ජනාධිපතිගේ චණ්ඩිපාට්වලින් ප්‍රශ්න විසඳන්න බැහැ – මංගල සමරවීර

‘අගමැති මාරුව’ මුල් කොට ගනිමින් රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයත්, එය විසඳා ගැනීමට ගන්නා ප්‍රයත්නයන් සහ එහිදී උද්ගත විය හැකි තත්ත්වයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් සහ ජනමාධ්‍ය ඇමැති ? මංගල සමරවීර සමඟ කළ සාකච්ඡාවකි මේ.

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

14 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ විට මොන විදිහටද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ?

ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ තියන අර්බුදයෙන් ගොඩ ඒම. විශේෂයෙන්ම 26 වැනිදා රාත්‍රියේ ජනාධිපතිවරයා ගත් තීන්දුව අනුව නිදහස් ලංකාවේ මෙතෙක් නොතිබුණු විදිහේ අර්බුදයකට අද මුළු රටම මුහුණ දෙනවා. ඒ නිසා අන් සියල්ලට පෙර මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 14 වැනිදාම අපි ඡන්දයක් තියලා පාර්ලිමේන්තුවේ බහුතරය කාටද තියෙන්නේ කියන එක බේරගන්න ඕනේ.
අගමැතිවරුන් දෙදෙනකු සිටින, ආණ්ඩු දෙකක් පවතින තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් විධායකයේ තීන්දු තීරණ අනුව කටයුතු කළහොත් ඇතිවන තත්ත්වය මොකක්ද?
ඇත්ත වශයෙන්ම ඒකත් වැරදියි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන ප්‍රධාන කුලුනු තුන එකිනෙකින් ස්වාධීනයි. එක කුලුනකට අනෙක් කුලුනට බලපෑම් කරන්න බෑ කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලධර්මයක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට හෝ එහි වැඩකරන අයට කියන්න බැහැ ඒ අයට විධායකයේ අණට පිටින් යන්න බැහැ කියලා. මොකද ව්‍යවස්ථාදායකයේ නායකයා කථානායකවරයා. කථානායකට තමයි ව්‍යවස්ථාදායකය තුළ බලය තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය යුත්තේ කථානායකවරයාගේ උපදෙස් අනුව. කෙසේ වෙතත් යම් විදිහකට ඒ ව්‍යවස්ථාදායකයේ යම් කොටසක් කථානායකවරයාගේ අණ පිළිපදින්න ලෑස්ති නැත්නම් ඒක මම දකින්නේ කුමන්ත්‍රණය තුළ තවත් කුමන්ත්‍රණයක් හැටියටයි.

සිදුවීම් පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අනුව කුමන්ත්‍රණ තුළ තවත් කුමන්ත්‍රණ නොසිදුවෙයි කියා කියන්න බැහැ නේද? එහෙම වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තිබෙනවාද?

ඔව්. මේ වෙන කොටත් කථානායකතුමා 14 වැනිදා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් සහ නිගමනයක් එක්ක ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා. ඒ නිසා ඒ ප්‍රකාශය අනුව ක්‍රියා කරන්නට ව්‍යවස්ථාදායකයට සම්බන්ධ අපි සියලු දෙනාම බැඳී ඉන්නවා. ඒත් යම්කිසි විදිහකට ඒ කුමන්ත්‍රණකාරී බලවේගයන් ඒ ව්‍යවස්ථාදායකය තුළත් තව තවත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ගෙනයනවා නම් අපිටත් සිදුවෙනවා ඒ ඒ කුමන්ත්‍රණ අනුව ඒවාට මුහුණ දෙන්න.

14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවෙන ආකාරය ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හෝ නිලධාරින් සමඟ මේ වෙනකොට කිසියම් හෝ අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවාද?
මම ඒක පෞද්ගලිකව නම් කියන්න දන්නේ නෑ. ඒත් අනිවාර්යෙන්ම කථානායකතුමා මේ වෙලාවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටින පුද්ගලයෙක් විදිහට එතුමා අනිවාර්යෙන්ම මේ කණ්ඩායම එක්ක කතා කරලා ඇති.

