ජීවිත විවර කරගැනීමට යතුරක් සෙවීම හිතල ගත්තු තීරණයක්

විමලනාත් වීරරත්න

කවර කාලයක වුව දිදුලන පන්තිය බවට පත්වන්නේ මධ්‍යම පන්තියයි. මධ්‍යම පන්තිය සංස්කෘතික ජීවිතයක් සොයන අතර නිර්ධනීන් සහ ධනපතීන් සොයන ජීවිතයක් තිබෙනමුත් එය එක්තරා ආකාරයක පාරභෞතිකයක්ව තිබේ. තමා, තමා දෙසටම හරවා ගති ස්වභාවය පෙනෙන්නට සලස්වන කැඩපතක් මධ්‍යම පන්තිය සතුය. ධනපති පන්තියට තමා තමා දෙසට හැරී නරඹන්නට දෙයක් නැති බව පෙනෙන්නේ ඔවුන් එක්තරා ජීවිත පරිසමාප්තියක් අත් කරගෙන සිටින නිසාය. නිර්ධනීන්ගේ අවනතිය ඒ සඳහා ලිහිල් අවකාශයක් නොදෙන අතර මධ්‍යම පන්තියේ අතෘප්තිකර තත්ත්වය විඳීමක් මෙන්ම විඳවීමක්ද කැඩපතෙහි ප්‍රතිභිම්බනය කරයි.

රාජිත දිසානායක ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍යය තුළින් න්‍යෂ්ටික පවුල කේන්ද්‍රීය මානව හා ජාගර ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ සම්ප්‍රදායවාදී විචල්‍යයක් ප්‍රතීයමාන කරයි. රාජිත අදහස් කරන න්‍යෂ්ටික පවුලේ සාමාජිකයා එම ඒකාකෘතික සංස්ථාවෙන් බැහැරව ස්ත්‍රී පුරුෂ සබඳතා පැවැත්වීම මධ්‍යම පන්තියේ ප්‍රශ්නයක් ලෙස ලඝු කැරෙන්නේම මධ්‍යම පන්තිය වඩාත් නිරාවරණය වූ පන්තියක් ලෙස එහි අභ්‍යන්තර සංකීර්ණත්වය හෙළිකරමින් සිටින නිසාය. නිර්ධනීන්ට හා ධනපති පන්තියට න්‍යෂ්ටික පවුලෙන් බාහිර ස්ත්‍රී පුරුෂ සබඳතා අවිෂයද? නැත.

හැමවිටම ස්ථිර පන්තියක් අස්ථිර පන්තියකට වඩා වෙනස්ය. ස්ථිර පන්තියක් මත ක්‍රියාත්මක වන ආවේණික පාරභෞතිකය මගින් සිදුවීම නරඹන්නා අක්‍රිය කරනු ලබයි. අනෙක් අතට පන්තියක පරිසමාප්තිය හා අවනතිය මගින් ශේෂ කර දෙන සරල සාම්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සබඳතා නොගිණිය හැකි මට්ටමට පත් කර ද්‍රව්‍යමය යථාර්ථයෙන් ඔබ්බට රැගෙන නොයයි. සමාජයේ අතිබහුතරයකට විෂය වන්නේ ගොම ගොඬේ නැතහොත් මැටි ගොඬේ ප්‍රශ්න බව මාක්ස් හඳුන්වයි. රාජිත අත තබන්නේ බොහෝ දෙනකු ගිලී යන මැටි ගොඬේ ප්‍රශ්නයකටය. පැහැදිලි පන්තීන්ට මැටි ගොඬේ ප්‍රශ්න තීරණාත්මක නැත. පාරභෞතිකය යනු එයමය.

‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍යය තුළ ලංකාවේ මධ්‍යම පාන්තික සමාජය පිළිබඳ වැදගත් උපකියවීමක් තිබේ. එය නම් ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද පැවැත්මේ මතුපිට තලය සිය ජීවිත යටත් කර තබා ගැනීමේ උපකරණය බවට පත්කරගෙන තිබීමය. එමෙන්ම ඕනෑකමින්ම ජීවිත සබඳතාවල අභ්‍යන්තර සංවේදී ප්‍රයුංජනයන් යටපත් කරගෙන සිටීමට දක්වන කැමැත්තය. පුරුෂයාට අන්‍ය ස්ත්‍රීන් විෂයෙහි නැමියාවක් දක්නට ලැබුණත් එසේ නොමැති බව සිතීමට බිරිඳ කැමතිය. එය පුද්ගලික දේපළ පිළිබඳ ආශාවක් බඳුය. පුරුෂයාටත් ඒ ආකල්පයම තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජයේ ආලෝලනය තිබෙන්නේ මානව සබඳතා ඉස්මතු කර ගන්නවාට වඩා ජාගර සබඳතා සැඟවීම දෙසටය. ඔවුන් මානව සබඳතා ඉස්මතු කරගන්නවාට අකමැති ඇයි? මාලින්දගේ දුරකතනයට එන ‘අයි ලව් යූ’ වැනි කෙටි පණිවුඩයක් න්‍යෂ්ටික පවුල දෙදරවීමට හේතුවන්නේත්, මාලින්දගේ මිතුරා වන රොෂාන්ගේ ජාගර – මානව සබඳතාවක් ඔහුගේ බිරිඳට හෙළිවීම හා එවැන්නක් නැති බවට ඔප්පු කිරීම න්‍යෂ්ටික පවුලේ පැවැත්මට උපකාරී වන්නේත් ඇයි?

රොෂාන්ගේ දුරකතනයට ‘අයි ලව් යූ’ වැනි කෙටි පණිවුඩ කිසිදිනෙක නොඑන්නේ ඔහු තම බිරිඳගෙන් බාහිරව පවත්වාගෙන යන සබඳතා හුදු ජාගර-මානව සබඳතා ලෙස නඩත්තු කරගෙන යන නිසාද? අනෙක් අතට මාලින්දගේ පෙම් සබඳතාවෙහි එක්තරා ව්‍යාජයක් තිබෙනුද දැක්ක හැකිය. එම ව්‍යාජ පෙනී සිටීමද මධ්‍යම පන්තියේ ප්‍රබන්ධයකි. රාජිත මධ්‍යම පන්තිය වෙනුවෙන්ම එබඳු යථාර්ථයක් ඇති බවට බොරුවක් පැළ කරන්නේය. බොරුව නම් විවාහ වී වසර දහයක් පහළොවක් ගත කළ සෑම පුරුෂයකුම හුදෙක් ආදරය කිරීමට බිරිඳගෙන් බාහිර සබඳතාවක් ඇතිකර ගන්නවා යන්නය. එය ඇත්තක් විය හැකිද? එහිදී ඇතිවිය හැක්කේ ජාගර-මානව සබඳතාවකි.

මාලින්දට එම කවර හෝ සබඳතාවෙන් ගැලවුමක් ඇතත් මාලින්දගේ බිරිඳට පළිගැනීම සඳහාම ඇතිකර ගන්නා පුරුෂ සබඳතාවෙන් ගැලවුමක් නැති බව පෙනී යයි. මේ තත්ත්වය ලංකාවේ පිරිමියාගේ ලාභයට පුරුෂ සමාජයේම එකඟතාවක් මතින් ඇතිකර ගත්තක් බව කිව හැකිය. එනම් පිරිමියා ගොදුරු බිම හැර යන්නේ තමාට ඕනෑ නම් පමණි. මාලින්දගේ බිරිඳ ඉනෝකාට තමා ඇසුරු කරමින් සිටින දේශපාලනඥයාගෙන් ඈත්වීමට යම් මොහොතක වුවමනා වුවත් එය ස්ව කැමැත්තෙන්ම ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවන බව පෙනේ. නාට්‍යාවසානයේදී ඇය එම ද්වන්ද්ව කල්පනාවේ නිමග්න වන බව පෙනුණත් නිවස ඉදිරිපිට හඬවන මෝටර් රථ නලා හඬ ඇගේ එම දැහැන බිඳ හෙළා යළි ඇය එම කෙළවරක් නැති භූමියට කැඳවනු පෙනේ.

