වත්මන් දේශපාලන අර්බුදයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

මහින්ද හත්තක

රජයකට රටක් පාලනය කිරීමේ බලය හෝ එහි සුජාතභාවය හිමිවන්නේ කෙසේද? මෙය රාජ්‍යය බිහි වූ දා සිටම පාලකයා හෝ පාලකයන් සහ පාලිතයන් අතර සම්බන්ධතාව විග්‍රහ කිරීමට පිවිසෙන සෑම අවස්ථාවකම මතුවන ප්‍රශ්නයකි. බෞද්ධ සාහිත්‍යය අනුව පොදු අයිතිය නැතිවී පුද්ගලික දේපොළ අයිතිය ඉස්මතුවීමත් සමග හොරකම් කිරීම, මංකොල්ලකෑම සහ පැහැර ගැනීම නිසා ජන ජීවිතය අනාරක්ෂිත වූ විට මහා සම්මතය අනුව පාලකයකු තෝරා පත්කර ගත්තේ සාමකාමී, සහජීවන සමාජයක් පවත්වා ගැනීමටය. ඒ අනුව පාලකයාගේ යුතුකම වන්නේත් ඔහුට සුජාතභාවයක් ලැබෙන්නේත් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කිරීමෙන් පමණි.

බටහිර දේශපාලන චින්තනය අනුව පාලකයාට පාලනය කිරීමට බලය ලැබෙන්නේ සමාජයත් සමග ඇති කර ගන්නා ගිවිසුමකිනි. සමාජ ගිවිසුම යනුවෙන් මෙම මතය වඩාත් හොඳින් වර්ධනය කරන ලද්දේ ජීන් ජැක්වීස් රූසෝ විසිනි. ඊට පෙර ප්ලේටෝ වැනි දාර්ශනිකයන් ද මෙම අදහස ඉදිරිපත් කර තිබුණ නමුත් පාලකයා ජනතාවගේ යහපත සඳහා ඇති කර ගත් සමාජ ගිවිසුම කඩ කරන්නේ නම් ජනතාවට ඔහුට එරෙහිවීමට අයිතියක් ඇත යනුවෙන් දේශපාලන ක්‍රියාමාර්ගයකට මං පෙත් හෙළි කෙළේ රූසෝ ය. ඔහු මෙසේ සඳහන් කෙළේය. “මමත්වය මුල් කරගත් පුරවැසියකුට තම සැබෑ වුවමනාවන් සාක්ෂාත් කර ගත නොහැකිය. ඒ වෙනුවට ඔහු පුරවැසියන් විසින් සමූහයක් වශයෙන් නිර්මාණය කරන ලද නීතියට මමත්වය යටපත් කළ යුතුය.” මෙම අදහස වර්තමාන තත්ත්වයට අදාළ කර ගන්නේ නම් ජනතාව තමන් විසින් නිදහස් සහ සාධාරණ ඡන්දයකින් තමන් නියෝජනය කිරීමට තෝරා පත්කර ගත් නියෝජිතයන් විසින් සාකච්ඡා කිරීමෙන් පසුව සම්මත කර ගන්නා නීතිය නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුත්තේ පාලකයාගේ හෝ පාලකයන්ගේ මමත්වය යටපත් කිරීමෙනි.

අද අප මුහුණ දී සිටින්නේ පාලකයන් විසින්, ජනතාව සාමූහිකව සිය නියෝජිතයන් මාර්ගයෙන් සම්මත කර ගත් නීති නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම මමත්වය රැක ගැනීමට නිර්දය ලෙසින් යොදා ගන්නා ඛේදනීය අවස්ථාවකටය. වත්මන් ජනාධිපතිවරයාත් ඔහු වෙනුවෙන් පෙනී සිටින සෙසු අයත් අවධාරණය කරන්නේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නේය යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරන්නේ ඔවුන්ගේ අරමුණුවලට විරුද්ධව පෙනී සිටින කණ්ඩායම් ය. ඔවුහු එය සනාථ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්ති උපුටා දක්වති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් එක් වගන්ති නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ලියවිල්ල ගැන කිසිම අදහසක් නැති ජනතාව සහ ආගමික නායකයෝ මෙවැනි අර්ථ දැක්වීම්වලට අනුමැතිය පළ කරති. බහුතරයක් තූෂ්ණිම්භූතව බලා සිටිති. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කිරීමට පාසල් අධ්‍යාපනය තුළින් හෝ වෙනත් මාර්ගවලින් අවස්ථාවක් නැති නිසා ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