ඔබ හිතන සුබවාදී ආකාරයට පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුවත් ඉන් පසුව එළැඹෙන වාද විවාද වලදී කලබලකාරී තත්ත්වයන් ඇතිවී පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන්නට බැරි තත්ත්වයක් දිගින් දිගටම ඇති වුවහොත් මොකද වෙන්නේ?

එහෙම වුණොත් මේ ව්‍යවස්ථා අර්බුදය තවත් දැවැන්ත ව්‍යවස්ථා අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. ඒත් මගේ විශ්වාසයක් තියනවා අපිට ඒ කුමන්ත්‍රණය පරාජය කරලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද කියලා රටටම පෙන්වන්නට හැකියාවක් ශක්තියක් අපිට තියනවා කියලා.

පොලිසිය ආරක්ෂක හමුදා ක්‍රියාත්මක වෙන්නේ විධායකයේ නියෝග අනුව. ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම වාගේ සිටින්නේත් අනෙක් පැත්තේ. ජනමතයත් ඒ පැත්තට නැඹුරුව තිබෙන බවක් පේනවා.
විසිහය වැනිදා රාත්‍රියේම මැරවරයන් දාලා රජයේ ජනමාධ්‍ය පවරගෙන චණ්ඩි දාලා ඒවායේ වැඩ කළ අයටත් පහර දීලා එලවගෙන මේ වෙන විටත් නීති විරෝධී ලෙස මේ කටයුතු කරගෙන යන්නේ. ඇත්තෙන්ම ජනාධිපතිවරයාගේ දෝෂාභියෝගයට එතුමා දැන් තවත් කාරණාවක් දීලා තියනවා ව්‍යවස්ථාවට පටහැනිව ජනමාධ්‍ය පවරා ගැනීමෙන්. 19 වැනි සංශෝධනය අනුව එතුමාට තිබුණු අමාත්‍යාංශ කීපය ඇරෙන්න අලුත් අමාත්‍යාංශ පවරා ගැනීමේ හැකියාවක් නෑ. ඒ නිසා එතුමා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවරා ගැනීම නීති විරෝධියි. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමත් නීති විරෝධියි. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ව්‍යවස්ථානුකූලවත් නීතිමය වශයෙනුත් කටයුතු කරනවා.

හමුදාව පොලිසිය රාජ්‍ය නිලධාරින් ඇතුළු සමස්ත රාජ්‍යතන්ත්‍රයම විධායකයේ නියෝග අනුව කටයුතු කරන තත්ත්වයක් යටතේ, ජනමාධ්‍යයන් සියල්ලම පාහේ විධායකයේ මතය සමාජ ගත කරන විට, ජනමතය මෛත්‍රී-මහින්ද නව පාලනය වෙතට නැඹුරු ව තිබෙන විට, පාර්ලිමේන්තුවේ 120ක් 130ක් ලබා ගත්තත් ප්‍රායෝගිකව නැවත ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවේයැයි සිතනවාද?

කවුද කියන්නේ ජනමතය ඒ පැත්තට කියලා. ඒ පැත්තට තිබුණ ජනමතයත් දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා. පුවපත්පත් මේ සම්බන්ධයෙන් පාඨකයන්ගෙන් අදහස් විමසලා තිබුණු ඒවායින් සීයට හැත්තෑපහක් අසූවක් ඉන්නේ මේක වැරදියි කියන මතයේ. කවදාවත් නොතිබුණු ජනතා විරෝධයක් මේකට තියනවා. ඇත්ත වශයෙන්ම සිරිසේන ජනාධිපතිවරයා කළ මේ මහා කුමන්ත්‍රණයට එරෙහිව නොහිතපු තරමේ ජනමතයක් දැන් හැදිලා තියනවා. හමුදාව පොලිසිය එක්තරා ගාණකට හිටියට ඒ අය මේ වෙලාවේ ජනතාවගේ පාර්ලිමේන්තුවෙන් ගන්න තීරණවලට පටහැනිව යන්නේ නෑ කියන ඒක මට විශ්වාසයි. ඒ නිසා තමයි මේ අය පාර්ලිමේන්තුව තියන්න බය. පාර්ලිමේන්තුව තියලා බහුතරය පෙන්නුව ගමන් ඒ අයගේ මේ සෙල්ලම අවසන් කියලා දන්නවා. සෙල්ලම විතරක් නෙවෙයි සමහරුන්ගේ දේශපාලනයත් අවසන් වෙයි.

