භාවය තීව්‍ර වන්නේ නාභිගත වන ඇසෙන් – ප්‍රවීණ ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර

එන්. ලංකා මාගම්මන

පණ්ඩුල බණ්ඩාර අන්තර්ජාතික ඡායරූප ශිල්පියෙකි. ඔහු වර්ෂයක් ඇතුළත රන් -95, රිදී-28, ලෝකඩ -30පදක්කම් තමන් සතුකර ගැනීමට සමත් වී ඇත. රටවල් 58ක අන්තර්ජාතික ඡායාරූප තරගාවලි 187දී ඔහු මෙම හපන්කම සිදු කර ඇත. ඒ සඳහා අන්තර්ජාතික ප්‍රදර්ශන වලදී ඔහුගේ ඡායාරූප 3068ක් ඇගයීමට ලක් විය.

ඔබ ඡායාරූප කලාවට එළඹුණේ කොහොමද?

2017 වර්ෂයේදී තමයි පළමු කැමරාව මිලදී ගත්තේ. ඒ සමඟ ශ්‍රී ලංකා ඡායාරූප කලාවේදීන්ගේ සංගමය හරහා ක්‍රියාත්මක කරන මූලික ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. එ පාඨමාලාව හදාරමින් ඉන්න වෙලාවේ 62 වැනි PSSL ජාත්‍යන්තර ඡායාරූප තරගය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.

ජාත්‍යන්තර ඡායාරූප කලා පදනම (FIAT) හෝ ඇමරිකානු ඡායාරූප සංගමය  (P.S.A) යන සමාගම් වලින් අනුග්‍රහයක් නොලැබෙනවා නම් එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජායාරූප තරගාවලියක් වෙන්නේ නැහැ. මගේ පළමු ජයග්‍රහණය ලෙස වර්ණ අංශයෙන්  (FIAT GOLD) සම්මානයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එතනින් පස්සේ තමයි මොනවද මේ අන්තර්ජාතික ඡායාරූප තරග කියලා මා සොයන්න පටන් ගත්තේ. ඒ වගේම මෙම අන්තර්ජාතික ඡායාරූප තරග පවත්වන්න මූලික වෙන්නේ කවුද? එම තරග වලට සහභාගී වූ විට ලැබෙන පදක්කම් වලට අමතරව මට හා මගේ රටට ලැබෙන යහපත මොකක්ද? මේ සෑම දෙයක්ම හරියාකාරව සොයා බැලීමට මා යොමු වුණා.

එක එක රටවල පවත්වනු ලබන ජාත්‍යන්තර ඡායාරූප තරග ඉසව්වල විනිශ්චය සඳහා ඉන්න අයගේ රුචි අරුචිකම් ආකල්ප එකිනෙක වෙනස්. උදාහරණයක් ලෙස ඉන්දියාවේදී පවත්වන ජාත්‍යන්තර ඡායාරූප තරගාවලියකට වෙනස් විදියට තමයි සර්බියාව තුළ පවත්වන ජාත්‍යන්තර ඡායාරූප තරගාවලිවල විනිශ්චයන් ලැබෙන්නේ. ඇමරිකාව තුළ පවත්වන ඡායාරූප තරගාවලිවල විනිශ්චය ඊටත් වෙනස්. ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ඡායාරූප තරගාවලි පවත්වනු ලබන්නේ ඉන්දියාවයි. සතියකට ඉන්දියාවේ ජාත්‍යන්තර ඡායාරූප තරගාවලි 10ක් වත් පවත්වනවා. ඔවුන්ගේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල නම් ජාත්‍යන්තර ඡායාරූප තරගාවලි යම් ප්‍රමාණයකට අඩු වීමක් දක්නට ලැබෙනවා. ඉන්දියාවේ විශේෂත්වය තමයි සෑම ප්‍රධාන නගරයකම ජාත්‍යන්තර ඡායාරූප තරගාවලි සංවිධානය වීම. ඔවුන්ගේ මේ තරග සඳහා ප්‍රධාන වශයෙන්ම අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ඇමරිකානු ඡායාරූප සංගමය (P.S.A) විසින්.

