රටේ ජීවමාන ඉතිහාසය ගොඩ නගන තැන විනාශමුඛයට

සෝමරත්න රාමනායක

ඉන්දියාව සිය දීර්ග කාලීන නිදහස් සටන සිය ජීවමාන ඉතිහාස කතාවට එක් කරගන්නේ අපට වඩා කලින්ය. (Film divison of India) ආයතනය ඉන්දියානු ඉතිහාසය අදටත් ලියමින් සිටියි. ඊට සමාන්තරව 1948 සිට අපේ රටේ ජීවමාන ඉතිහාසය ලියමින් සිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශය මේ වන විට කඩාවැටී බිමට සමතලා වී අවසන්ය. මේ වන විට එය නාමික ආයතනයක් පමණි. මෙරට රාජ්‍ය ආයතන ක්‍රමයේ කුණුවීම ගැන වැඩියෙන් කතා කරන කාලයක එසේ කුණු වීමටත් එහා ගිය තත්ත්වයකට මෙය කදිම නිදසුනකි. 40 දශකයේ මැද භාගය වන විට ඉතාලි නව රැල්ල නමින් සිනමා රැල්ලක් ලෝකයේ ප්‍රචලිත විය. 1947 දී ලාංකික ව්‍යාපාරික පිරිසක් එක්ව ‘රංගමූටිටෝන්’ නමින් සමාගමක් හදාගෙන ඩබ්. ඒ. සිල්වාගේ කථාවක් අනුව සිංහල චිත්‍රපටයක් නිපදවීමට උත්සාහයක් ගත්හ. ඒ සඳහා ඉතාලි ජාතික සිනමාකරුවන් තිදෙනකු ලංකාවට ගෙන්වා ගත්තේය. ගැලියෝ පෙට්ට්‍රෝනි, පෙඞ්රික් සේරා හා ජෝ ජෝ කලබියං යන ඉතාලි ජාතිකයන් විසින් නිර්මාණය කරන්නට සූදානම් වූ මෙම චිත්‍රපටය අතරමග ඇනහිටීමෙන් යන එන මං නොමැතිව සිටි ඉතාලි ශිල්පීන්ට එවකට අගමැති ඩී.එස්. සේනානායක හා මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන යන මහතුන් හමු වීමට අවස්ථාවක් ලැබිණි. මේ හමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයේ සංවර්ධන කටයුතු හා ප්‍රවෘත්ති ජනතාවට සන්නිවේදනය කිරීමේ ආයතනයක් පිහිටු වීමට මූලික අඩිතාලම වැටුණි. 1948 පෙබරවාරි 04 දින මෙරට ප්‍රථම නිදහස් උත්සවය චිත්‍රපට ගත කිරීමේ කාර්යය කරන ලද්දේ ද ඉතාලි ජාතිකයන් විසිනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කුඩා කාමරයක ස්ථාපිතව පසුව මොරටුව වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක පවත්වාගෙන යමින් පසු කලෙක පොල්හේන්ගොඩ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යාංශය පිහිටි ඉඩමට ගෙන එන තුරු පුරා වූ රජයේ චිත්‍රපට අංශයේ වසර 70ක ගමන් මඟ ශෝකී අවසානයක් කරා ගමන් කරන නවකතාවක් මෙනි. විෂයානුබද්ධ නොවූ හුදෙක් රක්ෂාවක් පමණක් බව හා කම්මැලි අලස භාවය සමඟ බොහෝ රාජ්‍ය ආයතන වල පවතින දූෂිත බව වසංගතයක් ලෙස මෙම ආයතනයද වෙලා ගැනීම මේ ශෝචනීය අවසානයේ එකම හේතුවයි.

