මහා විනාශයක මුවවිට

වික්ටර් අයිවන්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නොවැම්බර් 4 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මකවීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී වැඩසටහන ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබේ.

අධිකරණය ඒ පියවර නොගත්තේ නම් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී හිතුවක්කාරී වැඩසටහන බාධාවකින් තොරව ජයග්‍රාහී ලෙස ගලා යන තත්ත්වයක් ඇතිවී රට වඩා විශාල අර්බුදයකට යන්නට ඉඩ තිබුණා සේ ම අධිකරණයට තිබෙන පිළිගැනීමද මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි.

රට වඩා විශාල අර්බුදයකට?

අධිකරණය දෙන ලද අතුරු තහනමත් සමග ජනාධිපතිවරයා සේ ම බහුතර බලයක් නැතිව ජනාධිපති විසින් පත් කළ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද ලොකු අර්බුදයකට ගියේය. එහෙත් ජනාධිපති ඇතුළු ඒ සියලුදෙනා තමන් ඉදිරියට තබන ලද පය ආපස්සට ගැනීමට සූදානම් නැති බව පෙනේ. ඒ නිසා රට ලොකු විනාශකාරී අර්බුදයකට තල්ලුවී යමින් පවතී. ඒ නිසා ඇතිවන්නට නියමිත අර්බුදය මීට පෙර කවරදාවත් ඇතිවී නැති රටේ දේශපාලන නායකයන් මුළුමනින්ද විනාශ කිරීමට හේතුවන, ආර්ථිකයේද පූර්ණ බිඳවැටීමක් ඇති කිරීමට හේතුවන හා රටේ ක්‍රියාකාරීත්වයද, ජන ජීවිතයද මුළුමනින් අවුල් කිරීමට හා රට පූර්ණ අරාජකත්වයකට තල්ලු කිරීමට හේතුවන දැවැන්ත අර්බුදයක් ඇති කිරීමට හේතුවනවා ඇත. එය රටේ ප්‍රචණ්ඩ කැරලි පැවති කාලයේදීවත් ඇති නොවුණු බිහිසුණු අරාජකත්වයකට පාර කපනු ඇත.

මෙතෙක් රටේ තිබුණේ කොල්ලකාරී යටි අරමුණු ඇතිව දේශපාලන කණ්ඩායම් දෙකක් අතර වස්තුව කොල්ලකෑමේ අයිතිය හිමිකර ගැනීම සඳහා සටකපට ලෙස වුවත් සාමකාමී ලෙස කෙරෙන තරගයකි. දැන් එය දෙපක්ෂය අතර කෙරෙන සාමකාමී නොවන නග්න බලපොරයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති කණ්ඩායමකට ආණ්ඩු බලය දී එම කණ්ඩායමට ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුද බහුතර බලයක් ඇතිකර ගැනීමට නොහැකි වූ විට නීතියට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා දෙන ලද නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇතත්, එම නියෝගය ඇතිවී තිබෙන ගින්න නිවීමට හේතුවී නැත. ජනාධිපතිවරයා හා ඔහු පත් කළ ආණ්ඩුව ඔවුන්ගේ හිතුවක්කාරී වැඩසටහන ආපස්සට ගැනීමට සූදානම් නැති බව පෙනේ. ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගැනීමට අවශ්‍ය උපාය මාර්ගික දැක්මක් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙම අර්බුදයේ නිර්මාපකවරයා ජනාධිපතිවරයාය. තමන් කර තිබෙන වරදෙහි බරපතළකම හා ඒ නිසා ඇතිවිය හැකි විනාශයේ තරම දැන්වත් තේරුම් ගනිමින් මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීම සඳහා ක්‍රියාකිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. රටේ වාසනාවකට තවමත් ත්‍රිවිධ හමුදාව පැත්තක් ගෙන නැත. ත්‍රිවිධ හමුදාවේ අපක්ෂපාතී බව තවදුරටත් ආරක්ෂා කරගත යුතුය. ගැටුම් ඇතිවන තත්ත්වයක් ඇතිවීම වළකා සාමය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාකිරීම මෙවැනි අර්බුද අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව වෙත පැවරෙන වගකීමකි. ජනතාවද පටු දේශපාලන මතවාදයන්ගෙන් ඉවත් වී ගැටුම් ඇති කිරීමට හේතුවන ක්‍රියාවලට සම්බන්ධවීමෙන් වැළකී සිටිය යුතුය. අර්බුදයට සම්බන්ධ පාර්ශ්ව දෙකේ නායකයන් සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කරන තැනකට යා යුතුයි. අධිකරණයටද මෙම ගැටුම සාධාරණව විසඳා ගැනීමට අවශ්‍ය නියෝග දෙන තැනකට යා හැකිය. රට පූර්ණ අරාජකත්වයකට තල්ලුවීම වැළකීම ඒ සියලුදෙනාගේම වගකීම විය යුතුය.

