ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඬීම

ප්‍රභාස්වර

මීට වසර 200 කට පෙර, ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් මනුසතා පිළිබඳ ඔහුගේ මතය ප්‍රකාශ කළේ මේ අයුරිණි. ‘මිනිසා ස්වභාවයෙන්ම දේශපාලනය සත්වයෙකි. මිනිසා යම් ප්‍රජාවක් තුළ ඉපිද, එහි ජීවත් වී, ඉනික්බිති මරණයට පත් වන හෙයින් එම ප්‍රජාව සම්බන්ධ සියලු පොදු කාරණා වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙයි.’ රාජාණ්ඩු, රදළ පන්තිය, ප්‍රජා පීඩනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන මේ සියලු දේශපාලන වචන සෙසු ලෝකය උගත්තේ පූරාණ ග්‍රීකයින් බව කේම්බි්‍රජ් සරසවියේ ග්‍රීක ඉතිහාසය පිළිබඳ මහාචාර්ය පෝල් කාට්ලේජ් පවසයි. ඇරිස්ටෝටල් ජීවත් වූ 04 වන සියවසේදී ග්‍රීක රාජ්‍යය සමන්විත වූයේ වෙන් වෙන් වශයෙන් පැවති නගර රාජ්‍ය 1500ක එකතුවක් ලෙසිනි. මධ්‍යධරණී මුහුද හා කළු මුහුද ආශ්‍රීතව මෙම ප්‍රජාතන්ත්‍රවාදී නගර රාජ්‍යන් පිහිටා තිබු හෙයින් ප්ලේටෝ නම් දාර්ශනිකයා ඒවා හැඳින්වූයේ පොකුණක් වටා රැඳි ගෙම්බන් සමූහයක් ලෙසය.

පාලක පැළැන්තිය

ඇතෑන්ස් දේශපාලන මොඩලය එකල හැඳින්වූයේ ‘ඍජු ප්‍රජාතන්ත්‍රවාදය’ ලෙසිනි. ව්‍යවස්ථාදායකය හා විධායකය පත් කෙරුණේ පුරවැසියන්ගේ ඡන්දය විමසීම ඔස්සේය. එහෙත් එනුවර විසූ වහලුන්, ස්ත්‍රීන් හා විදේශිකයින්, පුරවැසියන් ලෙස ගණන් නොගැනුණි. නගරවාසීන්ගෙන් 30%ක් පමණ වූ සුපිරි ධනවතුන් අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන මේ පාලන තන්ත්‍රය, පොදු ජනයාගේ ආණ්ඩුවක් ලෙස කිසිසේත් සැළකිය නොහැකි වග පළමුවෙන්ම පෙන්වා දුන්නේ කවියකු හා නුවණැති රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ සොලොන් (ක්‍රි.පූ. 594) විසිනි. එහෙත් සොලොන් යෝජනා කළ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවේ ඊට වසර 100 කට පසුවය. සික්යොන් රාජ්‍යය පාලනය කළ ඒකාධිපතියාගේ පුත්‍රයා වූ ක්ලීස්තීන්ස්, සුපිරි ධනවතුන් අත තිබූ ඇතෑන්ස්හි ආණ්ඩු බලය සාමාන්‍ය ජනයා අතට පත් කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. වයස 18 සපිරුණු වහාම හැම පුරුෂයකුම පුරවැසි භාවය අයදිමින් ලියාපදිංචි විය යුතුය යන නීතිය සම්පාදනය කළේ ක්ලීස්තින්ස්ය. ආණ්ඩුවේ වැදගත් තීන්දු තීරණ ගන්නා සියලු රැස්වීම් වලට ක්‍රියාකාරීව සහභාගී වීමේ අයිතිය මෙම පුරවැසියන් හට හිමි විය. රදළයින් අතලොස්සක් අත තිබූ ආණ්ඩු බලය, පොදු ජනයා වෙත නිකුත් වූයේ ඒ අයුරිණි. එහෙත් ක්‍රි.පූ. 415-413 අතර සිසිලිය ආක්‍රමණ කිරීම පිණිස යුධ වැදුනු ග්‍රීක හමුදාවෝ එම සමයේ අන්ත පරාජයක් ලැබූහ. යුද්ධය පැරදුණේ තනි හා දැඩි තීරණ ගැනීම සඳහා ඒකාධිපති පාලකයෝ නොමැති වූ නිසාය යන මතය, ඉඩම් හිමි ප්‍රභූ පන්තිය විසින් ග්‍රීකයන් බහුතරයකගේ ඔළු ගෙඩි තුළ සාර්ථකව පැළ කළේ මෙම වකවානුවේදීය. නීති විරෝධී ලෙස ව්‍යවස්ථාව සංශෝධය කොට රටේ පාලන බලය ධනවත් රදළයින් 400 කගේ කවුන්සිලයක් යටතට ගැනීමට මොවුහු සමත් වූහ. එහෙත් ග්‍රීසියේ ඥානාන්විත පුරවැසියෝ, මාස 04ක් ඇතුළත එම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කොට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ග්‍රීසිය තුළ ස්ථාපිත කළහ. යම් ජන සමාජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීම සඳහා අදියර 07 කින් සමන්විත වටිනාකම් පද්ධතියක් තිබිය යුතුය යන මූලධර්මය, ලොවට හඳුන්වා දුන්නේද ග්‍රීකයෝය. නිදහස, සමාන බව, වගකීම, සාධාරණත්වය, විවෘතභාවය, පාරදෘශ්‍යභාවය සහ ජනතා විශ්වාසය පණ මෙන් සුරැකීම යනාදිය මෙකී අදියර හත ලෙස නම් කළ හැකිය.

