පරාක්‍රමගේ “යැන්සි කාව්‍ය නදී” සමඟ චීන දේශයට මනරම් චාරිකාවක්

උදේනි සරත්චන්ද්‍ර

චීනය වත්මන් ලෝකයේ ආර්ථික යෝධයා බවට පත්වෙමින් සිටින බැව් නොරහසකි. චීනයේ නව නිමැවුම් ඇදහිය නොහැකි තරම්ය. අප විසින් යුරෝපයේ බොහෝ ඉසුරුමත් රාජ්‍යයන් තුළින් මිලදී ගන්නා කුඩා සිහිවටනයක් වුවද නිපදවා ඇත්තේ චීනය විසිනි. (Made in China)

කිනම් දේශයක වුවද, සාහිත්‍ය කලා ප්‍රබෝධයක් ඇති වන්නේ එරට ආර්ථික සෞභාග්‍යයේ පාදම මතය. එබැවින් චීනය ආර්ථික සෞභාග්‍යයේ හිණි පෙත්තට ගමන් කර ඇති යුගයක ඔවුන්ගේ සාහිත්‍ය කලාවන්හි ද නව ප්‍රවණතා දකිත හැක.

පරාක්‍රම කිවිඳුන් “යැන්සී කාව්‍ය නදී” ආරම්භයේදීම නව චීනය පිළිබඳවත් චීන සාහිත්‍යයේ නව හැඩරුව පිළිබඳවත් පාඨකයාට මනා අවබෝධයක් ලබාදීම සඳහා අනුදත් මග වන්නේ චීනයේ අසිරිමත් පොරණ කවි කලාව, චීන කාව්‍ය පරිවර්තනය, අද චීනය කොයිබටද? චීනයට ප්‍රජාතන්ත්‍රවාදය එපාද? චීනයේ ප්‍රකාශන නිදහස කෙබඳුද? චීනයේ නව කවි විප්ලවය, සංස්කෘතික චීනයේ වත්මන් ගැටලු ගැන යන මාතෘකා ඔස්සේ නවතම කරුණු කාරණා ගෙනහැර දක්වමින් විවිධත්වයෙන්, හා විචිත්‍රත්වයෙන් යුත් මනා විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. මෙමගින් චීන කවි දෙස එබී බැලීමට කදිම කවුළුවක් විවර කරයි.

“චීනයේ අසිරිමත් පොරණ කවි කලාව” පිළිබඳව විචාරාත්මක අධ්‍යයනයේදී පරාක්‍රම නමෝවිත්තියෙන්ම සඳහන් කරන දෑ බැලුව මැනවි.

“අද ලොව බොහෝ වෙනස් දේ විස්මිත දේ සිදුවන භූමියක් වේ නම් ඒ චීන දේසයයි. එය අවුරුදු 5000 ට වඩා පැරණි සභ්‍යත්ව සම්ප්‍රදායක උරුමයක් හිමි රටකි. ලොව විශාලතම ජනගහනය වූ කෝටි 150 ක ජනතාව සමග චීනය දැන් දේශපාලනික – අධි තාක්ෂණික විප්ලවයකින් ජාත්‍යන්තරයේ ඉදිරියටම පැමිණ සිටී. අද චීනය හැදෑරීම යනු වෙනස්වන ලෝකය හැදෑරීමය.” නූතන චීනයෙහි සමාජ භූ දේශපාලනයේ හා සාහිත්‍ය කලා සංස්කෘතියේ නව මුහුණුවර හැඳින්වීම සඳහා පරාක්‍රම විසින් ඉදිරිපත් කර ඇති ගවේෂණාත්මක කරුණු අපගේ විෂය ඥානය පුළුල් කරයි.

කාව්‍ය පරිවර්තනය වූ කලී දුෂ්කර පාරමිතාවකි. එසේ වන්නේ මුල් කවියේ ඇති ශ්ලේෂාර්ථ, ගූඩාර්ථ, ව්‍යංගාර්ථ, සංකේතාර්ථ, ධ්වනිතාර්ථ ආදී කාව්‍යාංග පරිවර්තනයේදී සිදී බිඳී යාමට හැකි හෙයිනි. නමුත් කවිය සමගම ජීවත්වෙමින් කවිය තම ආත්මය කරගත් රසාවේක්ෂණ ශක්තියෙන් හෙබි විදග්ධ කවියකුට මුල් කවිය පරිවර්තනය කිරීම තුළින් කවියේ සමුදයාර්ථය, හැඩරුව හා ජීවගුණය එලෙසින්ම රැඳවිය හැකි බවට නිදසුන් එමට ඇත. මෙහිදී පරාක්‍රම කිවිඳුන් විසින් දක්වා ඇති බන්ධන චාතූර්යය නිසාම පරිවර්තන කවි තුළ ඇත්තේ හෘදයාංගම බවකි.