රනිල් වික්‍රමසිංහට බහුතර බලයක් තිබියදී බහුතර බලයක් නොතිබූ මහින්ද රාජපක්ෂ පිලට ආණ්ඩු බලය ලබා දුන් ආකාරය ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න තේරුම් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳව විශාරද දැනුමක් අවශ්‍ය වන්නේ නැත. ඒ ගැන සරල දැනුමක් ඇති පුද්ගලයකුට වුවත් එහි හරි වරද තේරුම්ගත හැකිය.

19 වැනි සංශෝධනයෙන් පසු සිටින ජනාධිපතිවරයා එම සංශෝධනයට පෙර එම තනතුරේ සිටි ජනාධිපතිවරයාට වඩා අඩු බලයක් තිබෙන ජනාධිපතිවරයෙකි. ඔහුට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙනස් කළ හැක්කේ ආණ්ඩුවේ අයවැය ලේඛනය පරාජය වූ අවස්ථාවකදී හෝ විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ අවස්ථාවකදී පමණය. නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටින අවස්ථාවකදී පමණය.

මහින්ද රාජපක්ෂ පිලට ආණ්ඩු බලය ලබාදෙන අවස්ථාවේදී ඒ පිලට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණේය. පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන ලද්දේ බහුතර බලයක් සඳහා අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මහින්ද පිලට එකතු කරගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහාය. එහෙත් ඒ මගින්ද ඒ අරමුණ සපුරා ගැනීමට හැකිවූයේ නැත.

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ පිලට තිබුණු ආණ්ඩු බලය ඉවත් කොට බහුතර බලයක් නොතිබුණු රාජපක්ෂ පිලට ආණ්ඩු බලය ලබාදීම ව්‍යවස්ථාවට පටහැනි වන අතර බහුතර බලයක් නැතිව මහින්ද රාජපක්ෂ අගමැති ධුරය භාරගැනීමද ව්‍යවස්ථාවට පටහැනිය. බහුතර බලයක් සඳහා එක් පක්ෂයකින් තවත් පක්ෂයකට මන්ත්‍රීවරුන් ගැනීමද ව්‍යවස්ථාවට පටහැනිය.
මෙම අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තිබුණු එක් මාර්ගයක් වනුයේ බහුතර බලයක් ලබාගැනීමට දරන ලද උත්සාහය අසාර්ථකවීමෙන් පසුව නව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී බහුතර බලයක් තිබුණු පරණ ආණ්ඩුවට යළි ආණ්ඩු බලය ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ බහුතර බලයක් නැතිව බලයට පත් කළ ආණ්ඩුවට මැතිවරණය අවසාන වන තෙක් බලයේ ඉන්නට ඉඩ ලැබෙන ලෙස ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා දී තිබෙන නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණයට දී තිබෙන නියෝගය නොසලකා තවදුරටත් හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන පිළිවෙතක් ජනාධිපතිවරයා අනුගමනය කළහොත් එය රට මුළුමනින් කාලකණ්ණි කිරීමට හේතුවන වඩා විශාල අර්බුදයක් ඇති කිරීමට හේතුවිය හැකිය.

