මනුෂ්‍යත්වය ගීතවත් කළ සුනිල් දයානන්ද කෝනාර

දිලංජන මධුෂාන් පතිරණ

ශාස්ත්‍ර පීඨය
පේරාදෙණි විශ්වවිද්‍යාලය

හෙළ ගීතයේ සුනිල සුභාවිත ලකුණ තබා සුනිල් දයානන්ද කෝණාර නම් වූ ඔහු නික්ම ගොස් දෙවසරකි. එහෙත් ඔහු නිහඬ ව බිහි කළ මානව දයාවේ අපූර්ව නිර්මාණ සංහිතාව රසරුත් පිරිපුන් ය. සුනිල උත්පල ය. ඒ සාර ඇස්වැන්න ආදරයෙන් විඳින්නටත්, අනාගතයට රැගෙන යන්නටත් 2018 නොවැම්බර් මස 24 වැනි සෙනසුරාදා දින සවස 6.00ට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සුනිල් දයානන්ද කෝනාර එළිමහන් රංග පීඨයේ දී මුණ ගැසෙමු.

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

කලාව වූ කලි එකම වේදිතයකින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් පමණක් නොව මානව සංහතියේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය මාධ්‍යයක් ද වන්නේ යැයි ප්‍රකාශ කරන ලද්දේ රුසියානු මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසිනි. ලෝකයේ සෙසු සාහිත්‍යයන් මෙන් ම සිංහල සාහිත්‍යය ද සිය ආගමික දර්ශනය වන බුදු දහම පෙරටුවෙහි තබා ගෙන වැඩි වර්ධනය වූ බැවින් සිංහල සාහිත්‍යයට මෙකී පරමාර්ථ සාධනය පිළිබඳ අරුමයක් නැත. එකී අරුතින්ම සිංහල සාහිත්‍යකරුවන් ද නිර්මාණකරණයෙහි යෙදුණේ පහන් සංවේගය හා බහු ජන හිත සුව පිණිස (බහුජන හිතාය) ය. මෙය වඩාත් අදීන මනසකින් විග්‍රහ කර ගත යුතු පුළුල් කතිකාවතකට ප්‍රවේශයකි. එහෙත් මෙහි දී ඉඩ හසර වෙන් වෙන්නේ එකී සාරාර්ථ මැනැවින් ග්‍රහණය කරගන්නට තරම් ව්‍යුත්පත්තියකින් හෙබි අසහාය කලාකරුවකු පිළිබඳ සාහිත්‍යාවලෝකනයකටයි. ඒ වෙන කිසිවකුත් නොව අප කාගේත් හද බැඳ ගත් උක්ත ගීතයේ, සංගීත නිර්මාණයේ හා පද රචනයේ හිමිකරුවා වන විශාරද සුනිල් දයානන්ද කෝනාර ය.

දඹදෙණිය, මුතුගල නම් ගම් පියසේ උපත ලැබ මුතුගල කනිෂ්ඨ විද්‍යාලයෙන්, දඹදෙණිය මහා විද්‍යාලයෙන් හා නාරම්මල මයුරපාද ජාතික පාසලෙන් ද අධ්‍යාපනය ලැබූ ඔහු 1969 වසරේ මැද භාගයේ දී පමණ රජයේ සංගීත විද්‍යාලයට පිවිසි පළමු වසර සිසුන් වූ – අද වන විට ප්‍රවීණ සංගීතවේදීන් වන – රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ලෙස්ලි විජේවික්‍රම ආදී අය අතරේ සිටි එක් නිහඬ පුද්ගලයෙකි. ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයකු හා සංගීතඥයකු වශයෙන් සහෘද රසික ලෝකයේ චිර ප්‍රසිද්ධියට පත් කලාකරුවකු හා සොඳුරු ගුරුවරයකු ව සිට මීට දෙවසරකට ඉහත දී 2016 දෙසැම්බර් මස 07 වන දා සදහට දැයෙන් සමුගත් ඔහුගේ සුවිශේෂී සංගීත භාවිතාව මෙරට ගීත ක්ෂේත්‍රයෙහි වැදගත් සලකුණකි.

දේශීය ළමා ගී සාහිත්‍යයට නව මුහුණුවරක් ලබාදෙමින් ඔහු විසින් ඉටු කළ පුරෝගාමී මෙහෙවර මෙහි දී අවශ්‍යයෙන් සිහිපත් කළ යුතු ය. නිදසුන් ලෙස දක්වන්නේ නම් විශාරද හර්ෂණ දිසානායක ගායනා කළ රත්නපුරෙන් ගෙන ආ සමන් මල්…, දහම් පාසලේ පොඩි හාමුදුරුවො…, දිය බෙරලිය දලු… ආදී සුනිල් දයානන්ද කෝනාරයන් ම පද රචනා කරමින් සංගීතවත් කළ ගීත පෙරමුණේ සඳහන් කළ හැකි ය. වෘත්තියෙන් ගුරුවරයකු වීමත්, හෘදය සංවාදී කලාකරුවකු වීමත් ඔහුගේ ළමා සාහිත්‍යකරණයන්හි සාර්ථකත්වයට පිටිවහල් වූ බව නිසැක ය.