මීට අමතරව Image Colleague Society International (ICS)USA, International Union Of Photographers (IUP) CHINA,  මෙවැනි ජාත්‍යන්තර ඡායාරූප සංගම් වලින් අනුග්‍රහය ලබා ගන්නවා. මේ අනුව මා වැඩියෙන්ම මගේ ඡායාරූප ඉන්දියාවේ පවත්වන ජාත්‍යන්තර ඡායාරූප තරග වලටත් සර්බියාව ඇතුළු අනෙකුත් රටවල ඡායාරූප තරග වලටත් යොමු කරනු ලබනවා.

ඒක වර්ණ ඡායාරූපකරණය යන ඡායාරූප කාර්යය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඒක වර්ණ කියන කොටම අපගේ බහුතරය සිතන්නේ කළු, සුදු කියලා. ඒත් ඒක වර්ණ කියන්නේ එක වර්ණයක සිට එම වර්ණයේම අඩු පැහැයට ගමන් කිරීමයි. උදාහරණයක් ලෙස තද නිල් පැහැයේ සිට එම නිල් පැහැයේම අඩු පැහැයකට ගමන් කිරීම. තද රතු පැහැයේ සිට එම රතු පැහැයේම අඩු පැහැයකට ගමන් කිරීම තමයි මින් අදහස් කරන්නේ. නැත්නම් ඒක වර්ණ කියන එකට අපට කෙටියෙන්ම කියන්න පුළුවන් එක වර්ණයකින් හැදෙන පැහැයක් කියලා. අපගේ පරණ කාලයේ තිබුණු දුඹුරු පාටට හුරු පැහැය (සෙෆියා කලර්) ඡායාරූප වල එවැනි ඒක වර්ණයකින් නිර්මාණය වන පැහැයක්. ඒක වර්ණ ඡායාරූපයක යම් ගැඹුරු කියවීමක් තියන බව පෙනෙනවා. එය දේශපාලනික කියමනක් ලෙස අර්ථ නිරූපණය කරන්න හැකියාව තියනවා. බොහෝ ඡායාරූප ශිල්පීන් ඒක වර්ණ ඡායාරූපකරණයට යොමු වෙන්නේ ඒ නිසා විය හැකියි. ඒක වර්ණ ඡායාරූපකරණයේ හා වර්ණ ඡායාරූප කරණයේදී විවෘත ඒක වර්ණ, විවෘත වර්ණකරණයන් යටතේ ඡායාරූප ශිල්පියකුට තම ඡායාරූප ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ කලාව ඇතුළේ Actual Imagination  හා  Creative Imagination  කියන කාණ්ඩ දෙකෙන්ම ඡායාරූප ඉදිරිපත් කිරීමේ හැකියාව ඡායාරූප ශිල්පියකුට හිමියි. ඡායාරූප ශිල්පියකුට හිමිවන සුවිශේෂිම අවස්ථාවක් තමයි Travel Photograph. සංචාරක ඡායාරූප තරගයේදී කිසිදු විටක ලබා ගන්නා ඡායාරූප සංස්කරණ ක්‍රියාවලියකට යොමු කිරීමට හැකියාව ඇත්තේ නැහැ. එසේම ප්‍රවෘත්ති ඡායාරූප තරගයේදිද ලබා ගන්නා ඡායාරූප කිසිදු සංස්කරණ ක්‍රියාවලියකට යොමු කිරීමට ඡායාරූප ශිල්පියාට නෛතිකමය අවසරයක් ඇත්තේ නැහැ.

ලංකාව තුළ ඡායාරුපකරණයට වැඩි නැඹුරුවක් දක්වන තරුණ/තරුණියන් ඉන්නවා. ඒත් අන්තර්ජාතික මට්ටමෙන් ඉදිරිපත්වීම් අවම වීමට හේතුව කුමක්ද?