පාර්ලිමේන්තුවේදී රනිල් බහුතර විශ්වාසය දිනාගත්තත්, එවිට බලය අල්ලා ගෙන සිටින පිරිස ඒක පිළිඅරගෙන නිහඬව හිස නවා ගෙන ඉවත්ව යයි කියා ඔබ විශ්වාස කරනවාද?

යන්නේ නැතිව ඒගොල්ල මොනවා කරන්නද? එහෙම නැත්නම් ඒගොල්ල අර අප්‍රිකාවේ වගේ බලහත්කාරයෙන් කුමන්ත්‍රණකාරීව බලය අල්ලගෙන සිටින කුමන්ත්‍රණ කල්ලියක් බවට පත්වෙලා මුළු ලංකාවම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කොන් වෙච්ච ආර්ථික කඩා වැටුණු අවුල් ජාලයක් බවට පත්වීමයි සිදුවිය හැකි විකල්පය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පාරේ පැවැති රැස්වීමේදී කියා තිබුණා ගත්ත පියවර ආපස්සට ගන්නේ නෑ ඉදිරියටම යනවා කියලා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළෙත් රනිල්ව පෙරළාගෙන යා හැකි පුද්ගලයෙක් නිසා බව ඔහු කියා තිබුණා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම ගියොත් අත්වෙන ප්‍රතිඵල මුළු රටටම විඳින්න වෙයි. ඔය ග්‍රාමසේවකලා ගමේ චණ්ඩින්ට කියන කතා දාලා ව්‍යවස්ථානුකූල කටයුත්තක් බේරා ගන්න බෑ. ගත්ත පය ආපස්සට ගන්නේ නෑ කියන බොරු හිස් චණ්ඩිපාට් දාලා රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න විසඳන්න බෑ.

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාරදීමේ ප්‍රයත්නයක් ගැන අහන්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ?

ඔව් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් බාර දුන්නොත් අපි ඒකත් ඡන්දයකට ගන්නවා. ඉස්සෙල්ලා මේක විසඳාගන්න එපායැ.

ජාත්‍යන්තර ප්‍රජාවෙන් මේ සම්බන්ධයෙන් මුලින් පළවූ විරෝධතාවට වැඩි යමක් සිදුවෙන බවක් දකින්නට නැත්තේ ඇයි?

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශ දුන් රටක් හැටියට පහුගිය අවුරුදු තුනේදි ලෝකය යළි පිළිඅරගෙන තිබුණා. ඒ නිසාම අපිට ආර්ථික වශයෙන් සහ වෙනත් වාසි විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒත් ඒ සියල්ල මේ සතියෙන් නැතිවෙලා තියනවා. උදාහරණයක් විදිහට ජපන් ආධාර තාවකාලිකව අත්හිටවලා තියනවා. ජයිකා ආධාර තාවකාලිකව අත්හිටවලා. දෙසැම්බර් 17 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් ණය ආධාර ඩොලර් මිලියන 460ක් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය නඟා සිටුවන්නට ලැබෙන්නට තිබුණා. ඒක තාවකාලිකව අත්හිටුවලා කියලා දැනගන්න ලැබුණා. ජීඑස්පී ප්ලස් සහනය අත්හිටුවීමේ අවදානමකට මුහුණපාල සිටිනවා. මේවායින් තමයි රටට විශාල අභියෝගයක් ඇතිවෙන්නේ.

බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නේස්බි සාමි අගමැති මාරුව ව්‍යවස්ථානුකූලයි කියූ ප්‍රවෘත්තියක් මාධ්‍යවල පළවෙනවා.