එදා කෘෂි කර්මය භාර ඇමතිවරයා වූ ඩඞ්ලි සේනානායකට හා අගමැති ඩී.එස් සේනානායකට මේ රටේ කෘෂි කර්මාන්තය, පිළිබඳ ලොකු සිහිනයක් තිබුණි. රජයේ චිත්‍රපට අංශය පිහිටුවීමෙන් පසු එකී කෘෂි කාර්මික කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවක ඉතා අඩු පහසුකම් මැද පැරණි ඇම්බියුලන්ස් වැනි රථයක බඩු පටවාගත් චිත්‍රපට අංශය එය රූගත කිරීමට ගොස් ඇත. චිත්‍රපට අංශයට මුල් කාලයේම බැඳුන කැමරා ශිල්පි වින්සන්ට් පෙරේරාට කැමරාව මඩ ගොහොරුවක තබා බර ත්‍රිපාදය සවි කිරීමට සිදුවිය. ඉතාලි චිත්‍රපටකරුවන් විසින් ගෙන එන ලද විශාල කැමරාව එහි බරපතළකම නිසාම කැමරා ශිල්පියා සමඟම මඬේ එරී ඇත. මේ සිද්ධිය දුටු අගමැති ඩී. එස්. සේනානායක හා මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන නොමද හාස්‍ය රසයක් ලැබුවා පමණක් නොව වහාම වගකිවයුත්තන් කැඳවා එලිමහනේ රූගත කිරීම් සඳහා බරින් අඩු Arriflex  කැමරාවක් ජර්මනියෙන් ගෙන්වීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්හ. අද දේශපාලකයන්ට ක්ෂණිකව එවැනි අදහස් පහළවේද? නිලධාරීන් මෙන්ම දේශපාලකයාද පළමුවෙන් සිතන්නේ කොමිස් කුට්ටිය ගැනය. කැමරාව ඉක්මනින් ලංකාවට ළඟාවුණි. 1948 පෙබරවාරි 04 වනදා මහ ඉහළින් පැවත් වූ ජාතික නිදහස් උත්සවය ඉතාලි ජාතික පෙට්ට්‍රෝනි ඇතුලු පිරිස එම නව කැමරාව යොදාගෙන රූගත කොට තැනූ වාර්තා චිත්‍රපටය ඒ ප්‍රමිතියෙන් යුක්තව රැක ගැනීමට පසුකාලීන එහි පැමිණ නිකම්ම නිකන් පඩිකාරයන්ට නොහැකි විය. ඒ සඳහා පහසුකම් සපයා දීමට කොමිස් ගැන සිතන දේශපාලකයන්ට නොහැකි වී ඇත. එයද ඇත්තේ විනාශ වීමේ මුව විටේය.

පෙට්ට්‍රෝනි ඇතුළු පිරිසක් ගත් උත්සාහයේ දිගුවක් මෙසේ දැක්විය හැක. අලුත් කැමරාවක් ලැබුණත් ශබ්ද උපකරණ සවිකළ පරණ ගිලන් රථයෙනුත් සෑහීමට පත් නොවූ පෙට්ට්‍රෝනි නව රථ කිහිපයකුත් රජයෙන් ඉල්ලා සිටියේය. ඔහුට ඒවා ලැබිණ. චිත්‍රපට අංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කුඩා කාමරයෙන් මොරටුවේ වෙලෝනා කර්මාන්තයට අයත් හිස් පොල් ඉඩමකට ගෙන යෑමට රජයේ ආධාර ලබා ගැනීමට මේ විදේශ සිනමාකරුවන්ට හැකිවිය. එදා බි්‍රතාන්‍ය හමුදා භටයන්ට චිත්‍රපට පෙන්වීමට සැදූ මඩුව රසායනාගාරයක් හා ශබ්දාගාරයක් සහිත චිත්‍රාගාරයක් බවට පත් විය. අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබා ගත්තේ ඉන්දියාවෙනි. මෙම ආයතනයේ වර්තමාන ඛේදවාචකයේ උපරිම තත්ත්වය සටහන් වන්නට පටන් ගන්නේ 1990 දශකය ආරම්භයත් සමඟය. දේශපාලකයන් හා නිලධාරීන් මේ ආයතනය පිළිබඳව කිසිදු උනන්දුවක් නොගත් අතර සේවකයෝ අලස හා නිදිමත ප්‍රතිපත්තියක සිටියහ. මෙහි ආරම්භක චිත්‍රපටකරුවා වන පෙට්ට්‍රෝනි ඉතාමත් කඩිසර ක්‍රියාකරුවකු ලෙස දහවල් කාලයේ චිත්‍රාගාරය තුළ අවශ්‍ය කටයුතු නිමවා රාත්‍රියේ අලි ගැවසෙන වන මැද මාවත් ඔස්සේ අනුරාධපුර – ත්‍රිකුණාමලය වැනි දුෂ්කර ප්‍රදේශ වල රූගත කිරීම් සඳහා ගමන් ගත්තේ පැරණි වෑන් රථයකිනි. හබරණ වනය මැදින් ගමන් ගන්නා අවස්ථා වල වන අලින්ගෙන් ජීවිතය බේරාගත් අවස්ථා එමටය. එකල ඩී.