තිත්ත ඇත්ත

ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ දේශපාලන විiා මහාචාර්ය කාල්ස් බොයික්ස්ට අනුව, ආදායම් බෙදී යාමේ විෂමතාව ඉතා ඉහළ අගයක් ගන්නා කෘෂි කාර්මික රටවල් සහ ඛණිජ තෙල් වැනි ස්වාභාවික සම්පත් ගහණ දේශයන් තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බෙහෙවින් අසීරුය. අසමානතාවන් සපිරි සමාජයක වෙසෙන බහුතර ජනයා හැමවිටම උත්සාහ කරන්නේ, ආර්ථික වාසි සකසා තමන්ව දුගී බවින් මුදවා ගන්නා පාලකයින් රොත්තක් ඊළඟ ඡන්දයේදී පත් කර ගැනීමටය. එහෙත් කෘෂිකාර්මික හෝ තෙල් ආර්ථිකය මෙහෙයවන සුපිරි ධනවත් සුළුතරය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බිය වන්නේ තමන් සතුව දැන් තිබෙන වස්තු සම්භාරය හා දේශපාලන බලය ඉන් සෑහෙන දුරකට හෝ අහිමි වී යන වග ඔවුන් දන්නා හෙයිනි. සමාජ ආර්ථික සමානාත්මතාවන්ගෙන් පිරුණු රටක පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදයට බිය නොවන්නේ, කවුරු ආණ්ඩු කළද තම තමන්ගේ එදිනෙදා හා අනාගත ආර්ථික ස්ථාවරත්වයට පාලකයින්ගෙන් තර්ජනයක් එල්ල නොවන බැව් ඒ අය අවබෝධ කරගෙන ඇති නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය දිගු කාලීනව පවත්වාගෙන යාමට අවශ්‍ය නම්, මැතිවරණයකදී එකිනෙකා හා තරඟ වදින පක්ෂ, පොදු මහජනයාගේ ඡන්ද බලයට ගරු කළ යුතුය. එනම් ජනතාව සිය ඡන්දයෙන් තමන්ගේ බලය අහිමි කර ඇත්නම් පරාජය පිළිගෙන, ඊළඟ මැතිවරණය එළඹෙන තෙක් වත්මන් මැතිවරණය ජයගත් පාර්ශ්වය වෙත, රට පාලනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. ආණ්ඩු පක්ෂය කරන හරි දේවල් අගය කරමින්ද, වැරදි දේ සාධනීය ලෙස විවේචනය කරමින්ද තමන්ගේ වාරය එන තෙක් ඉවසා සිටීමේ විවේක බුද්ධියක් විපක්ෂය සතුව තිබිය යුතු වේ. මැතිවරණවල ජය හා පරාජය නිහතමානීව භාර ගැනීමට ඇකමැති දේශපාලන පක්ෂ හා අනුගාමිකයින් යම් රටක වෙත් නම්, එම දේශයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වළපල්ලට යාම නොවැළැක්විය හැකිය. අනෙක් අතට, ඡන්ද දායකයින් හා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර ඇති ආර්ථික හා සමාජයීය තත්ත්වය සමාන වේ නම්, දේශපාලන බලය ලබා ගැනීමේ හා එහි කෙසේ හෝ එල්ලී සිටීමේ ප්‍රවණතාවක් රට තුළ හට ගන්නේ නැත. ශ්‍රී ලංකාවේදී නම් සාමාන්‍ය කෙනකු 290%ක බදු මුදලක් ගෙවා ලක්ෂ 420කට මිලදී ගන්නා සුපිරි ජීප් රථයක් පාර්ලිමේන්තු නියෝජිතයෙක් සිය බලපත්‍රය හරහා හිමිකර ගන්නේ රුපියල් ලක්ෂ 89කටය. මෙම ජීප් රථය විකුණා මන්ත්‍රී කෙනකු සාමාන්‍යයෙන් අතට ගන්නා මුදල හෙවත් ලාභය රුපියල් ලක්ෂ 300කි. හැම වසර 05කට වරක්ම රුපියල් ලක්ෂ 300ක් (වැටුප්, අනෙකුත් දීමනා සහ පගා කොමිස් වලට අමතරව) සොයා ගත හැකි තනතුරක් අතහැරීමට කැමති පෘතග්ජනයා කවරෙක්ද? සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ බදු නොගෙවන දේශපාලකයෝත්, වෛiවරු හා අනෙකුත් සුපිරි ධනවත් කුලයකුත් සිටීම සමානතාවයේ මූලධර්මයට පටහැනි තත්ත්වයකි. මෙයින් අදහස් වන්නේ කොමියුනිස්ට් දර්ශනයේදී මෙන් හැමෝම එක සමාන වත්කම් ඇති අය විය යුතුය යන්න නොවේ. ආණ්ඩුවේ ප්‍රධාන ආදායම වන ‘රාජ්‍ය බදු’ ඉදිරියේදී සැවොම සමාන වීම, එනම් තම ආදායමේ පමණට බදු ගෙවීම අනිවාර්යයෙන්ම සිදු තළ යුතුය. පාලකයින් හා පාලිතයින් අතර ඇති සමාජ ආර්ථික පරතරය වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛයට යාමේ ඉඩකඩ බෙහෙවින් වැඩි වන වග ඇරිස්ටෝටල් අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාවේ පැන නැඟුණු සියලු කරුණු කාරණා වලට හේතු පාදක වූයේ කුල පීඩනය, විරැකියාව හා තරුණ අසහනය යන පාලිතයන් පෙළු සාධකය.