මමත් දැක්කා. සාමි මණ්ඩලයේ ඉන්න අවුරුදු 88ක එංගලන්ත රජයවත් පිළිගන්නේ නැති කෙනෙක්. ලංකාවේ ව්‍යවස්ථාව මොකක්ද කියලාවත් එයා දන්නවා කියලා මම හිතන්නේ නෑ. එයා හැමදාම ලංකාවට කුලියට කැහැපු සාමිවරයෙක්. මම එයාව හොඳට අඳුරනවා. ඒත් ඒක නොවෙයි බි්‍රතාන්‍ය රජයේ මතය. රජයේ මතය මේ වෙනකොටත් පැහැදිලිවම ප්‍රකාශ කරලා තියනවා.
පහුගිය කාලේ රාජපක්ෂ කඳවුරෙන් අහන්න ලැබුණ දෙයක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට වෙහෙසෙන අය දේශද්‍රෝහීන් බවත්, ඔවුන්ගේ පාලනයක් පැමිණි විට ඒ දේශද්‍රෝහීන්ට මරණ දඬුවම් හිමිවෙන බවත්. එවැනි ද්‍රෝහීන්ගේ, මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තු සකස් සකස් කොට ඇති බව අහන්නට ලැබුණා. පවතින තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියොත් මේ අයගේ ආරක්ෂාව

සම්බන්ධයෙන් පවා ගැටලු මතුවෙනවා නොවේද? ඒ වගේම මේ වන විටත් අවසන්ව ඇති දූෂණ සහ අපරාධ චෝදනා විමර්ශනයන්ට ඇති විය හැකි බලපෑම වළක්වා ගත මැකි මඟක් වේද?

ඒක ඒ වෙලාවට බලාගමු. පිස්සෝ කියන ඒවාට අපි උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඉස්සෙල්ලා ආණ්ඩුවක් ගන්න කියන්නකෝ නියම විදිහට. ඊට පස්සේ ඒවාට උත්තර දෙමු. දූෂණ සහ අපරාධ විමර්ශනයන්ට අදාළ ෆයිල් හංගන්න වෙනස් කරන්න වගේ දේවල් වලට කොයිතරම් දුරට මේගොල්ල කටයුතු කරයිද කියා අපිට හිතන්න බෑ. මම නම් හිතන්නේ නෑ මේ දවස් ගානට ඒවා කරන්න පුළුවන්කමක් තියෙයි කියලා. කාලයක් ගියොත් නම් ඒවාට ක්‍රම සහ විධි සොයා ගනියි. ඒත් අපි දන්නා හැටියට නම් බලයේ නොහිටිය පහුගිය කාලෙත් යම් යම් පිරිස් හරහා ඒවාට බලපෑම් කරන්න ක්‍රම ඒ අය හොයාගෙන තිබුණා.

අගමැති මාරුව පිළිබඳ ජනතාව අමතා කරුණු පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ යහපාලනයට එරෙහිව කළ ක්‍රියා පිළිබඳ බරපතළ චෝදනා එල්ල කළා. ඒ සියලු චෝදනා එක වාක්‍යයකින් ප්‍රතික්ෂේප කරමින් වික්‍රමසිංහ දැක්වූ ප්‍රතිචාරය චෝදනා මගහැර යාමක් නොවන්නේද?

එහෙම කියන්නේ නැතිව වෙන මොකක්ද කියන්නේ? මේක උසාවියක් නෙවෙයිනේ. තව චෝදනා තියනවා නම් ඉදිරිපත් කරන්න කියන්න. අමූලික බොරුනේ කියන්නේ. ඝාතන කුමන්ත්‍රණයක් ගැන කතා කළා. ඒ නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ කියලා. එහෙම කියපු පුද්ගලයාම ඊට පස්සේ දවසක වේදිකාවට නැඟලා කියනවා සජිත් ප්‍රේමදාසගෙන් කරු ජයසූරියගෙන් මාස ගාණකට ඉස්සෙල්ලා මම ඉල්ලුවා අගමැති වෙන්ඩ කියලා. ඒකෙන්ම පේනවානේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිරිසේනගේ කුමන්ත්‍රණය ආරම්භ කරලා තියෙන්නෙ ඔය ඝාතන කුමන්ත්‍රණය කියන කතාව එළියට එන්ඩ මාස ගාණකට ඉස්සෙල්ලා කියන එක. අනෙක් එක ඝාතන කුමන්ත්‍රණය පදනම් කරගෙන තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ම පඩි ගත්ත ජනාධිපති ලේකම් කාර්යාලයේම වැඩ කරපු තමන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතිකය පවා හොර රහසේ වෙනස් කර ගත්ත පුද්ගලයෙක්ගේ කට උත්තරයක්. හැබැයි ඒ කටඋත්තරයේ පවා කොතනකවත් නෑ ජනාධිපතිවත් ගෝඨාභය රාජපක්ෂවත් ඝාතනය කරන්න කියපු කතාවක්. ඒ කටඋත්තරය දීපු පුද්ගලයාත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සැලසුම් කළ කුමන්ත්‍රණයේ තවත් එක් කොටස්කරුවෙක් විතරයි. අනෙක් එක ඔය පුද්ගලයාගේ නීතිඥයාත් ජනාධිපති උපදේශකයෙක් හැටියට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක පුදුම වෛරයකින් කටයුතු කරන මෛත්‍රී ගුණරත්න. එතකොට මේ කුමන්ත්‍රණය තියෙන්නේ කොහේද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්.

