පිහිනුම් තටාකයට ඇමති පනී

ඒ. වික්‍රමසූරිය

වත්මන් පිහිනුම් සංගමය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරන බව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා නම් කිහිපයක්ද ප්‍රසිද්ධ කොට අවසන්ය. එහෙත් අතුරු කමිටුවක් තවම පත් කොට නැත. ඇමතිගේ සද්දේ මිස වැඩ නැතිය.

ඒ අතරම පිහිනුම් සංගමයේ නිලවරණය දෙසැම්බර් 20 පවත්වන බවට පිහිනුම් සංගමය දැනුවත් කළ ලිපි තමන්ට ලැබී ඇතැයි සංගමයට අදාළ අනු සංගම් පවසයි. එසේ නම් පිහිනුම් නිලවරණයට දින නියම කර තිබියදී පිහිනුම් අතුරු කමිටුවක් පත් කරන්නේ ඇයි? පිහිනුම් අතුරු කමිටුවක් ඕනෑවන්නේ පවතින නිල මඩුල්ල නීතියෙන් පිට ක්‍රියාකරන්නේ නම් ඔවුන් විසුරුවා හැර නව නිලවරණයක් පවත්වා නිලධාරීන් පත් කරන තැනට වැඩ සිද්ධ කිරීමටය. එය කිරීමට අතුරු කමිටුවක් පත් කළ යුතුව තිබුණේ අද නොව ගිය වසරේය. ඒ හිටපු පිහිනුම් සංගමයේ සභාපති ජයන්ත ගමගේ තම ලේකම්වරයා සමග සංගමයට ලද මුදල් මිලියන 11ක් පමණ අවභාවිත කර පැදුරටත් නොකියා පලා ගිය පසුවය.

එවිට ක්‍රීඩා අමාත්‍යාංශය මුනිවත රැක්කේය. සභාපති, ලේකම් නැති සංගමය ඉදිරියට පවත්වාගෙන ගියේ එහි ඉන් පහළ නිලධාරීන්ය. එම නිලධාරීන් පුහුණුකරුවන් විය. සභාපති, ලේකම් නැති තැන එහි වගකීම කරට ගෙන කළ මොවුන් මෙවර පිහිනුම් නිලවරණයේදී ඡන්දයෙන්ම වගකීම් දරන්නට පිඹුරු සැකසීය. එහෙත් මොවුහු ඒ සඳහා සපුරාලිය යුතු ‘අයනු’ ‘ආයනු’ පවා උල්ලංඝනය කළෝය. ක්‍රීඩාවේ පුහුණුකරුවකු නිලතල දැරීම වැරදිය. එය ක්‍රීඩා පනතේ ඉතා පැහැදිලිව සඳහන්ය. මේ බව දැන දැන මොවුන් ඡන්දයට එන්නේම මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ දෙබිඩි ප්‍රතිපත්තීන් නිසාය. පුහුණුකරුවන්ට නිලතල දැරිය නොහැකි නම් එය සැමට පොදුවිය යුතුය. බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මේ වසරේ කොමන් වෙල්ත් පවා යන්නේ පුහුණුකරුවකු ලෙසය. ඔහු තරගාවලිවලදී සම්පූර්ණ පුහුණුකරු භූමිකාව රඟ දක්වයි. එසේ නම් පුහුණුකරුවකු සභාපතිවීමත් සභාපති කෙනකු පුහුණුකරුවකු වීමත් අතර වෙනස කුමක්ද? ෆයිසර් නීතිය ගැන දන්නේය. එසේ නම් නීතිය ක්‍රියාත්මක නොකර සිටිනුයේ ඇයි?
පිහිනුම් සංගමයේ නිලතල සඳහා ඉදිරිපත් වූ මහින්ද ලියනගේ තමාට එරෙහි විනය පරීක්ෂණයෙන් අසමත්වන්නේ ඔහු පුහුණුකරුවකු බැවින්ය. ඔහුට මෙවර පිහිනුම් සංගමයේ කිසිදු තනතුරකට ඉදිරිපත් විය නොහැකිය. එසේ නම් මහින්ද ලියනගේ කළ දේම දරන ඩයන් ගෝමස් බොක්සිං සංගමයේ නිලතල දරනුයේ කෙසේද? ඔලිම්පික් නිලවරණයේදී පරාජිතයා වූ රොහාන් ප්‍රනාන්දුගේ කිට්ටුවන්තයා ඩයන් ගෝමස්ය. වත්මන් ක්‍රීඩා ඇමති රොහාන් ප්‍රනාන්දුව ඔහුගේම නිවසේ මුණගැසී දේශපාලන යටි ගේම් ගසන ෆයිසර්ටත් රොහාන්ගේ මිතුරා වන ඩයන්ටත් එරෙහි විය නොහැකිය. ඇමතිවරයා රොහාන්ගේ මිතුරෙක් නිසා ඩයන් ගෝමස්ට වෙනම විදිහට සලකති. නීතිය කාටත් පොදුය. ඩයන් ගෝමස්වද වහාම එම තනතුරුවලින් ඉවත් කළ යුතුය.