ලංකාවේ ඡායාරූපකරණය සඳහා පාසල් මට්ටමින් පවා විවිධ සංවිධාන තියෙනවා. ඡායාරූප සංගම්ද ලංකාවේ ඕනෑවටත් වඩා තියෙනවා. ඒත් ලංකාවේ ඡායාරූපකරණයට ලංකාවේ මාධ්‍යයෙන් දෙන ප්‍රචාරය අවම බවයි මගේ අදහස. මාපියන් පවා තමාගේ දරුවා ඡායාරූප කලාවේ නියැලෙන බව කියන්න පොඩි අකමැත්තක් තියෙනවා. අනික මෙහි ආර්ථික පැත්ත ගැනත් බොහෝ අය සිතන නිසා ඡායාරූපකරණය යම් ප්‍රමාණයකට යටපත් වෙනවා.

ඡායාරූපකරණයේ නියැලීම තුළ වැය පාර්ශ්වය සමබර කරගන්නේ කෙසේද?

ඇත්තටම ඡායාරූපකරණයේ නියැලීම වියදම් අධික වැඩක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරග ඉසව් වලට තමන්ගේ ඡායාරූපයක් යවන විට ඒ සඳහා යම් මුදලක් වියදම් වෙනවා. මා ඡායාරූපකරණයේ නියැලීමට පටන් ගත්තේ විනෝදාංශයක් වශයෙන්. ඒත් එය අද වන විට මගේ වෘත්තිය මට්ටමට පැමිණ තියනවා. ඡායාරූපකරණයේ විවිධ කාණ්ඩවල ඡායාරූප ගන්නා ලෙන්සස්  (LENSES) වලට විශාල වියදමක් දරන්න වෙනවා. ඕනෑවට වඩා මිල අධික තාක්ෂණයෙන් වැඩි කැමරාවක් මුල් කාලයේ ආධුනිකයෙක් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. අන්තර්ජාතික තරග ඉසව් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උවමනා ඕනෑම ආධුනිකයකුට උදව් කරන්න මා කැමැත්තෙන් පසු වෙනවා.

ඉන්දියාවේ මේ ජනතාව ඡායාරූපකරණයට වැඩි නැඹුරුවක් දක්වන්න හේතුව කුමක්කද?

ඉන්දියාව රටක් හැටියටත් ජනතාවක් හැටියටත් කලාවට හරිම ළෙන්ගතු ජාතීන් සිටින රටක්. ඔවුන්ගේ ජාතීන් අතර තියන විවිධත්වය නිසාම ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමක් ඉස්මතු වෙනවා. ඒ තුළ අපූරු රූපමය වටිනාකමක් ගොඩනැගෙනවා. අනික රටක් හැටියටත් ජනතාවක් හැටියටත් ඉන්දියාවේ වැඩි ජන ඝනත්වය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල ඡායාරූප සංගම් ඔවුන්ට අධාර උපකාර කරන්න හරිම කැමතියි. ඒ ඉන්දියාවේ වෙළෙඳපොළ ප්‍රබල නිසා. ඒ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අන්තර්ජාතික ඡායාරූප තරග වැඩි වශයෙන් ඉන්දියාවේ පැවැත්වෙනවා. ඉන්දියානු රටක් හැටියට තිරසාර ප්‍රතිපත්ති වල වැඩ කරන රටක්. ඒ නිසා ඉන්දියාවේ ජනතාව ඡායාරූපකරණයට මෙන්ම සෑම අංශයකින්ම අපට වඩා ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. අනික ඔවුන්ගේ දේශපාලනය, සාමාජීය හා ආර්ථික තුළ තියන තිරසාර බව මෙයට ඍජුවම බලපානවා. ඉන්දියාවේ සමහර ව්‍යාපාරිකයන්ගේ එක ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශන පවත්වනවා.

