. එබැවින් වඩිවේල්ටත් මහින්ද රාජපක්ෂටත් අලුතින් ඉපදුණු අය සේ මේ ප්‍රශ්නය ගැන ගැන කතා කිරීමට අයිතියක් නැත. සුරේෂ්ගේ ඉල්ලීමට මහින්දගේ ඇහුම්කන්දීම තවත් හුදු ප්‍රබන්ධයකින් එහාට නොයන්නේ ඒ නිසාය. ඊළඟට වතුකරයේ තරුණ ජනයාගේ පිබිදීම නොසලකා නොහැරීමටත් මෙරට පාලකයන් වගකීම් සහගත විය යුතුය.

දැනට වතු කම්කරුවනට ලැබෙන රුපියල් 720 ක දෛනික වැටුප වර්තමාන ජීවන වියදම සමඟ සැසඳෙන්නේ නැති බව පැහැදිලිය. එහෙයින් කම්කරුවන් විසින් සිය දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙසට සිදු කරන ඉල්ලීම අසාධාරණ නැත.

වැවිලිකරුවන් පවසන පරිදි තේ වතු වල ආදායම පහළ යාම නිසා තමන් පාඩු විඳිනවා නම් ඊට පිළියම් ඔවුන් විසින් සොයාගත යුතුව ඇත. ලංකාවේ අනෙකුත් කෘෂිකාර්මික හා වානිජ වගාවන්ට සේම තේ වගාවටද තාක්ෂණය ගලා ඒමේ ගැටලුවක් දැකගත හැකිය. කෙන්යාව හා ඉන්දියාව වැනි රටවල් තේ නිෂ්පාදනය අතින් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින රටවල්ය. ඔවුන් එසේ ඉදිරියට යාමට හේතුවක් ලෙස තේ කර්මාන්තය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ එම රටවල් දියුණු තාක්ෂණය, නිසි කළමනාකරණය සහ නිසි ආයෝජනය හේතුවෙන් ලංකාව පසු කරගෙන ගොස් ඇති බවයි.

ලංකාවේ වතු කම්කරුවන්ට සිය වෘත්තියට අදාළව නිසි වටිනාකමක් ලැබිය යුතුව ඇත. ලෝකයේ වටිනාම තේ ලෙස කලක් පිළිගැනීමට ලක්වූ ”සිලෝන් ටී” වෙත නැවත පිය මැනීමට නම් තේ කර්මාන්තයේ සෙවණැල්ල බඳු වතු කම්කරුවන් රැකගත යුතුව ඇත. එවිට නුවර සිට කොළඹට ආ දයාබරන්ගේ සහ සෙල්වරත්නම් ගේ පාගමන පුස්සක් නොවනු ඇත.