අතින් කා හරක් බලන බැඞ්මින්ටන්

ඒ. වික්‍රමසූරිය

මෙරට ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩාවේ හෝ ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධියට කැප වෙතැයි ඇප තියන්නේ කවුද? ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පසු අඬ වැඬියාව කියනුයේ මෙරට ක්‍රීඩා බලධාරිහු ක්‍රීඩකයන්ව නොසලකා හරින තරමය. ක්‍රීඩාව අවතක්සේරු කරන අයුරුය.

2018 ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය පවත්වනුයේ කැනඩාවේ ඔන්ටෙරියෝ නුවරය. නොවැම්බර් මස 5 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙක් සහ නිලධාරීහු තිදෙනෙක් සහභාගි වූහ.

මෙරට බැඞ්මින්ටන් ඉතිහාසයේ කනිෂ්ඨ කණ්ඩායමක් ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියකදී ලද ඉහළම ස්ථානය රැකගන්නට මෙවර කණ්ඩායම සමත්වන්නේ ලොව ශ්‍රේණිගත කිරීම්වල දහසය වන තැනට උරුමකම් කියමිනි. ශ්‍රී ලංකාව දහසය වන තැනට පත්වන්නේ කණ්ඩායම් හතළිහක් අතරිනි.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ 5-0ක් ලෙසද, එංගලන්තය හමුවේ 3-0ක් ලෙසද, පරාජය අත්වින්දද, ශ්‍රී ලංකා පිල Faroe දිවයින සමග ලකුණු 5-0ක් ලෙසත්, කෙන්යාව සමග 5-0ක් ලෙසත් ජය ලබමින්ද, ඇල්ජීරියාව සමග තරග ජයද ශ්‍රී ලංකාව නමට එකතු කරමින් දස්කම් දක්වා ඇත. තරගාවලියේ දහසය වන තැනට ඔසවා තබන්නට ඒ දස්කම් සමත් වී ඇත. මෙවර සත්කාරකයන් වන කැනඩාව පවා සිටිනුයේ ශ්‍රී ලංකා පිලට පිටුපසිනි. ගියවර ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේදී තිස් හත්වැනි තැන සිටි ශ්‍රී ලංකා පිල මෙවර දහසය වන තැනට පත්වීම සැබැවින්ම අගය කළ යුතු දස්කමකි. එය ඉහළ වර්ධනයකි.
මෙතරම් ජයග්‍රාහී මානසිකත්වයක් ලද ශ්‍රී ලංකා පිල මෙරටට පැමිණ එය සමරනු වෙනුවට නාහෙන් අඬනුයේ ඇයි? දැන් ඉතිරි වී ඇති ප්‍රශ්නය එයයි. සාමාන්‍ය ක්‍රමවේදය නම් ඉතිහාසය පුරා මෙවැනි තරගාවලියකට අනුග්‍රහය දක්වනුයේ ක්‍රීඩා අමාත්‍යාංශයය. ආසියානු හා ලෝක මට්ටමේ තරගවලට වසර ගණනාවක්ම ක්‍රීඩා අමාත්‍යාංශය අඛණ්ඩ දායකත්වය ලබාදී ඇත. එය රටක් ලෙස සිදුකළ යුතු ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. රට නියෝජනය කරමින් ලෝක මට්ටමේ තරගාවලියකට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වේ නම් එයට අවැසි වියදම් ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්ෂිකව අයවැය මගින් විශාල මුදල් කන්දරාවක්ද වෙන් කෙරේ. ක්‍රීඩා ඇමැත්තෙක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයක් වෙනම නඩත්තු කරන්නේම ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. ක්‍රීඩකයා නැති තැන ඔහු ආරක්ෂා කර නොගන්නා තැන ක්‍රීඩාවක් පැවතිය නොහැකිය. එහෙත් මෙවර ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට යන ශ්‍රී ලංකා පිලට අනුග්‍රහය දැක්වීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේය. මේ නිසා එයට සහභාගිවන එක් ක්‍රීඩකයකු සිය තරගාවලිය සඳහා පෞද්ගලිකව රුපියල් ලක්ෂ 4,40,000ක මුදලක් සොයා ගත යුතු විය. බැඞ්මින්ටන් ක්‍රීඩා කරන බොහෝ අය කෝටිපතියන් නොවේ. අනෙක් අතට ක්‍රීඩකයකු ලෙස සිය උපරිම කැප කිරීම කොට අවසානයේ ලෝක මට්ටමේ තරගාවලියකට යන කල එයද තම අතින් වියදම් කොට යායුතු නම් එරට ක්‍රීඩාවේ නියැලෙනුයේ කුමටද? මාපියන් මෙලෙස අතින් කා හරක් බලනුයේ කුමකටද? ලෝක කනිෂ්ඨ තරගාවලියකටත් මුදල් ලබා නොදෙන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයක් නඩත්තු කරනුයේ ඇයි? දැනට ඇති තොරතුරු අනුව මෙවරද ගියවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් අඩකටත් වඩා නැවත භාණ්ඩාගාරයට යැවීමට නියමිත බව ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වත්මන් අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි නමැත්තා කිසිදු මුදල් ගනුදෙනුවක් කිරීමට මැලි බහිරවයෙක් බව කාගේත් අදහසය. ක්‍රීඩා අමාත්‍යාංශය වාර්ෂිකව අයවැයෙන් මුදල් වෙනු කරනුයේ ක්‍රීඩාවේ සංවර්ධනයටය. එයට මේ තරගාවලිද ඇතුළත්ය. එහෙත් මෙවැනි තරගාවලියකට මුදල් ලබා නොදෙන ක්‍රීඩා බලධාරීහු ක්‍රීඩාව ගැන කතා කරනුයේ කෙසේද? ඇමති කයිවාරු ගසනුයේ කෙසේද?