මෙම අර්බුදය ආරම්භයේදී මෙම ලියුම්කරු කීවේ ඉන් ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් මුළුමනින්ම නැතිභංග කිරීමට හේතුවනු ඇති බවය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පිළිගැනීමද විශාල ප්‍රමාණයකට නැති කිරීමට හේතුවනු ඇති බවය. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව නොසලකා තවදුරටත් හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තැනකට ගියහොත් රට විශාල විනාශයකට තල්ලු කිරීමට හේතුවනු ඇති අතර, එය රටේ සියලු දේශපාලන නායකයන් කෙරෙහි පමණක් නොව රටේ ජනතාව හා රටේ පැවැත්ම කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු ඇත.

නීතිපති හා මැතිවරණ කොමසාරිස්

මෙම අර්බුදයේදී නීතිපතිවරයා අනුගමනය කළ පිළිවෙත එම තනතුරේ ගෞරවයට හේතු නොවන අතර, නීතියට පටහැනි සේ ම නින්දාසහගත බවද කිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා හා රැකවල් දූතයා වන්නේ නීතිපතිවරයාය. මෙම අර්බුදය ජනතාවගේ ඡන්ද බලයට හෙවත් පරමාධිපත්‍යය බලයට අදාළ ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය.
කරුණාතිලක සහ තවත් අයකු, දයානන්ද දිසානායක, මැතිවරණ කොමසාරිස් හා තවත් අයට එරෙහිව යන නඩුවේ නඩු තීන්දුවෙන් ඡන්දය දීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිළිගන්නා ලදි. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විශේෂයෙන් සඳහන් කර ඇති ඡන්දය දීමේ අයිතිය, මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බල ක්ෂේත්‍රය තුළ අඩංගු කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂාව භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන්නේ නීතිපතිවරයාය. එහෙත් මෙම අර්බුදයේදී නීතිපතිවරයා පෙනී සිටියේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නොව, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉතාමත් නරක ආකාරයකින් උල්ලංඝනය කළ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි. ඔහු ජනාධිපතිවරයාගේ නීති විරෝධී නියෝග අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා පමණක් නොව, ජනාධිපතිවරයා කර තිබූ ව්‍යවස්ථා උල්ලංඝනයන් නීතියට අනුකූල බවද කියා සිටියේය. නීතිපතිවරයා ලැජ්ජා බය ඇති පුද්ගලයකු නම් තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය. එසේ නැතිනම් තනතුරේ වගකීම නීතියට අනුකූලව ඉටු නොකිරීම ගැන ඔහුට එරෙහිව නඩු පැවරිය යුතුය.

මැතිවරණ කොමිසමේ ප්‍රධානියාද මේ අර්බුදයේදී ස්ථිර ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ බවක් පෙනෙන්නට නැත. උසාවියට යාම තමාගේ වගකීම නොවන බව ඔහු ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. එම කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා අධිකරණය ඉදිරියට ගොස් තිබුණද, ඔහු එහි ගියේ මැතිවරණ කොමිසම වෙනුවෙන්ද, නැතහොත් තනි පුද්ගලයකු වශයෙන්ද යන්න පැහැදිලි නැත. නීතියට පටහැනිව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු මැතිවරණ කොමිසම වහාම අධිකරණය වෙත ගොස් අවශ්‍ය උපදෙස් ගත යුතුව තිබුණි. ඡන්දය දීමේ අයිතිය මූලික අයිතියක් බවට පත් කරන ලද ඉහත විස්තර කරන ලද නඩුවේදී (මෙම තීන්දුව දෙන ලද්දේ අගවිනිසුරු ජී.පී. එස්. ද සිල්වා, මාර්ක් ප්‍රනාන්දු හා ගුණසේකර යන විනිසුරු මඬුල්ල විසිනි.) විධායකයේ නීති විරෝධී විධි විධාන මැතිවරණ කොමසාරිස්වරයා නොපිළිපැදිය යුතු බවත්, ඔහුට ඒ සඳහා අවශ්‍ය බලය හා ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයකුට මුක්තිය ලැබෙන්නේ ඔහුට හෝ ඇයට පුද්ගලිකව මිස ඔහු හෝ ඇය කරන ක්‍රියාවලට නොවන බවත්, එවැනි අවස්ථාවල සැකයක් තිබේ නම් අධිකරණ කාර්යයක යෙදී අවශ්‍ය උපදෙස් ලබාගත යුතු බවත්, මෙම ඓතිහාසික නඩු තීන්දුවේ වැදගත් ලෙස සඳහන් වේ. එවැනි නඩු තීන්දුවක් තිබියදී එය නොසලකා මැතිවරණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙම අර්බුදයේදී ලොකු වරදක් කර ඇති බව කිව යුතුය.