එම නිසා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ගැන ගැඹුරු විග්‍රහ කිරීම් නොමැතිව සිදුවන දේ සහ සිදුවිය යුත්තේ කුමක් ද යන්න තේරුම් ගැනීමට උත්සාහ ගැනීම වැදගත් ය. රජයකට ජනතාවගේ අන්සතු කළ නොහැකි, නොපැවරිය හැකි පරමාධිපත්‍යය සමාජ ගිවිසුමක් මගින් පැවරී ඇතැයි යන සංකල්පයේ හරය වන්නේ රූසෝ සඳහන් කළ ආකාරයට පාලකයාගේ මමත්මය නොසලකා පොදු ජන යහපත සඳහා ක්‍රියා කළ යුතුය යන්නයි. එසේ නැතිව පාලකයාගේ හෝ ඔහුට සහාය දෙන කණ්ඩායමේ වුවමනාවන්ට අනුව කටයුතු කිරීම සමාජ ගිවිසුම කඩකිරීමකි.

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී බහුතරය වූ හැට දෙලක්ෂයක ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔහු ජනාධිපති තනතුරට පත් කිරීම කුමන අර්ථයකින් බැලුවත් සමාජ ගිවිසුමකි. ගිවිසුමේ කොන්දේසි වන්නේ ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ පක්ෂ හා සංවිධාන එකතුව සකස් කළ පොරොන්දු ය. එම පොරොන්දු අතර ප්‍රමුඛතම වන්නේ විධායක ජනාධිපති සතුව පැවති අත්තනෝමතික බලතල ඉවත් කොට පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු යටතේ රට පාලනය කිරීම ය. එම ජනාධිපතිවරණ සටනේදී වැදගත්ම භූමිකාවක් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අවධාරණය කළ ආකාරයට ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයයි. උන්වහන්සේ එම මතය වෙනුවෙන් කෙතරම් දැඩිව පෙනී සිටියේ ද යත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා තනතුරට පැවරී ඇති බලතල ඉවත් කිරීමට එකඟවන්නේ නම් තම සහාය ඔහුට ලබා දීමට ද කැමැත්ත පළ කෙළේය. ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිඛිත එකඟතා ද ඇති කර ගැනිණ. මෙම තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතික්ෂේප කළ නොහැකිය.
එම ලිඛිත එකඟතාවලට අමතරව ඔහු සිය ඡන්ද සටනේ දී තමාට ඇති ජීවිත අවධානම නොතකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියාමාර්ගවලට එරෙහිව බව අවධාරණය කෙළේය. ඇමතිවරයකු වශයෙන් ඔහුට ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවස්ථාවක් ලබා නොදුන්නා පමණක් නොව ඔහු ගත් තීරණ නිෂේධ කළ ආකාරය ද පැහැදිලි කෙළේය. ඇමති තනතුරුවලට පත් කිරීම සහ ඉවත් කිරීම සිදු වූයේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ හිතුමතේටය. මොරගහකන්ද ජලාශය ඉදි කිරීමට මුල් ගල තබා කොළඹට පැමිණිමට පෙර තමා මහවැලි ඇමති ධුරයෙන් ඉවත් කළ ආකාරය පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්තනොමතික ක්‍රියා සනාථ කිරීමට ය.