ටැන්සානියානු අත්දැකීම

2015 ටැන්සානියානු ජනාධිපතිවරණයෙන් 58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්, ආචාර්ය ජෝන් පෝසෆ් මගුෆුලි 2015 නොවැම්බර් 05 දින සිය තනතුරේ වැඩ භාරගනු ලැබීය. ටැන්සානියාවේ UDSM සරසවියෙන් රසායන විiාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ඇති මගුෆුලි, 1995 සිටම එරට විප්ලවීය පක්ෂය හෙවත් CCM  නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව රැඳී සිටියේය. ගොවියකුගේ පුතකු හා රසායන විiා ගුරුවරයකු ලෙස සාමාන්‍ය පවුලකින් දේශපාලන පොරපිටිය වෙත පැමිණි මගුෆුලි දූෂණයෙන් තොර අවංක දේශපාලනඥයකු සේ සැළකිනි. ඔහු බලයට පැමිණි වහාම එරට පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කිරීමේ උත්සවය සඳහා වෙන් කොට තැබූ ඇමරිකන් ඩොලර් ලක්ෂයක් පමණ වූ මුදල් සම්භාරය, ටැන්සානියාවේ ජාතික රෝහලට අවශ්‍ය ඇඳන් හා අනෙකුත් උපකරණ මිලට ගැනීම පිණිස යෙදවිය. නිදහස් දින සැමරුම පිණිස වෙන් කළ සල්ලි, කොළරා මර්දන ව්‍යාපාරය වෙනුවෙන් වැය කිරීමට ජෝන් මගුෆුලි ක්‍රියා කළේය. දූෂිතයකු ලෙස නම් දරා සිටි ඛණිජ සම්පත් හා බලශක්ති ඇමතිවරයා වූ සොස්පීටර් මුහොන්ගෝව එම තනතුරින් පහ කළේ ද ජනපති මගුෆුලිය. එතැනින් නොනැවතුනු හෙතෙම, රාජ්‍ය නිලධාරීන්ගේ හා මැති ඇමතිවරුන්ගේ අනවශ්‍ය විදෙස් සංචාර, කොක්ටේල් සාද සහ විවිධ උත්සව සඳහා කෙරෙන වියදම් වහාම කප්පාදු කර දැමීය. ලෝක ඒඞ්ස් දින ප්‍රදර්ශනය අත්හිටවූ ජනපතිවරයා ඊට වෙන් කර තිබූ මුදල් එච් අයි වී ආසාදිතයන් හට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා වැය කළේය. ජනපති ධූරයේ දිවුරුම් දී මාසයක් ගත වූ පසු, මගුෆුලි තම කැබිනට් මණ්ඩලය 30 සිට 19 දක්වා අඩු කළේය. ඇමරිකන් ඩොලර් 15000ක් වූ ජනාධිපතිගේ මාසික වැටුපද ඔහු ඩොලර් 4000 දක්වා පහළ හෙලීය. අප්‍රිකානු කලාපය තුළ සැබෑ නායකයකු පහළ වී ඇති වග කියමින් බටහිර මාධ්‍යවේදීහු පවා ජනපති මගුෆුලිගේ මෙම දේශපාලන ප්‍රතිපත්ති එකල මහත් ඇගයීමට ලක් කළෝය.