අර්බුදයේ ඇතැම් ලක්ෂණ

ආණ්ඩු බලය වෙනස් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ව්‍යවස්ථා අර්බුදය අවසන්වන්නේ කවර ආකාරයකට වුවත් එය ලංකාව මුහුණදී තිබෙන ඓතිහාසික අර්බුදයේ තවත් එක් අලුත් පරිච්ඡේදයක් පමණක් බවත් එම අර්බුදය විසඳා ගැනීමට සමත් වුවත් ලංකාවේ අර්බුදය ඉන් අවසන් නොවන බවත් සමස්ත අර්බුදය විසඳාගන්නා තෙක් විවිධ මුහුණුවර ගනිමින් අලුත් වර්ධනයන් සමග ඉදිරියට ඇදී යනු ඇති බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමෙන් ඇතිවී තිබෙන ව්‍යවස්ථා අර්බුදය ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස ක්‍රියා කළ හැකි අතර, ලංකාව පහසුවෙන් ගොඩගත නොහැකි විශාල අගාධයකට තල්ලු කිරීමට හෝ සමස්ත ක්‍රමයේ පූර්ණ විපර්යාසයක් ඇතිකර ගැනීමට හේතුවන තැනකට රට තල්ලු කිරීමට හේතුවිය හැකිය.

අර්බුදයේ ඓතිහාසික පසුබිම

මෙම ව්‍යවස්ථා අර්බුදය ඇතිවන්නට පෙරද රාජ්‍යය හා සමාජය තිබුණේ යහපත් තත්ත්වයක නොව, ඉතාමත් අවුල්සහගත තත්ත්වයකය. මෙය නිදහසේ සිටම ඇතිවී විවිධ හැඩතල ගනිමින් නොකඩවා වර්ධනයවෙමින් ඉදිරියට ආ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලංකාව නිදහස ලබාගත්තේ යටත්විජිතවාදයෙන් නිදහස්වීමට දරන ලද බලවත් සමාජ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නම් ඒ සටන ජයගැනීම සඳහා සමාජය එකට එකතු වී නැගී සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ක්‍රියාකරන තත්ත්වයක් තුළ වර්ග, කුල හා ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත නූතන ජාතිය ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණා සේ ම දේශපාලන වශයෙන් දියුණු නවීන සමාජයක් සේ ම පරිණත දේශපාලන නායකයන් පිරිසක්ද බිහිකර ගැනීමට ලංකාව සමත් වන්නට ඉඩ තිබුණි.

ලංකාව නිදහස දිනාගත්තේ නිදහස දිනාගැනීම වෙනුවෙන් දරන බලවත් සමාජීය උත්සාහයක ඵලයක් වශයෙන් නොවේ. එය බලවත් උත්සාහයකින් තොරව තෑගි ලැබුණු දෙයක් බඳු නිදහසක් විය. ඒ නිසා වර්ග, කුල හා ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ජාතිය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අසමත් විය. පරිණත දේශපාලන නායකයන් හෝ නවීන සමාජයක් ඇතිකර ගැනීමටද නොහැකි විය.