පුරුෂයා මෙන්ම ස්ත්‍රියද සබඳතා විෂයෙහි නව්‍යතාවන්ට නැඹුරුය. පුරුෂයාට යළි ඉන් හැරී ඒමට හැකි වුවද, ස්ත්‍රියට හැරී ඒමට තිබෙන නොහැකියාව රාජිත නාට්‍ය තුළ විෂය කරගනී. ස්ත්‍රියට සිදුව තිබෙන්නේ එම මාර්ගයේම දිගටම ගමන් කිරීමටය. පුරුෂ සමාජය විසින් අත්කර දී තිබෙන එම තත්ත්වය අසාධාරණය. රාජිත මෙහිදී උක්ත ප්‍රශ්නය දෙස තුළනාත්මකව බැලීමට පෙළඹෙයි. ඒ කෙසේදයත් මේ ප්‍රශ්නයේදී ස්ත්‍රිය හා පුරුෂයා යන දෙදෙනාම දරාගැනීමට අසීරු හුදෙකලාවකට ඇද දමමිනි. මේ ආරාවුලෙන් පසු පුරුෂයාට නිරවුල් දිවියක් නම් නැත. ඔහු දරුවන්ගෙන් දුරස්ය. මිනිසාගේ එකම පිළිසරණ වන කුටුම්භය ආලාපාළුය. අරක්කුවලින් පුරුෂයාට පැය කිහිපයකට ප්‍රශ්න අමතක කළ හැකි වුවත් ආසියාතික සමාජයේ පවුල් සංස්ථාව බිඳී යෑම තවමත් සැලකෙන්නේ බරපතළම ආරාවුල ලෙසය. ඉනෝකා ගිය පසු මාලින්ද සාංකාකූලව පසුවනවා විනා ඔහුගේ පෙම්වතිය හෝ වෙනත් ස්ත්‍රියක් කරා යන්නේ නැත. ඔහු කරන්නේ වරදකාරී හැඟීමෙන් යුතුව ජීවත්වීමය.

රාජිත මෙහිදී පුරුෂ සමාජය වෙනුවෙන්ද සාධාරණයක් ඉටුකර දීමට උත්සුක වෙයි. ‘අයි ලව් යූ’ නමැති කෙටි පණිවුඩය නිසා දුරස් වන දෙදෙනා අතරින් පුරුෂයා සෑහෙන පමණකින් නිදොස් කැරෙයි. ඔහු අසරණයකු ලෙස ගෙදරට කොටු කර තබන රාජිත ස්ත්‍රියගේ නික්ම යෑම ඛේදයක් බවට පත් කොට සුචරිතවාදයේ ප්‍රතික්ෂේපය ඇය දෙසට අවුළුවයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන නැගී එන මධ්‍යම පන්තිය යම් පමණකට හෝ ලිබරල් මතයක් දරන බැවින් යළි එක්වීමකට වුව නොරිසි නැත.

මේ සියල්ලෙන් ඉක්බිතිව රාජිත එක්තරා යථාර්ථයක් ඇස්පනාපිට සාධනය කර දක්වයි. එය නම් ඕනෑම කෙනකුට මාලින්දගේ මිතුරා වන රොෂාන්ගේ අඩි පාරේ ගියහොත් පවුලත් රැකගෙන වෙන සම්බන්ධයකුත් නඩත්තු කළ හැකිය යන්නය. රොෂාන් තම බිරිඳට නිදහසට කරුණු කියන සීමාව පසුකර ගොස් තමා ඇසුරු කරන තවත් ස්ත්‍රියක්ද බිරිඳගේ ආස්ථානයේ තබා කළමනාකරණය කරගන්නා ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.

