ශ්‍රේෂ්ඨාධිකරණය: පුරවැසි නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කොටු පවුර

ජයදේව උයන්ගොඩ

ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් කළ ක්‍රියාව ‘මට තව තුරුම්පු තියනවා’යැයි දින කීපයකට පෙර උපහාස ස්වරූපයෙන් කළ අනතුරු ඇඟවීම දේශපාලන යථාර්ථයක් කිරීමකි. එතුමා එයද කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් අස් කළා මෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ඇති පැහැදිලි විධිවිධාන උල්ලංඝණය කරමිනි.
එතුමාගේ එම ක්‍රියා දෙකම නීත්‍යනූකූල යැයි කියන්නේ සරත් සිල්වා, ජී. එල්. පීරිස්, සහ විජයදාස රාජපක්ෂ යන තිදෙනා ප්‍රධාන කොටගත් නීතිඥ/නීතිවේදී පිරිසයි.

අර්ථකථන යුද්ධය

දේශපාලන ව්‍යාකූලත්වයට අමතරව, නීතිමය ව්‍යාකූලත්වයක්ද අප රටේ පුරවැසියන් ඉදිරියේ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථකථනය පිළිබඳ මෙම ‘යුද්ධය’ විසඳීම දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තිබේ. පාර්ලිමේන්තුව විසිරීමේ ජනපති නියෝගය නෛතික අභියෝගයකට ලක් වන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි නඩුකර වශයෙනි.

මෙම නඩුවල තීන්දුව අප රටේ පුරවැසියන්ගේ නිදහස, අයිතිවාසිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේත් ඉරණම හා අනාගතය තීරණ කරන අතිශයින්ම තීරණාත්මක එකක් වනු ඇත. එබැවින් එය වනාහි හුදෙක් නෛතික තීන්දුවක්ම නොවේ. දේශපාලන තීන්දුවක්ද වීම අනිවාර්යයි. අප රට දුර්වල ලක්ෂණ හෝ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පවතිනු ඇත්ද නැද්ද යන්න තීරණය වනු ඇත්තේ, මේ නඩු වලට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව අනුවය.

ලංකාවේ පුරවැසි නිදහසේත්, ප්‍රජාතන්ත්‍රවාදයේත් ඉරණම අද පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තිදෙනකුගේ අත් වලය. ඒ ගැන එතුමන්ලා ප්‍රමාණවත් ලෙස සංවේදීව සිටිනු ඇත යන්න, එතුමන්ලාගේ හැර වෙන කාගේවත් සරණක් නැති, නිදහස අගයන පුරවැසියන්ට කළ හැකි එකම ප්‍රාර්ථනාවයි.

මෙම අපේක්ෂිත තීන්දුව පුරවැසි නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඍජුවම බලපාන ආකාරය මඳක් විමසා බලමු.

අගමැති ඉවත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන කාර්යයන් දෙකේදීම, ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන කරුණ වෙතින් ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන්නේ මෙසේය.
■ ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන බලය හිමි පුද්ගලයන් රාජ්‍ය බලය පාවිච්චි කරන ආකාරය තීරණය කරන්නේත්, බලයේත් බලය පාවිච්චි කිරීමේත් සීමාවන් පවරා තිබෙන්නේත් ව්‍යවස්ථාවේය. තමන්ට දේශපාලන බලය ඇතත්, එය භාවිත කළ යුත්තේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇති සීමාවලට යටත්ව බවත්, එම සීමා නොතකා හැරීම හිතුවක්කාර ප්‍රජාපීඩක පාලන ක්‍රමයකට මග පාදන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යායෙන් කියවේ. සිරිසේන මහතා උල්ලංඝනය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධ එම රුවන් නීතියයි. නැතහොත් ගෝල්ඩන් රූල් එකයි.

■ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තමන්ට දී ඇති බලය පාලකයින් පාවිච්චි කළ යුත්තේත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පාලකයින් මෙන්ම පුරවැසියන්ද තේරුම් ගත යුත්තේත්, නීතියේ ආධිපත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන මූලධර්ම වලට අනුවය. මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ පමණක් තිබෙන මූලධර්ම දෙකකි. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය’ යනු පුළුල් සංකල්පයකි. එහි මූලික අර්ථය නම් පුරවැසි නිදහස සහ අයිතිවාසිකම්ද, නීතියේ පාලනයද සහතික වන පරිදි, ප්‍රජාපීඩක සහ හිතුවක්කාර ලෙස දේශපාලන බලය පාවිච්චි කරන්නේ නැතිව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සීමාවන්ට යටත්ව පමණක් ආණ්ඩු කිරීමට ඉඩ සලසන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමත්, අර්ථ කථනය කිරීමත්ය. මෙය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මූලික ධර්මයකි.