වර්ග, කුල, ආගම් භේද සාමාන්‍ය සමාජය කෙරෙහි පමණක් නොව, දේශපාලන නායකයන් කෙරෙහිද බලපෑවේය. ඒ නිසා පළමු අධියරයේදී කලකෝලාහලද, ඉන්පසු අධියරයේදී දිග්ගැසුණු සංවිධානාත්මක ප්‍රචණ්ඩ අරගලද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාව දීර්ඝකාලීන අශීලාචාර යුගයකට තල්ලු වූ අතර එම දීර්ඝකාලය තුළ ලංකාවේ සියලු මිනිසුන්ට ජීවත් වන්නට සිදුවූයේ මරණ බියෙනි. සිංහල, දෙමළ කැරලිකරුවන් සේ ම ආරක්ෂක හමුදාවන්ද තොග ගණනින් මිනිසුන් මරා දමනු ලැබූහ. මිනිසුන් නින්දා අපහාසයන්ට හා වද හිංසාවන්ට ලක් කරනු ලැබීය. කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා යන මේ දෙපක්ෂයම උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහරිනු ලැබීය. ලක්ෂයකට වැඩි පිරිසක් කායික වශයෙන් මරණයට පත්වන විට මරණයට පත් නොවී ජීවත්වීමේ වාසනාව හිමිකරගත් සියලුදෙනාද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූහ.

පාදඩකරණය

මෙම දීර්ඝ අශීලාචාර කාලය තුළ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමයේද ලොකු වෙනස්කම් ඇතිවිය. නීතියේ ආධිපත්‍යය වල් වැදුණු තත්ත්වයකට පත්ව තිබුණු අතර, රටේ සිදුවන සාහසිකකම් අනුමත කරන හෝ ඒවා ඉදිරියේ ඇස් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කිරීමට යුක්තිය පසිඳලන ආයතනවලට සිදුවී තිබුණි. දූෂණය හා අකාර්යක්ෂමතාව රාජ්‍ය හා එහි ආයතන ක්‍රම වෙලාගත් දරුණු පිළිකාවක් ලෙස පැතිර පැවතුණි. රාජ්‍ය භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණි. රටේ දේශපාලකයන්ගෙන් වැඩි පිරිසක්ද එම දීර්ඝ අශීලාචාර කාලයේදී මිනීමරුවන් හා මංකොල්ලකරුවන් බවට පත්ව සිටියේය. රාජ්‍යයේ පෙනුම මාංශභක්ෂක චෞර රාජ්‍යයක තත්ත්වයට පත්ව තිබුණි.

මෙම දීර්ඝ අශීලාචාර කාලය තුළ දේශපාලකයන් අපරාධකාරයන් මතත්, අපරාධකාරයන් දේශපාලකයන් මතත් යැපෙන තත්ත්වයක් ගොඩ නැගුණි. දේශපාලකයා හා අපරාධකාරයා වෙන් කොට හඳුනාගත නොහැකි එකකු බවට පත්ව තිබුණි. රටේ කළු ආර්ථිකය අසාමාන්‍ය තරමට ප්‍රසාරණය වී ඊට අනුරූපීව ලුම්පන් සමාජ ස්ථරයේද වේගවත් ප්‍රසාරණයක් ඇතිවිය. එම සමාජ ස්ථරයේ සිතුම් පැතුම්, ගති පැවතුම් හා ආකල්ප ආගම්ද, කලාව හා සාහිත්‍යයද ජනමාධ්‍ය හා දේශපාලනයද හසුරුවන ප්‍රධාන සමාජ ධාරාව බවට පත්ව තිබුණි. පූජකයින්ටද, උසස් රාජ්‍ය නිලධාරීන්ට සේ ම දේශපාලනඥයන්ටද ජනමාධ්‍යවේදීන්ට සේ ම කලාකරුවන්ටද ඍජු ලෙස හෝ අනියම් ලෙස කළු සල්ලිකාරයන් මත යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණි.