මිනිහා නොමිනිහා වීම

මහා ප්‍රජාතන්ත්‍රවාදියකු සේ 2015 දී බලයට පැමිණි මගුෆුලි, 2016 වන විට ටැන්සානියාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි මර්දනයක් දියත් කළේය. සමකාමි එච්.අයි.වී. ආසාධිතයින් හට කොන්ඩම් හා වෛi ප්‍රතිකාර ලබා දීම නැවැත්වීමට නීති ප්‍රතිපාදන හඳුන්වා දුන් අතර එවැනි සම්බන්ධයක් ඇතැයි හෙළිදරව් වුවහොත් අදාළ පුද්ගලයා වසර 30ක සිරදඬුවමකට ලක් කළ හැකි පසුබිමක් සකස් කළේය. සමලිංගිකයකුගේ මුහුණු පොතේ අනුගාමිකයින් පවා එවැනි අය සේ සලකා දඬුවම් කිරීමට තමා නොපැකිළෙන වග මගුෆුලි තදින් කියා සිටියේය. ජනගහනයෙන් 50%ක් ම දෛනිකව ඇමරිකන් ඩොලර් 02ක් වැනි සුළු ආදායමක් ලබන මොහොතක, මහාමාර්ග හා අධිවේගී මාර්ග ගොඩ නැගීම ඇතුළු විශාල යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති මගුෆුලි විසින් ආරම්භ කර තිබීම අර්ථ ශූන්‍ය ව්‍යායාමයකි. මගුෆුලිගේ නවතම නීතියට අනුව කාන්තා මන්ත්‍රීන් හට ඇහිබැම් පාට කිරීම, කෘත්‍රිම නියපොතු පැළඳීම, ජින්ස් හා කොට සායවල් හැඳීම සපුරා තහනම්ය. ආණ්ඩුව විවේචනය කළ ප්‍රධාන පුවත්පත් 05ක් සහ රේඩියෝ ආයතන 02ක් ජනපති මගුෆුලි විසින් තහනම් කරනු ලැබුවේ 2017දීය. සියලුම බ්ලොග්කරුවන් වාර්ෂිකව ඩොලර් 900ක් ගෙවා ටැන්සානියානු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදංචි වීම අනිවාර්ය කර තිබේ. ජනපතිගේ හිතවතකු වන ඩාර් එස් සලාම්හි ප්‍රදේශයේ කොමසාරිස්වරයාගේ නොපනත් ක්‍රියාවන් ගැන පසුගියදා එරට ජනප්‍රිය කතෝලික පූජකවරයකු ප්‍රසිද්ධ විවේචනයක් සිදු කළේය. පූජකයාට එරෙහිව නිර්මාණය කළ ‘මඩ විඩීයෝවක්’ ක්ලව්ඞ්ස් මීඩියා හරහා ප්‍රචාරය කරන ලෙස එහි මාධ්‍යකරුවන්ට කොමසාරිස්තුමා බල කර සිටියේ ආයුධ සන්නද්ධ මැරයන් පිරිසක් සමඟ එතැනට පැමිණීමෙනි. පොදු ජනයාගේ මිනිසකු ලෙස 2015දී බලයට ආ ජෝන් මගුෆුලි තමා ඒකාධිපතියකු වග මේ වන විට ඔප්පු කර හමාරය. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාපන්දුවක් කරගෙන තිබෙන අප රටේ වත්මන් ජනපතිද ගමන් කරමින් සිටින්නේ මගුෆුලිගේ අඩිපාරේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.