Alberto Korda, James nachway වැනි ලෝකයේ ප්‍රකට ඡායාරූප ශිල්පීන් විසින් ඹබැාසඑ (සංස්කරණය නොකරණ) ඡායාරූප කලාවක් නිර්මාණය කරනු ලැබුවා. කිසිදු සංස්කරණයක් නොමැතිව සිදු කරනු ලබන ඡායාරූප කලාව පිළිබඳ ඔබගේ අදහස මොකක්ද?

එය විශිෂ්ට කලාවක්. ඡායාරූපයක් සංස්කරණය නොකර ඒ ලෙසින්ම ප්‍රදර්ශනය කිරීම අදත් ජනමාධ්‍ය විෂය තුළ ක්‍රියාත්මක වෙනවා. එහිදී ලබා ගන්නා ඡායාරූපයේ වර්ණය පවා සංස්කරණයකට භාජනය නොකළ යුතු වෙනවා. James nachway  වියට්නාම යුද්ධයේදී ඔහු විසින් ලබා ගන්නා වූ ඡායාරූප වලින් විශිෂ්ට සේවාවක් සිදු කරනු ලැබුවා. ඔහුගේ එම ඡායාරූප හේතුවෙන් ඇමරිකානුවන්ගේ ම්ලේච්ජ බව ලෝකයා ඉදිරියේ නිරාවරණය වුණා.  Alberto Korda, Che Guevara  ගේ පෞද්ගලික ඡයාරූප ශිල්පියා ඔහු  Cheගේ ලබාගත් සංස්කරණය නොකරන ලද ඡායාරූප අදටත් ලෝකයේ ජනප්‍රියම ඡායාරූප වෙනවා. එම කාල වකවානුව වන විට ඡායාරූප සංස්කරණ කලාව එතරම් දුරට සාර්ථක තැනක තිබුණේ නැහැ. අනික එම කාලයේ බොහෝ ඡායාරූප ශිල්පීන් කලාවක් හැටියට සංස්කරණ ක්‍රියාවලිය වෙත තම අවධානය යොමු කළේ නැහැ. ඒ කාලයේ ඉතා අඩු පහසුකම්, අඩු තාක්ෂණය යටතේ ලබා ගත් ඡායාරූප අද විශිෂ්ට ඡායාරූප බවට පත්වෙලා තියනවා. මා පෞද්ගලිකව හිතන්නේ ඒ කාලයේ ඡායාරූප ශිල්පීන් කලාව පිළිබඳ හොඳ අධ්‍යයනයක නියලුණු බවයි.

ඡායාරූප ශිල්පියෙක් ඡායාරූපයක් ලබා ගැනීමේදී මනුස්සයකුගේ භාවය හා ප්‍රකාශනය ඡායාරූපගත කිරීම යථාර්ථවාදී සංකල්පයක් වෙනවාද?

මගේ අදහස නම් මනුස්සයකුගේ ඡායාරූපයක් ලබා ගැනීමේදී ඔහුගේ හෝ ඇයගේ ‘ඇස’ නාභිගත කිරීම අත්‍යවශයෙන්ම සිදු විය යුත්තක්. ඔබ කියන භාවයන්, ප්‍රකාශනයන්, තීරණය වන්නේ ඇසෙන්. අනික ඡායාරූපයක ප්‍රබලත්වය තීරණය වන්නේ ඇසින්. ඇස කොපමණ දුරකට ඡායාරූපයේ Focus වෙලා තියනවාද එයින් එම ඡායාරූපයේ ප්‍රබලත්වය ඉස්මතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මෙය සමහර අය දන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඡායාරූපය සංස්කරණය කිරීමකින් හෝ වර්ණ සංයෝජනය වෙනස් කිරීමකින් ඡායාරූපයේ මට්ටම වැඩි දියුණු කරන්න සෑදීමයි. හැබැයි හොඳ ඡායාරූප ශිල්පියෙක් කරන්නේ තමන් ලබා ගන්නා ඡායාරූපය හරි ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීමයි. තාක්ෂණය අතින් හා විiානුකූලව ලබා ගන්නා ඡායාරුපයක් ඕනෑ තැනක ඇගයුමට බඳුන් වෙනවා.