‘ජනවාරි 8’ වෙනසේ සිටම ගිළිහුණු බලය කුමන්ත්‍රණකාරී ලෙස අල්ලා ගැනීමේ විවිධ උත්සාහයන් අපි දැක්කා. එහි ආරම්භක සිදුවීම ජනාධිපතිවරණය දින රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී සිදුවූ බව කිව්ව බලය නොදී සිටීමේ කුමන්ත්‍රණය. ඒ ගැන කළ පරීක්ෂණවලට මොකද වුණේ?

මම ඒ ගැන නිල වශයෙන් පැමිණිල්ලකුත් කළා. ඒත් අවුරුදු හතරකට ආසන්න කාලයකට ඇවිල්ලත් මේ වන තුරුත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් මට පැහැදිලි උත්තරයක් දීලා නෑ. මම සැරින් සැරේ ඒ ගැන මතක් කරන විට පරීක්ෂණ අවසන් වුණාම කියන්නම් කියන්නම් කිව්වා මිසක් පරීක්ෂණ අවසන් වන පාටක් පෙනුණේ නෑ. මට පේන විදිහට ඒකත් මෛත්‍රීපාල සිරිසේන යට ගැහුවා.

‘ජනවාරි 8’ වෙනසේදී තිබුණු ජනතා පෙළ ගැස්ම මේ අර්බුදකාරී අවස්ථාවේ දැකගන්නට නැත්තේ ඇයි?

ඇයි මොකෝ නැත්තේ? මෙදා අපේ එක ෆෝන් කෝල් එකකින් ජනතාව කොළඹට ආවා දැක්කාද? ඒක ජනතා පෙළගැස්මක් නෙවෙයිද? අද නගරයක් නගරයක් ගාණේ දාහ දෙදාහ මිනිස්සු ඇවිල්ලා මේ කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණ කරන එක ජනතා පෙළගැස්මක් නෙවෙයිද? මම නම් හිතන්නේ මෑතකදී දැකපු විශාලතම ජනතා පෙළගැස්ම තමයි දැන් දකින්නේ. අනිත් එක මෙතෙක් එක්සත් ජාතික පක්ෂය එක්ක යම් යම් ප්‍රශ්න තිබුණු අය පවා ඒවා පැත්තකට දාලා විශේෂයෙන්ම ජනවාරි 8 සිටි අනෙක් බලවේග සියල්ල අද අපිත් එක්ක එක්ව කටයුතු කරමින් ඉන්නවා. හැම කළු වලාවකම රිදී රේඛාවක් තියනවා කියන්නෙත් ඒකයි.

රාජපක්ෂවාදී පක්ෂ සහ කණ්ඩායම් මේ අවස්ථාව වෙන කොට එක වේදිකාවකට නැඟී ජාතිය අමතනවා. ඒත් ජනවාරි 8 එක්ව සිටි පක්ෂ සහ කණ්ඩායම් තවමත් එලෙස එක්ව ඇති බවක් නොපෙනීමට බලපෑ හේතු මොනවාද?

මොකද නැත්තේ. මේ දවස් ටිකේ හැමදාම සිවිල් සමජයේ වේවා, භික්ෂූන්වහන්සේලා වේවා, නීතිඥවරුන් වේවා හැමදාම වගේ රැස්වෙමින් මේ කාරණය ගැන කතා කරනවා. අපිට හැමදාම එකම වේදිකාවක රැස්වෙන්න යන්න ඕනේ නෑනේ. අපට ඕනේ මේ කාරණය ගැන ජනතාව දැනුවත් කරන්න. ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒක එකම වේදිකාවක සිට කිරීමේ වුවමනාවක් අපට නෑ.