ප්‍රේමය සොයා යන ගමනක්

මාලින්දගේ පෙම්වතිය ප්‍රේමය සොයා යන ගමනක් අරඹා ඇතැයි අපට සිතිය නොහැකිද? ඇය රැගෙන යෑමට දුම්රිය ස්ථානයට එන තරුණයා, ඇය විවාහ වූ බව කියන තරුණයා සහ මාලින්ද තුළින්ද ඇය ප්‍රේමය සොයන්නට ඇත. මාලින්දත් එසේ වන්නට පුළුවන. ඔහු විවාහ වී දරුවන් සිටින පියකු වුවත් යළි තරමක් දුර ආපස්සට පැමිණ ප්‍රේමය අලුත් විදියකට අත්විඳින්නට එම ඇසුර පාදක කරගන්නට සිතුවා විය හැකිය. එහෙත් එවැනි විවෘත භාවයකට ඉඩක් නැති, අසංස්කෘතික පැවැත්මකට පමණක් ඉඩ හැදී තිබෙන සමාජයක මෙම විෂයේදී කිසිවකුටවත් ඇත්ත කිව නොහැකිය. ඇත්ත හැඟීම් පළ කළ නොහැකිය. ලංකාව සංස්කෘතික විප්ලවය කියන්නේ මිනිසුන් සහ මිනිසුන් අතර හෘදයාංගම සම්බන්ධයෙන් උපදින නව ආකල්ප ධුරාවලියකින් ජීවිත ශෝභාමත් වන තත්ත්වයකට නොවේ. පුද්ගලයාගෙන් බැහැරව සිදුවන ඇතැම් ගර්හිත පෙරළීන්ටය. පොළොන්නරුවේ හා අනුරාධපුරයේ ගල්කණු මතින් මෙහාට සංස්කෘතික ගලනයක් සිදුවී නැති රටක මේ ආරාවුල ස්ත්‍රී පුරුෂ සබඳතාවේ සිට ජාතීන් අතර ප්‍රශ්නය දක්වාම දිවෙනු ඇත.

සම්ප්‍රදාය

‘හිතල ගත්තු තීරණයක්’ හිතලා නොගත් තීරණයක් බව අවසානයේදී එහි යටි පෙළින් ප්‍රකාශ වෙයි. ස්ත්‍රීන් ගන්නා බොහෝ තීරණ හිතලා නොගන්නා තීරණ බව කීමට රාජිත සාක්ෂ්‍යය සොයා ගනී. පළමුවැන්න වන්නේ ඇය හුදෙක් පළිගැනීමේ චේතනාවෙන් තීරණයක් ගෙන තිබෙන බව ප්‍රකාශ වන්නට හැරීමය. ඊළඟට ඇය ජීවිතයේ අර්ධයක් පැරණි කුටුම්භයෙහි තබා ගොස් ඇති බවක් පෙනෙයි. ඉනෝකා හසුවන පිරිමි උගුල සංකීර්ණ වර මන්දක් සහිත එකකි. ඇගේ මිතුරු මහ ඇමති කිසි දිනක දේශපාලන පරාජයක් අත්කර නොගන්නා දේශපාලනඥයෙකි. ආණ්ඩු පක්ෂය දුර්වල වන විට හෙතෙම පුරවැසි සංවිධාන හා විපක්ෂය සමග සම්බන්ධතා තර කරගෙන ඒ දෙසට සංක්‍රමණය වීම සැලසුම් කරන්නෙකි. ඒ ආකාරයට ඔහුට සදාකාලිකව ඇමතිවරයකු විය හැකි නිසා ඔහු පරාජය කිරීමට තිබෙන එකම ක්‍රමය පවා වලංගු නොවන්නකි. මේ සියල්ල මගින් රාජිත ස්ත්‍රියට කියන්නේ තම විවාහක පිරිමියා ඉවසාගෙන හිටපල්ලා යන්නද? පිරිමියාට කියන්නේ ආශාව ඉෂ්ට කරගැනීමට ක්‍රම සහ විධි පාවිච්චි කර කරපල්ලා යන්නද? ඊළඟට ඔහු කියන්නේ න්‍යෂ්ටික පවුල ව්‍යාජ රැඩිකල් තීරණ ගැනීමෙන් රැකගත නොහැකි බවය. අනෙක් අතට සම්ප්‍රදායවාදී වීමෙන් රැකගත හැකි බවය. ඒ දෙකම නොවන මැද අවකාශයක සිට ස්ත්‍රියටත් පුරුෂයාටත් ස්ත්‍රී පුරුෂ සබඳතා ලෝකය විවර කරගත හැකි යතුරක් සොයා ගත නොහැකිද?