ඔක්. 26 දා ආරම්භ වූ සිරිසේන මහතාගේ ක්‍රියාවලියේද එම ක්‍රියාවලිය සාධාරණ කරන දේශපාලන සහ නීතිමය තර්ක වලින්ද ප්‍රතික්ෂේප කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිබඳ මෙම මූලික ධර්මයයි. ඒ මගින් පාර තැනෙන්නේ, ව්‍යවස්ථාවේ වචන, වගන්ති, විධිවිධාන සහ පදනම් මූලධර්මද නොතකා තම දේශපාලන අභිලාෂයන්ට ගැළපෙන ලෙස ව්‍යවස්ථාව උල්ලංනය කරමින් රාජ්‍ය බලය භාවිත කිරීමට, විධායකයේ ප්‍රධානියාට ලයිසන්, එනම් අවසරය දීමයි. මෙය වනාහි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයත්, ප්‍රජා පීඩක ඒකාධිපතිවාදයක ආරම්භයත්, සලකුණු කරන මහා දේශපාලන සහ ශිෂ්ටාචාරමය පසුබෑමකට මුල පිරීමකි.

■ ජනාධිපති සිරිසේනගේ ක්‍රියා දෙක පුරවැසි නිදහසට බලපාන ආකාරය ගැන දැන් විමසා බලමු. එයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථකතනයට ඍජුව සම්බන්ධ දෙයකි.

අගමැති ඉවත් කිරීම, අලුත් අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියා නීත්‍යනුකූල යැයි පිළිගතහොත් එහි ඍජු සහ ක්ෂණික ප්‍රතිඵලය නම් විධායකය පවත්නා ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කරමින් ඕනෑම හිතුවක්කාර ක්‍රියාවක් නීත්‍යනූකූල කිරීමකි. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බලයේ සිට විධායකය තීරණය කළහොත්, එය වැළැක්වීමේ නෛතික මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. පුවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම, සිරකර තැබීම, මරා දැමීම, ඔවුන්ගේ භාෂණයේ, සිතීමේ, සමාගම් පැවැත්වීමේ සහ රැස්වීම් පැවැත්වීමේ නිදහස ප්‍රතික්ෂේප කිරීම වැනි විධායකයේ ක්‍රියා ඉන් පසුව නීතියේ පාලනයට හසු නොවනු ඇත. ඉතිරි වනු ඇත්තේ නීතියේ පාලනය නොව මිනිසුන්ගේ පාලනයයි. නීතියට අනුකූල පාලනය නොව පාලකයාගේ හිතුවක්කාර නියෝගයි. ප්‍රජා පීඩක පාලක තන්ත්‍රයක් ලංකාවේ ඇති වීමට මීට වඩා භයානක බෙහෙත් වට්ටෝරුවක් තවත් නැත.