ඒ සියල්ලට අමතරව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ජනාධිපති සතු විධායක බලතල සිය කැමැත්තෙන්ම අත්හළ නායකයා ලෙස නිතර පාරම්බෑවේය. මෙය ලංකාවේ දී පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු නම පවා නොදන්නා ජෝර්ජියාව නම් රටේ පැවති යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී සිංහලෙන්ම තමා සිය කැමැත්තෙන්ම බලතල අත්හැරි හැටි පැවසුවේය. එවැනි පුද්ගලයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය ජනතාවට නොතේරෙන වගන්තිවලට අවස්ථාවාදීව අර්ථ දක්වමින් විධායක බලතල නැවත පාවිච්චි කළ හැකි ද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වචනවලින් කුමක් අදහස් කළත් ඔහුත් ඔහු පත් කළ ජාතික එකමුතු රජයෙනුත් පැහැදිලිව ප්‍රකාශ කෙළේ 78 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ විධායක ජනාධිපති තනතුරේ බලතල සිඳ දැම්මේය යන්නයි. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද වන විට නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන ජී ඇල් පීරිස් මහතා ද පැවසුවේ එවැනි අදහසකි. එම නිසා අගමැති සහ ඇමති මණ්ඩලය ඉවත් කිරීමේ දී සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කර ඇත්තේ සමාජ ගිවිසුම කඩකරමින් බවට කිසිදු සැකයක් නැත. එමෙන්ම 2015 ජනවාරි මස පැවති ඡන්ද විමසීමේ දී ප්‍රතික්ෂේප වූ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබාදීම ද නැවත වරක් සමාජ ගිවිසුම සාහසික ලෙස කඩ කිරීමකි.

තම අත්තනෝමතික ක්‍රියාමාර්ගය හේතු යුක්ති කිරීමට ජනාධිපති සිරිසේන මහතා කරුණු කීපයක් ඉදිරිපත් කෙළේය. පසුගිය දා පාර්ලිමේන්තු වටරවුමේ පැවති රැස්වීමේ දී ප්‍රකාශ කළ ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූයේ දෙදෙනා අතර සංස්කෘතිමය වශයෙන් පැවති නොගැළපීම් ය. (ඊට පෙර ඉවත් කිරීමට හේතුවක් ලෙස දැක්වූයේ තමා ඝාතනය කිරීමට, සිදු කෙළේයැයි කියන කුමන්ත්‍රණය ගැන පැවැත්වෙන විමර්ශන කටයුතුවලට සහාය ලබා නොදීමය.) ජනාධිපති සිරිසේන මහතා අවධාරණය කළ තවත් සංස්කෘතික නොගැළපීමක් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිංගික හැසිරීම ය. එවැන්නක් තනතුරෙන් ඉවත් කිරීමට හේතුවක් වන්නේනම් ජනාධිපති සිරිසේන මහතා ද එම චෝදනාවට ලක්වන බව අමතක නොකළ යුතුය. ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු පැවැත්වෙන අතරතුර දී අයිටීඑන් රූපවාහිනි නාළිකාවෙන් ඔහුට ද ලිංගික හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූ තවත් කරුණක් ලෙස ජනාධිපති සිරිසේන මහතා දැක්වූයේ වංචා, දූෂණ හොරමැරකම් සිදුවීමය. ඊට නිදසුනක් ලෙස මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ද ගෙනහැර දැක්වූයේය. ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදීත් ඉන් පසුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදීත් ජනතාවගේ ප්‍රබල ඉල්ලීමක් වූයේ වංචා දූෂණ නැති කිරීමය. වංචා දූෂණ සිදු කළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමය. එහෙත් ගතවූ වසර තුනකට අධික කාලය ඇතුළත දූෂණ නැති කිරීමක් හෝ එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබාදීමක් සිදුවූයේ නැත. දඬුවමක් නියම වූ එකම සිද්ධිය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී රජයේ මුදලින් සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය ගැන පමණි. එහෙත් එම නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කර මෙතෙක් තීන්දුවක් ලබා දී නැත. එම නිසා වැරදිකරුවෝ නිදැල්ලේ හැසිරෙති.