චීන ජන කවිවල ඇති සුන්දරත්වය විදහා පෑම සඳහා පරාක්‍රම නිදසුන් ලෙස පරිවර්තනය කර ඇති කවිවල ඇත්තේ ආගන්තුක බවක් නොව සමීප බවකි. ඊට නිදසුන් ලෙස මේ කව ගෙන හැර දක්වමි.

“ කඳු මස්තකවලට උඩින්
ගල් පර්වතවලට උඩින්
අසු දක්කා යන විට දී
මට ඇසුනා කඳුවල හඬ
පර්වතවල ගස්වල හඬ ”

රාජධානි පැලැන්ති 06 ක රජවරුන්ගේ හා අධිරාජයන්ගේ රාජධානි 20 ක පාලන අවධි තුළදී ලියැවුණු රාජධානි කවි තුළ ඇත්තේ ජීවිත සාරයෙනුත්, සමාජ සාරයෙනුත් පොහොසත් කවි කලාවක් බවයි, පරාක්‍රම සඳහන් කරන්නේ.

බටහිර කවි රසිකයින්ගේද සිත්ගත් ලීබායි (Li Bai)

කිවිඳුන් (නිහඬ රැයක්) විසින් ලියූ මෙම කව පරාක්‍රම පරිවර්තනය කර ඇති කාව්‍යෝචිත වියමන් රටාව මෙබඳුය.

“ඇඳ ළඟට එයි දෝර යන සඳ වතුර
පොළොව පිට එන සුදු හිම පියලි වාගේය
හිසොසවා බල බලා ඈත දුර සඳා දෙස
හිස නමාගෙන ඉතින් සිතන්නේ ගම ගැනයි ”
(නිහඬ රැයක්)

ලීබායි කිවිඳුන්ගේ “දුර සුවඳ’ කවිය පරිවර්තනය කිරීමේදී සංවේදිතා ගුණය තුළින් අප සිත සතන් තුළ සියුම් වේදයිතයක් ජනිත කරන්නේ පරිණත කවියකු සතු නිර්මාණශීලිත්වය ප්‍රකට කරමිනි.

“ රුසිරු ළඳ සිටින කල
මේ කුටිය මල් පිරේ
ඈ ගිහින් දැන් ඇත්තෙ
තනි යහන
………………………………..
යළි නොඒ ඈ ඉතින්
ගිලිහෙන පත් සමඟ
ගෙවීයයි කාලයත්
සුසුදු යහන දැන්
දුහුවිලි පැදුරක්ය
(දුර සුවඳ)

20 වන සියවසේදී නව චීන දේශයක් බිහිවීමේදී චීනයට විප්ලවීය සාහිත්‍ය භාවිතාවක් ලූ ෂුන් කිවිඳුන් විසින් හඳුන්වා දුන් බවත්, 1945 දී සිවිල් යුද්ධය ජයගත් අසහාය නායකයා වූ මා ඕ සේතුං 1942 දී යෙනාන් සාහිත්‍ය සංවාදය තුළින් මෙම විප්ලවීය සාහිත්‍ය චින්තනය මල්ඵල ගැන්වූ බවත් චීනයේ නව කවි විප්ලවය ගැන සටහනක් තබමින් පරාක්‍රම පවසනවා.

රාජධානි (Dynasty) කවියෙන් පසු චීනයේ නව කාව්‍ය විප්ලව හතරක් සිදුව ඇත. එනම් සග 1900-1940 අධිරාජ්‍ය විරෝධී “මාර කවි”- යුගය සසග 1940-1960 ජනතාවාදී මැයි කවි රැල්ල සසසග 1960-1970 විරෝධී කවි  (Mist Poetry) යුගය iv.  1970-2000 නිදහස් කවි අවධිය  v.  අද දක්වා ගෝලීය කවි අවධිය ලෙසිනි.