රටේ ඇතිවූ දීර්ඝකාලීන ප්‍රචණ්ඩ ගැටුම් අවසන් වන විට සමාජය තිබුණේ විකෘති වූ රෝගී වූ හා හිරිවැටුණු තත්ත්වයකය. රාජ්‍ය හා එහි ආයතන ක්‍රම තිබුණේද ක්‍රියාකාරී ශක්තිය අහිමි කරගත් අකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසු යහපත් ඉදිරි ගමනක් සඳහා සමාජයේ හා රාජ්‍යයේ ඇතිව තිබුණු අතිවිශාල පරිහානිය හා විකෘතීන් නිවැරදි කිරීමට හේතුවන ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් කරළියට ගැනීම අත්‍යවශ්‍ය වී තිබුණි. එහෙත් එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා අසමත් වූවා පමණක් නොව, ඔහු පරාජය කොට බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනාද අසමත් විය. ලංකාවේ එතෙක් පැවති අර්බුදය අරාජකත්වයක් කරා තල්ලු කරන අර්බුදයක් බවට පත්වුණේ ඒ නිසාය.

දේශපාලන සීලාචාර බව

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තැනකට යන්නට පෙරත් රට තිබුණේ ලොකු අර්බුදයකය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ පක්ෂයට තිබූ ආණ්ඩු බලය ඔවුන්ගෙන් ඉවත් කොට බහුතර බලයක් නොතිබුණු පක්ෂයකට ආණ්ඩු බලය දීම හා අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා සිදුවූයේ තිබුණු අර්බුදයේ මුහුණවර වෙනස් වී එය ව්‍යවස්ථාමය අර්බුදයක් බවට පරිවර්තනය වීමය. ඒ නිසා රට පූර්ණ අරාජකත්වයක් කරා යන ගමන ඉක්මන් හා වේගවත් වී යැයි කිව හැකිය.

ලංකාවේ රාජ්‍යය ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී අත්තිවාරමක් මත පිහිටුවා ගන්නා ලද රාජ්‍යයක් ලෙස සැලකිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාක්ෂරතාවයේදී සාමාන්‍ය මහජනයා පමණක් නොව, රටේ දේශපාලන නායකයන් හැමදාමත් සිටියේ දුප්පත් තත්ත්වයකය. ලංකාවේ එවකට සිටි සියලු ප්‍රකට නායකයන් මහජනයාට සර්වජන ඡන්ද බලය ලබාදෙනවාට විරුද්ධ විය. නිදහසින්පසු රාජ්‍ය බලය හිමිකරගත් නායකයන් පාලන බලය ලබාගත්තේ මහජන ඡන්දයෙන් වුවත් රට පාලනය කළේ ඒකාධිපති රජවරුන් රට පාලනය කළ ආකාරයටය. ලංකාවේ තිබෙන පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රමයක් ලෙස සැලකිය නොහැකි අතර ඒවා ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදන විෂයේදීද ලංකාවට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි.
මෙතෙක් ඇති කරගත් හැම ව්‍යවස්ථාවක්ම ආණ්ඩු පක්ෂයට තිබුණු වැඩි ඡන්ද බලය මත පදනම් වී සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවක් වශයෙන් මිස පොදු එකඟතාවකින් සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවක් වශයෙන් සැලකිය නොහැකිය. එසේම ඒවා සැලකිය හැක්කේ කෙටිකාලීන පැවැත්මක් තිබූ ව්‍යවස්ථාවක් ලෙසය. සියලුදෙනාගේ ගෞරවයට හේතුවූ දීර්ඝකාලීන පැවැත්මක් ඇති ව්‍යවස්ථාවක් අද දක්වා සකස් කරගැනීමට ලංකාව සමත් වී නැත. ව්‍යවස්ථා උල්ලංඝනයක් සාමාන්‍ය වරදක් ලෙස මිස සමාව දිය නොහැකි තරම් බරපතළ වරදක් ලෙස තවමත් ලංකාව සලකන්නේ නැත. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට තමන්ට තිබෙන වගකීම පිළිබඳ මනා අවබෝධයක් ව්‍යවස්ථාදායකයට විධායකයට හා අධිකරණයට නැත. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ප්‍රධාන බලමණ්ඩල තුනෙන් එකක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවකදී අනෙක් බලමණ්ඩල දෙක ව්‍යවස්ථාවේ ආරක්ෂාව පිණිස තනි තනිව හා එක්ව බලවත් ලෙස පෙනී සිටිය යුතුය. එහෙත් අපේ රටේ එම මණ්ඩල තුන එවැනි සම්ප්‍රදායකට හුරුවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙතෙක් සිදුවී තිබෙන ව්‍යවස්ථා උල්ලංඝනයන් දෙස බලන විට විටින් විට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බලමණ්ඩල තුනම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද අවස්ථා ගණනාවක් දැකිය හැකිය.