වඩාත්ම ඛේදනීය කාරණය වන්නේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පවා අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වීම ය. ජනාධිපතිට තම කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් දූෂණ වංචාවලින් තොර පුද්ගලයකු තෝරා ගැනීමට හැකියාවක් නැතිනම් අනෙකුත් ආයතනවල දූෂණ නැති කළ හැක්කේ කෙසේද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට හේතු වූ තවත් කරුණක් වන්නේ ඔහු ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම ය. විශේෂයෙන්ම හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම ඔහුගේ දෝෂදර්ශනයට ලක් විය. ඇත්තෙන්ම රටේ සම්පත් විදේශිකයන්ට පමණක් නොව දේශීය ව්‍යාපාරිකයන්ට හෝ විකිණීම බලවත් අපරාධයකි. රටේ සම්පත් එහි සියලු ජනතාව සතු පොදු සම්පතක් වන බැවින් අන් සතු කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. එහෙත් මෙම අන්සතු කිරීම සිදුකර ඇත්තේ රනිල් වික්‍රමසිංහ පමණක් ද? ලෝකයේ ධනවත් පුද්ගලයන් ගැන තොරතුරු රැස්කර ප්‍රකාශයට පත් කරන විවිධ ආයතන සඳහන් කරන ආකාරයට සියලුම වර්ණවලට අයත් අපේ රටේ දේශපාලකයන් පුද්ගලිකව ධනය ඒකරාශී කර ගැනීම නොමසුරුව කර ඇත.

ලොව ධනවත් පුද්ගලයන්ගේ වත්කම් ගැන සමීක්ෂණය කරන ප්‍රකට ආයතනයක් වන ෆෝබ්ස් ප්‍රකාශනය සඳහන් කරන ආකාරයට අපේ රටේ ධනවත්ම දේශපාලකයා මහින්ද රාජපක්ෂ ය. ඔහු සතු ධනය ඩොලර් බිලියන 18 කි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්කම් ඩොලර් බිලියන 14කි. අප දන්නා පරිදි මෙම දෙදෙනාම විශාල වශයෙන් ධනය ඉපයිය හැකි ව්‍යාපාරයක හෝ කර්මාන්තයක යෙදුණ පුද්ගලයෝ නොවෙති. ඔවුන් දෙදෙනාම යෙදුණ එකම ව්‍යාපාරය වන්නේ දේශපාලනයයි. ඉන් මෙතරම් විශාල ධනයක් රැස්කර ගැනීමට හැකිවූයේ කෙසේද? ඔවුන් දෙදෙනා සතු ධනය රට ජාතිය වෙනුවෙන් යොදවන්නේ නම් අපේ විදේශ ණය සම්පූර්ණයෙන්ම ගෙවා නිදහස් විය හැකිය. එවිට ණය ගෙවීම සඳහා ඔවුන් බෙහෙවින් ආදරය කරන ජනතාව මත බදු බර පැනවීමේ අවශ්‍යතාවක් නැත. සමහරවිට දේශපාලකයන් එක්රැස් කරගෙන ඇති ධනය ජනතාව මත පටවා ඇති ජීවන බරට වඩා කීප ගුණයකින් වැඩිවීමට හේතු වන්නේ රටේ විදෙස් ණය බර වැඩිවීම විය හැකිය.

මෙවැනි පසුබිමක වංචා දූෂණ ඉහවහා ගොස් ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අඩුපාඩු නිසාම නොවේ. වැරදිකරුවන් වන්නේ ඔවුන්ට බලය ලබාදෙන ජනතාවම ය. එහිදී ශේක්ස්පියර්ගේ ජූලියස් සීසර් නාට්‍යයේ එන ‘ වරද ඇත්තේ බෲටස් අපේ ග්‍රහ චාරයේ නොව අප තුළමය. ඒ අප යටහත් වැසියන් වන නිසාය.‘ යන කියමන ‘වරද ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොව අපගේ යටහත් පහත්කම තුළ’යැයි වෙනස්කර ගැනීම කාලෝචිතය.