ඉහළම දක්ෂතා දැක්වූ ළමුන් අටදෙනකු තෝරාගෙන ඔවුන්ට සංගමය මුදල් ලබා දුන් බවද ඉතිරි අය මාපිය මුදලින් තරගාවලියට ගිය බවද පැවසේ. මෙයින් තවත් කරුණක් නැගේ. එනම් දක්ෂතා නැතත් මුදල් ඇත්නම් මෙවැනි තරගාවලියකට යා හැකි ඉඩද මේ හරහා නිර්මාණය වේ. දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනෙක්ට බැඞ්මින්ටන් සංගමය අනුග්‍රහය දැක්වූයේ නම් දහතුන්දෙනාගෙන් යුත් කණ්ඩායමේ ඉතිරි පස්දෙනා හුදු මුදල් ඇති පවුල්වලට දුන් බෝනස් එකක් විය හැකිය. මේ ක්‍රමවේදය හරහා දක්ෂයන්ට ඇති ඉඩ ඇහිරෙන බවද කිව යුතුය. ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් වෙන් කළේ නම් ඔවුහු දක්ෂතා නිසි අධ්‍යයනයකට ලක් කරන්නේය. එහෙත් මුදල් සොයාගෙන යන තැන සිදුවන්නේ දක්ෂතා කෙසේ වෙතත් මුදල් ඇති අය කෙසේ හෝ තම ළමයා අදාළ තරගාවලියට ඇතුළත් කිරීමය. සරල උදාහරණයක් ගතහොත් හෂිනි අම්බලන්ගොඩ ක්‍රීඩිකාව ගතහොත් ඇය ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් සමූහ සහය තරග ඉසව්වකදී රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. එහෙත් එය පදක්කම් සටහනට අනුව තනි රාජ්‍යයක් විසින් දිනාගත් පදක්කමක් ලෙස පදක්කම් සටහනට එක් නොවීය. එසේ වුවද ඇයගේ දස්කම් අඩු නොවීය. එවන් දක්ෂ ක්‍රීඩිකාවක පවා මෙවර ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට තම අතින් මුදල් වියදම් කොටගෙන සහභාගි විය යුතුය. එසේ නම් ක්‍රීඩා බලධාරීහු මේ අසාධාරණය කරනුයේ මේ දක්ෂ අංකුර විනාශ කරන්නට නොවේද?

ක්‍රීඩාව සංවර්ධනය කරන්නට නම් මුදල් රටක් විදිහට වියදම් කළ යුතුමය. එසේ නොවේ නම් ක්‍රීඩාව බරපතළ විෂයක් ලෙස නොගෙන ඇමතිවරු අමාත්‍යාංශ පත් නොකළ යුතුය. හිටපු ක්‍රීඩා ඇමතිවරු රට වටේ ක්‍රීඩා පිටි හදන්නට වලි කෑහ. එහෙත් අපට අදටත් බැඞ්මින්ටන් පිටි ඇත්තේ එකකි. එයද 1983 ඉදි කළ එකකි. අද ක්‍රීඩාවට අනුග්‍රාහකයන් නැති තරම්ය. ක්‍රීඩාවේ නියැලුණා කියා රැකියා අවස්ථාද නොලැබේ. අද ඉන්දියාව බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් ලෝකයේ ඉහළම ඇති රටකි. එය එලෙස වර්ධනය වී ඇත්තේ ඉන්දීය රජය එයට දක්වන අනුග්‍රහය නිසාය. ඉන්දීය රජය ඉන්දියාව පුරා ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණ දහයකට වඩා ඉදිකොට ඇත. ඒ සියල්ල නඩත්තු වන්නේද රජය යටතේය. මෙරට රජය ඒ කෙසේ වෙතත් තරගාවලියකට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගමන් ගාස්තු, නවාතැන්, කෑම පවා තමන්ම සරිකර ගන්නැයි කියා අහක බලති.

හැම ක්‍රීඩාවක් මෙන්ම බැඞ්මින්ටන්වල ඇත්තේද නිම නොවන ඒකාධිකාරියකි. ඒ නිසාම හැමදාම කචල්ය. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිව සිටින කල තම ඥාතියා සුරාජ් දන්දෙණිය බැඞ්මින්ටන් පුටුවට ගෙනාවේය. හැමදා අවුල් පැවති සංගමයේ වත්මන ඇත්තේ අතුරු කමිටුවකි. එහිද නිලධාරීහු මාරු වී එය අද වනවිට තනි අයිතිකට පත්ව ඇතැයි චෝදනාවක් ඒ. ඒ නිශාන්ත ජයසිංහගේ තනි බූදලයක් වී ඇති බවටය. නිශාන්ත ජයසිංහ බැඞ්මින්ටන් අතුරු කමිටුවේ සභාපතිවරයාය.