එස්. සේනානායක අගමැතිවරයා මෙරට කෘෂිකර්මය නැංවීම සඳහා ගල් ඔය මින්නේරිය ගොවි ජනපද පිහිටු වීම හා එමගින් ජන ජීවිතේ ඇති වූ නව පිබිදීම අළලා පෙට්ට්‍රෝනි ඇතුළු පිරිස නිපදවූ New Horizen  නමැති වාර්තා චිත්‍රපටය, චිත්‍රපට අංශය නිපද වූ ප්‍රථම වාර්තා චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වේ. දුම්රිය මැදිරි පුරවාගෙන ගම් නියම්ගම් වල ගැමි ජනතාව නව ගොවි බිම් අස්වැද්දීමට ගමන්ගත් ලීලාව අපූරු දසුනක් වෙයි. කොට්ට පැදුරු හිස මත තබාගෙන දරුවන් උකුලේ හොවාගෙන සිය උපන් ගම්බිම් අතහැර නව ජීවිතයක් සොයා යන ගමන අනුවේදනීයයි. මේ සොඳුරු මතක සිත්තම් දැක සංවේදී වීමට තරම් වර්තමාන පරපුර පින් කොට නැත. බොහෝ චිත්‍රපට වල නෙගටිව් පටි විනාශ වීමෙන් පසු දිගින් දිගටම පොසිටිව් පත් කොපි කොට තැනූ වාර්තා චිත්‍රපට වල ප්‍රමිතිය දුර්වල අඩියට වැටී ඇත.

Hill Capital නමින් මහනුවර නගරය පාදක කොටගත් චිත්‍රපටය හා රටේ එදිනෙදා සිදු වූ ඉතාමත් වැදගත් සිද්ධීන් ඇතුළත් ප්‍රවෘත්තිමය චිත්‍රපට සිය ගණනක් පෙට්ට්‍රෝනිගේ මෙහෙය වීම යටතේ නිපද වුණි. 1950 අවසන් වන විට පෙට්ට්‍රෝනි මෙරටින් සමුගෙන ඉතාලිය බලා යෑමෙන් පසු මෙම ආයතනයේ නායකත්වය භාරගත්තේ එංගලන්තයේ කීර්තිමත් වාර්තා චිත්‍රපටකරුවකු වූ රැල්ප් කීන්ය. කීන්ගේ නායකත්වය යටතේ මුල්වරට ‘මීගමුවේ ධීවරයෝ’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූවකි. අර්වින් දසනායක, ජෝර්ජ් වික්‍රමසිංහ, ලෙස්ටර් ජෙම්ස් පිරිස්, පසු කලෙක දේශීය සිනමාවේ සුප්‍රකට කැමරා ශිල්පියකු බවට පත් වූ විලිබ්ලේක් ටයිටස් තොටවත්ත යන අය රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වන්නේ රැල්ප් කීන්ගේ නායකත්වය යටතේය. රැල්ප් කීන් අධ්‍යක්ෂණය කළ ‘නෙලුම් ගම’ ඉතාමත් ආකර්ෂණීය චිත්‍රපටයක් විය. මෙහි සහය අධ්‍යක්ෂවරයා වූයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් වන අතර එතෙක් සහාය කැමරා ශිල්පියකු වූ වින්ස්ටන් පෙරේරාගේ කැමරා මෙහෙය වීම විශිෂ්ඨ තත්ත්වයක තිබූ බව බොහෝ අයගේ මතයයි. රැල්ප් කීන් 1953 වන විට මෙරටට ආයුබෝවන් කියා පිටත්ව යන්නේ මැලේසියාවේ චිත්‍රපට අංශයේ නායකත්වය ගැනීමටය. ඉන් පසු මෙහි නිර්මාණ කටයුතු වල නායකත්වය ගනු ලබන්නේ ලෙස්ටර් ජෙම්ස් පීරිස්, අර්වින් දසනායක, ජෝර්ජ් වික්‍රමසිංහ, ප්‍රඥා සෝම හෙට්ටිආරච්චි යන අය විසින්ය.