සමස්ත ලෝකය දෙස ම මානව දයා පූර්වක ව බැලීමට ඔහු සතු වූ අපූර්ව හැකියාවක් ඔහුගේ නිර්මාණ තුළින් විශද වේ. යට කී “දිය බෙරලිය දලු…” ගීතය ම ගතහොත් එකරුණ මොනවට දැකිය හැකි ය. මේ ගීතය ලියැවෙන්නේ මෙරට පැවැති පසුගිය යුදමය වාතාරවණය තුළ ය. එවන් අවස්ථාවක වුව ද සැබෑ කලාකරුවකුට කිසිදු ආගමකට, ජාතියකට රාමුවීම කළ හැක්කක් නොවේ. සුනිල් දයානන්ද කෝනාර දකින්නේ කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් සියලු මිනිසුන් ප්‍රාර්ථනා කරන්නේ ලෝකයක් නසන්නට නොව නිදහසේ ජීවත්වීමට හෙට දවසක් බවයි. ඒ මක්නිසාදයත්, යුද්ධයෙන් වැගිරී මිහිදන් වන එක ලේ බිඳුවකුදු අසරණ වූ මනුෂ්‍යත්වය විනා ජාතියක නම් ගොත් ලියැවී නැති බව ඔහු වටහා ගෙන සිටි බැවිනි.

රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
කලා වැවේ සුදු නෙළුම් නෙලා ගෙන දෝත පුරා
රුහුණු පුරෙන් නෙළලා කෑල මල් සුවඳ කොකුම් තවරා
අලි මංකඩ තොටමුණට වෙලා අපි – බලා හිඳිනවා
නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා

ජය සිරිමා බෝ හාමුදුරුවනේ මහ පෙළහරක් මවා
දෙවුන්දරින් යාපා පටුනට එක ම බතක් ඉදෙනා දිනක්
අපට උදා කළ මැනවි යළිත්

පන්සල පල්ලිය කෝවිල පාමුල
ගුගුරා යන වෙඩි හඬ අතරේ
පුපුරා යන්නේ මිනිස්කමයි
මිහිදන් වූ එක ලේ බිඳුවකවත්
ලියැවී තිබුණ ද ජාතියේ නමක්

අනාථ කඳවුරු දොර ළඟ පරවෙන
කැකුළු මලක් විමසා බලන්
උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව
ජීවත් වන්නට හෙට දවසක්

කුඩා කල සිට ම පිටිසර ගැමි පරිසරයක විනීත, අව්‍යාජ සෞන්දර්යය ස්පර්ශ කරමින් හැදී වැඩීම සුනිල් දයානන්ද කෝනාරයන්ගේ දෘෂ්ටි පථය හැඩ ගස්වන්නට අනල්ප ව බලපා ඇති ආකාරය නොරහසකි. ආගමික ශික්ෂණයෙන් යුතු ගැමිකම මඳකුදු නොසඟවා සෑම ගැමියකු සේ ම දුක් කරදර අවස්ථාවන්හි දී ජය සිරි මා බෝ හාමුදුරුවන්ගෙන් ඔහු ද මේ දුක් ගිනි නිවන මෙන් අයැද සිටින්නේ එබැවින් ම නොවේ ද? මෙහි වඩාත් උත්කෘෂ්ටයට පත් අවස්ථාවක් ලෙස ඔහු විසින් ම පද රචනා කොට සංගීතවත් කළ පහත ගීතය හුවා දැක්විය හැකි ය. භාරතීචන්ද්‍ර අබේගුණවර්ධන පසු කාලීන ව ගැයූ මෙම ගීතයෙහි මුල් ගායන ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ය.

උඹේ හිත ගිය තැන මාලිගාව
හදා ගනින් රත්තරන් නඟේ
මගෙ තුන් හිතකින්වත් නෑ මම
වෛර කරන්නේ

කෙකටිය තැල් ඇඹුල පිසූ
ළිප ගොළු වී හඬා වැටේ
මිදුල පුරා සිත්තම් කළ
බෝඹු ඉපල් රටා මැකේ

උඹේ ගෙලට මාල හතක්
පළඳන්නට තිබුණි සිතේ
රෑ මැදියම තරු කැට යට
නැඟණිය නුඹ කොයි ද ගියේ

ගැමි ජන වහර හා යෙදුම් මෙම ගීත රචනයට නෛසර්ගික ව ම ස්වීකරණය වී ඇති ආකාරය ප්‍රශස්ත ය. ඒ මතින් රචකයා උපයුක්ත අත්දැකීමෙහි ශෝකය, ඉසියුම් කරුණ රසයක් බවට පත් කර ඇත. තමාගේ නැඟණිය යම් දිනෙක මංගල පුවරු මස්තකයේ මනාලියක කර ඇගේ ජීවිතය වඩාත් යහපත් වනු දැකීම සෑම වැඩිමහල් සොහොයුරකුගේ ම හෘද්‍යාභ්‍යන්තරික ප්‍රාර්ථනයකි. එහෙත් නොසිතූ ලෙස ඇය මෙවන් හිතුවක්කාරකමක් කළ විට සිත්හි ඇතිවන වේදනාව කොතරම්ද? රචකයා මෙහිදී සුවිශේෂී වන්නේ එම අවස්ථාවට මුහුණ දෙන බෝසත් ස්වරූපයෙනි. ඔහු කියන්නේ “උඹේ හිත ගිය තැන මාලිගාව හදා ගනින් රත්තරං නගේ” කියා ය. ඇගේ සතුට ඇත්තේ එතැන නම් තමන්ගේ ද සතුට එය විය යුතු බව ඔහු කල්පනා කර ඇත.