චීන කවියෙහි නව විචාරකයින්ද දකින චතුර්විධ ලක්‍ෂණයන් වන්නේ සග දැනීම් හැඟීම් :ෑපදඑසදබ ත්‍ැැකසබට* සසග සිදුවීම් අවස්ථා (Circumstance) iii.  සත්‍ය කාරණ  (Fact- Truth) iv.  සංවාද දෙබස් (Dialogue)

ය. පරාක්‍රම නව චීන කවිය ගැන පවසන මේ වදන් වලට සවන්දුන මැනවි. “ලූෂන් කවි – මාරකවි – රතු කවි අවශ්‍ය නැතැයි පවසන නව චීන කවීන්ගේ අත්දැකීම් කවියට පිවිස ඇත්තේ යථාර්ථවාදී – අද්භූතවාදී රිද්මයකින්ය. නව කවීන්ගේ කවිවල ඇත්තේ සංකීර්ණත්වයකි.” මෙම කවිය ඊට නිදසුනකි.

“බුලට් එකක් වගේ
එල්ල බලා නොයන්නේය
දැනගන්න
වට වංගු පාරක්ය – කවිය නම්

කාව්‍ය රචනා 47 කින් සුසැදි “යැන්සී කාව්‍ය නදී” ඇරඹෙන්නේ චීනයේ විශිෂ්ඨතම නව කිවිඳිය වන යු සියුහුආ (Yu xiuhua)

ගේ “රට හරහා ආවෙ මං තුරුලු වෙන්නට ඔබට” කවි සිත්තමෙනි.
“චීනයෙන් හරි අඩක් ගෙවා ගෙන
ආවෙ මං
තුරුලු වී වැතිරෙන්න
ඔබ සමග”

සෑම කාව්‍ය රචනයක් අරබයා “පරිකල්පනය” නමින් පරාක්‍රම ලියා ඇති එම කවිය පිළිබඳව කර ඇති කියැවීම තුළින් මෙම කවි රස විඳුම සඳහා විවර කර ඇත්තේ පුළුල් දොර කවුළුවකි. මෙහිදී බොහෝ ඇසූ පිරූ තැන් ඇති පරාක්‍රම විසින් තෙවැනි ඇසකින් බලා කරන අර්ථ විවරණ පාඨකයාගේ විඳුම් ලොව පුළුල් පරාසයක් දක්වා ගෙන යයි.

චීන – ඉංග්‍රීසි ද්විභාෂාවෙන් කවිකම්හි යෙදෙන යැන් සී (Yang Zi)

* ගේ පහත සඳහන් කවි ගෙත්තමෙහි ඇති අපූර්වත්වය විමසා බැලීම බලනු මැනවි.

“සුළඟ එනවා වේගෙන්
ඊට වැඩි වේගයකින්
දුවනවා මිනිස්සු

සුළගේ කෑකෝ ගසමින්
යාළු මිතුරන්ගේ නම් ගම් කියමින්
කතා කරමින්
සුළඟ දෙහෙදු කරයි
ගෙවල් වහලවල්
හිසොසවා බලන විට මම්
සඳ තවත් එතැන නැත

අහස ඌරෙකු වාගේ
හඬ තලනු ඇසෙනවා

කාමර එකකවත්
පහන් දල්වා නැතිය”
(වැස්ස)

මෙම කවි පංතිය පිළිබඳව පරාක්‍රමගේ අර්ථ විවරණය මෙවදන් තුළින් පිළිබිඹු වේ. “වැහි කුණාටුවකට මැදිව වැඩ කරන මිනිසුන් කට්ටිය එකට දුව යන මේ ජවනිකාව කම්කරු පංතිය දෙස ළං වී බලන්නට හැරිය කවුළුවක් මෙනි. මෙහි කවියට ඇතුළත්ව ඇති සුළං කුණාටුව – විදුලිය – මේඝ ගර්ජනා වැඩ කරන කම්කරු ජනයා ගේ දිවි පෙවෙත කම්පන දහරක මැදිව ඇති බව අපට හඟවයි. ඔවුන් දුව පැන යන අතරේ නෑ මිතුරන්ට කතා කරනවා. කොහි වුව ද වැඩ කරන මිනිසුන්ට අනෙකා නැතුව බැරිය. පොදු ඉරණමක කොටස්කරුවන් බව එකිනෙකා හොඳින් දන්නා නිසා ය. ඔවුන් දකින සඳ මොහොතක සඳකි. දිගු වසන්තයන් ඔවුනට හිමිනොවේ.”