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘වියලි කලාපය ජය ගනී’ මෙරට වෙලා ගත් වසංගතයක් වන මැලේරියාව හා එය මර්දනය කිරීමෙන් වියලි කලාපයේ ඇති පුනර්ජීවය පිළිබඳ වාර්තා චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය වැනිසියේදී පවත්වන ලද වාර්තා චිත්‍රපට උළෙලකදී සම්මානයට පාත්‍ර විය. තවද වන සත්ත්ව ජීවිත අළලා ඔහු විසින් මෙහෙය වූ The Living Wild නම් ඊස්ට්මන් වර්ණ චිත්‍රපටය වැන්කුවර් චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර විය. මෙරට සහලින් ස්වයංපෝෂිත කිරීමේ සිහිනය දකිමින් සිටි ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ අපේක්ෂාව මල්ඵල ගන්වමින් ජෝර්ජ් වික්‍රමසිංහ නිර්මාණය කළ ‘ගංගා නිම්නයක පුනර්ජීවය’ ගල්ඔය මිටියාවතේ කෘෂි කාර්මික නවෝදයේ කතාවයි. ප්‍රඥා සෝම හෙට්ටිආරච්චිගේ Rythem of the people ලංකාවේ ගැටුම් ගැන කියවෙන්නකි. මෙය චෙකෝස්ලෝවියාවෙන් සම්මානයට පාත්‍ර විය.  (Masks, Motits and Material) නම් වර්ණ චිත්‍රපට 1959 වැන්කුවර් චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර විය. විදේශීය වාර්තා චිත්‍රපටකරුවකු වන පෝල්සීල්ස්ගේ ‘භාවනා’ චිත්‍රපටයද සම්මානීය කෘතියකි. පෝල්සිල්ස් කොන්ත්‍රාත් පදනමින් රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වූවෙකි. 1960 දශකයේදී මෙරට කෘෂිකර්මය හා ගම පාදකවන අර්ධ වාර්තා චිත්‍රපටයක් නිපද වීමට එවකට අගමැති ඩඞ්ලි සේනානායක මහතාගෙන් චිත්‍රපට අධ්‍යක්ෂ සිරි ගුණසිංහට ආරාධනයක් ලැබිණ. ඔහු විසින් අධ්‍යක්ෂණය කරණ ලද ‘රන්වන් කරල්’ චිත්‍රපටය චිත්‍රපට අංශයේ වෑන් රථවලින් ගම් දනව් වල ප්‍රදර්ශනය කරන විට විශාල මහජන ප්‍රසාදයක් හිමි විය. මෙයින් ප්‍රසාදයට පත් අගමැති ඩඞ්ලි සේනානායක මහතා සිරි ගුණසිංහ ඇතුළු චිත්‍රපට කණ්ඩායම අරලිය ගහ මන්දිරයට කැඳවා භෝජන සංග්‍රහයක් ද ලබා දී ඇත.
70 දශකය වන විට චිත්‍රපට අංශයට එක් වන තිස්ස ලියනසූරිය නිර්මාණය කළ වාර්තා චිත්‍රපට අතරෙන් මෙරට කිරි ගොවීන් පිළිබඳ නිපද වූ ‘කිරි’ නම් වාර්තා චිත්‍රපටය වැනිසියේ උළෙලකදි සම්මානයට පාත්‍ර විය.

‘සන්දේශය’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් වැඩ කළ ඔහු වෘත්තාන්ත චිත්‍රපට කීපයක්ද අධ්‍යක්ෂණය කොට ඇත. එදා මෙදා චිත්‍රපට අංශය දේශීය වශයෙන් පමණක් නොව අන්තර් ජාතික වශයෙන්ද වාර්තා චිත්‍රපට ආයතනය හා එක්ව නිපද වූ ‘කොළඹ ක්‍රමය’ වාර්තා චිත්‍රපටය ඉන් එකකි. තවද යුනෙස්කෝව සමඟ කළ කෘෂි කර්මය පිළිබඳව කළ තවත් චිත්‍රපටයකි.