එහෙත් මෙවන් අවස්ථාවක ජීවිතය වැරදීමට ඇති ඉඩ හසර ද වැඩි ය. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන, සුනිල් දයානන්ද කෝනාර පද රචනා කරමින් සංගීතවත් කළ පහත ගීතය එලෙස ජීවිත යම් තැනක දී අත්වැරැදුණු දියණියක කෙරේ උත්තුංග සහනුකම්පිත බවක් විශද කරයි. රචකයා සෑම විට ම ජීවිතය දෙස සුබවාදී ව බලන්නට ඇයට කියා දෙයි. ඒ මන්ද යත්, ඉහිරුණු කිරකට හඬා පළක් නැති බැවිනි.

පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ – මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ

ඉහිරුණු කිරකට නාඬන් වැලහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඬලක් සේ
අකුරින් ජය ගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිද වූ නුවරුන් හමුවේ

ගිලිහුණු කඳුළයි මතු මුතු වී බබලන්නේ
වැලක හැදුණු ගෙඩි වැලකට නෑ බර වෙන්නේ
අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ

ජීවිතය යනු හිමිවීම්, අහිමිවීම්වලින් ජීවිතයේ සතුට හා දුක ස්පර්ශ කරමින් ගෙවා යන දුර්ග දුෂ්කර මාවතකි. මිනිසා බොහෝ විට අතීතයේ ජීවත් වන්නේ ද මෙබැවිනි. එහෙත් අතීතය යනු කිසිදා වෙනස් කළ හැක්කක් හෝ අයිති කරගත හැක්කක් නොවේ. එය සුනිල් දයානන්ද කෝනාර තම ජීවිතයෙන් ම අවබෝධ කොට ගෙන නොසැලී සිටි අයෙකි.

සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවී අපි
සිනහසෙමු අතීතෙට සෙනෙහසින්… යැයි ඔහු කීවේ එබැවිනි.

මනුෂ්‍යත්වය නමැති ලෝක ධර්මයට මෙලෙස අලුතෙන් පරිච්ඡේදයක් ලියා තබමින් අකල්හි මෙලොව හැර ගිය විශාරද සුනිල් දයානන්ද කෝනාරයන් පිළිබඳ මෙතෙකින් කියා නිම කළ නොහැකි ය. එබැවින් ඔහු පිළිබඳ යළිත් කියවන්නට සහෘද ඔබ සැවොම වෙනුවෙන් නොබෝදා ඉඩක් වෙන් වී ඇත.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා විසින් සිදු කෙරෙන නිර්මාණ විමසුමත්, නාට්‍යවේදී පාලිත ලොකුපෝතාගම සහ මාධ්‍යවේදී නිශාන්ත කහවිට යන මහතුන් විසින් සිදු කෙරෙන දිවිසැරිය විමසුමත් යළි සුනිල් දයානන්ද කෝනාර නමැති ආදරණීය කලාකරුවා, දයාබර ගුරුතුමා ඔබට මුණ ගස්සවනු ඇත. විශාරද රෝහණ ධර්මකීර්ති සංගීත මෙහෙයුමත් සමගින් සුනිල් දයානන්ද කෝනාර ගී නිර්මාණ ගැයෙන මියැසි හෝරාවට කරුණාරත්න දිවුල්ගනේ, හර්ෂණ දිසානායක, ක්‍රිෂාන්ත එරන්දක, කරුණාරත්න විජේවර්ධන, යසන්ත සමරවීර, යශෝධා ප්‍රියදර්ශනී, කුමාරි මාදාංගනී අමරසිංහ සහ දිනේෂ් උදයසිරි යන ගායක ගායිකාවන් සහභාගි වීමට නියමිත ය. එසේ ම මේ වෙනුවෙන් පසු ගිය දා පැවැත්වුණු සමස්ත ලංකා ආධුනික ගීත රචනා තරගයේ ජයග්‍රාහකයන්ට සහතික හා සුනිල් දයානන්ද කෝනාර අනුස්මරණ සම්මාන ප්‍රදානය හා ජයග්‍රාහී පටිගත කළ ගීත එළිදැක්වීමත්, “සුනිල උත්පල” කෘතිය ජනගත කිරීමත් මෙහි දී සිදු වේ. කථනය හා ප්‍රසංග පිටපත මාධ්‍යවේදී, ගේය පද රචක සුගත් සෝමවීරගෙනි.