අප නැවත පිහිනුම් ප්‍රශ්නයට එමු. මෙතෙක් ඉවසූ ඇමතිට එකපාර පිහිනුම් නිලවරණයක් මතක් වන්නේ ඇයි? ඒ ඔහුට මතක් කරදෙන නිසාය. එය ජූලියන් බෝලින්ගේ වැඩකි. ජූලියන්ට ඕන පිහිනුම් සංගමය තම හිතවතුන් ලවා පාලනය කිරීමටය. ජුලියන්ගේ සහයට රුවන් මානවඩුද සිටී. ජූලියන්ට ක්‍රීඩා ඇමති ෆයිසර් ළඟට රිංගීමට ලයිසමක්ද ලැබී ඇත. ඒ ක්‍රීඩා ඇමතිගේ දියණිය ජුලියන් ළඟ පිහිනුම් ඉගෙන ගන්නා නිසාය. දැන් පිහිනුම් අරබයා ඇමති වැඩ කරනුයේ ජූලියන්ගේ පදයටය. ඒ නිසාම අතුරු කමිටුවට ජූලියන් කැමති සහ මානවඩු කැමති පිරිස් පත් කරන්නට නියමිතය.

මේ ආකාරයට පිහිනුම් දියුණු කළ නොහැකිය. පිහිනුම් දියුණු කරන්නට නම් හොඳ දැක්මක් තිබිය යුතුය. දැක්ම තිබුණාට මදිය. එය ක්‍රියාත්මක කරන්නට දක්ෂයන්ද සිටිය යුතුය. මේ දෙකම අද නැත. කරන්නාගොඩ යුගය මෙරට පිහිනුම්හි මෑතකාලීන හොඳම කාලපරාසය ලෙස අපි අදද කියමු. කරන්නාගොඩට අවැසි දැනුම ලබාදීමේ දක්ෂයකු එකලවිය. ඒ විජිත ප්‍රනාන්දුය. ඔහු නිසා අපට පිහිනුම්වල ලොකු ගමනක් යන්නට පාර කැපුණද පසුව ආ නිකමෝ ඒ පාර වසා දමා තම තමන්ගේ ගමන යන පාර කපා ගත්හ. අද අප භුක්ති විඳිනුයේ එහි අනිටු ඵලය.

හෙට දවසේ නැවත ජයන්ත ගමගේ කරළියට එන්නට නියමිත බවද පැවසේ. ඔහු දැන් ලංකාවට පැමිණ සිටී. එසේ නම් ඔහුව වහාම කැඳවා රුපියල් මිලියන 11කට අධික මුදලකට සිද්ධ වූ දේ සෙවිය යුතුය. ප්‍රශ්න කළ යුතුය. මේ පිහිනුම් ක්‍රීඩාවට ලද මුදල් අවභාවිත කළවුන් වගේ වගක් නැතිව ඉන්නේ කෙසේද?

දැන් පිහිනුම් අතුරු කමිටුවලින් පළක් නැත. එය නිලවරණයෙන්ම කෙළවර කළ හැකිය. ඊට දින නියම වී අවසන්ය. කවුරු නිලතලවලට එන්නේද යන්න අප නොදනිමු. කවුරු වුවත් මේ කොල්ලකාරයෝම විය යුතුය. දැන් ඉතිරිව ඇත්තේ හොරු ටිකමය.

පිහිනුම් ක්‍රීඩාව රුවල් ඉරී ගිය නැවක් බවට පත්වී ඇත. සැවොම දැන් නැව අත්හැර දියඹවල් සොයා ගොස්ය. එහෙත් මුහුදු මංකොල්ලකරුවෝ නැවේ ඇති වටිනා දේ සොරා ගනිමින් සිටිති. සිදුව ඇත්තේ එයමය. ඊට එන එන ක්‍රීඩා ඇමති තල්ලුව දෙති. එවන් ඇමතිලාගෙන් සහ හොර රැළකගෙන් අපි පිහිනුම්හි දියුණුවක් සොයමු. එය කෙතරම් අභාග්‍යයක්ද?