බණ්ඩාරනායක අගමැතිවරයා 1956 කරළියට ගෙනා සිංහල භාෂා පනත එවකට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද පනතක් ලෙස සැලකිය හැකිය. එය දෙමළ ජනතාවට සිය මව් භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය අහිමි කර තිබුණේ සිංහල භාෂාවෙන් වැඩ කිරීමට දැනුමක් නැති දෙමළ ජනයාට සිංහල භාෂාවට මාරුවීම ප්‍රමාණවත් තරම් කාලයක් පවා ලබා නොදෙන ආකාරයටය. මෙම භාෂා ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ගිය විට අධිකරණය එහිදී යුක්තිය ඉටුකිරීමට සමත් වී නම් පසුකලක දෙමළ කැරැල්ලක් ඇති නොවන්නට ඉඩ තිබුණි.

එසේම එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරන ප්‍රතිපත්තියකට අධිකරණය ඉඩ නුදුන්නේ නම් 83 කළු ජූලියත්, ජේවීපී කැරැල්ලත් ඇති නොවන්නට ඉඩ තිබුණි. බෙදුණු තීන්දුවක් වුවත් බහුතරයක් ජනමත විචාරණයට පක්ෂවීම නිසා එය ක්‍රියාත්මක කිරීමට හැකිවිය. එය දේශපාලන ක්‍රමයේ ඇති කළ විකෘතිය හා ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝග දෙකක් ඉදිරිපත් විය. එම දෝෂාභියෝගයන්ට ඇතුළත්ව තිබුණු චෝදනා ඉතා බරපතළ විය. ව්‍යවස්ථාදායකය එම චෝදනාවල සත්‍යඅසත්‍යතාව සොයා බලන තැනකට නොගියේය. එක් අවස්ථාවකදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන්නට නියමිත දෝෂාභියෝගයත් කතානායක භාරගැනීමෙන් වැළකී සිටිය යුතු බව කියන නියෝගයක්ද අධිකරණය දුන්නේය. කතානායක අනුර බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝග භාරගත්තේ නැතත්, එම නීති විරෝධී නියෝගය දෙන ලද විනිසුරුවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන තැනට පාර්ලිමේන්තුව ගියේ නැත. අවසානයේ රටේ අගවිනිසුරුවරයා තරුණ කාන්තාවක් සමග දියවන්නා ඔය අසල නවතා තබන ලද මෝටර් රථයක් තුළ අනාචාරයේ හැසිරෙන අවස්ථාවක් සංචාරක පොලිස් කණ්ඩායමකට හසුවිය. එය අධිකරණයේ ගෞරවය කෙළසීමට හා රටේ මහත් ආන්දෝලනයකට හේතුවූ සිද්ධියක් වුවත් විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් ඔහු එම තනතුරෙන් පහකරන තැනකට ගියේ නැත.

අගවිනිසුරු ධුරයේ සිට ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් පහකිරීම සඳහා විධායකය හා ව්‍යවස්ථාදායකය එකට එකතු වී ගෙනා දෝෂාභියෝග වැඩසටහන ව්‍යවස්ථාවේ මූලධර්ම පමණක් නොව, ස්වාභාවික යුක්තියේ මූලධර්මයද උපරිම මට්ටමෙන් උල්ලංඝනය කෙරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම අර්බුදයේදී අධිකරණය ඇයට යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාකළද විධායකය හා ව්‍යවස්ථාදායකය අධිකරණය දෙන ලද නියෝග පිළිගත්තේ නැත.