අතුරු කමිටු පත් කරනුයේ තාවකාලික පිළියමක් ලෙසය. එහි මූලික වගකීමම කඩිනමින් එහි ඇති ගැටලු නිරාකරණය කර නිලවරණයක් කැඳවීමය. අතුරු කමිටුවක් උපරිම මාස තුනක් – හයක් පැවතිය හැකිය. එහෙත් ලංකාවේ අතුරු කමිටු සංගම්වලට හපන්ය. බැඞ්මින්ටන් නිලවරණය වුව නොපවත්වමින් කල්මරනවා ඕනෑවටත් වඩා වැඩිය. ක්‍රීඩා බලධාරීහු සිටිනුයේ මේවා සොයා බලා විසඳුම් සොයන්නටය.
අමාත්‍යාංශ චෝදනාව
ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංගම්වලට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කරන තැනට තල්ලු වූයේ ඕස්ටේ්‍රලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ විශාල නඩය හිස් අතින් ගෙදර ආ කලය. ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා කීවේ කිසිම හේතුවකට දිනිය හැකි සුදුසුම අය හැර වෙන කිසිවකු ජාත්‍යන්තර තරගවලට නොයවන බවය. ක්‍රීඩා ඇමතිගේ ස්ථාවරයේ සිටින්නේ නම් අපට තව අවුරුදු දහයකට හෝ කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි කළ නොහැකිය. ක්‍රිකට් වුව අපි ලෝක කුසලානය දිනතැයි ඇති සහතිකය කුමක්ද? එසේ නම් ඔවුන් පවා නොයැවිය යුතුය. පසුගිය කාලය පුරා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංගම් ගණනාවකට විශාල ලෙස මුදල් ලබා දුන්නද ප්‍රතිඵල නැති බව ක්‍රීඩා බලධාරීන්ගේ අදහසය. පසුගිය කාලයේදී සංචාර සඳහා බැඞ්මින්ටන් සංගමයට රුපියල් මිලියන 24.8ක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙන් කොට ඇත. එහෙත් ඒ ගමන් නිකම්ම ආවා ගියා ගමන් වී ඇත. මේ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය අහක බලන තැනට තල්ලු වූවා යැයි චෝදනාවය.

ක්‍රීඩාවේ ස්වභාවයම ජය පරාජය යන දෙකමය. අප ඉතා අඩු පහසුකම් යටතේ ලොකු ජයග්‍රහණ හොයන රටකි. තරගාවලියකට සහභාගි කර ජයග්‍රහණ ගෙනෙන තෙක් බලා සිටින ක්‍රීඩා ඇමති ප්‍රමුඛ බලධාරීන් එම ක්‍රීඩාව නගා සිටුවන්නට එසේත් නැතිනම් ජයග්‍රහණ සඳහා කැප කොට ඇති කැප කිරීම් කෙබඳුද? මෙහිදීද ක්‍රීඩා අමාත්‍යාංශය බැඞ්මින්ටන් පැත්තට දමා ඇති බර ලොකු බව පෙනේ. එනම් බැඞ්මින්ටන් ක්‍රීඩාව සඳහා ඉන්දුනීසියාවෙන් පුහුණුකරුවකු ගෙන්වා ඔහුගේ සහය ලබා දේ. ඔහුගේ මාසික වැටුප ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ඩොලර් 4000ක් ගෙවනු ලැබේ. ඩොලරයේ අගයට සාපේක්ෂව එය රුපියල් ලක්ෂ තුනහමාරකට කිට්ටු වැටුපකි. මේ රටේ මහජන මුදල්ය. අමාත්‍යාංශය බැඞ්මින්ටන් ක්‍රීඩාවට යමක් කර නැතැයි කිව නොහැකිය. එහෙත් කළ ප්‍රමාණය මහා විශාලද නැත. එම පුහුණුකරුවාගේ සහය උපරිම ලබාගන්නවාද යන්න සංගමයට ඇති චෝදනාවකි.

ඒ සියලු කාරණා පසෙක තැබූ කල ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇත්තේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත තකා බව කිව යුතුය. මාපියන් දුක් මහන්සියෙන් උපයා ක්‍රීඩාවේ ළමුන් යොදවා අවසානයේ ඔවුන් දක්ෂයන් වී ජාත්‍යන්තර තරගවලට යන කල ඒ වියදමත් මාපියන්ම සොයා ගෙන සපුරා ගත යුතු නම් ඒ රටේ ක්‍රීඩාවට දෙයියන්ගේම පිහිටය. අනවශ්‍ය දේට ඇති පදම් මුදල් කාබාසිනියා කරන රටේ ළමුන්ගේ දක්ෂතා කුසලතා වෙනුවෙන් මුදල් වෙන් කිරීම පාපයක්ද?