ප්‍රජාතන්ත්‍රවාදියකු නොවීම

මෙම සිදුවීම් දාමය තුළින් අප රටේ පුරවැසියන්ට බැස ගත හැකි තවත් නිගමනයක් නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බවයි. මාද ඇතුළු මෙරට ලක්ෂ 62 ක පුරවැසි පිරිසක්ද, ලෝකයාද රැවටී සිටියේ ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදියකුය යන මිථ්‍යාවටය. මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදියකු නොවේ. රනිල් වික්‍රමසිංහ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ලංකාවේ වර්තමාන දේශපාලන බල අරගලයට මැදිව සිටින ප්‍රධාන නායකයන් තිදෙනාගේම දේශපාලන චරිත ස්වභාවය මෙබඳු නම්, පුරවැසියන් ඉදිරියේ තිබෙන ප්‍රශ්නය වන්නේ, දැනට පවත්නා මෙම බල අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට, අප රටේ දේශපාලන නායකත්වයට හැකිද? යන්නයි මට පෙනෙන දෙය නම් නොහැකිය යන්නයි.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අඟහරුවදා දුන් අතුරු තහනම් නියෝගයෙන් පසුව, මෙම බල අරගලයේ ගමන් මග තරමක් වෙනස් වී තිබේ. එය තමන් ලැබූ ජයග්‍රහනයක් යැයි සිතන එ.ජා. පෙරමුණ පාර්ශ්ව සහ තමන් ලැබුවේ පරාජයකැයි සිතන මෛත්‍රී- මහින්ද පාර්ශ්වය අතර ගැටුම් තවත් තියුණු වීම හැර වෙනත් අලුත් මාවතකට ගැටුම පිවිසෙනු දක්නට අපට බැරිය. රනිල් පාර්ශ්වය කරනු ඇත්තේ, පාර්ලිමේන්තුව කැඳවා තම බලය ව්‍යවස්ථාධායකය තුළ තහවුරු කර ගැනීමයි. තහවුරු කරගෙන සටනේ ඊළඟ අවධියට සූදානම් වීමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළත විකල්පය ඔවුන් ඉදිරියේ තිබේ.
මේ අතර මෛත්‍රී -මහින්ද පාර්ශ්වය බල කෙරෙනු ඇත්තේ විධායකය පැත්තෙන් තමන්ට ඇති විකල්ප ක්‍රියා මාර්ග සොයා යෑමයි. පාර්ලිමේන්තු සැසි වාරය නැවත කල් දැමීම, ජනමත විචාරණ විකල්ප සහ හදිසි නීතිය පැණවීමේ විකල්පය ගැන ඔවුන් සොයා බලනවා නොඅනුමානය. සිරිසේන මහතා හිර වී තිබෙන්නේ ගැලවිය නොහැකි උගුළකය. එය නම් ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවදය තව තවත් උල්ලංඝනය කිරීම හැර වෙනත් විකල්ප ඔහුට නොමැති වීමයි.

දේශපාලන බල අරගල තියුණු වන විට ව්‍යවස්ථාමය සීමා නොසලකා හැර අධිකරණය මතද විධායකයේ බලය පැතිරවිම ජනාධිපතිවරයාට උපදෙස් දෙන උපදේශකයින් පවා ඔහු වටා මේ දින වල සිටින්නට පුළුවන. එවැනි ක්‍රියා මාර්ගයක් ගත හොත් එයට විරුද්ධ වීමට විධායකය පැත්තේ ඇති කිසිදු ආයතනයක් සූදානම්ද යන්න සැකයකි.

අධිකරණයේ කාර්යය

මේ පසුබිම තුළ අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට අති විශාල දේශපාලන වගකීමක්ද පැවරී තිබේ. එම වගකීම මෙසේ සූත්‍ර ගත කළ හැකිය. ලංකාවේ දේශපාලන ප්‍රතිපත්තියේ අභ්‍යන්තර බල අරගලය දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බල තරඟයක් බවට පත් වී රජයේ ප්‍රධාන ආයතන දෙක අතර තියුණු වන බල අරගලය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම දක්වා තියුණු වීමේ අනතුර තිබේ. එම ගැටුම එලෙස තියුණු වීම වැළැක් වීමත් එවැනි දිසාවක් කරා ගැටුම ගමන් නොකිරීමත් යන වගකීම දැන් පැවරී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයටයි. රාජ්‍යයේ තුන්වැනි ආයතනික ශාඛාවටයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති මෙම වගකීම දෙයාකාරයකින් ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වී තිබේ. පළමුවැන්න, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ දැනට තමන් ඉදිරිපිට ඇති නඩුකරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ජීවය ආරක්ෂා කිරීමයි. එය පුරවැසියන් සඳහා රැක දීමයි.

දෙවැන්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම යන ඉහත කී කාර්යයෙන් පමණක් නොනැවතී තමන්ගේ ඉදිරි දිනවල දේශපාලන චර්යාව පිළිබඳව විධායකය සහ ව්‍යවස්ථාදායකයට සම්බන්ධ දේශපාලන නායකයින්ට උපදෙස් දීම සහ මගපෙන්වීමද සිදු කිරීමයි. එම උපදෙස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයේම කොටසක් බවට පත් කිරීමයි.

මේ කාර්යයන් දෙකම අපරටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, පුරවැසි නිදහසත් ඒවා විනාශ වීමේ ක්ෂණික අනතුරින් ආරක්ෂා කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ යුතුකම්ය. ඉටු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හා අධිකාරය ඇති යුතුකම්ය. විනාශයට යෑමේ ක්ෂණික අනතුරු ඉදිරියේ සිටින අප රටේ පුරවැසි නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ආරක්ෂක කොටු පවුර බවට දැන් පත්ව තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ එවැනි මැදිහත් වීමක් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි ව්‍යාපාර වල අරගලයටද මහත් රුකුළක් වනු ඇත.