මේ නිදර්ශනවලින් තේරුම්ගත හැක්කේ ලංකාවේ ව්‍යවස්ථා උල්ලංඝනය අසාමාන්‍ය දෙයක් නොවන බව හා එය බරපතළ වරදක් ලෙස සලකන සංස්කෘතියක් ලංකාවේ ගොඩනැගී නැති බවය. කවුරුන් විසින් කළද ව්‍යවස්ථා උල්ලංඝනයන් බරපතළ වැරදි ලෙස පිළිගන්නා තත්ත්වයක් ඇතිකර ගන්නා තෙක් ලංකාව දේශපාලන අර්ථයෙන් සීලාචාර සමාජයක් ලෙසද සැලකිය නොහැකිය.

ව්‍යවස්ථා උල්ලංඝනය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව බහුතර බලයක් තිබූ පක්ෂයට තිබූ ආණ්ඩු බලය අහිමි කරමින් බහුතර බලයක් නොතිබුණු පක්ෂයට ආණ්ඩු බල ලබා දුන් අවස්ථාවේ ව්‍යවස්ථාවේ ආරක්ෂාව සඳහා විය යුතුව තිබුණේ කුමක්ද? ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ එම හිතුවක්කාරී ක්‍රියාවට එරෙහිව බලවත් ලෙස නැගී සිටිය යුතුව තිබුණි. ජනාධිපතිවරයා සිදුකර තිබෙන ක්‍රියාවේ ව්‍යවස්ථා විරෝධී ස්වභාවය රටට පැහැදිලි කරදී පාර්ලිමේන්තුව කැඳවන තැනකට යායුතුව තිබුණි. ජනාධිපතිවරයාට තව තව උල්ලංඝනයන් කිරීමට ඉඩ නොලැබෙන ලෙස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කළ හැකිව තිබුණි. ව්‍යවස්ථා සභාව, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, නීතිඥ සංගමය වැනි ආයතන නිර්භීතව අදහස් පළ කරන තැනකට යායුතුව තිබුණු අතර ජනමාධ්‍ය ආයතනද නොබියව මහජනයාට ඇත්ත කියාදෙන තැනකට යායුතුව තිබුණි. අධිකරණයේ පිහිට පැතීම සඳහා කිසියම් පිරිසක් අධිකරණයට යායුතුව තිබුණු අතර එවැනි අවස්ථාවකදී අධිකරණය අර්බුදය දුරදිග යන්නට ඉඩ නොදී අර්බුදය විසඳා ගැනීමට හේතුවන තීන්දු හා නියෝග දෙන තැනකට යායුතුව තිබුණි.

මෙම සිද්ධියේදී බොහොමයක් ජනමාධ්‍ය හැසිරුණේ මහජනයාට ඇත්ත වසන් කරන පිළිවෙතක පිහිටාය. මීට පෙර එක්තරා ප්‍රමාණයකට හෝ වැදගත් ස්වරූපයකින් කරුණු වාර්තා කළ ජනමාධ්‍ය ආයතන පවා ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව යුක්තිසහගත කිරීමට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය.

දැන් මේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විශාල ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇසෙන්නට නියමිතය. ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී ක්‍රියාව තුළ බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් පෙනෙන්නට තිබෙන අතර, වරද කළ පුද්ගලයාගේ තරාතිරම නොසලකා යුක්තිය ඉටුකිරීමට අධිකරණය අසමත් වෙතොත් අධිකරණයට තිබෙන මහජන පිළිගැනීම තවදුරටත් හීන කිරීමට හේතුවිය හැකිය. අනෙක් අතට මේ මොහොතේ යුක්තිය ඉටුකර දීමට අධිකරණය සමත් වෙතොත් එය දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ අධිකරණයට අතිවිශාල පිළිගැනීමක් ලබාදීමට හේතුවනු ඇත.

මෙම ව්‍යවස්ථා අර්බුදය නීතියට අනුකූලව විසඳා ගැනීමට පුළුවන්කම ලැබුණද ඒ නිසා ලංකාව මුහුණ දී තිබෙන සමස්ත අර්බුදය ඉන් විසඳෙන්නේ නැති බව හා ඒ සඳහා ව්‍යුහමය විපර්යාසයක් අත්‍යවශ්‍ය බව මහජනයා තේරුම් ගැනීම ඉතා වැදගත්ය.