මෙලෙස පරාක්‍රම ඉදිරිපත් කරන අර්ථ විවරණ ඇසුරෙන් කාව්‍යයන්හි සමුදයාර්ථය මැනවින් පසක් කර ගැනීමට පාඨකයාට පුළුවන. එසේ නොවන්නට කවියේ ගුරු අරුත වටහා ගන්නට ඇතැම්විට පාඨකයාට අසීරු වන්නට ඉඩ ඇත.

ලී සියැන්සෙන් (Li Xianhen)

ගේ “බියකරු මායාවක්” නමැති කාව්‍ය රචනය ඔබට නවතම අත්දැකීමක් වනු ඇත. මුලින් ම

ඈ ඇන්දා පාට කළා
මිනිහෙක් ව
ඊ ළඟට
ගැහැනියෙක් ව

මොහොතකින්
ඒ ගැහැනියත් – මිනිහාත්
උනුන් ළං වුණා

ඈට දැන් ඇසෙනවා
පිළිස්සෙන සද්දයක්
ඊළඟ මොහොතින්
ගිනි දැල්ලක්
සිතුවම ඇතුළෙන් මතු වී
දැවී අළුවුණා
පින්තූරය ම
දැන් ඇසෙන්නෙ
මඳ සුළඟක හඬ පමණයි
කල්පනා ලොවේ අද්දර ම දැන්
සිත්තරා සිටගෙන ය
තෙලි තුඩක් අතැතිව ම

තෙලිතුඬේ තවමත්
ලොකු සායම් බිංදුවක්
එල්ලී තිබෙනවා
කදුළු පිරුණ ඇසක් වගේ ”
(බියකරු මායාවක්)

මෙම කවි පංතිය පිළිබඳ පරාක්‍රමගේ අර්ථ විවරණය මෙසේය.

“බියකරු මායාවක්” කවි ප්‍රබන්ධයට පැමිණ ඇත්තේ මායා රූපයකි. සිත්තරෙක් ගැහැනු පිරිමි රූප දෙකක් එක තැන අඳියි. දෙදෙනා මොහොතකින් එක් වෙනවා. ඊළඟ මොහොතේ මුළු සිතුවම ගිනි ගෙන දැවී අළුවෙනවා. යථාර්ථයේ මායාවක් වන එය රසිකයාගේ වින්දනය තුළ යථාර්ථයක් ම බවට පත්වෙයි.”

මෙම කවි පංතිය රසාස්වාදනය සඳහා පරාක්‍රම විසින් රචිත අර්ථ විවරණය තුළින් අපගේ විඥානය පිබිදෙයි. නවමු දෘෂ්ඨි කෝණයකින් කවිය දෙස බලන්නට අප යොමු කරවයි. රුසියානු මහා කවි ඉයුජිනි යෙව්ටුෂෙන්කෝ කවිය දේශ සීමා නොතකන බවත්, කවිය කුරුල්ලකු වැනි බවත් කියා ඇත. කවියේ එම නිර්වචනයට අනුව කවිය විශ්ව ව්‍යාප්තය. කිනම් දේශයක රචිත කවියකින් වුවද අප හදසන්තානය තුළ කිසියම් කම්පනයක්, ප්‍රකම්පනයක් ඇති කරන්නේ එම කවිය තුළ දේශසීමා ඉක්මවූ කවිතාවක් ඇති බැවිනි.

පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන් වසර ගණනාවක් පුරා චීන කවිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදී, සංගෘහිත කරන ලද මෙම කවි අස්වැන්න සිංහල කවිකෙතට වට වැස්සක් බඳුය. මෙබඳු ආයාසකාර ව්‍යායාමයන්හි යෙදෙමින්; සිංහල කවියේ නිම් වළලු පුළුල් කිරීමට පරාක්‍රම කොඩිතුවක්කු කවීන්ද්‍රයාණන් ගන්නා උත්සාහය ප්‍රශංසනීය බැව් වෙසෙසින් සඳහන් කළමනාය.