ආචාර්ය නිව්ටන් හැඟීම්බර මිනිසකු ගැන මතකය

සටහන සහ ඡායා
නිමල් බණ්ඩාර හේරත්

මුළු රටම වෙලාගත් අඳුරු දිනක මෘතදේහය අසල දැල්වෙන පහන් එළියෙන් පමණක් නිවෙස ආලෝකමත් වී තිබිණි. මෘත දේහය ලංකාවේ බිහිවූ ජාත්‍යන්තරයේ නමක් හිමිකරගෙන සිටි සුප්‍රසිද්ධ බුද්ධිමතකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහගේය. රාත්‍රී අට පමණ වෙද්දී තරුණ කණ්ඩායමක් පැමිණ ඇයි මළගෙදර කළුවරේ ලයිට් දමන්න යැයි පවසමින් කොතනද ලයිට් දමන තැන තිබෙන්නේ විමසා එම නිවසේ විදුලි ආලෝකය දල්වා මඳ වේලාවක් මෘත දේහය අසල රැඳී සිට යන්නට ගියහ. ඒ 1988 ඔක්තෝබර් 31ක් වූ එක්තරා අඳුරු දවසකි.

පසුදා ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ මෘත දේහය මහරගම පිළිකා රෝහල අසල පිහිටි අඹගහපුර සිය නිවසේ සිට මහරගම ගොඩිගමුව සුසාන භූමියට රැගෙන යන අවස්ථාවට සහභාගි වූයේ අල්ප පිරිසකි. ඒ මුළු රටම වෙලාගත් භීෂණය හේතුවෙනි. හදපිරි ශෝකයෙන් බරව සුසාන භූමිය බලා ඇදෙන පිරිස අතට පත්වූ කුඩා දැන්වීමකි. එහි මෙසේ සඳහන් විය.

“නිව්ටන් සහෝදරයා රෝගාතුරව මිය නොගියා නම් නුදුරු කාලයේදී ටී – 56 වෙඩි උණ්ඩයකට ගොදුරුවීමට ඉඩ තිබුණි. මන්ද දේශප්‍රේමීන්ගේ ඝාතන ලැයිස්තුවට ඔහුගේ නමත් ඇතුළත් වූ බැවිනි.”
මෙය අවමංගල්‍යයට සහභාගිවූවන්ට පවුලේ සහෝදරියන්ට සහ ඥාතීන්ට අදටත් අමතක නොවනු ඇත.

නාවලපිටිය නගරයෙන් බිහිවූ සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු, සරසවි සිසුන්ගේ ආදරය දිනාගත් ඇදුරුතුමකු, විශිෂ්ට ගණයේ මාක්ස්වාදියකු, ජාත්‍යන්තරවාදියකු හා ෆැසිස්ට් විරෝධියකු ලෙස හැඳින්වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ අකාලික මරණය සිදුව 2018 ඔක්තෝබර් 31 දිනට වසර 30ක් සැපිරිණි.

එදා ඇදුරුතුමන් පැවසූ වදන්, කළ විවාද, සංවාද, ලිපි ලේඛන, පොතපත, අද සත්‍ය බව තහවුරු වී ඇත. අවාසනාවට අභාවය සමග කොළඹ විශ්වවිද්‍යාලයේ ඔහුගේ කාමරයේ තිබූ අඩක් ලියා නිම කළ ලිපි ලේඛන, ග්‍රන්ථ ඒ සැණින්ම අතුරුදන් වු බව පවුලේ ඥාතීන් දන්නා ප්‍රසිද්ධ රහසක් වේ.

රතු ලියුමකින් රට පාලනය කළ අඳුරු යුගයේ ආචාර්යතුමන්ගේ මෘත දේහයට අවසන් ගරු බුහුමන් දැක්වීමට මධ්‍යම රාත්‍රියේ එහි පැමිණි විද්වත්හු තම ජීවිතවලට තිබෙන අවදානම ගැන නිව්ටන්ගේ මවට පවසා පස්ස දොරින් පිටව රට අතහැර විදේශගත වූහ. (මෙම ලිපිය ලියන අවස්ථාවේ, නිව්ටන්ගේ මව මීට වසර දෙකකට උඩදී මියගිය බව දැනගැනීමට ලැබුණි.) ඔවුන් අතුරින් සමහරකු නැවත ලංකාවට පැමිණියේ නැත. නැවත පැමිණි අල්ප දෙනකු අතරින් එක් අයකු පසුකාලීනව චන්ද්‍රිකා රජයේ ඇමතිවරයකු විය. එහෙත් උගතුන් එක් රට හැරයෑම නිසා අපේ රටට සිදුවූ පාඩුව ගැන හෙතෙම කිසිදිනක කතා නොකළේය.
නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමන් බඩු පරීක්ෂක නැසිගීය ඩබ්ලව්.ඩී. ගුණසිංහ සහ ලිලී රණතුංග මහත්මියගේ එකම පුතණුවන් වූ නිව්ටන් ගුණසිංහ 1946 අප්‍රේල් 05 නාවලපිටියේදී ජන්ම ලාභය ලැබීය. ඔහුට නැගණියන්ම පස්දෙනෙකි. නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබමින් අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විය. පසුව ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. අධ්‍යාපනය පිළිබඳ අසාමාන්‍ය දක්ෂතා ප්‍රකට කළ හෙතෙම 1936දී ළාබාලම ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වරම් ලැබුවේය.