1948 න් පටන් ගෙන 80 දශකය පමණ වන තුරු මෙම ආයතනය දීප්තිමත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙසට පැවතුණා යයි කීම සම්පූර්ණ සත්‍යයක් නොව අර්ධ සත්‍යයකි. ප්‍රකට වාර්තා හා වෘත්තාන්ත නිර්මාණ කරුවකු වන තිස්ස ලියන සූරිය මහතා විසින් ලංකාවේ පමණක් නොව ලෝකයේ නාමධාරී සිතුවම් ශිල්පියකු වන සෝලියස් මැන්දිස්ගේ සිතුවම් කලාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මෙම ලියුම්කරු වන මා හට පැවරුණි. සෝලියස් මැන්දිස් යනු මගේ ගමේ අසල් වැසියකු මෙන්ම ඔහුගේ කලා දිවිය පිළිබඳ වසර කීපයක් තිස්සේ අධ්‍යයනය කළ කෙනකු හැටියට පිළිවන් හොඳම විදියට එය නිර්මාණය කිරීමට මට හැකි විය. එහෙත් මේ මෑතකදී එම චිත්‍රපටය අහම්බෙන් මෙන් දැකීමට හැකි වීමෙන් මගේ හදවත කම්පා විය. එය සහමුලින්ම දුර්වර්ණ වී ඇත. මේ වන විට එය විනාශ වී ගොස් ඇතැයි සිතමි. පසු කලෙක මෙම චිත්‍රපට ආයතනයේ උපදේශක හැටියට ධර්මසේන පතිරාජ මහතා පත් වීමේන් පසු නර්තන ශිල්පී පනිභාරතයන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීමට මා හට ඇරයුමක් ලැබුණි. මහත් කැප වීමකින් එම චිත්‍රපටය නිර්මාණය කළෙමි. මි.මී. 35 වර්ණයෙන් නිශ්පාදිත අවසන් චිත්‍රපටය වූයේ එයයි. විනාඩි 20ක ධාවන කාලයෙන් යුත් මෙම චිත්‍රපටය DVD එතැනින් එහාට කිසිවක් මා නොදනිමි. මෙම චිත්‍රපටයද විනාශ වීමේ මුව විටට පැමිණ ඇති බව මම විශ්වාස කරමි. 88-89 භීෂණ සමයෙන් පසු තරුණ කැරැල්ලට හේතු පාදක වූ දකුණේ දරිද්‍රතාව හා රැකියා විරහිත භාවය හා ඊට විසඳුම් මැයෙන් තවත් වාර්තා චිත්‍රපට තුනක් මා විසින් නිර්මාණය කළේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා රජයේ විත්‍රපට අංශයට කළ නියෝගයක් මතය.

මෙරටට රූපවාහිනිය පැමිණීමට බොහෝ කලකට පෙර මෙරට සිදූවූ සුවිශේෂ සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති චිත්‍රපට දහස් ගණනක් මෙහි ගබඩා කොට ඇත්තේ කිසිදු සංරක්ෂණයක් නොමැති ලෙසය. විනාශයේ මුව විට නොව ඊට එහා ගිය තත්ත්වයක් දැනටමත් උදාවෙමින් ඇත. 90 දශකයේ හා ඊට මෙහා කාලවකවානුවල සිදු වූ බොහෝ වැදගත් සිදුවීම් රූගත කිරීම් වලට පමණක් සීමා වූ අවස්ථා එමටය. නාස්ති වුයේ වටිනා දලසේයාපට පමණි. ලෝකයේ පළමු අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායකගේ මෙන්ම ජනප්‍රිය නළු විජය කුමාරතුංගගේ අවමඟුල් උත්සව රැගත් ප්‍රවෘත්ති චිත්‍රපට නිකුත් වූයේ නැත. මේ විනාශ වන්නේ වසර හැට හැත්තෑවක් තුළ මෙරට ජීවමාන ඉතිහාසයයි. ලිඛිත ඉතිහාසයට වඩා ජීවමාන ඉතිහාසය වැදගත්කමක් උසුලයි. ආසන්නම රට ඉන්දියාව සිය ජීවමාන ඉතිහාසය එරට වෘතාන්ත සිනමාපට ද තාක්ෂණය යොදාගෙන සංරක්ෂණය කරයි. ඒවා අධ්‍යයනය නොකොට අපේ ජීවමාන ඉතිහාසය ගොඩ නඟන තැන විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. එහෙත් ලෝකයම ඩිජිටල් තාක්ෂණය වෙලා ගන්නා විට ඉන්දියාවේ වත් නැති තරම් විශාල රසායනාගාරයක් ගෙනවිත් සවි කිරීමට අවසන් කාලයේ සිටි නිලධාරීන් කටයුතු කොට ඇතත් නුදුරු අනාගතයේදීම එය පරණ යකඩ සඳහා වෙන්දේසි කිරීමට නියමිතය.