නැසී ගිය මහාචාර්ය බර්ටිට ගංගාධාර, එස්. ෂන්මුගදාස සහ මොන්ටිගොපල්ලව ඔහුගේ විශ්වවිද්‍යාල සගයෝ වූහ.
විශ්වවිද්‍යාලයේදී රැල්ෆ් පීරිස්, ගණනාථ ඔබේසේකර, ලක්සිරි ජයසූරිය වැනි මහාචාර්යවරුන්ගේ ඇසුර හා ගුරුහරුකම් ලැබූ හෙතෙම පළමු පෙළ සාමාර්ථයක් සහිතව ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් පසුව ප්‍රථම රැකියාව ලෙස උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික කොමිසමේ සභාපති වූ මහාචාර්ය ගුණපාල මලලසේකරගේ පරීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළේය. වර්ෂ 1973දී ඕස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලැබූ නිව්ටන් ගුණසිංහ වර්ෂ 1979දී එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.

යුරෝපීය සමාජ විද්‍යා සහ මානව විද්‍යා මහා සම්ප්‍රදාය සමග මාක්ස්වාදය නිර්මාණාත්මක සහ ඵලදායී ලෙස ශ්‍රී ලංකාව තුළ සංශ්ලේෂණය කළ බුද්ධිමය පරම්පරාවේ ප්‍රථමයා ආචාර්ය නිව්ටන් ගුණසිංහ වේ. පරිමිති න්‍යායාත්මක මනැසකින් මනා ලෙස පිරුණ ආචාර්ය නිව්ටන් ගුණසිංහ ශ්‍රී ලංකාවේ පොදු කෘෂිකාර්මික අධ්‍යයනයෙහි පුරෝගාමීත්වය දැරීය. කන්ද උඩරට නිෂ්පාදන සම්බන්ධතා පිළිබඳ වූ ද, මහනුවර ග්‍රාමීය සමාජය පිළිබඳ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය අප රටේ සමාජයීය විද්‍යා විදග්ධ අභ්‍යාසයේ සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.

පර්යේෂකයකු, ශාස්ත්‍රවේදියකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ශාස්ත්‍රීය භාවිතයෙහි නියැලීම හැරුණු කොට ආචාර්ය නිව්ටන් ගුණසිංහ ක්‍රියාකාරී ලෙස වෘත්තීය සමිති කටයුතුවල අධ්‍යාපනික කටයුතුවල සහ මානව හිමිකම් සුරැකීමේ කටයුතුවලද නියුක්ත විය. ජනතා අධ්‍යාපනයට කැපවුණු සංවිධානයක් වන මහනුවර කම්කරු හා ගොවි ආයතනයේ පුරෝගාමියා ඔහුය.
විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස දේශන ශාලාවට ඇතුළු වන විට ආචාර්ය නිව්ටන් ගුණසිංහ අත තිබුණේ ගොල්ඞ්ලීෆ් විස්සේ පැකට්ටුව සහ ලයිටරය පමණි. එය ආචාර්යවරයාට හිමි මේසය මත තබා ඉතාම සැහැල්ලුවෙන් දේශනය පැවැත්වූ ආකාරය එතුමන්ගෙන් ශිල්ප උගත් බොහෝ සිසු සිසුවියෝ හැඬූ කඳුළින් අදත් සිහිපත් කරයි.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1960 දශකයේ (තරුණ වියේදී) නාවලපිටියේ අධ්‍යාපනය ලබන විට කොමියුනිස්ට් පක්ෂයේ රැඩිකල් දේශපාලනය පිළිබඳ මාක්ස්වාදී පොතපත පිළිබඳ එවකට සගයන් වූ ආනන්ද, නවරත්න, සෙනෙවිරත්න, නානායක්කාර යන අය සමග නානායක්කාරගේ පියා පවත්වාගෙන ගිය සුසිරි හෝටලය සහ බේකරියේ ඉහළ මාලයේ හැම සති අන්ත දින දෙකේ එකතු වී වාද විවාද කළේය. ඊට එක්වූ ඇතැම් පාසල් මිතුරෝ මොවුන් බේකරි සමාජවාදීන් ලෙස හංවඩු ගැසූහ. එහෙත් කවුරුත් නිව්ටන් ගුණසිංහ සමාජ විද්වතෙකු වේයැයි සිතන්නට නැත.

නිව්ටන් තදබල ලෙස අසනීප වී ජයවර්ධනපුර රෝහලට රැගෙන යෑමට පෙර නිවසෙහි ගේට්ටුව ළඟට පැමිණ සිය ඥාති සහෝදරයාද, මාමාද සමග කෙළින් හිටගෙන සිය ආදරණීය මෑණියන් සහ වැඩිමහල් නැගණිය දෙසද නිවස දෙසද ඉතාමත්ම හැඟීම්බර දෙනෙතින් විනාඩි කිහිපයක් බලා සිට මෝටර් රථයට ගොඩවී තිබුණේ නැවත ඔහු නොඑන බව සනිටුහන් කරන්නට මෙන් යැයි කියූ නිව්ටන්ගේ සහෝදරියෝ ඉතාමත් වේදනාවකින් අදත් ඒ දසුන සිහිපත් කරති.

ශ්‍රී ලංකාවේ පහළ වූ ශාස්ත්‍රවේදීන් අතරින් අතිදුර්ලභ ශාස්ත්‍රවේදියකු ලෙස ආචාර්ය නිව්ටන් ගුණසිංහ කැපී පෙනෙයි. ඔහු මේ රටේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි මානව හිතවාදියෙකි. දාර්ශනිකයෙකි.